ශුද්ධලියවිලි
ඇල්මා 17


ඇල්මාගේ වාර්තාවට අනුව – දෙවියන්වහන්සේගේ වචනය උදෙසා රාජධානියට ඇති ඔවුන්ගේ අයිතීන් ප්‍රතික්ෂේප කර, ඔවුන්ගේ වේදනාවන් සහ ගැලවීම පිළිබඳව; ලේමන්වරුන්ට දේශනා කිරීමට නීෆායි දේශය වෙත ඉදිරියට ගිය, මොසායාගේ පුත්‍රයන්ගේ විස්තරයකි.

පරිච්ඡේද 17 සිට 27 දක්වා සමන්විත ය.

17 වන පරිච්ඡේදය

මොසායාගේ පුත්‍රයන් හට අනාවැකියේ ආත්මය ද එළිදරව් කිරීමේ ආත්මය ද ඇත – ලේමන්වරුන්ට වචනය ප්‍රකාශ කිරීමට ඔවුන් ඔවුන්ගේ මාර්ග කිහිපයක යන්නෝය – ඇමන් ඉෂ්මායෙල්ගේ දේශයට ගොස් ලැමෝනායි රජුගේ දාසයෙකු වන්නේය – ඇමන් රජුගේ සතුන් රැළ මුදවා ගත් අතර සීබස් ජලයේදී ඔහුගේ සතුරන්ව මරා දමයි. 1–3 පදය දක්වා, ක්‍රි.පූ. 77 දී පමණ; 4 වන පදය, ක්‍රි.පූ. 91–77 දී පමණ; සහ 5–39 පදය දක්වා, ක්‍රි.පූ. 91 දී පමණ.

1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ඇල්මා මැන්ටයි දේශයෙන් එපිට, ගිඩියොන් දේශයෙන් දකුණු දෙසට ගමන් ගන්නා අතරදී, බලව, ඔහුගේ විස්මයට, සරහෙම්ලා දේශයට යමින් සිටි මොසායාගේ පුත්‍රයන් සමඟ ඔහු හමුවුණි.

2 දැන් මොසායාගේ මේ පුත්‍රයන් ඔහු හට දේවදූතයා පළමුව දර්ශනය වූ අවස්ථාවේදී ඇල්මා සමඟ සිටියෝය; එසේහෙයින් ඇල්මා ඔහුගේ සහෝදරයන්ව දැකීමට ලැබීමෙන් බොහෝ සෙයින් ප්‍රීතිමත් වුණේය; තවද ඔහුගේ ප්‍රීතිය තවත් වැඩිවීමට හේතු වූයේ, ඔවුන් තවමත් ස්වාමීන්වහන්සේ තුළ ඔහුගේ සහෝදරයන් වූ බැවිනි; එසේය, තවද ඔවුන් සත්‍යයේ දැනුමෙහි ශක්තිමත්ව වර්ධනය වූවෝය; මක්නිසාද ඔවුන් ස්ථීර අවබෝධයකින් සිටි මනුෂ්‍යයින් වූ අතර ඔවුන් ශුද්ධ ලියවිලි උද්‍යෝගයෙන් සෙව්වෝය, එනම් ඔවුන් දෙවියන්වහන්සේගේ වචනය දැන ගැනීමට හැකි වන පිණිසය.

3 නමුත් එපමණක් නොව; ඔවුන් බොහෝ යාච්ඤාවට ද, තවද නිරාහාරයේ යෙදීමටද කැපවුණෝය; එසේහෙයින් ඔවුන්ට අනාවැකියේ ආත්මය ද, තවද එළිදරව් කිරීමේ ආත්මය ද තිබුණි, තවද ඔවුන් ඉගැන්වූ විට, ඔවුන් ඉගැන්වූයේ දෙවියන්වහන්සේගේ බලය සහ අධිකාරී බලයෙන්ය.

4 තවද සත්‍යයෙහි දැනුම කරා බොහෝ දෙනෙකු ගෙන ඒමේ මහත් සාර්ථකත්වයක් ඇතිව, ඔවුන් ලේමන්වරුන් අතර වසර දහහතරක කාල පරාසයක් පුරාවටම දෙවියන්වහන්සේගේ වචනය ඉගැන්වූවෝය; එසේය, එනම් උන්වහන්සේගේ නම අමතමින් උන්වහන්සේ අභිමුඛයෙහි ඔවුන්ගේ පාපයන් පාපෝච්චාරණය කරන ලෙසට, ඔවුන්ගේ වචන වල බලයෙන් බොහෝ දෙනෙකු දෙවියන්වහන්සේගේ පූජාසනය වෙත ගෙන එන ලදී.

5 දැන් ඔවුන්ගේ ගමන් වලදී ඇති වූ තත්ත්වයන් මේවාය, මක්නිසාද ඔවුන්ට බොහෝ පීඩාවන් තිබුණේය; ඔවුන් බෙහෙවින් වේදනා විඳුවෝය, එනම් ශරීරයෙන් ද තවද මනසින් ද දේයාකාරයෙන් ද, කුසගින්න, පිපාසය සහ විඩාව යනාදී වශයෙන් ද, තවද එසේම ආත්මය තුළ බොහෝ සෙයින් වෙහෙසක් දැරුවෝය.

6 දැන් මේවා ඔවුන්ගේ ගමන් බිමන් විය: විනිශ්චයකරුවන්ගේ පළවෙනි වසරෙහි, ඔවුන්ගේ පියා වන මොසායාගෙන් වෙන්ව ගොස්; එනම් ඔවුන්ගේ පියා ඔවුන් මත පිරිනැමීමට ආශා කළ රාජධානිය ප්‍රතික්ෂේප කළ හෙයින්, තවද එසේම මෙය ජනතාවගේ කැමැත්ත ද විය.

7 එසේනමුත් ඔවුන් සරහෙම්ලා දේශයෙන් පිටත් වුණෝය, තවද ඒ ඔවුන්ගේ කඩු ද, ඔවුන්ගේ හෙල් ද, ඔවුන්ගේ දුනු ද, ඔවුන්ගේ ඊතල ද, ඔවුන්ගේ ගල්පටි ද සමඟ ය; තවද ඔවුන් මෙසේ සිදු කළේ එනම් වනාන්තරයේ සිටිනා විටදී ඔවුන්ට ඔවුන්ගේ ආහාර සපයා ගැනීම සඳහාය.

8 තවද එලෙස ඔවුන් තෝරාගත් ඔවුන්ගේ පිරිස සමඟ, ඔවුන් නීෆායී දේශය වෙත ගොස්, එනම් ලේමන්වරුන් හට දෙවියන්වහන්සේගේ වචනය දේශනා කිරීමට, වනාන්තරය තුළට පිටත්ව ගියෝය.

9 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් බොහෝ දවසක් වනාන්තරයෙහි ගමන් ගත් අතර, තවද එනම් උන්වහන්සේගේ ආත්මයෙහි කොටසක් ඔවුන් සමඟ ගමන් ගන්නා බවට ද, තවද ඔවුන් සමඟ පවතින බවට ද, ස්වාමීන්වහන්සේ ඔවුන්ට පිරිනමන ලෙස එනම්, ඔවුන් බොහෝසෙයින් යාච්ඤා කර බොහෝසෙයින් නිරාහාරව සිටියෝය, එනම් ඔවුන් දෙවියන්වහන්සේගේ හස්තයේ මෙවලමක් වී, එය විය හැක්කේනම්, ඔවුන්ගේ සහෝදරයන් වන, ලේමන්වරුන්, නිවැරදි නොවූ, සත්‍යයේ දැනුම කරා, ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදායයන්හි අවජාතකකමෙහි දැනුම කරා ගෙන ඒමටය.

10 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ ඔවුන්ව උන්වහන්සේගේ ආත්මය සමඟ බැහැ දැක අතර, තවද ඔවුන් හට මෙසේ පැවසූ සේක: සැනසීම ලැබෙත්වා. තවද ඔවුන් හට සැනසීම හිමි විය.

11 තවද එසේම ස්වාමීන්වහන්සේ ඔවුන් හට මෙසේ පැවසූ සේක: නුඹලාගේ සහෝදරයන් වන, ලේමන්වරුන් අතර ඉදිරියට ගොස්, තවද මාගේ වචනය පිහිටුවන්න; එහෙත් නුඹලා බොහෝ ඉවසිලිවන්තව සහ පීඩාවන්හි, එනම් නුඹලා මා කෙරෙහි ඔවුන් හට යහපත් ආදර්ශ දක්වන ලෙසය, තවද මම නුඹව බොහෝ ප්‍රාණයන්ගේ ගැලවීම වෙත මාගේ හස්තයේ මෙවලමක් කරගන්නෙමි.

12 තවද එය මෙසේ සිදුවිය, එනම් මොසායාගේ පුත්‍රයන්ගේ ද, එසේම ඔවුන් සමඟ සිටියවුන්ගේ ද හදවත්, දෙවියන්වහන්සේගේ වචනය ලේමන්වරුන් හට ඉදිරියට ගොස් ප්‍රකාශ කිරීමට ධෛර්ය ගත්තෝය.

13 තවද එය මෙසේ සිදු විය, ලේමන්වරුන්ගේ දේශයේ මායිම්වලට ඔවුන් පැමිණි විටදී, ඔවුන් ඔවුන්ගෙන් වෙන් වී තවද එකිනෙකාගෙන් නික්ම ගියේ, එනම් ඔවුන්ගේ අස්වැන්නෙහි අවසානයේදී නැවතත් ඔවුන් හමු වන බවට විශ්වාස කරමින්ය; මක්නිසාද ඔවුන් පවරාගත් කාර්යය ඉමහත් යැයි ඔවුන් සැලකූ හෙයිනි.

14 තවද සැබවින්ම එය ඉමහත් එකකි, මක්නිසාද වියරු සහ දැඩි සහ බිහිසුණු ජනතාවකට දෙවියන්වහන්සේගේ වචනය දේශනා කිරීමට ඔවුන් වැඩ පවරාගත් බැවින්ය; ඔවුන් නීෆායිවරුන්ව සොරකම් කිරීමෙන් ද කොල්ලකෑමෙන් ද, ඝාතනය කිරීමෙන් ද අතිශයින් සතුටු වූ ජනතාවකි; තවද ඔවුන්ගේ හදවත් ධනයට, නොහොත් රන් සහ රිදී මත ද, මැණික් මත ද තිබුණි; එහෙත් මේ දේවල් ලබා ගැනීමට ඔවුන් සෙව්වේ මිනිමැරීම් සහ කොල්ලකෑමෙන්ය, එනම් ඔවුන්ගේ දෑත්වලින් ඔවුන් ඒවාට වෙහෙස නොවන ලෙසය.

15 එසේහෙයින් ඔවුන් ඉතා උදාසීන ජනතාවක් විය, ඉන් බොහෝ පිරිසක් රූප වන්දනා කළ අතර, ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදායයන් කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ශාපය ඔවුන් මත වැටී තිබුණි; එසේ තිබියදීත් ස්වාමීන්වහන්සේගේ පොරොන්දු ඔවුන් වෙත දිගුකර තිබුණේ පසුතැවිලි වීමේ කොන්දේසීන් මතය.

16 එසේහෙයින්, මෙය මොසායාගේ පුත්‍රයන් කාර්යය පවරාගැනීමට කාරණය විය, එනම් සමහර විට ඔවුන්ව මිදීමේ සැලැස්ම දැනගැනීමට ගෙන එන්නට හැකි වනු ඇති බවට; එනම් ඔවුන් සමහර විට මොවුන්ව පසුතැවිලිවීම වෙතට ගෙන එන්නට හැකි වනු ඇත.

17 එසේහෙයින් ඔවුන් එකිනෙකාගෙන් වෙන් වී, එනම් සෑම මනුෂ්‍යයෙකු තනි තනිවම, ඔහු හට ලබා දුන් දෙවියන්වහන්සේගේ වචනය සහ බලයට අනුව, තවද ඔවුන් අතර ඉදිරියට ගියෝය.

18 දැන් ඇමන් ඔවුන් අතර ප්‍රධානියා වූ අතර, නැතහොත් ඔවුන් වෙත ඔහු උපස්ථාන කළ හෙයින්, ඔවුන්ගේ වගකීම් කිහිපයට අනුව ඔවුන්ට ආශිර්වාද කළ පසුවෙන්, තවද ඔහු ඔවුන්ගෙන් නික්ම ගියේය, එනම් ඔවුන් හට දෙවියන්වහන්සේගේ වචනය බෙදාගැනීමෙන් අනතුරුව, නැතහොත් ඔහුගේ පිටත්වීමට පෙර ඔවුන් හට උපස්ථාන කළ පසුව; තවද එලෙස ඔවුන් ඔවුන්ගේ ගමන් ගණනාව දේශය පුරාවටම රැගෙන ගියෝය.

19 තවද ඇමන් ඉෂ්මායෙල් දේශයට ගියේය, එනම් ලේමන්වරුන් බවටද පත් වූ, ඉශ්මායෙල්ගේ පුත්‍රයින්ගේ නමට අනුව එම දේශය නම් වී තිබුණි.

20 තවද ඇමන් ඉෂ්මායෙල් දේශයට ඇතුළු වූ විට, ලේමන්වරුන් ඔහුව ගෙන බැඳ සිර කෙරුවෝය, එනම් ඔවුන්ගේ අතට පැමිණුන සියළු නීෆායිවරුන්ව බැඳ සිරකර තබා, තවද ඔවුන් රජු ඉදිරියට රැගෙන යාම ඔවුන්ගේ සම්ප්‍රදාය වූ නිසාවෙනි; තවද එසේම ඔවුන්ව මරා දමන්නේද, නැතහොත් ඔවුන්ව වහල්භාවයේ රඳවා ගන්නේද, නැත්නම් ඔවුන්ව සිරගෙහි දමන්නේද, නැත්නම් ඔහුගේ දේශයෙන් නෙරපන්නේද, යන්න තෝරාගැනීම රජුන්ගේ අභිමතයට භාර විය, එනම් ඔහුගේ රිසිය හා කැමැත්තට අනුවය.

21 තවද ඇමන් මෙලෙස ඉශ්මායෙල් දේශයේ උන් රජු ඉදිරියට රැගෙන යන ලදී; තවද ඔහුගේ නම ලැමෝනායි විය; තවද ඔහු ඉෂ්මායෙල්ගේ පරම්පරාවෙන් පැවත ආ අයෙකු විය.

22 තවද ලේමන්වරුන් අතර ද, නැතහොත් ඔහුගේ ජනතාව අතර වාසය කිරීමට ඔහුගේ කැමැති වන්නේද යැයි රජු ඇමන්ගෙන් විමසුවේය.

23 තවද ඇමන් ඔහු හට මෙසේ පැවසුවේය: එසේය, මෙම ජනතාව අතර වාසය කිරීමට මම කැමැත්තෙමි; එසේය, තවද ඇතැම් විට මා මිය යන තෙක් වුවද එසේමය.

24 තවද එය මෙසේ සිදු විය, එනම් ලැමෝනායි රජු ඇමන් සමඟ බොහෝ සෙයින් සතුටු වුණේය, තවද ඔහුගේ පටි ලිහිල් කරන ලෙස සැලසුවේය; තවද ඇමන් ඔහුගේ දියණියක් සරණ පාවා ගන්නට ද මොහුට උවමනා වුණේය.

25 එහෙත් ඇමන් ඔහු හට මෙසේ පැවසුවේය: නැත, එහෙත් මම නුඹගේ දාසයෙකු වන්නෙමි. එසේහෙයින් ඇමන් ලැමෝනි රජුට දාසයෙකු විය. තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන්ගේ චාරිත්‍රයට අනුව, ලැමෝනිගේ සතුන් රැළවල් රැක බලා ගැනීමට ඔහුව අනෙක් දාසයන් අතර තබන ලදී.

26 තවද රජුගේ සේවයෙහි ඔහු දින තුනක් සිටි පසු, ලේමන්වර දාසයන් ඔවුන්ගේ රැළවල් සමඟ, එනම් එය සීබස් ජලය යැයි නම් කරන ලද, ජලය ඇති ස්ථානයෙහි පෙරට ගොස්, එනම් ඔවුන්ට ජලය ලබාගන්නා පිණිස, තවද සියලු ලේමන්වරුන් ඔවුන්ගේ රැළවල් මෙම ස්ථානයට ගෙන අවෝය –

27 එසේහෙයින්, ඇමන් සහ රජුගේ දාසයන් ඔවුන්ගේ රැළවල් මෙම ජලය ඇති ස්ථානයට දක්කාගෙන යන විටදී, බලව, ලේමන්වරුන් යම් පිරිසක්, ඔවුන්ගේ සතුන්ට ජල පෙවීමට ඇවිත් සිටියදී, නැගිට ඇමන්ගේ රැළවල් සහ රජුගේ දාසයන් විසුරවා, තවද කොපමණක්ද නම් ඔවුන් බොහෝ දිසාවන්ට පලා ගියෝය.

28 දැන් රජුගේ දාසයන් මෙසේ පවසමින්, මැසිවිලි නැඟීමට පටන් ගත්තෝය: දැන් රජුන් අපව මරා දමනු ඇත, එනම් අපගේ සහෝදරයින්ටද මේ මනුෂ්‍යන්ගේ දුෂ්ඨකමට ඔවුන්ගේ රැළවල් විසුරු මෙන්ය. තවද ඔවුන් මෙසේ පවසමින්, බොහෝ සෙයින් වැලපෙන්නට පටන් ගත්හ: බලව, අපගේ සතුන් රැළවල් දැනටමත් විසුරවා හැර ඇත.

29 දැන් ඔවුන් මරා දමන බවට ඇති බිය නිසාවෙන් වැලපෙන්නට විය. දැන් ඇමන් මෙය දුටු විට ඔහුගේ හදවත ඔහු තුළ ප්‍රීතියෙන් ඉදිමෙන්නට විය; මක්නිසාද, ඔහු මෙසේ පැවසුවේය, මම මාගේ බලය මෙම මාගේ සහාකාර – දාසයන්ට පෙන්වන්නෙමි, නැතහොත් මා තුළ ඇති බලය, ඒ රජුන් හට මෙම සතුන් රැළවල් යථාතත්ත්වයට පමුණුවා, එනම් මාගේ මෙම සහාකාර – දාසයන්ගේ හදවත් දිනාගැනීම සඳහාය, එනම් ඔවුන් මාගේ වචන විශ්වාස කිරීමට මම ඔවුන්ට මඟ පෙන්වන ලෙසය.

30 තවද දැන්, ඔහුගේ සහෝදරයන් යැයි ඔහු සැලකූ මොවුන්ගේ පීඩාවන් ඔහු දුටු විට, ඇමන්ගේ සිතුවිලි මේවා විය.

31 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ඔවුන්ව ඔහුගේ වචනවලින් ප්‍රශංසා කර මෙසේ පැවසුවේය: මාගේ සහෝදරයෙනි, අප ප්‍රීතිජනක වෙමු, තවද අප රැළවල් සොයා යමු, තවද අප ඔවුන්ව එක් රැස් කර තවද ජලය ඇති ස්ථානයට ඔවුන්ව නැවත ගෙන එමු; තවද එසේම අප රජුන් හට රැළවල් ආරක්ෂා කළ හෙයින් ඔහු අපව මරා නොදමන්නේය.

32 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් සතුන් රැළවල් සොයා ගියෝය, තවද ඔවුන් ඇමන් අනුගමනය කළ අතර, මහත් යුහුසුලුබවින් රජුගේ සතුන් රැළවල් ප්‍රධානව ගෙන ගියෝය, තවද ජලය ඇති ස්ථානයට ඔවුන් නැවතත් ඔවුන්ව එක්රැස් කළෝය.

33 තවද ඒ මනුෂ්‍යයින් නැවතත් ඔවුන්ගේ රැළවල් විසුරවා හැරීමට සිටගත්තෝය; එහෙත් ඇමන් ඔහුගේ සහෝදරයන් හට මෙසේ පැවසුවේය: ඔවුන් පලා නොයන ලෙස රැළවල් වටලන්න; තවද අපගේ රැළවල් විසුරුවන මෙම මනුෂ්‍යයන් සමඟ මම ගොස් සටන් කරමි.

34 එසේහෙයින්, ඇමන් ඔවුන්ට අණ කළ පරිදි ඔවුන් කටයුතු කළෝය, තවද ඔහු ඉදිරියට ගොස් තවද සීබස් ජලයේ අසබඩ සිටගෙන උන් පිරිසත් සමඟ සටන් වැදීමට සිටගත්තේය; තවද ඔවුන් ගණනින් සුළු පිරිසක් නොවීය.

35 එසේහෙයින් ඔවුන් ඇමන්ට බිය නොවීය, මක්නිසාද ඔවුන්ගෙන් එක් අයෙකුට වුවද තම රුචියට අනුව ඔහුව මරා දමන්නට පුළුවන් ඇතැයි ඔවුන් විශ්වාස කළෝය, මක්නිසාද ඔවුන් ස්වාමීන්වහන්සේ මොසායා හට ඔහුගේ පුත්‍රයින් ඔවුන්ගේ අතින් ගලවාගන්නා බවට පොරොන්දු වී ඇති බව නොදැන සිටියෝය; එමෙන්ම ඔවුන් ස්වාමීන්වහන්සේ පිළබඳව කිසිවක් නොදැන සිටියෝය; එසේහෙයින් ඔවුන්ගේ සහෝදරයන්ගේ විනාශයෙහි ඔවුන් ප්‍රීතිමත් වූවෝය; තවද මෙම කාරණය නිසාවෙන් රජුගේ සතුන් රැළවල් විසුරුවාලීමට ඔවුන් සිටගත්තෝය.

36 එහෙත් ඇමන් නැගී සිට ඔවුන්ට ඔහුගේ ගල් පටියෙන් ගල් එල්ල කරන්නට පටන් ගත්තේය; එසේය, මහත් බලයෙන් ඔහු ඔවුන් අතර ගල් පහර එල්ල කළේය; තවද එසේම ඔහු ඔවුන්ගෙන් යම් ගණනක් මරා දැමුවේය කොපමණක් ද කිවහොත් ඔවුන් ඔහුගේ බලය නිසා විශ්මයට පත් වූවෝය; එසේනමුත් ඔවුන් තම සහෝදරයින් මරා දැමූ නිසාවෙන් කෝප වූවෝය, තවද ඔහු ඇදවැටෙන්නට අදිටන් කරගත්තෝය; එසේහයින්, ඔවුන්ගේ ගල් වලින් ඔහුට පහරදෙන්නට නොහැකි බව දැක, ඔවුන් මුගුරු සමඟ ඇවිත් ඔහුව මරන්නට ඉදිරියට පැමිණියෝය.

37 එහෙත් බලව, ඇමන්ට පහර දෙන්නට මුගුර එසවූ සෑම මනුෂ්‍යයෙකුම, ඔහුගේ කඩුවෙන් ඔහු ඔවුන්ගේ අත් පහර දී කපා දැම්මේය; එසේ ඔහු ඔවුන්ගේ පහර වලට මුහුණ දුන්නේ තම කඩුවේ තලයෙන් ඔවුන්ගේ අත් කපා දැමීමෙනි, කොපමණක්ද කිවහොත් ඔවුන් පුදුම වන්නට පටන් ගත්තෝය, තවද ඔහුගෙන් පළා යන්නට පටන් ගත්තෝය; එසේය, ඔවුන් ගණනින් සුළු නොවීය; තවද ඔහු තම අතේ ශක්තියෙන් ඔවුන්ව පළා යන්නට හේතු වුණේය.

38 දැන් ගල්පටිය අසළ ඔවුන්ගෙන් සයදෙනෙකු වැටී තිබුනේය, එහෙත් ඔහුගේ කඩුවෙන් ඔවුන්ගේ නායකයා හැර අන් කිසිවෙකු මරා දැමුවේ නැත; තවද ඔහු තමන්ට එරෙහිව ඔසවන ලද අත්වලින් හැකි පමණක් කපා දැමුවේය, තවද ඒවා සංඛ්‍යාවෙන් සුළු ගණනක් නොවීය.

39 තවද ඔහු ඔවුන් ව ඈතට පළවා හැරූ පසුව, ඔහු නැවත පැමිණියේය තවද ඔවුන් තම සතුන් රැළවල්වලට වතුර පොවා තවද රජුගේ තණ බිම්වලට නැවත රැගෙන නිදහස් කළෝය, තවද ඉන්පසුව ඔවුන් රජුන් බැහැදැකීමට ගියෝය, එනම් ඒ ඇමන් ගේ කඩුවෙන් කපා දැමූ, ඔවුන්ව මරන්නට තැත් කළ පිරිසගේ අත් සමඟය; තවද ඒවා රැගෙන ගියේ ඔවුන් කළ දේ පිළිබඳව රජුන් හට සාක්ෂියක් වනු උදෙසාය.