41 වන පරිච්ඡේදය
උත්ථානයේ දී මනුෂ්‍යයන් නිමක් නැති සතුටු හෝ නිමක් නැති දුක්ඛිතම තත්වයකට ඉදිරියට පැමිණෙන්නෝය – දුෂ්ටකම කිසිවිටෙකත් සතුට නොවන්නේය – ලෞකික මනුෂ්‍යයන් දෙවියන්වහන්සේ නොමැතිව ලෝකයේ සිටිති – සෑම පුද්ගලයෙක්ම නැවත පිහිටුවීමේ දී මැරෙනසුලු ජීවිතයේ දී ලබාගත් ගති ලක්ෂණ සහ ගුණාංග නැවත ලබාගන්නෝය. ක්‍රි.පූ. 74 පමණ.
1 තවද දැන්, මාගේ පුත්‍රය, කතා කරන ලද නැවත පිහිටුවීම ගැන මට යම් තරමකට කිව යුතුය; මක්නිසාද බලව, ඇතැමෙක් ශුද්ධ ලියවිලි පෙරළති, තවද මේ කාරණය නිසා බොහෝ දුර නොමඟ ගියෝය. තවද ඒ වගේම මේ කාරණය ගැන නුඹගේ සිත කණස්සල්ලට පත්ව ඇති බව මට වැටහේ. එහෙත් බලව, මම නුඹට එය පැහැදිලි කරන්නෙමි.
2 මාගේ පුත්‍රය, එනම් දෙවියන්වහන්සේගේ යුක්තියට අනුව නැවත පිහිටුවීමේ සැලැස්ම අවශ්‍ය වන බව, මම නුඹට කියමි; මක්නිසාද සියලු දේවල් නිසි සංවිධානය කරා නැවත පිහිටුවීම අවශ්‍යව ඇත. බලව, එය අවශ්‍ය වන්නේය සහ යුක්ති සහගතය, ක්‍රිස්තුස්වහන්සේගේ බලය සහ උත්ථානයට අනුව, එනම් මනුෂ්‍යයෙකුගේ ආත්මය එහි ශරීරයට නැවත පිහිටුවිය යුතු බවත්, තවද එනම් ශරීරයේ සෑම කොටසක්ම එයටම නැවත පිහිටුවිය යුතු වන්නේය.
3 තවද දෙවියන්වහන්සේගේ යුක්තියට අනුව මනුෂ්‍යයින් ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව විනිශ්චය කළ යුතු බව අවශ්‍ය වන්නේය; තවද ඔවුන්ගේ ක්‍රියාවන් මේ ජීවිතයේ දී යහපත් වූයේ නම්, තවද ඔවුන්ගේ හදවත්වල ආශාවන් යහපත් වූයේ නම්, එනම් ඔවුන් ද, අවසාන දවසේ දී, යහපත් වන දේ කරා නැවත පිහිටුවිය යුතුය.
4 තවද ඔවුන්ගේ ක්‍රියාවන් නපුරු වන්නේ නම් ඒවා ඔවුන්ට නපුර උදෙසා නැවත පිහිටවනු ලබන්නෝය. එසේහෙයින්, සියලු දේ ඒවායේ නිසි සංවිධානයට, සියලු දේ එහි ස්වභාවික රූපයට – මැරෙනසුලු බව අමරණීයත්වයට ඔසවා, දූෂණය අදූෂිත බව කරා – දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කරගැනීම සඳහා නිමක් නැති සතුට කරා, හෝ යක්ෂයාගේ රාජ්‍යය උරුම කරගැනීම සඳහා නිමක් නැති දුක්ඛිත බවට ඔසවා තබා, එකක් එක් අතෙක, අනෙක අනෙකෙහි ද –
5 කෙනෙකු ඔහුගේ සතුට පිළිබඳ ආශාවට අනුව සතුට කරා ඔසවා, නැතහොත් යහපත පිළිබඳ ඔහුගේ ආශාවට අනුව යහපත කරා ද; තවද අනෙකා නපුරේ ඔහුගේ ආශාවට අනුව නපුර කරා වන්නේය; මක්නිසාද ඔහු දවස මුළුල්ලේ නපුරුකම් කිරීමට කැමති වූවාක් මෙන් රාත්‍රිය පැමිණෙන විට ඔහුගේ නපුරු විපාකය ද ඔහුට ලැබෙනු ඇත්තේය.
6 තවද අනෙක් අතට ද එසේ වන්නේය. ඔහු තම පාපයන්වලට පසුතැවිලි වී, තවද ඔහුගේ කාලය අවසන් වන තුරු ධර්මිෂ්ඨකමට ආශා කළේ නම්, එලෙසම ඔහුට ධර්මිෂ්ඨකමේ විපාක ලැබෙනු ඇත්තේය.
7 මොවුන් ස්වාමීන්වහන්සේ විසින් මුදවනු ලැබූවන්ය; එසේය, මොවුන් පිටතට ගනු ලැබූ, එනම් අන්ධකාරයේ එම නිමක් නැති රාත්‍රියෙන් ගළවාගනු ලැබූවන්ය; තවද මේ අනුව ඔවුන් නැගී සිටින්නෝය, නැතහොත් වැටෙන්නෝය; මක්නිසාද බලව, ඔවුන් යහපත කළ ද හෝ නපුර කළ ද, ඔවුන් ඔවුන්ගේම විනිශ්චයකාරයෝය.
8 දැන්, දෙවියන්වහන්සේගේ නියෝගයන් වෙනස් කළ නොහැකිය; එසේහෙයින්, යමෙක් කැමති නම් ගමන් කර ගැලවීම ලබන පිණිස මාර්ගය සූදානම් කර ඇත්තේය.
9 තවද දැන් බලව, මාගේ පුත්‍රය, නුඹ මෙතෙක් කල් පව් කිරීමට අවදානම ගත්, දහමේ එම කරුණු මත නුඹගේ දෙවියන්වහන්සේ හට විරුද්ධව තවත් එක් අපරාධයක අවදානම නොගන්න.
10 එය නැවත පිහිටුවීම ගැන කතා කළ ඇති බැවින්, එනම් නුඹලා පාපයෙන් සතුටට නැවත පිහිටුවනු ඇතැයි, නොසිතන්න. බලව, මම නුඹට කියමි, දුෂ්ටකම කිසි විටෙකත් සතුට නොවන්නේය.
11 තවද දැන්, මාගේ පුත්‍රය, ස්වභාවික තත්වයේ සිටින, නැතහොත් මා කියන්නේ, කායික තත්වයක සිටින සියලු මනුෂ්‍යයන්, තිත්තකමේ පිත තුළ සහ අයුතුකමේ බැමිවල ද සිටිති; ඔවුන් ලෝකයේ දෙවියන්වහන්සේ නොමැතිව සිටිති, තවද ඔවුන් දෙවියන්වහන්සේගේ ස්වභාවයට පටහැනිව ගොස් ඇත්තෝය; එසේහෙයින්, ඔවුන් සතුටේ ස්වභාවයට පටහැනි තත්වයක සිටින්නෝය.
12 තවද දැන් බලව, නැවත පිහිටුවීම යන වචනයේ අර්ථය ස්වාභාවික තත්වයක දෙයක් ගෙන එය අස්වාභාවික තත්වයක තැබීම ද, නැතහොත් එය එහි ස්වභාවයට විරුද්ධ තත්වයක තැබීම ද?
13 අහෝ, මාගේ පුත්‍රය, මෙය එසේ නොවේ; එහෙත් නැවත පිහිටුවීම යන වචනයේ අර්ථය වන්නේ නපුර සඳහා නපුර නැවත ගෙන ඒමයි, නැතහොත් කායිකත්වය සඳහා කායිකත්වය, හෝ යක්ෂාකාරත්වය සඳහා යක්ෂාකාරත්වය ද – යහපත් වූ දේ සඳහා යහපත වන්නේය; ධර්මිෂ්ඨ වූ දේ සඳහා ධර්මිෂ්ඨකම ද; යුක්ති සහගත වූ දේ සඳහා යුක්තිය ද; දයාවන්ත දේ සඳහා දයාව ද වන්නේය.
14 එසේහෙයින්, මාගේ පුත්‍රය, නුඹ නුඹගේ සහෝදරයන් කරා දයාවන්ත වන බවට වග බලාගන්න; යුක්ති සහගතව කටයුතු කරන්න, ධර්මිෂ්ඨව විනිශ්චය කරන්න, තවද නොනවත්වා යහපත කරන්න; නුඹලා මේ සියල්ල කරන්නේ නම් නුඹලා හට නුඹලාගේ විපාකය ලැබෙනු ඇත; එසේය, නුඹලා කරා දයාව නැවත පිහිටුවනු ඇත; නුඹලා කරා යුක්තිය නැවත පිහිටුවනු ඇත; නුඹලා කරා ධර්මිෂ්ඨ විනිශ්චයක් නැවත පිහිටවනු ඇත; තවද නුඹලා කරා යහපත් විපාක ලැබෙනු ඇත.
15 මක්නිසාද නුඹලා පිටතට යවන දේ නැවත නුඹට ලැබෙනු ඇත, තවද නැවත පිහිටුවනු ලබන්නේය; එබැවින්, නැවත පිහිටුවීම යන වචනය පව්කාරයාව වඩාත් සම්පූර්ණයෙන් හෙළා දකින අතර, තවද ඔහුව කිසිසේත් නිදොස් නොකරන්නේය.