ශුද්ධලියවිලි
ඇල්මා 39


ඇල්මාගේ අණ පනත් ඔහුගේ පුත් කොරියැන්ටන්ට.

පරිච්ඡේද 39 සිට 42 දක්වා සමන්විත වේ

39 වන පරිච්ඡේදය

ලිංගික පාපය පිළිකුල් සහගත දෙයකි – කොරියැන්ටන්ගේ පාපයන් සෝරම්වරුන්ට වචනය ලැබීම වළක්වයි – ක්‍රිස්තුස්වහන්සේගේ මිදීම ඊට පෙර ගමන් කළ ඇදහිලිවන්තයන් ගැලවීමට පූර්වයෙන් ක්‍රියාකාරීව තිබෙන්නේය. ක්‍රි.පූ. 74 පමණ.

1 තවද දැන් මාගේ පුත්‍රය, මා නුඹගේ සහෝදරයාට කී දේට වඩා මට නුඹට කියන්නට තව ටිකක් තිබෙන්නේය; මක්නිසාද බලව, නුඹගේ සහෝදරයාගේ ස්ථාවරත්වය, ඔහුගේ විශ්වාසවන්තකම සහ දෙවියන්වහන්සේගේ අණ පනත් පිළිපැදීමට ඔහු දක්වන උනන්දුව නුඹ නිරීක්ෂණය නොකළෙහිද? බලව, ඔහු නුඹට හොඳ ආදර්ශයක් දුන්නේ නැද්ද?

2 මක්නිසාද සෝරම්වරුන්ගේ ජනතාව අතර නුඹ මාගේ වචනවලට නුඹගේ සහෝදරයා මෙන් එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත. දැන් නුඹට විරුද්ධ ව මා හට ඇති දෙය මෙය වේ; නුඹ නුඹගේ ශක්තිය සහ ප්‍රඥාව පිළිබඳව ආත්ම වර්ණනා කරගත්තේය.

3 තවද මේ සියල්ල නොවේ, මාගේ පුත්‍රය. නුඹ මට දුක්ඛිත දේ කළෙහිය; මක්නිසාද නුඹ මෙහෙවර අත්හැර, තවද ඉසබෙල් නම් වේශ්‍යාව පසුපස ලේමන්වරුන්ගේ දේශසීමා අතරේ සිරොන් දේශයට ගියේය.

4 එසේය, ඇය බොහෝදෙනෙකුගේ සිත් පැහැර ගත්තාය, නමුත් මාගේ පුත්‍රය, මෙය නුඹට නිදහසට කරුණක් නොවේ, මාගේ පුත්‍රය. නුඹට භාර වූ මෙහෙවරට නුඹ නැඹුරු විය යුතුව තිබුණි.

5 මාගේ පුත්‍රය, එනම් මේ දේවල් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිකුල් බව නුඹ නොදන්නෙහිද. එසේය, අහිංසක රුධිරය වැගිරවීම නැතහොත් ශුද්ධාත්මයාණන්ව ප්‍රතික්ෂේප කිරීම හැර අනෙකුත් සියලුම පාපයන්ට වඩා බොහෝ පිළිකුල්ය.

6 මක්නිසාද බලව, වරක් නුඹ තුළ ශුද්ධාත්මයාණන් වහන්සේ ස්ථානගත වූ විට නුඹ එය ප්‍රතික්ෂේප කළහොත්, සහ නුඹ එය ප්‍රතික්ෂේප කරන බව නුඹ දන්නවා නම්, බලව, මෙය සමාව දිය නොහැකි පාපයකි; එසේය, දෙවියන්වහන්සේගේ ආලෝකයට සහ දැනුමට විරුද්ධව යමෙක් මිනීමැරුවද, ඔහුට සමාව ලබාගැනීම පහසු නැත; එසේය, මම නුඹට කියමි, මාගේ පුත්‍රය, ඔහුට සමාව ලබා ගැනීම පහසු නැත.

7 තවද දැන් මාගේ පුත්‍රය, නුඹ මෙතරම් විශාල අපරාධයකට වරදකරු නොවූ බව මම දෙවියන්වහන්සේට කන්නලව් කරමි. නුඹගේ යහපත සඳහා නොවේ නම්, නුඹගේ ආත්මය රිදවීමට, නුඹගේ අපරාධ ගැන සිතීමට මම අකමැති වෙමි.

8 නමුත් බලව, නුඹට නුඹගේ අපරාධ දෙවියන්වහන්සේගෙන් සැඟවිය නොහැක; තවද නුඹ පසුතැවිලි නොවන්නේ නම්, ඒවා අන්තිම දවසේදී නුඹට විරුද්ධව සාක්ෂියක් ලෙස පෙනී සිටිනු ඇත.

9 දැන් මාගේ පුත්‍රය, නුඹ පසුතැවිලි වී නුඹගේ පාපයන් අත්හැර, නුඹගේ ඇස්වල ආශාවන් පසුපස නොගොස්, මේ සියල්ලෙහිම නුඹවම කපා හරිනවා නම් මම කැමැත්තෙමි; මක්නිසාද නුඹලා එසේ නොකළහොත් නුඹලාට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගත නොහැක. අහෝ, සිහියේ තබා ගන්න, තවද එය නුඹ මතට ගෙන, තවද මේ දේවල් වලින් නුඹවම කපා හරින්න.

10 තවද, නුඹගේ වැඩ වලදී නුඹගේ වැඩිමහල් සහෝදරයන් ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස මම නුඹට අණ කරමි; මක්නිසාද බලව, නුඹ නුඹගේ තරුණ වියේ සිටින්නේය, තවද නුඹ නුඹගේ සහෝදරයන්ගෙන් පෝෂණය ලැබීමට අවශ්‍යව සිටින්නේය. තවද ඔවුන්ගේ උපදෙස්වලට සවන් දෙන්න.

11 කිසිම නිෂ්ඵල හෝ අඥාන දෙයකින් නුඹව ඉවත් කිරීමට දුක් නොවන්න; ඒ දුෂ්ට වේශ්‍යාවන් පසුපස යළි යළිත් නුඹගේ සිත ගෙන යාමට යක්ෂයාට ඉඩ නොදෙන්න. බලව, අහෝ මාගේ පුත්‍රය, නුඹ සෝරම්වරුන් මතට මොනතරම් විශාල අපරාධයක් ගෙනාවේ ද; මක්නිසාද, ඔවුන් නුඹගේ හැසිරීම දුටු විට, ඔවුන් මාගේ වචන විශ්වාස නොකළෝය.

12 තවද දැන් ස්වාමීන්වහන්සේගේ ආත්මය මට පවසන සේක: නුඹගේ දරුවන්ට යහපත කරන ලෙස අණ කරන්න, එසේ නොවේනම් ඔවුන් බොහෝ මනුෂ්‍යයින්ගේ හදවත් විනාශයට ගෙන එනු ලබන්නෝය; එසේහෙයින් මාගේ පුත්‍රය, එනම් දෙවියන්වහන්සේ කෙරෙහි බිය ඇතිව නුඹගේ අපරාදවලින් වැළකී සිටින ලෙස මම නුඹට අණ කරමි.

13 එනම් නුඹ නුඹගේ මුළු මනසින්, බලයෙන් සහ ශක්තියෙන් ස්වාමීන්වහන්සේ වෙත හැරෙන පිණිස ය; එනම්, නුඹ තවදුරටත් දුෂ්ටකම් කිරීමට හදවත් යොමු නොකරන පිණිසය; එහෙත් ඔවුන් වෙත ආපසු ගොස්, තවද නුඹලාගේ වැරදි සහ නුඹලා කළ නොමනා දේ පිළිගන්න.

14 මේ ලෝකයේ ධනය හෝ නිෂ්ඵල දේ සොයා නොයන්න; මක්නිසාද බලව නුඹට ඒවා නුඹ සමඟ රැගෙන යා නොහැක.

15 දැන්, මාගේ පුත්‍රය, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම ගැන මම නුඹට යම් ප්‍රමාණයක් කියන්නෙමි. බලව, මම නුඹට කියමි, සැබැවින්ම ලෝකයේ පාපයන් දුරු කිරීමට පැමිණෙන්නේ ඒ උන්වහන්සේ ය; එසේය, උන්වහන්සේ උන්වහන්සේගේ ජනතාවට ගැලවීම පිළිබඳ යහපත් ආරංචි ප්‍රකාශ කිරීමට පැමිණෙන සේක.

16 තවද දැන්, මාගේ පුත්‍රය, නුඹලාව කැඳවනු ලැබුවාවූු මෙහෙය මෙයයි. මෙම ජනතාව වෙතට මෙම යහපත් අරංචිය ප්‍රකාශ කිරීමටය, ඔවුන්ගේ සිත් සුදානම් කිරීමට ය; එසේත් නැතිනම් ගැලවීම ඔවුන් වෙත පැමිණෙන පිණිස, උන්වහන්සේ පැමිණෙන අවස්ථාවේදී වචනය ඇසීමට ඔවුන්ගේ දරුවන්ගේ මනස සූදානම් කරනු පිණිසය.

17 දැන් මම මෙම විෂය පිළිබඳව නුඹගේ මනස තරමක් ලිහිල් කරමි. බලව, මේ දේවල් බොහෝ කලකට පෙර දැනගත යුත්තේ මන්දැයි නුඹ පුදුමවන්නේය. බලව, මම නුඹට කියමි, උන්වහන්සේගේ පැමිණීමේ කාලයෙහි ප්‍රාණයක් මෙන් මේ කාලයේ ප්‍රාණයක් දෙවියන්වහන්සේට අනර්ඝ නොවේද?

18 මිදීමේ සැලැස්ම මේ ජනතාවට මෙන්ම ඔවුන්ගේ දරුවන්ටද දැනගැනීම එය අවශ්‍ය නොවේද?

19 අපට මෙන්ම අපගේ දරුවන්ට මෙම යහපත් ආරංචිය ප්‍රකාශ කිරීමට මේ අවස්ථාවේ දී, හෝ උන්වහන්සේගේ පැමිණීමේ කාලයෙන් පසුව මෙන් අපට මේ මිදීමේ සැලැස්ම ප්‍රකාශ කිරීමට ස්වාමීන්වහන්සේ ස්වකීය දේවදූතයා එවීම පහසු නොවන්නේ ද?