ශුද්ධලියවිලි
ඇල්මා 37


37 වන පරිච්ඡේදය

ප්‍රාණයන් ගැලවීම සඳහා ගෙන ඒමට පිත්තල සහ වෙනත් ශුද්ධ ලියවිලි තහඩු සංරක්ෂණය කර ඇත්තේය – ජෙරඩයිට්වරුන් ඔවුන්ගේ දුෂ්ටකම නිසා විනාශ වෙයි – ඔවුන්ගේ රහසිගත දිවුරුම් සහ ගිවිසුම් ජනතාවගෙන් ඈත්ව තබා ගත යුතුය – නුඹගේ සියලු කටයුතුවලදී ස්වාමීන්වහන්සේ සමඟ උපදෙස් ලබා ගන්න – ලියහෝනාව නීෆායිවරුන්ව මඟ පෙන්වූ පරිදි, එසේම ක්‍රිස්තුස්වහන්සේගේ වචනය මනුෂ්‍යයන්ව සදාකාල ජීවනයට ගෙන යන්නේය. ක්‍රි.පූ. 74 පමණ.

1 තවද දැන්, මගේ පුත්‍ර හීලමන්, මට භාර දී ඇති වාර්තා නුඹ රැගෙන යා යුතු ලෙස මම නුඹට අණ කරමි.

2 තවද මා කළාක් මෙන්, මේ ජනතාව පිළිබඳව වාර්තාවක්, නීෆායිගේ තහඩු මත, තබා ගන්නා ලෙස මම නුඹට අණ කරමි, තවද මා විසින් රකිනු ලැබූ මේ සියල්ල, මා රක්ෂා කළාක් මෙන්, පරිශුද්ධ ලෙස තබාගන්න; මක්නිසාදයත්, ඒවා ඥානවන්ත වූ අරමුණක් සඳහා තබා ඇත්තේය.

3 තවද මෙම කැටයම් අඩංගු, මෙම පිත්තල තහඩු, ඒවා මත ශුද්ධ ලියවිල්ලේ වාර්තා ඇත්තේය, පටන්ගැන්මේ සිට පවා, අපගේ මුතුන්මිත්තන්ගේ පෙළපත් ඇත්තේය –

4 බලව, එනම් ඒවා රක්ෂා කර පරම්පරාවෙන් තවත් පරම්පරාවකට පැවරිය යුතු බවත්, තවද ඒවා සෑම ජාතියකටම, ඥාතීන්ට, භාෂාවන්ට සහ ජනතාවන් වෙතට යන තුරු, එහි අඩංගු අබිරහස් ගැන ඔවුන් දැන ගන්නා තෙක්, ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් රක්ෂා කර ආරක්ෂා කරනු ලැබිය යුතු බවත්, අපගේ පියවරුන් විසින් අනාවැකි පවසා ඇත්තේය.

5 තවද දැන් බලව, ඒවා රක්ෂා කර ඇත්නම්, ඒවායේ දීප්තිය රඳවාගත යුත්තේය; එසේය, තවද ඒවා ඒවායේ දීප්තිය රඳවා ගනු ඇත්තේය; එසේය, තවද එසේම ශුද්ධ ලියවිල්ල අඩංගු සියලු තහඩු ද එසේ විය යුතුය.

6 දැන් මෙය මා තුළ ඇති අනුවණකම නිසා කියා නුඹ සිතන්නේය; එහෙත් බලව, මම නුඹට කියමි, එනම් කුඩා සහ සරල දේවලින් මහත් දේ ඉදිරියට ගෙන එන්නේය; තවද කුඩා දේවල් බොහෝ අවස්ථාවලදී ප්‍රඥාවන්තයින් ව්‍යාකූල කරන්නේය.

7 තවද දෙවියන් වූ ස්වාමීන්වහන්සේ තමන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ සහ සදාකාලික අරමුණු ඉටු කිරීමට ක්‍රියා කරන සේක; තවද ඉතා කුඩා ක්‍රමයන් මඟින් ස්වාමීන්වහන්සේ ප්‍රඥාවන්තයින් ව්‍යාකූල කර බොහෝ ආත්මවල ගැලවීම ගෙන දෙන සේක.

8 තවද දැන්, මේ දේවල් මෙතෙක් ආරක්ෂා කළ යුතු බව දෙවියන්වහන්සේ තුළ වූ ප්‍රඥාව විය; මක්නිසාද බලව, ඒවා මේ ජනතාවගේ මතකය විශාල කර ඇත්තේය, එසේය, ඔවුන්ගේ මාර්ගවල බොහෝ වැරදි ඒත්තු ගැන්වූ අතර, තවද ඔවුන්ගේ ආත්මයේ ගැලවීම සඳහා ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ දැනුමට ඔවුන්ව ගෙන ආවේය.

9 එසේය, මම නුඹට කියමි, මෙම තහඩු මත වූ, මේ වාර්තාවල අඩංගු, මේ දේවල් නොතිබුනේ නම්, ඇමන් සහ ඔහුගේ සහෝදරයන්ට, ඔවුන්ගේ පියවරුන්ගේ වැරදි සම්ප්‍රදායන් පිළිබඳව, මෙතරම් දහස් ගණනක් ලේමන්වරුන්ව ඒත්තු ගැන්වීමට නොහැකි වනු ඇත්තේය; එසේය, මෙම වාර්තා සහ ඔවුන්ගේ වචන ඔවුන්ව පසුතැවිල්ලට ගෙන ආවේය; එනම්, ඔවුන් ඔවුන්ගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේ පිළිබඳ දැනුමට ඔවුන් ගෙනැවිත්, තවද ඔවුන්ගේ මිදුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීති වීමට සැලැස්වූවෝය.

10 තවද ඔවුන්ගෙන් දහස් ගණනක්ද, එසේය, තවද දැන් ඔවුන්ගේ මිදුම්කරුවාණන්ගේ දැනුවත්භාවයට, පාපයෙන් හා අයුතුකම්වලින් ඔවුන්ගේ හදවත් දැඩි කර ගනිමින් සිටින්නාවූ, එසේම අපගේ උඩඟු වූ සහෝදරයන් දහස් ගණනක් වන නීෆායිවරුන්ද ද, ගෙන ඒමට ඒවා උපායක් වනු ඇතැයි කවුරුන් දන්නේද?

11 දැන් මෙම අභිරහස් මට තවම සම්පූර්ණයෙන් දන්වා නැත්තේය; එසේහෙයින් මම ඉවසමි.

12 තවද ඒවා දෙවියන්වහන්සේ දන්නා ප්‍රඥාවන්ත අරමුණක් සඳහා සංරක්ෂණය කර ඇති බව මා පැවසීම, එය ප්‍රමාණවත් විය හැක්කේය; මක්නිසාද උන්වහන්සේ තමන්වහන්සේගේ සියලු ක්‍රියාවන් කෙරෙහි ප්‍රඥාවෙන් උපදෙස් දෙන සේක, තවද උන්වහන්සේගේ මාර්ග සෘජුය, තවද උන්වහන්සේගේ ගමන් මාර්ගය සදාකාලික චක්‍රයක් වන සේක.

13 අහෝ මාගේ පුත් හීලමන්, සිහිකරන්න, සිහිකරන්න, දෙවියන්වහන්සේගේ අණපනත් කොතරම් දැඩි වන්නේද. තවද උන්වහන්සේ පවසන සේක: නුඹලා මාගේ අණ පිළිපදින්නේ නම්, නුඹලා දේශයෙහි සමෘද්ධිමත් වනු ඇත්තේය – එහෙත් නුඹලා උන්වහන්සේගේ අණ නොපිළිපදින්නේ නම්, නුඹලා උන්වහන්සේගේ අභිමුඛයෙන් කපාදමා හරිනු ලබන්නේය.

14 තවද දැන්, මාගේ පුත්‍රය, එනම් දෙවියන්වහන්සේ නුඹට මේ දේවල් භාර දී ඇති බවත්, ඒවා ශුද්ධ වූ බවත්, උන්වහන්සේ ශුද්ධ ලෙස තබා ඇති බවත්, තවද, එසේම අනාගත පරම්පරාවන්ට තමන්වහන්සේගේ බලය පෙන්වීමට, උන්වහන්සේ තුළ වූ ප්‍රඥාවන්ත අරමුණක් සඳහා එය තබාගෙන අරක්ෂා කරනු ඇති බවත් සිහියේ තබා ගන්න.

15 තවද දැන් බලව, අනාවැකියේ ආත්මයෙන් මම නුඹට කියමි, එනම් නුඹ දෙවියන්වහන්සේගේ අණපනත් කඩ කළහොත්, බලව, දෙවියන්වහන්සේගේ බලයෙන් මේ ශුද්ධ වූ දේවල් නුඹගෙන් ඉවත් කරනු ලබන්නේය, තවද සුළඟ ඉදිරියෙහි දහයියා මෙන් නුඹව පෙරීමට, එනම් සාතන්ට භාර දෙනු ලබන්නේය.

16 එහෙත් නුඹ දෙවියන්වහන්සේගේ අණපනත් පිළිපදින්නේ නම්, ස්වාමීන්වහන්සේ නුඹට අණ කරන පරිදි මෙම ශුද්ධ දේවල් කරන්නේ නම්, (මක්නිසාද නුඹ ඒවා සමඟ කළ යුතු සියල්ල සඳහා ස්වාමීන්වහන්සේට අයැදිය යුතුය) බලව, පොළොවේ හෝ නිරයේ කිසිම බලයකට ඒවා නුඹගෙන් උදුරා ගත නොහැකි වන්නේය, මක්නිසාද දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සියලු වචන ඉටු කිරීමට තරම් බලවත් වන සේක.

17 මක්නිසාද උන්වහන්සේ නුඹට දෙන උන්වහන්සේගේ සියලු පොරොන්දු උන්වහන්සේ ඉටු කරන සේක, මක්නිසාද උන්වහන්සේ අපගේ පියවරුන්ට දුන් උන්වහන්සේගේ පොරොන්දු උන්වහන්සේ ඉටු කළ සේක.

18 මක්නිසාද උන්වහන්සේ තමන්වහන්සේගේ බලය අනාගත පරම්පරාවන්ට පෙන්වන පිණිස, මේ දේවල් උන්වහන්සේ තුළ වූ ප්‍රඥාවන්ත අරමුණක් සඳහා උන්වහන්සේ ආරක්ෂා කරන බවට උන්වහන්සේ ඔවුන්ට පොරොන්දු වූ සේක.

19 තවද දැන් බලව, දහස් ගණනක් ලේමන්වරුන්ව සත්‍යය පිළිබඳ දැනුමට නැවත පිහිටුවීමට පවා, උන්වහන්සේ එක් අරමුණක් ඉටු කර ඇත්තේය; තවද උන්වහන්සේ ඔවුන් තුළ තමන්වහන්සේගේ බලය පෙන්වා ඇති සේක, තවද උන්වහන්සේ අනාගත පරම්පරාවන්ට ඔවුන් තුළ උන්වහන්සේගේ බලය තවමත් පෙන්වනු ඇති සේක; එසේහෙයින් ඒවා ආරක්ෂා කරනු ලබන්නේය.

20 එසේහෙයින් මාගේ පුත්‍, හීලමන්, එනම් මාගේ සියලු වචන ඉටු කිරීමට නුඹ කඩිසර වන ලෙසත්, එනම් දෙවියන්වහන්සේගේ අණපනත් ලියා ඇති පරිදි ඒවා පිළිපැදීමටත් නුඹ කඩිසර වන ලෙසත් මම නුඹට අණ කරමි.

21 තවද දැන්, එම තහඩු විසිහතර ගැන මම නුඹට කතා කරන්නෙමි, එනම් නුඹ ඒවා තබා ගත යුතු බවත්, එවිට අභිරහස් සහ අන්ධකාරයේ ක්‍රියාවන්, සහ ඒවායේ රහස් ක්‍රියාවන් ද, නැතහොත් විනාශ වූ එම ජනතාවගේ රහස් ක්‍රියාවන්ද, මෙම ජනතාවට ප්‍රකාශ වන පිණිසත් ය; එසේය, ඔවුන්ගේ සියලු මිනීමැරුම් ද, සොරකම් ද, කොල්ලකෑම් ද, ඔවුන්ගේ සියලු පැහැරගැනීම් සහ පිළිකුල්කම් මෙම ජනතාවට ප්‍රකාශ වනු ඇත්තේය; එසේය, තවද නුඹ මෙම පරිවර්තකයන් ආරක්ෂා කරන බවටත්ය.

22 මක්නිසාද බලව, උන්වහන්සේගේ ජනතාව අන්ධකාරයේ ක්‍රියා කිරීමට පටන් ගත් බවත්, එසේය, රහසිගත මිනීමැරුම් සහ පිළිකුල් ක්‍රියා කිරීමට පටන් ගත් බවත් ස්වාමීන්වහන්සේ දුටු සේක; එසේහෙයින් ස්වාමීන්වහන්සේ මෙසේ වදාළ සේක, ඔවුන් පසුතැවිලි නොවූයේ නම්, ඔවුන් පොළොව මතු පිටින් විනාශ කළ යුත්තේය.

23 තවද ස්වාමීන්වහන්සේ මෙසේ වදාළ සේක: මාගේ සේවකයා වන ගසෙලෙම්ට මම ගලක් සූදානම් කරන්නෙමි, එය අන්ධකාරයේ සිට ආලෝකය දක්වා බැබළෙනු ඇත්තේය, එනම් මට සේවය කරන මාගේ ජනතාවට මම හෙළි කරන පිණිසත්, ඔවුන්ගේ සහෝදරයන්ගේ ක්‍රියාවන්, එසේය, ඔවුන්ගේ රහස් ක්‍රියාවන්, ඔවුන්ගේ අන්ධකාරයේ ක්‍රියාවන්, සහ ඔවුන්ගේ දුෂ්ටකම සහ පිළිකුල් සහගත ක්‍රියා ඔවුන්ට හෙළි කරන පිණිසත්ය.

24 තවද දැන් මාගේ පුත්‍රය, මෙම පරිවර්තකයන් සූදානම් කරනු ලැබුවේ එනම් දෙවියන්වහන්සේගේ වචනය පුර්ණ වන පිණිසය. එය උන්වහන්සේ පවසමින්, මෙසේ කී සේක:

25 මම ඔවුන්ගේ සියලු පිළිකුල් සහගත සහ රහසිගත ක්‍රියාවන් අන්ධකාරයෙන් පිටතට ආලෝකය වෙතට ගෙන එන්නෙමි; තවද ඔවුන් පසුතැවිලි වුවහොත් මිස, මම ඔවුන් පොළොව මතින් විනාශ කරන්නෙමි; තවද මින්පසු දේශය හිමිකර ගන්නා සෑම ජාතියක් වෙතට, මම ඔවුන්ගේ සියලු රහස් සහ පිළිකුල්කම් හෙළි කරන්නෙමි.

26 තවද දැන්, මාගේ පුත්‍රය, එනම් ඔවුන් පසුතැවිලි නොවූ බව අපට පෙනෙන්නේය; එසේහෙයින් ඔවුන් විනාශ වූ අතර, තවද මෙපමණ කාලයක් දෙවියන්වහන්සේගේ වචනය සම්පුර්ණ වී ඇත්තේය; එසේය, ඔවුන්ගේ රහසිගත පිළිකුල්කම් අන්ධකාරයෙන් පිටතට ගෙනැවිත් තවද අප හට පෙන්වා ඇත්තේය.

27 තවද දැන් මාගේ පුත්‍රය, එනම් ඔවුන්ගේ සියලු දිවුරුම්ද, ඔවුන්ගේ ගිවිසුම්ද, සහ ඔවුන්ගේ රහසිගත පිළිකුල්කම්හි එකඟතාවයන්ගෙන් නුඹව නවත්වා ගැනීමට මම නුඹට අණ කරන්නෙමි; එසේය, මෙම ජනතාව අන්ධකාරයට එසේම වැටී තවද විනාශ නොවන පිණිස, එනම් ඔවුන් ඒවා දැන නොගැනීමට, තවද ඔවුන්ගේ සියලු සළකුණු සහ ඔවුන්ගේ ආශ්චර්යයන් නුඹ ඔවුන් කෙරෙන් වසන් කළ යුතු වන්නේය.

28 මක්නිසාද බලව, මේ මුළු දේශය මත ශාපයක් තිබෙන්නේය, දෙවියන්වහන්සේගේ බලයට අනුව, එනම් අන්ධකාරයේ ක්‍රියාවන් කරන්නාවූ සියලු දෙනා මතට, ඒවා සම්පූර්ණයෙන්ම මේරු විට විනාශය පැමිණෙනු ඇත්තේය; එසේහෙයින් මෙම ජනතාව විනාශ නොවීමට මම ආශා වන්නෙමි.

29 එසේහෙයින් නුඹලා ඔවුන්ගේ දිවුරුම් පිළිබඳ මෙම රහසිගත සැලසුම් සහ ඔවුන්ගේ ගිවිසුම් මෙම ජනතාව කෙරෙන් වලක්වා ගත යුතු අතර, තවද ඔවුන්ගේ දුෂ්ඨකම්ද, ඔවුන්ගේ මිනීමැරුම් සහ ඔවුන්ගේ පිළිකුල්කම් පමණක් නුඹලා ඔවුන්ට දැන ගැනීමට සැලැස්විය යුතුය; තවද එවැනි දුෂ්ඨකම්ද, පිළිකුල්කම් සහ මිනීමැරුම් අප්‍රිය කිරීමට නුඹලා ඔවුන්ට උගන්වනු ඇත; තවද මෙම ජනතාව ඔවුන්ගේ දුෂ්ඨකම්ද, පිළිකුල්කම් සහ ඔවුන්ගේ මිනීමැරුම් නිසාවෙන් විනාශ වූ බව නුඹලා එසේම ඔවුන්ට උගන්වනු ඇත.

30 මක්නිසාද බලව, ඔවුන්ගේ අයුතුකම් පිළිබඳ ප්‍රකාශ කිරීමට ඔවුන් අතරට පැමිණියාවූ ස්වාමීන්වහන්සේගේ සියලු අනාගතවක්තෘවරුන් ඔවුන් මරා දැමුවෝය; තවද ඔවුන් විසින් මරණයට පත් කරනු ලැබුවාවූ අයගේ ලේ ඔවුන්ගේ මිනීමරුවන් කෙරෙහි පළිගැනීම සඳහා ස්වාමීන් වූ ඔවුන්ගේ දෙවියන්වහන්සේ වෙත මොරගැසුවෝය; තවද මෙසේ දෙවියන්වහන්සේගේ විනිශ්චයන් මෙම අන්ධකාරයේ සහ රහස්‍ය කල්ලි ක්‍රියාකරුවන් මත පැමිණියේය.

31 එසේය, තවද අන්ධකාරයේ සහ රහස්‍ය කල්ලි ක්‍රියාකරුවන් හට, ඒවා සම්පූර්ණයෙන් මේරිමට පෙර ඔවුන් පසුතැවිලි නොවන්නේ නම්, විනාශය වෙතට පවා, දේශය සදාකලයෙන් සදාකාලයටම ශාපලත් වන්නේය.

32 තවද දැන්, මාගේ පුත්‍රය, මා නුඹට කථා කළාවූ වචන සිහි කරන්න; මෙම ජනතාව කෙරෙහි එම රහස්‍ය සැලසුම් විශ්වාස නොකරන්න, එහෙත් පාපයට සහ අයුතුකම්වලට එරෙහිව සදාකාලික වෛරයක් ඔවුන් හට උගන්වන්න.

33 ඔවුන් හට පසුතැවිලි වීම සහ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල දේශනා කරන්න; නිහතමානී වීමටද, හදවතින් බැහැපත්වීමට සහ යටහත් වීමටත් ඔවුන්ට උගන්වන්න; ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල ඇතිව, යක්ෂයාගේ සියලු පරීක්ෂාවකටම විරුද්ධ සිටීමට ඔවුන්ට උගන්වන්න.

34 යහපත් ක්‍රියාවලින් කිසිවිටෙක වෙහෙසට පත් නොවීමට, එහෙත් බැහැපත්වීමට සහ යටහත්පහත් වීමටත් ඔවුන්ට උගන්වන්න; මක්නිසාද එවැන්නෝ ඔවුන්ගේ ප්‍රාණයන්හි විශ්‍රාමය සොයා ගනු ලබන්නෝය.

35 අහෝ, මාගේ පුත්‍රය, සිහියේ තබා ගන්න, තවද නුඹගේ තරුණ වියේදී ප්‍රඥාව ඉගෙන ගන්න; එසේය, දෙවියන්වහන්සේගේ අණ පනත් පිළිපැදීමට නුඹගේ තරුණ වියේදී ඉගෙන ගන්න.

36 එසේය, තවද නුඹගේ සියලු උපකාරයන් සඳහා දෙවියන්වහන්සේ වෙත මොරගසන්න; එසේය, නුඹගේ සියලු ක්‍රියාවන් ස්වාමීන්වහන්සේ වෙත කරන්න, තවද නුඹ කොතැනක ගියද එය ස්වාමීන්වහන්සේ තුළ වේවා; එසේය, නුඹගේ සියලු සිතුවිලි ස්වාමීන්වහන්සේ වෙතට යොමු කරන්න; එසේය, නුඹගේ හදවතෙගි සෙනෙහස සදාකාලයටම ස්වාමීන්වහන්සේ කෙරෙහි තබන්න.

37 නුඹගේ සියලු ක්‍රියාවලදී ස්වාමීන්වහන්සේ සමඟ උපදේශයන් ගන්න, තවද උන්වහන්සේ නුඹට යහපත සඳහා මඟ පෙන්වන සේක. එසේය, නුඹ රාත්‍රියේදී නින්දට යන විට ස්වාමීන්වහන්සේ වෙතට වැතිරෙන්න, එනම් උන්වහන්සේ නුඹව නුඹගේ නින්දේදී රැක බලාගන්නේය; තවද නුඹ උදෑසන නැඟිටින්නාවූ විට නුඹගේ හදවත දෙවියන්වහන්සේ කෙරෙහි ස්තුතියෙන් පුර්ණවන්න; තවද නුඹ මෙම දේවල් කරන්නෙහු නම්, අන්තිම දවසේදී නුඹව ඔසවනු ලබන්නෙහුය.

38 තවද දැන්, මාගේ පුත්‍රය, අපගේ පියවරුන් බෝලයක්, නැතහොත් මගපෙන්වන්නා ලෙස හඳුන්වනු ලැබු දෙය සම්බන්ධයෙන් මා හට යමක් කීමට ඇත්තේය – නැතහොත් අපගේ පියවරුන් විසින් ලියහෝනාව ලෙස හැඳින්වූ, එනම්, එය පරිවර්ථනය කරනු ලැබුවිට මාලිමාව නම් වේ; තවද ස්වාමීන්වහන්සේ එය සුදානම් කරනු ලැබුවේය.

39 තවද බලන්න, එහි කිසි මනුෂ්‍යයෙකුට එවැනි ඉතා සියුම් ආකාරයේ කුසලතාවයකින් වැඩ කිරීමට නොහැකිය. තවද බලන්න, අපගේ පියවරුන් වෙත වනාන්තරයේ ඔවුන් ගමන් කළ යුතු මාර්ගය පෙන්වීමට එය සූදානම් කර තිබුණේය.

40 තවද එය ඔවුන්ට දෙවියන්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ලට අනුව එය ක්‍රියාත්මක විය; එසේහෙයින්, එනම් එම කූරු ඔවුන් යා යුතු මාර්ගය පෙන්වා දීමට දෙවියන්වහන්සේට හැකි බව විශ්වාස කිරීමට ඔවුන්ට ඇදහිල්ලක් තිබුනේ නම්, බලව, එය සිදු විය; එසේහෙයින් දිනෙන් දින, දෙවියන්වහන්සේගේ බලය මඟින් සිදු කරන ලද මෙම හාස්කම, සහ එසේම තවත් බොහෝ හාස්කම්ද ඔවුන් සතු විය.

41 එසේනමුත්, එම හාස්කම් කුඩා ආකාරයෙන් ක්‍රියා කළ බැවින්, එය ඔවුන් හට විශිෂ්ඨ ක්‍රියාවන් පෙන්වූයේය. ඔවුන් අලස වූවෝය, තවද ඔවුන්ගේ ඇදහිල්ල සහ උද්‍යෝගය ක්‍රියාත්මක කිරීමට අමතක වූ අතර, තවද එවිට එම විශිෂ්ඨ ක්‍රියාවන් නතර විය, තවද ඔවුන්ට ඔවුන්ගේ ගමනෙහි ප්‍රගතියක් නොලැබුණෝය.

42 එසේහෙයින්, ඔවුන් වනාන්තරයෙහි නැවතී සිටියෝය, නැතහොත් කෙළින් මාර්ගයෙහි ගමන් නොගත්තෝය, තවද ඔවුන්ගේ පාපයන් නිසාවෙන් කුසගින්නෙන් සහ පිපාසයෙන් පීඩා වින්දේය.

43 තවද දැන්, මාගේ පුත්‍රය, එනම් මෙම දේවල් සෙවනැල්ලක් තොරව බවට නුඹලා තේරුම් ගන්නවාට මම කැමැත්තෙමි; මක්නිසාද අපගේ පියවරුන් මෙම මාලිමාවට සවන් දීමට අලස වූ බැවින් (දැන් මෙම දේවල් තාවකාලික විය) ඔවුන් සමෘද්ධිමත් නොවූවෝය; අධ්‍යාත්මික දේවල් සම්බන්ධයෙන් ද එසේම වන්නේය.

44 මක්නිසාද බලව, ක්‍රිස්තුස්වහන්සේගේ වචනයට ඇහුකම්දීම පහසු වන්නාවූ අතර, එය නුඹට සදාකාලික ප්‍රීතිය සඳහා සෘජු මාර්ගයක් පෙන්වා දෙන්නේය, අපගේ පියවරුන් මෙම මාලිමාවට සවන් දුන්නාක් මෙන්, එය ඔවුන්ට පොරොන්දු වූ දේශය කරා ඍජු මාර්ගයක් පෙන්වා දෙන්නේය.

45 තවද දැන් මම කියන්නෙමි, එහි මෙම දේවල් නිරුපණය නොවන්නෙහිද? මක්නිසාද මෙම මඟපෙන්වන්නා අපගේ පියවරුන්ව සත්‍යයයෙන් එහි ගමන් මඟ අනුගමනය කරමින්, පොරොන්දු දේශයට ගෙන ආ සේම, ක්‍රිස්තුස්වහන්සේගේ වචනය ද එසේ කරන සේක, අප ඔවුන්ගේ මාර්ගය අනුගමනය කරන්නේනම්, මෙම වේදනාකාරී මිටියාවතෙන් ඔබ්බට වඩාත් හොඳ පොරොන්දු දේශයක් තුළට අපව රැගෙන යන්නේය.

46 අහෝ මාගේ පුත්‍රය, මාර්ගයෙහි තිබෙන්නාවූ පහසු බව නිසාවෙන් අපට අලස වීමට ඉඩ නොදෙන්න; මක්නිසාද අපගේ පියවරුන් සමඟද එසේම විය; මක්නිසාද එනම් ඔවුන් බලන්නේ නම් ඔවුන් ජීවත් වන පිණිස, එය ඔවුන් හට සූදානම් කර තිබුණෝය; එය අප සමඟත් එසේමය. මාර්ගය සකස් කර ඇත්තේය, තවද අප බලන්නේ නම් අප සදහටම ජීවත් වන්නෙමු.

47 තවද දැන්, මාගේ පුත්‍රය, එනම් මෙම පූජනීය දේවල් රැකගැනීමට නුඹ වග බලාගන්න, එසේය, එනම් නුඹ දෙවියන්වහන්සේ දෙස බලා ජීවත් වන්න. මෙම ජනතාව වෙතට ගොස් වචනය ප්‍රකාශ කරන්න, තවද සන්සුන් වන්න. මාගේ පුත්‍රය, සමුගන්නෙමි.