ශුද්ධලියවිලි
ඊනොස් 1


ඊනොස්ගේ පොත

1 වන පරිච්ඡේදය

ඊනොස් බලවත් ලෙස යාච්ඤා කරන අතර ඔහුගේ පව් වලට කමාව ලබා ගනී – අනාගතයේ දවසක ලේමන්වරුන්ට ගැලවීමේ පොරොන්දුව සමඟ, ස්වාමීන්වහන්සේගේ හඬ ඔහුගේ මනසට පැමිණෙයි – නීෆායිවරුන් ලේමන්වරුන්ව නැවත ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි – ඊනොස් ඔහුගේ මිදුම්කරුවාණන් ගැන ප්‍රීතිමත් වේ. ක්‍රි.පූ. 420 පමණ.

1 බලව, තවද එය මෙසේ සිදු විය, එනම් මම, ඊනොස්, මාගේ පියා එනම් යුක්ති සහගත මනුෂ්‍යයෙක් බව දන්නා බැවින් – මක්නිසාද, ඔහුගේ භාෂාවෙන් ද, තවද ස්වාමීන්වහන්සේගේ ස්වභාවය සහ අවවාද ද ඔහු මා හට ඉගැන්වීය – තවද ඒ සඳහා මාගේ දෙවියන්වහන්සේගේ නාමයට ආශිර්වාද වේවා –

2 තවද මම මාගේ පව් කමාව ලබා ගැනීමට පෙර, දෙවියන්වහන්සේ අභියස සිදු වුන මාගේ පොර බැඳීම ගැන මම නුඹට කියන්නෙමි.

3 බලව, මම කැලෑවල මෘගයන් දඩයම් කිරීමට ගියෙමි; තවද මාගේ පියා නිතර පැවසු සදාකාලික ජීවිතය ගැන වචන ද, තවද ශුද්ධවන්තයින්ගේ ප්‍රීතිය ද, මාගේ හදෙහි ගැඹුරට කිඳා බැස තිබුණේය.

4 තවද මාගේ ප්‍රාණය කුසගින්නෙන් පෙළුනිි; තවද මාගේ මැවුම්කරුවාණන් අභියස මම දණින් වැටී, තවද මාගේ ප්‍රාණය උදෙසා බලවත් යාච්ඤාවෙන් සහ කන්නලව් කිරීමෙන් මම උන්වහන්සේ හට මොරගැසුවෙමි; තවද දවස මුළුල්ලේ මම උන්වහන්සේ හට මොරගැසුවෙමි; එසේය, තවද රාත්‍රිය පැමිණි විට මා තවදුරටත් මාගේ හඬ ඔසවා තැබුවෙමි, එනම් එය ස්වර්ගය වෙත ළඟා විය.

5 තවද මා වෙතට හඬක් මෙසේ පවසමින් පැමිණියේය: ඊනොස්, නුඹගේ පාපයන්ට නුඹට සමාව දී ඇත, තවද නුඹව ආශිර්වාද කරනු ලබන්නේය.

6 තවද මම, ඊනොස්, දෙවියන්වහන්සේ බොරු නොකියන බව දැන සිටියෙමි; එබැවින්, මාගේ වරදකාරිත්වය පහව ගියේය.

7 තවද මම පැවසුවෙමි: ස්වාමීන්වහන්ස, එය සිදු වන්නේ කෙසේද?

8 තවද උන්වහන්සේ මට මෙසේ කී සේක: නුඹ මීට පෙර කිසිදා නොඇසූ හෝ නොදකින ලද ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන්නාවූ නුඹගේ ඇදහිල්ල නිසාය. තවද උන්වහන්සේ තමන්වහන්සේවම මාංශයෙන් යුතුව ප්‍රකාශිත වීමට පෙර වසර ගණනාවක් පසු වී යන්නේය; එබැවින්, යන්න, නුඹගේ ඇදහිල්ල නුඹව සුවපත් කළේය.

9 දැන්, එය මෙසේ සිදු විය, මේ වචන ඇසූ විට මට මාගේ සහෝදරයන් වන නීෆායිවරුන්ගේ ශුභසිද්ධිය සඳහා ආශාවක් මා හට දැනෙන්නට පටන් ගත්තේය; එබැවින්, මම ඔවුන් උදෙසා මාගේ මුළු ප්‍රාණය දෙවියන්වහන්සේ වෙත වැගිරෙව්වෙමි.

10 තවද මම මෙසේ ආත්මයෙන් වෙහෙසමින් සිටිය දී, බලව, ස්වාමීන්වහන්සේගේ හඬ නැවත මගේ මනසට පැමිණියේ ය: මාගේ අණ පනත් පිළිපැදීමේ දී නුඹගේ සහෝදරයන්ගේ උද්‍යෝගය අනුව මම ඔවුන්ව බැහැදකින්නෙමි. මම ඔවුන් හට මෙම දේශය දුන්නෙමි, තවද එය ශුද්ධ වූ දේශයකි; තවද අයුතුකම නිසා මිස මම එයට ශාප නොකරමි; එබැවින්, මා කී පරිදි නුඹේ සහෝදරයන් බැහැ දකින්නෙමි; තවද ඔවුන්ගේ වැරදි මම ඔවුන්ගේ ම හිස මත ශෝකය සමඟින් ගෙන එන්නෙමි.

11 තවද පසුව මම, ඊනොස්, මෙම වචන ඇසූ විට, ස්වාමීන්වහන්සේ තුළ මාගේ ඇදහිල්ල නොසැලී පවත්වාගැනීමට පටන්ගත්තේය; තවද ලේමන්වරුන් වන, මාගේ සහෝදරවරුන් උදෙසා බොහෝ දිගු වෙහෙසවීම් සමඟ උන්වහන්සේ හට මම යාච්ඥා කළෙමි.

12 තවද එය මෙසේ සිදු විය, එනම් මම යාච්ඤා කිරීමෙන් සහ සියලු උද්‍යෝගයෙන් වෙහෙස වූ පසු, ස්වාමීන්වහන්සේ මා හට මෙසේ වදාළ සේක: නුඹගේ ඇදහිල්ල නිසාවෙන්, මම නුඹගේ ආශාවන්වලට අනුව නුඹ හට ප්‍රදානය කරන්නෙමි.

13 තවද දැන් බලව, මම උන්වහන්සේගෙන් ආශා කළ ආශාව නම් මෙයයි – එනම් එය එසේ සිදු විය යුතු නම්, එනම් මාගේ ජනතාව, එනම් නීෆායිවරුන්, වරදට වැටෙන්නේ නම්, තවද යම් ආකාරයකින් විනාශ වන්නේනම්, තවද ලේමන්වරුන් විනාශ නොවිය යුතු වන්නේය, එනම් දෙවි වූ ස්වාමීන්වහන්සේ, නීෆායිවරුන්, වන මාගේ ජනතාවගේ වාර්තාවක් ආරක්ෂා කරනු ලබන සේක; එය උන්වහන්සේගේ ශුද්ධ වූ හස්තයේ බලයෙන් වූවත්, එනම්, අනාගතයේ යම් දවසක ලේමන්වරුන් වෙතට ගෙන එනු පිණිස, එනම්, සමහර විට, ඔවුන්ව ගැලවීම කරා ගෙන ඒමටය –

14 මක්නිසාද ඔවුන්ව සත්‍ය ඇදහිල්ලට නැවත පිහිටුවීමට වර්තමානයේ අපගේ වූ වෙහෙස වීම් නිෂ්ඵල විය. තවද එනම් ඔවුන්ගේ උදහසින් ඔවුන් දිවුරුම් දුන්නේ, එය කළ හැකි නම්, අපව ද, අපගේ වාර්තා ද, තවද අපගේ පියවරුන්ගේ සියලු සම්ප්‍රදායන් ද විනාශ කරන්නේය.

15 එබැවින්, දෙවි වූ ස්වාමීන්වහන්සේ හට අපගේ වාර්තා රකින්නට හැකි බව දන්නා බැවින්, උන්වහන්සේ හට මම නිරන්තරව යාච්ඤා කළෙමි, මක්නිසාද උන්වහන්සේ මා හට මෙසේ පැවසූ සේක: ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නුඹට එය ලැබෙන්නේ යැයි විශ්වාස කරමින්, නුඹ ඇදහිල්ලෙන් ඉල්ලා සිටින ඕනෑම දෙයක්, එය නුඹට ලැබෙනු ඇත්තේය.

16 තවද මට ඇදහිල්ල තිබුණි, තවද එනම් උන්වහන්සේ වාර්තා ආරක්ෂා කර ගනු පිණිස, මම දෙවියන්වහන්සේ හට මොරගැසුවෙමි; තවද උන්වහන්සේ ලේමන්වරුන් වෙත උන්වහන්සේගේ යථා කාලයේදී ඒවා ගෙන එන බවට උන්වහන්සේ මා සමඟ ගිවිසුම් ගත වූ සේක.

17 තවද මම, ඊනොස්, එය උන්වහන්සේ කළ ගිවිසුමට අනුව සිදු වන බව දැන සිටියෙමි; එබැවින් මාගේ ආත්මයට විශ්‍රාමය ලැබුණේය.

18 තවද ස්වාමීන්වහන්සේ මා හට මෙසේ වදාළ සේක: නුඹගේ පියවරුන් ද මේ දෙය මාගෙන් ඉල්ලා ඇත; තවද එය ඔවුන් හට ඔවුන්ගේ ඇදහිල්ලට අනුව සිදු වනු ඇත; මක්නිසාද ඔවුන්ගේ ඇදහිල්ල නුඹට සමාන වන්නේය.

19 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් මම, ඊනොස්, නීෆායි ජනතාව අතරේ, පැමිණෙන්නට තිබෙන දේවල් ගැන එළිදරව් කරමින් ද, තවද මා ඇසූ හා දුටු දේවල් ගැන සාක්ෂි දරමින් ගියෙමි.

20 තවද දෙවියන්වහන්සේ කෙරෙහි සත්‍ය ඇදහිල්ල තුළ ලේමන්වරුන් නැවත පිහිටුවන්නට නීෆායි ජනතාව උද්‍යෝගයෙන් සෙවු බවට මම සාක්ෂි දරමි. එහෙත් අපගේ වෙහෙස නිෂ්ඵල විය; ඔවුන්ගේ වෛරය ස්ථිරය, තවද ඔවුන්ගේ නපුරු ස්වභාවය විසින් ඔවුන්ට මග පෙන්වු නිසා ඔවුන් වනචාරී, තවද බිහිසුණු, සහ ලේ පිපාසිත ජනතාවක් වූ අතර, රූප වන්දනාවෙන් ද, අපවිත්‍රකමින් ද පිරී සිටියෝය; දඩයම් මෘගයින් ආහාරයට ගනිමින්; කූඩාරම්වල ජීවත්වෙමින්, කෙටි සමක් සහිත බඳපටිය ඉගටියේ ද සහ හිස මුඩු කොට වනාන්තරයේ සැරිසරමින් සිටියෝය; තවද ඔවුන්ගේ දක්ෂතාවය දුන්නෙහි ද වක් කඩුවෙහි ද, පොරොවෙහි ද වන්නේය. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අමු මාංශ මිස වෙන කිසිවක් නොකෑවෝය; තවද ඔවුන් නිරන්තරව අපව විනාශ කිරීමට සෙව්වෝය.

21 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායි ජනතාව පොළොව කෙටුවෝය, තවද සියලු ආකාරයේ ධාන්‍ය ද, පලතුරු ද, බැටළු රැළවල් ද, සියලු වර්ගවල ගව රැළවල් ද, තවද, එළුවන් ද, වල් එළුවන් ද, සහ බොහෝ අශ්වයන් ද ඇති කළෝය.

22 තවද අප අතර බොහෝ අනාගතවක්තෘවරුන් සිටියෝය. තවද ජනතාව මුරණ්ඩු ජනතාවක් වූ අතර, තේරුම් ගැනීමට අසීරු විය.

23 තවද, එය අධික කුරීරුබව, යුද්ධ සහ ආරවුල් සහ විනාශයන් ගැන දේශනා කිරීම සහ අනාවැකි කීම සහ මරණය සහ සදාකාලික පැවැත්ම ද, විනිශ්චයන් සහ දෙවියන්වහන්සේගේ බලය සහ මේ සියලු දේ ගැන – ඔවුන්ට නිරන්තරයෙන් මතක් කර දීම හැර අන් කිසිවක් නොවීය – ස්වාමීන්වහන්සේ කෙරෙහි බියෙන් ඔවුන් ව තබා ගැනීම සඳහා ඔවුන් නිරන්තරයෙන් උනන්දු කරමින්. මා පවසන මේ දේවල් වලට වඩා අඩු දෙයක් නැති බවත්, තවද කථනයේ බොහෝ සෙයින් සරල බවත්, ඔවුන් වේගයෙන් විනාශයට යාම වළක්වනු ඇත. තවද මේ ආකාරයට අනුව මම ඔවුන් ගැන ලිියමි.

24 තවද මාගේ කාලය තුළ නීෆායිවරුන් සහ ලේමන්වරුන් අතර යුද්ධ මම දුටුවෙමි.

25 තවද එය මෙසේ සිදුවිය, මම මහලු වීමට පටන් ගත්තෙමි, තවද අපගේ පියා වූ ලීහායි ජෙරුසලමෙන් පිටවී අවුරුදු එකසිය හැත්තෑ නවයක කාලයක් ගෙවී ගියේය.

26 තවද දෙවියන්වහන්සේගේ බලයෙන් තනන ලද එනම්, මම මෙම ජනතාව වෙත දේශනා කිරීමටත්, අනාවැකි කීමටත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති සත්‍යය අනුව වචනය ප්‍රකාශ කිරීමටත් දෙවියන්වහන්සේගේ බලයෙන් ක්‍රියා කර, ඉක්මනින්ම මාගේ සොහොනට යා යුතු බව මම දුටිමි. තවද, මම එය මාගේ මුළු කාලයෙහි ම එය ප්‍රකාශ කළෙමි, තවද ලෝකයට වඩා ඉහළින් ඒ තුළ ප්‍රීතිමත් වෙමි.

27 තවද මම ඉක්මනින්ම මාගේ මිදුම්කරුවාණන් ළඟ තිබෙන මාගේ විශ්‍රාමික ස්ථානයට යන්නෙමි; මන්ද, මම උන්වහන්සේ තුළ විශ්‍රාම ගන්නා බව මම දනිමි. තවද, මාගේ මැරෙනසුලු බව අමරණීයත්වය පැළඳ ගෙන උන්වහන්සේ අභියස සිටගන්නා දවසෙහි මම ප්‍රීති වෙමි; එවිට මම උන්වහන්සේගේ මුහුණ සොම්නසින් දකිමි, තවද උන්වහන්සේ මා හට මෙසේ පවසන සේක: ආශිර්වාද ලත් නුඹලා, මා වෙතට පැමිණෙන්න, මාගේ පියාණන්වහන්සේගේ මන්දිරවල නුඹ වෙනුවෙන් සූදානම් කරන ලද ස්ථානයක් තිබෙන්නේය. ආමෙන්.