ශුද්ධලියවිලි
ඇල්මා 33


33 වන පරිච්ඡේදය

සීනොස්, මනුෂ්‍යයන් සෑම තැනකදීම යාච්ඤා කර නමස්කාර කළ යුතු බවත්, තවද පුත්‍රයාණන් කරණකොටගෙන විනිශ්චයන් ප්‍රතික්ෂේප කරන බවත් උගන්වයි – සීනොක් පුත්‍රයාණන් නිසාවෙන් දයාව පිරිනමන බව උගන්වයි – මෝසෙස් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ නිරූපණයක් වනාන්තරයේදී ඔසවයි. ක්‍රි.පූ. 74 පමණ.

1 දැන් ඇල්මා මෙම වචන කී පසු, ඔවුන් එක දෙවියන් කෙනෙක් තුල අදහා ගත යුත්තේ දැයි දැනගැනීමටත්, එනම් ඔහු පැවසූ මේ ඵලය ඔවුන්ට ලැබෙන පිණිසත්, නැතහොත් ඔවුන් බීජය සිටුවිය යුතු ආකාරය හෙවත් ඔහු පැවසූ වචනය, එනම් ඔවුන්ගේ හදවත් තුළ රෝපණය කළ යුතු යැයි ඔහු පැවසූ දෙය; නැතහොත් ඔවුන් ඔවුන්ගේ ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමට පටන් ගත යුත්තේ කුමන ආකාරයෙන්ද යන්නත් දැන ගැනීමට අවශ්‍යව ඔවුන් ඔහු වෙත යැවීය.

2 තවද ඇල්මා ඔවුන්ට මෙසේ කීවේය: බලව, නුඹලා නුඹලාගේ සිනගෝගවලින් නෙරපා හරින ලද නිසාවෙන්, නුඹලාගේ දෙවියන්වහන්සේ උදෙසා නුඹලාට නමස්කාර කළ නොහැකි බව නුඹලා කියන්නෝය. එහෙත් බලව, මම නුඹලාට කියන්නෙමි, නුඹලාට දෙවියන්වහන්සේට නමස්කාර කළ නොහැකි යැයි නුඹලා සිතන්නේ නම්, නුඹලා බොහෝ සෙයින් වැරදි කරන්නෝය, තවද නුඹලා ශුද්ධ ලියවිලි සොයා බැලිය යුතු වන්නේය; ඔවුන් නුඹලාට මෙය ඉගැන්වූයේ යැයි නුඹලා සිතන්නේ නම්, නුඹලාට ඒවා වටහාගත නොහැකි වන්නේය.

3 පුරාණයේ අනාගතවක්තෘවරයෙකු වූ සීනොස් යාච්ඤාව නැතහොත් නමස්කාරය ගැන පවසා ඇති දේ, කියවා ඇති බව නුඹට සිහිවන්නේද?

4 මක්නිසාද ඔහු මෙසේ කීවේය: අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ දයානුකම්පිතය, මක්නිසාද ඔබවහන්සේ, මා වනාන්තරයේ සිටියදී පවා, මාගේ යාච්ඤාවට සවන් දුන් සේක; එසේය, මාගේ සතුරන් වූ අය පිළිබඳ මම යාච්ඤා කළ විට ඔබවහන්සේ දයාවන්ත වූ සේක, තවද ඔබවහන්සේ ඔවුන්ව මා වෙතට හරවාගත් සේක.

5 එසේය, අහෝ දෙවියන්වහන්ස, තවද මම මාගේ කෙතෙහි ඔබවහන්සේ උදෙසා මොරගසන්නා වූ විට ඔබවහන්සේ මට අනුකම්පා කළ සේක; මාගේ යාච්ඤාවේ දී මම ඔබවහන්සේ හට මොරගැසූ විට, ඔබවහන්සේ මට ඇහුම්කන් දුන් සේක.

6 තවද නැවතත්, අහෝ දෙවියන්වහන්ස, මම මාගේ නිවසට හැරී ගිය විට, ඔබවහන්සේ මාගේ යාච්ඤාවට සවන් දුන් සේක.

7 තවද මම මාගේ කුටිය දෙසට හැරී ඔබවහන්සේ උදෙසා යාච්ඤා කළ විට, අහෝ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ මට ඇහුම්කන් දුන් සේක.

8 එසේය, ඔබවහන්සේගේ දරුවන්, මනුෂ්‍යයන්ගෙන් නොව ඔබවහන්සේගෙන් ඇසෙන ලෙස ඔවුන් ඔබවහන්සේට මොරගසන්නා වූ විට, ඔබවහන්සේ ඔවුන්ට දයාවන්ත වන අතර ඔබවහන්සේ ඔවුන්ට සවන් දෙන සේක.

9 එසේය, අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ මා හට අනුකම්පා කළ සේක, තවද ඔබවහන්සේගේ සභාවන් මැද මාගේ මොරගැසීමට සවන් දුන් සේක.

10 එසේය, තවද මා නෙරපා හරිනු ලැබූ විට සහ මාගේ සතුරන් විසින් හෙළා දකිනු ලැබූ විට ඔබවහන්සේ මට ඇහුම්කන් දුන් සේක; එසේය, ඔබවහන්සේ මාගේ මොරගැසීම් අසා, තවද මාගේ සතුරන් සමඟ කෝප වී, තවද ඔබවහන්සේගේ කෝපයෙන් ඉක්මන් විනාශයක් ඇතිව ඔවුන්ව බැහැ දැකගත් සේක.

11 තවද මාගේ දුක් ගැහැට සහ මාගේ අවංකකම නිසා ඔබවහන්සේ මට ඇහුම්කන් දුන් සේක; තවද එනම් ඔබවහන්සේ මට මෙතරම් දයාව දැක්වූයේ ඔබවහන්සේගේ පුත්‍රයාණන් නිසාවෙන්ය, එසේහෙයින් මාගේ සියලු දුක් වේදනාවලදී මම ඔබවහන්සේ උදෙසා මොරගසන්නෙමි, මක්නිසාද මාගේ ප්‍රීතිය ඔබවහන්සේ තුළ වන සේක; මක්නිසාද ඔබවහන්සේ, ඔබවහන්සේගේ පුත්‍රයාණන් නිසාවෙන් ඔබවහන්සේගේ විනිශ්චයන් මා වෙතින් ඉවතට හරවා ඇති සේක.

12 තවද දැන් ඇල්මා ඔවුන් හට මෙසේ කීවේය: ඔවුන් විසින් පුරාණයේ ලියනු ලැබුවාවූ එම ශුද්ධ ලියවිලි නුඹලා විශ්වාස කරන්නෙහිද?

13 බලව, නුඹලා එසේ කරන්නෙහු නම්, නුඹලා සීනොස් පැවසූ දේ විශ්වාස කළ යුතු වන්නේය; මක්නිසාද, බලව උන්වහන්සේ මෙසේ කීවේය: ඔබවහන්සේ ඔබවහන්සේගේ පුත්‍රයාණන් නිසා ඔබවහන්සේගේ විනිශ්චයන් පිටතට හරවා ඇත්තේය.

14 දැන් බලව, මාගේ සහෝදරයෙනි, නුඹලා ශුද්ධ ලියවිලි කියවා ඇත්දැයි මම අසන්නෙමි? නුඹලා එසේ කර තිබෙන්නේ නම්, නුඹලා දෙවියන්වහන්සේගේ පුත්‍රයා කෙරෙහි අවිශ්වාස කරන්නේ කෙසේද?

15 මක්නිසාද එනම් සීනොස් පමණක් මෙම දේවල් පිළිබඳව කතා කළ බව ලියා නැත්තේය, එහෙත් සීනොක් ද එසේම මෙම දේවල් පිළිබඳව කතා කළේය –

16 මක්නිසාද බලව, ඔහු මෙසේ කීවේය: අහෝ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ මෙම ජනතාව සමඟ කෝප වී සිටින්නේ, මක්නිසාද ඔබවහන්සේගේ පුත්‍රයාණන් කරණකොටගෙන ඔබවහන්සේ ඔවුන්ට ලබා දුන් ඔබවහන්සේගේ දයාව ඔවුන් තේරුම් නොගන්නා නිසාය.

17 තවද දැන්, මාගේ සහෝදරයෙනි, එනම් පුරාණයේ සිටියාවූ දෙවන අනාගතවක්තෘවරයෙකු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ගැන සාක්ෂි දරා ඇති අතර, තවද ඔහුගේ වචන ඔවුන්ට තේරුම් ගැනීමට නොහැකි වූ නිසා ඔහුට ගල් ගසා මරා දැමූ බව නුඹලාට පෙනෙන්නේය.

18 එහෙත් බලව, මේ සියල්ල නොවන්නේය; දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් සම්බන්ධව කථාා කර ඇත්තේ මොවුන් පමණක් නොවන්නේය.

19 බලව, මොසෙස් උන්වහන්සේ පිළිබඳව කතා කළේය; එසේය, තවද බලව, එනම් බලන්නාවූ කවරෙකු වුවද ජීවත්වන පිණිස, වනාන්තරයෙහි නිරූපණයක් ඔසවනු ලැබුවේය. තවද බොහෝ දෙනෙකු බලා ජීවත් වූවෝය.

20 එහෙත් ඒ දේවල්වල අදහස තේරුම් ගත්තාවූ ස්වල්ප දෙනෙකු සිටි අතර, තවද මෙය ඔවුන්ගේ හදවත්වල දැඩිකම නිසා වූවෝය. එහෙත් එහි බොහෝ දෙනෙකු දැඩි වූ හෙයින් ඔවුන් නොබැලුවෝය, එසේහෙයින් ඔවුන් නැසී ගියෝය. දැන් ඔවුන් නොබැලීමට කාරණාව වූයේ එය ඔවුන්ව සුව කිරීමට හැකි යැයි ඔවුන් විශ්වාස නොකළ නිසාවෙන්ය.

21 අහෝ මාගේ සහෝදරයෙනි, නුඹලා සුවපත් වන පිණිස, එනම් නුඹලාගේ ඇස් පමණක් අවට හෙළමින් නුඹලාට සුවය ලැබිය හැකි වන්නේ නම්, නුඹලා ඉක්මණින් නොබලන්නෙහිද, එසේත් නැත්නම් නුඹලා විනාශ වන පිණිස, එනම් නුඹලාගේ ඇස් අවට නොහෙළා, නුඹලා අවිශ්වාසයෙන් නුඹලාගේ හදවත් දැඩි කොට, අලස වන්නෙහිද?

22 එසේනම්, නුඹ මත දුක පැමිණෙන්නේය; එහෙත් එසේ නොවන්නේ නම්, එවිට නුඹලාගේ ඇස් වටා යොමු කර තවද දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි විශ්වාස කිරීමට පටන් ගන්න, එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාව මුදවා ගැනීමට පැමිණෙන අතර, තවද එනම් ඔවුන්ගේ පාපවලට වන්දිගෙවීම සඳහා උන්වහන්සේ වේදනාවන් විඳ මරණයට පත් වන්නේය; එනම් සියලු මනුෂ්‍යයන් උන්වහන්සේ අභිමුඛයෙහි සිටගන්නා අතර, ඔවුන්ගේ ක්‍රියාවන්වලට අනුව, අවසාන සහ විනිශ්චය දිනයේදී විනිශ්චය කිරීම පිණිස, තවද උන්වහන්සේ එනම් මළවුන්ගෙන් නැවත නැඟිටින සේක, එමඟින් නැවත නැඟිටීම පැමිණෙන්නේය.

23 තවද දැන්, මාගේ සහෝදරයෙනි, එනම් මෙම වචනය නුඹලාගේ හදවත් තුළ රෝපණය කර, තවද එය වැඩී වීමට පටන් ගන්නා විට එය නුඹලාගේ ඇදහිල්ලෙන් පෝෂණය කරනවාට මම කැමැත්තෙමි. තවද බලව, එය නුඹ තුළ සදාකාලික ජීවිතය කෙරෙහි වැඩෙන්නාවූ, ගසක් බවට පත් වන්නේය. තවද එවිට දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ප්‍රීතිය තුළින්, නුඹගේ බර සැහැල්ලු වීමට නුඹට ඉඩ සලසන සේක්වා. තවද මේ සියල්ල පවා නුඹට කළ හැක්කේ නුඹ කැමති වන්නේ නම් පමණි. ආමෙන්.