ශුද්ධලියවිලි
4 නීෆායි 1


හතරවන නීෆායි

නීෆායිගේ පොත නීෆායිගේ පුත්‍රයා වූ – ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්ගෙන් කෙනෙකි.

ඔහුගේ වාර්තාවට අනුව, නීෆායිගේ ජනතාව පිළිබඳ වූ වාර්තාවකි.

1 වන පරිච්ඡේදය

නීෆායිවරුන් සහ ලේමන්වරුන් සියල්ලෝම ස්වාමීන්වහන්සේ වෙතට හරවනු ලැබුහ – ඔවුන්ට සියලු දේවල් පොදු වෙයි, හාස්කම් කරයි, තවද දේශයේ සමෘද්ධිමත් වේ – සියවස් දෙකකට පසු, බෙදීම්, නපුරුකම්, අසත්‍ය සභාවන් සහ පීඩා ඇති වේ – අවුරුදු තුන්සියයකට පසු, නීෆායිවරුන් සහ ලේමන්වරුන් යන දෙපිරිස දුෂ්ට වෙයි – ඇමරොන් පූජනීය වාර්තා සඟවයි. ක්‍රි.ව. 35–321 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, එනම් තිස් හතරවන වසරත්, තිස් පස්වන වසරත් ගෙවී ගිය පසු, තවද බලව ජේසුස්වහන්සේගේ ගෝලයන් අවට සියලු දේශවල ක්‍රිස්තුස්වහන්සේගේ සභාවක් පිහිටුවා ගත්හ. තවද ඔවුන් වෙතට පැමිණ, ඔවුන්ගේ පව් ගැන සැබවින්ම පසුතැවිලි වූ බොහෝ දෙනෙක්, ජේසුස්වහන්සේගේ නාමයෙන් බෞතීස්ම වූහ; තවද එසේම ඔවුන්ට ශුද්ධාත්මයාණන් ද ලැබුණි.

2 තවද එය මෙසේ සිදු විය, තිස් හයවන අවුරුද්දේදී, නීෆායිවරුන් සහ ලේමන්වරුන් යන දෙපිරිස, දේශයේ මුළු මුහුණතෙහිම සිටි සියලු දෙනා, ස්වාමීන්වහන්සේ වෙතට හැරුණු අතර, ඔවුන් අතර ආරවුල් සහ විවාදයන් නොතිබුණි, තවද සෑම මනුෂ්‍යයයෙකුම එකිනෙකා සමඟ යුක්ති සහගත ලෙස කටයුතු කළේය.

3 තවද ඔවුන්ට ඔවුන් අතරේ සියල්ල පොදු විය; එසේහෙයින් එහි ධනවත් හා දුප්පත්, වහල් හා නිදහස් වූවන් නොවූ අතර, එහෙත් ඔවුන් සියල්ලන්ම නිදහස් කරන ලද අතර, තවද ස්වර්ගීය දීමනාවට පංගුකාරයන් විය.

4 තවද එය මෙසේ සිදු විය, එනම් තිස් හත්වන වසරද ගෙවී ගිය අතර, තවද එහි දේශයේ සාමය තවමත් නිරන්තරව පැවතුනි.

5 තවද ජේසුස්වහන්සේගේ ගෝලයන් විසින් සිදු කරන ලද ශ්‍රේෂ්ඨ හා පුදුමාකාර ක්‍රියා තිබුණි, එපමණකින්ම ඔවුන් රෝගීන් සුව කළ අතර, මළවුන් ද නැඟිට්ටුවේය, තවද කොරුන් ඇවිදීමට සැලැස්වූවේය, තවද අන්ධයන්ට පෙනීම ලබා දුන්නේය, තවද බිහිරන්ට ඇසෙන්න සැලැස්වූවේය; තවද ඔවුන් මනුෂ්‍යදරුවන් අතර සියලු ආකාරයේ හාස්කම් සිදු කළේය; තවද එය ජේසුස්වහන්සේගේ නාමයෙන් හැරෙන්නට අන් කිසිවකින් ඔවුන් හාස්කම් නොකළේය.

6 තවද මෙසේ තිස් අටවන වසර ගෙවී ගියේය, තවද තිස් නවවන වසරත්, හතළිස් එක්වන වසරත්, හතළිස් දෙවන වසරත් ගෙවී ගියේය, එසේය, අවුරුදු හතළිස් නවයත්, පනස් එක්වන වසරත්, පනස් දෙවන වසර වනතාක් ගෙවී ගියේය; එසේය, තවද අවුරුදු පනස් නවවන වසර දක්වා වුවත් ගෙවී ගියේය.

7 තවද ස්වාමීන්වහන්සේ ඔවුන්ව දේශයේ අතිශයින් සමෘද්ධිමත් කළ සේක; එසේය, එපමණකින් ගිනිබත් වූ නගර තිබූ තැන්වල ඔවුන් නැවත නගර ගොඩනඟා ගත්හ.

8 එසේය, ඒ මහා නගරය වන සරහෙම්ලා පවා ඔවුන් නැවත ගොඩනඟන්නට සැලැස්සුවේය.

9 එහෙත් එහි ගිලී ගොස් තිබූ බොහෝ නගර වූ අතර, තවද ඒ වෙනුවට එහි ජලය මතු වී තිබුණේය; තවද එසේහෙයින් මෙම නගර අලුත් කළ නොහැකි විය.

10 තවද දැන්, බලව, එය මෙසේ සිදු විය, එනම් නීෆායිහි ජනතාව ශක්තිමත් වී, අතිශය වේගයෙන් වර්ධනය වී, තවද අතිශයින් පැහැපත් සහ ප්‍රසන්න ජනතාවක් බවට පත් විය.

11 තවද ඔවුහු විවාහ වූවේය, තවද විවාහ කර දුන්හ, තවද ස්වාමීන්වහන්සේ සමූහායාට, එනම් ඔවුන්ට දුන් පොරොන්දු රාශියේ හැටියට ඔවුහු ආශීර්වාද ලැබූහ.

12 තවද ඔවුන් තවත් මෝසෙස්ගේ නීතියේ ක්‍රියාවන් සහ වත්පිළිවෙත් අනුගමනය නොකළේය; එහෙත් ඔවුන් ඔවුන්ගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේගෙන් ලැබුණු ආඥා අනුගමනය කරමින්, නිරන්තරව නිරාහාරව සිට හා යාච්ඤා කිරීමෙහි්, තවද ස්වාමීන්වහන්සේගේ වචනය ඇසීමටත් සහ යාච්ඤා කිරීමටත් නිතර එකට එක්රැස් වීම නොකඩවා පවත්වාගෙන ගියෝය.

13 තවද එය මෙසේ සිදු විය, එනම් මුළු දේශයේම, සියලු ජනයා අතර කිසිදු ආරවුලක් එහි නොතිබුණි; එහෙත් එහි ජේසුස්වහන්සේගේ ගෝලයන් අතර බලවත් හාස්කම් සිදු විය.

14 තවද එය මෙසේ සිදු විය, එනම් හැත්තෑ එක්වන වසර ගෙවී ගියේය, තවද හැත්තෑ දෙවන වසරත් ගෙවී ගියේය, එසේය, අවසානයේ, හැත්තෑ නවවන වසර ගෙවී යන තුරු ගෙවී ගියේය; එසේය, අවුරුදු සියයක් පවා ගෙවී ගොස් තිබුණි, තවද උන්වහන්සේ තෝරාගත්, රැඳී සිටිය යුතු තිදෙනා හැර, ජේසුස්වහන්සේගේ ගෝලයන් සියල්ලෝම දෙවියන්වහන්සේගේ පාරාදීසයට ගොස් සිටියහ; තවද එහි ඔවුන් වෙනුවට පත් කරන ලද තවත් ගෝලයන් සිටියහ; තවද එම පරම්පරාවේ බොහෝ දෙනෙක් ද මිය ගොස් සිටියහ.

15 තවද එය මෙසේ සිදු විය, එනම් ජනතාවගේ හදවත් තුළ පැවති දෙවියන්වහන්සේගේ ප්‍රේමය නිසාවෙන්, දේශයේ කිසිදු ආරවුලක් නොතිබූණේය.

16 තවද ඊර්ෂ්‍යාවන් ද, නැතහොත් විරෝධවීම් ද, නැතහොත් කලහකාරීකම් ද, නැතහොත් වේශ්‍යාකම් ද, නැතහොත් බොරු කීම් ද, නැතහොත් මිනීමැරුම් හෝ කිසිදු ආකාරයක කාමුකත්වයක් නොතිබුණි; තවද එහි දෙවියන්වහන්සේගේ අතින් මවන ලද සියලු ජනතාවන් අතර වඩා සතුටින් සිටින ජනතාවක් නිසැකවම සිටිය නොහැකි විය.

17 එහි සොරුන් සිටියේ නැත, මිනීමරුවන් සිටියේ නැත, නැතහොත් එහි ලේමන්වරුන් සිටියේ නැත, කිසිදු ආකාරයක – මිනිසුන් වර්ග නොසිටියේය; එහෙත් ඔවුන් එකා සේ, ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන් සහ දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ උරුමක්කාරයන් ලෙස සිටියෝය.

18 තවද ඔවුන් කොතරම් ආශිර්වාද ලත් අය වූද! මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ සියලු ක්‍රියා වලදී ඔවුන්ට ආශීර්වාද කළ සේක; එසේය, අවුරුදු එකසිය දහයක් ගෙවී යන තුරු පවා ඔවුන් ආශිර්වාද ලබා සමෘද්ධිමත් වූහ; තවද ක්‍රිස්තුස්වහන්සේගේ සිට පළමු පරම්පරාව නැතිවී ගොස් සිටියේය, තවද එහි මුළු දේශයේම කිසිදු ආරවුලක් නොතිබුණි.

19 තවද එය මෙසේ සිදු විය, එනම් මෙම අවසාන වාර්තාව තබාගත්, එනම් නීෆායි, (තවද ඔහු එය නීෆායිගේ තහඩු මත තබා ගත්තේය) මිය ගියේය, තවද ඔහුගේ පුත් ආමොස් එය ඔහු වෙනුවට තබා ගත්තේය; තවද එසේම ඔහු එය නීෆායිගේ තහඩු මතද තබා ගත්තේය.

20 තවද ඔහු එය අවුරුදු අසූ හතරක් පවත්වා ගත් අතර, එය සභාවෙන් කැරලි ගසා ලේමන්වරුන්ගේ නාමය ලබා ගත් ජනතාවගෙන් කුඩා කොටසක හැර, තවද එහි දේශයේ සාමය තවමත් පැවතුනි; එසේහෙයින් එහි දේශයේ නැවතත් ලේමන්වරුන් ඇති වීමට පටන් ගත්හ.

21 තවද එය මෙසේ සිදු විය, එනම් ආමොස් ද මිය ගිය අතර, (තවද එය ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමෙන් වසර එකසිය අනූ හතරක් ගතවී තිබුණි) තවද ඔහුගේ පුත් ආමොස් ඔහු වෙනුවට වාර්තාව තබා ගත්තේය; තවද ඔහු ද එය නීෆායිගේ තහඩු මතද තබාගත්තේය; තවද එය නීෆායිගේ පොතෙහිද ලියා තිබුණි, එය මෙම පොත වන්නේය.

22 තවද එය මෙසේ සිදු විය, එනම් වසර දෙසීයක් ගෙවී ගොස් තිබුණේය; තවද ස්වල්පයක් හැර දෙවන පරම්පරාවේ අනෙක් සියල්ලන්ම නැතිවී ගොස් තිබුණි.

23 තවද දැන් මම, මොර්මන්, එනම් ජනතාව වැඩි වී ඇති බවත්, එපමණකින් ඔවුන් මුළු දේශය මුහුණත පුරාම විසිරී සිටින බවත්, තවද ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔවුන්ගේ සමෘද්ධිය නිසාවෙන්, ඔවුන් අතිශයින් ධනවත් වී ඇති බවත්, නුඹ දැනගත යුතු ලෙස කැමැත්තෙමි.

24 තවද දැන්, මේ දෙසිය එක්වන අවුරුද්දේ දී, මිල අධික ඇඳුම් පැළඳුම්, සියලු ආකාරයේ සිහින් මුතු සහ ලෝකයේ අලංකාර දේවල් පැළඳීම වැනි ආඩම්බරයෙන් උසස්වූ අය ඔවුන් අතර සිටීමට පටන් ගත්හ.

25 තවද එනම් එතැන් පටන් ඉදිරියට ඔවුන්ගේ භාණ්ඩ සහ ඔවුන්ගේ වස්තුව ඔවුන් අතරෙහි තවදුරටත් පොදුවේ නොවීය.

26 තවද ඔවුන් පන්ති තුළට බෙදී යාමට පටන් ගත්තෝය; තවද ඔවුන් ලාභයන් ලබා ගැනීම පිණිස තමන් වෙතටම සභාවන් ගොඩනඟා ගැනීමට පටන් ගත් අතර, තවද ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය සභාව ප්‍රතික්ෂේප කිරීමට පටන් ගත්තෝය.

27 තවද එය මෙසේ සිදු විය, එනම් වසර දෙසිය දහයක් ගෙවී ගිය පසු, එහි දේශය තුළ බොහෝ සභාවන් තිබුණේය; එසේය, ක්‍රිස්තුස්වහන්සේ දන්නා බව ප්‍රකාශ කරන්නාවු බොහෝ සභාවන් තිබුණේය, තවද එහෙත් ඔවුන් උන්වහන්සේගේ ශුභාරංචියේ බොහෝ කොටස් ප්‍රතික්ෂේප කළෝය, එපමණකින් එනම් ඔවුන් සියලු ආකාරයේ දුෂ්ටකම් පිළිගත් අතර, තවද එනම් නුසුදුසුකම නිසාවෙන් එය තහනම් කර තිබූ තැනැත්තාට ශුද්ධ වූ දේ උපස්ථාන කරන ලද්දේය.

28 තවද අයුතුකම නිසාත්, තවද ඔවුන්ගේ හදවත් මත අල්ලා ගත්තාවු සාතන්ගේ බලය නිසාත් මෙම සභාව අතිශයින් වර්ධනය විය.

29 තවද නැවතත්, ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කළ තවත් සභාවක් එහි විය; තවද ඔවුන්ගේ නිහතමානීකම සහ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල නිසාවෙන්, ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය සභාවට හිංසා කළෝය; තවද ඔවුහු ඔවුන් අතර සිදු කරන ලද්දාවූ බොහෝ හාස්කම් නිසා ඔවුන්ට අවමන් කළෝය.

30 එසේහෙයින් ඔවුන් තමන් සමඟ නැවතී සිටියාවු ජේසුස්වහන්සේගේ ගෝලයන් කෙරෙහි බලය සහ අධිකාරි බලය ක්‍රියාත්මක කර, තවද ඔවුහු ඔවුන්ව සිරගෙයි තුළට දැමූවෝය; එහෙත් ඔවුන් තුළ තිබුනාවූ, දෙවියන්වහන්සේගේ වචනයේ බලය මඟින්, සිරගෙවල් දෙකට පැලී ගොස්, තවද ඔවුහු ඔවුන් අතර බලවත්වූ හාස්කම් සිදු කරමින් පෙරට ගියෝය.

31 එසේනමුත්, තවද මෙම සියලු හාස්කම් එසේ තිබිය දීත්, ජනතාව ඔවුන්ගේ හදවත් දැඩි කරගෙන, තවද උන්වහන්සේගේ වචනයට අනුව, ජෙරුසලෙමේ යුදෙව්වන් ජේසුස්වහන්සේව මරණයට පත් කිරීමට සෙව්වාවු ආකාරයටම, ඔවුන්ව මරණයට පත් කිරීමට සෙවූහ.

32 තවද ඔවුහු, ඔවුන්ව ගිනි උදුන් තුළට දමනු ලැබුවෝය, තවද ඔවුන් කිසිදු හානියක් නොවි පිටතට පැමිණියෝය.

33 තවද එසේම ඔවුහු, ඔවුන්ව වන මෘගයන්ගේ ගුහාවන් තුළට දමනු ලැබූවෝය, තවද ඔවුන් වන මෘගයන් සමඟ දරුවෙකු බැටළු පැටවෙකු සමඟ සෙල්ලම් කරන්නාක් මෙන් කළෝය; තවද ඔවුන් කිසි හානියක් නොලබා, ඔවුන් අතරින් පිටතට පැමිණියෝය.

34 එසේනමුත්, ජනතාව ඔවුන්ගේ හදවත් දැඩි කර ගත්තෝය, මක්නිසාද බොහෝ සභාවන් ගොඩනැඟීමට, සහ සියලු ආකාරයේ අයුතුකම් කිරීමට ඔවුන්ව බොහෝ පූජකයන් සහ බොරු අනාගතවක්තෘවරුන් විසින් මෙහෙය වනු ලැබුවෝය. තවද ඔවුන් ජේසුස්වහන්සේගේ ජනතාව මත පහර දුන්නෝය; එහෙත් ජේසුස්වහන්සේගේ ජනතාව නැවත පහර නොදුන්නෝය. තවද මෙසේ ඔවුන් විශ්වාසයෙන් සහ දුෂ්ටකමින් පිරිහෙමින්, වසරින් වසර, වසර දෙසිය තිහක් ගෙවී යන තුරුම සිටියෝය.

35 තවද දැන් එය මෙසේ සිදු විය, මෙම වසරේ දී, එසේය, දෙසිය තිස් එක්වන වසරේ දී, එහි ජනතාව අතර මහත් බෙදිමක් ඇති විය.

36 තවද එය මෙසේ සිදු විය, එනම් මෙම වසරේ දී නීෆායිවරුන් ලෙස හැඳින්වූ ජනතාවක් එහි නැඟී සිටි අතර, තවද ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ තුළ සැබෑ ඇදහිලිවන්තයන් වූහ; තවද එහි ඔවුන් අතර ලේමන්වරුන් විසින් හඳුන්වනු ලැබුවාවූ – ජේකබ්වරුන්, තවද ජෝසෆ්වරුන්, සහ සෝරම්වරුන් ද සිටියෝය;

37 එසේහෙයින් ක්‍රිස්තුස්වහන්සේ තුළ සැබෑ ඇදහිලිවන්තයන්, සහ ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ නමස්කාරකයන්, (ඔවුන් අතර රැඳී සිටිය යුතුවු ජේසුස්වහන්සේගේ ගෝලයන් තිදෙනා වූහ) නීෆායිවරුන්, තවද ජේකබ්වරුන්, තවද ජෝසෙප්වරුන්, සහ සොරම්වරුන් ලෙස හඳුන්වනු ලැබිය.

38 තවද එය මෙසේ සිදු විය, එනම් ශුභාරංචිය ප්‍රතික්ෂේප කළාවු අය ලේමන්වරුන්, සහ ලෙමුවෙල්වරු සහ ඉෂ්මායෙල්වරුන් ලෙස හදුන්වනු ලැබිය; තවද ඔවුන් අවිශ්වාසයේ පිරිහෙමින් නොසිටියෝය, එහෙත් ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට විරුද්ධව කැමැත්තෙන් කැරලි ගැසූවෝය; තවද එනම් ඔවුන්ගේ පියවරුන් පටන්ගැන්මේ සිටම මෙන්, පිරිහුනාවු පරිදි, එනම් ඔවුන් විශ්වාස නොකළ යුතුයැයි, ඔවුන් ඔවුන්ගේ දරුවන්ට ඉගැන්වූහ.

39 තවද එය පටන්ගැන්මේ දී පවා මෙන්, ඔවුන්ගේ පියවරුන්ගේ දුෂ්ටකම සහ පිළිකුල්කම නිසා විය. තවද පටන්ගැන්මේ සිටම නීෆායිගේ දරුවන්ට වෛර කිරීමට ලේමන්වරුන්ට උගන්වා ඇති ආකාරයටම පවා, දෙවියන්වහන්සේගේ දරුවන්ට වෛර කිරීමට ඔවුන්ට උගන්වා තිබුණෝය.

40 තවද එය මෙසේ සිදු විය, එනම් වසර දෙසිය හතළිස් හතරක් ගෙවී ගිය පසුව, තවද ජනතාවගේ කටයුතු මෙසේ විය. තවද ජනතාවගේ වඩාත් දුෂ්ට කොටස ශක්තිමත්ව වර්ධනය වූහ, තවද දෙවියන්වහන්සේගේ ජනතාව වඩා අතිශයින් වැඩි සංඛ්‍යාවක් බවට පත් විය.

41 තවද ඔවුන් තවමත් තමන් වෙතට සභාවන් ගොඩනඟා, තවද සියලු ආකාරයේ අනර්ඝ දේවල් සමඟින් ඒවා අලංකාර කරමින් සිටියෝය. තවද මෙසේ දෙසිය පනස් වන වසර ද, තවද එසේම දෙසිය හැට වන වසර ද ගෙවී ගියේය.

42 තවද එය මෙසේ සිදු විය, එනම් ජනතාවගේ දුෂ්ට කොටස නැවතත් ගැඩියැන්ටන්ගේ රහසිගත දිවුරුම් සහ සම්බන්ධතාවයන් ගොඩනඟා ගැනීමට පටන් ගත්තෝය.

43 තවද එසේම නීෆායිගේ ජනතාව ලෙස හඳුන්වනු ලැබූ ජනතාව, ඔවුන්ගේ අධිකවූ ධනය නිසා, ඔවුන්ගේ හදවත් තුළ ආඩම්බර වීමට පටන් ගත් අතර, තවද ඔවුන්ගේ සහෝදරයන් වන, ලේමන්වරුන් මෙන් අහංකාර වූහ.

44 තවද මෙම කාලයේ සිට ගෝලයන් ලෝකයේ පාප උදෙසා ශෝක වීමට පටන් ගත්තෝය.

45 තවද එය මෙසේ සිදු විය, එනම් වසර තුන්සියයක් ගෙවී ගිය විට, නීෆායිගේ ජනතාව සහ ලේමන්වරුන් යන දෙගොල්ලන්ම එක් අයෙකු අනෙකාට මෙන් අතිශයින් දුෂ්ට වූහ.

46 තවද එය මෙසේ සිදු විය, එනම් ගැඩියැන්ටන්ගේ කොල්ලකරුවන් මුළු දේශයේ තලය පුරාම පැතිර ගියෝය; තවද එනම් ජේසුස්වහන්සේගේ ගෝලයන් හැර ධර්මිෂ්ඨයන් වූ කිසිවෙක් එහි නොසිටියේය. තවද ඔවුන් බහුල ලෙස රන් සහ රිදී ගබඩා කර තබා, තවද සියලු ආකාරයේ වෙළඳාම් ගනුදෙනු කළහ.

47 තවද එය මෙසේ සිදු විය, එනම් තුන්සිය පස්වන වසර ගතවීමෙන් පසුව, (තවද ජනතාව තවදුරටත් දුෂ්ටකමෙහි රැඳී සිටියෝය) ආමොස් මරණයට පත් විය; තවද ඔහුගේ සහෝදරයා වන ඇමරොන්, ඔහු වෙනුවට වාර්තාව තබා ගත්තේය.

48 තවද එය මෙසේ සිදු විය, එනම් තුන්සිය විසිවැනි වසර ගෙවී ගිය පසුව, ඇමරොන්, ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් බල කරනු ලැබ, එම ශුද්ධවූ වාර්තාවන් සඟවනු ලැබිය – එසේය, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමේ සිට තුන්සිය විසිවන වසර දක්වාවුද – පරම්පරාවෙන් පරම්පරාවට භාර දෙනු ලැබුවාවූ එම සියලුම ශුද්ධවූ වාර්තාවන් විය.

49 තවද ස්වාමීන්වහන්සේගේ අනාවැකි සහ පොරොන්දුවලට අනුව, එනම් යාකොබ්ගේ වංශයේ ඉතිරිවූවන් වෙත ඒවා නැවත පැමිණෙන පිණිස, ඔහු ඒවා ස්වාමීන්වහන්සේ වෙතට සඟවනු ලැබිය. තවද මෙසේ ඇමරොන්ගේ වාර්තාවේ අවසන් විය.