ශුද්ධලියවිලි
ඇල්මා 38


ඇල්මා ඔහුගේ පුත්‍රයා වූ ශිබ්ලොන්ට දුන් අණපනත්.

38 වන පරිච්ඡේදය සමන්විත වේ.

38 වන පරිච්ඡේදය

ශිබ්ලොන් ධර්මිෂ්ඨකම වෙනුවෙන් පීඩාවට පත් කරනු ලැබීය – ලෝකයේ ජීවය සහ ආලෝකය වන ක්‍රිස්තුස්වහන්සේ තුළ ගැලවීම වන්නේය – නුඹලාගේ සියලු ආශාවන් දමනය කරන්න. ක්‍රි.පූ. 74 පමණ.

1 මාගේ පුත්‍රය, මාගේ වචනවලට ඇහුම්කන් දෙන්න, මක්නිසාද මම නුඹට කියමි, මා හීලමන් හට කියූ ලෙසම, එනම් නුඹ දෙවියන්වහන්සේගේ අණපනත් පිළිපදින නිසාවෙන් නුඹලා දේශයේ සමෘද්ධිමත් වනු ඇත; තවද නුඹ දෙවියන්වහන්සේගේ අණපනත් පිළිපදින්නේ නැති නිසාවෙන් උන්වහන්සේ අභිමුඛයෙන් නුඹලා නෙරපා හරින සේක.

2 තවද දැන්, මාගේ පුත්‍රය, නුඹගේ ස්ථීර බව සහ දෙවියන්වහන්සේ කෙරෙහි නුඹගේ ඇදහිලිවන්තබව නිසාවෙන් මම මහත් ප්‍රීතියක් ලබනු ඇතැයි මම විශ්වාස කරමි; මක්නිසාද නුඹ නුඹගේ තරුණ වියේදී නුඹගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේ දෙස බැලීමට ආරම්භ කළ බැවින්, එසේම නුඹ නිරන්තරව උන්වහන්සේගේ අණපනත් පිළිපදින්නේ යැයි මම බලාපොරොත්තු වෙමි; මක්නිසාද අවසානය දක්වා විඳදරාගන්නා ඔහු භාග්‍යවන්තය.

3 මම නුඹට කියමි, මාගේ පුත්‍රය, මක්නිසාද නුඹගේ විශ්වාසවන්තකම සහ නුඹගේ උද්‍යෝගිමත් බව, තවද සෝරම්වරුන්ගේ ජනතාව අතර නුඹගේ ඉවසීම සහ බොහෝ ඉවසිලිවන්තකම නිසා, එනම් මම දැනටමත් නුඹ තුළ මහත් ප්‍රීතියක් ලැබුවෙමි.

4 මක්නිසාද නුඹ බැඳ තබා සිටි බව මම දනිමි; එසේය තවද වචනය වෙනුවෙන් නුඹට ගල් ගැසූ බව ද මම දනිමි; තවද ස්වාමීන්වහන්සේ නුඹ සමග සිටිය බැවින් නුඹ මේ සියල්ල ඉවසීමෙන් දරා සිටියේය; තවද ස්වාමීන්වහන්සේ නුඹ ගළවාගත් බව දැන් නුඹ දන්නෙහිය.

5 තවද දැන් මාගේ පුත්‍රය, ශිබ්ලොන්, නුඹ සිහි තබා ගන්නවාට මම කැමැත්තෙමි, එනම් නුඹ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන තරමටම, තවද නුඹගේ පරීක්ෂාවන්ගෙන්, තවද නුඹගේ කරදරවලින්, තවද නුඹගේ පීඩාවන්ගෙන්, නුඹ ගළවනු ලබන බවත්, තවද අවසාන දවසේ දී නුඹව ඔසවා තබනු ඇත.

6 දැන්, මාගේ පුත්‍රය, මා මේ දේවල් මා විසින්ම දන්නා බව නුඹ සිතීම මට වුවමනා නැත, එහෙත් මා තුළ සිටින දෙවියන්වහන්සේගේ ආත්මය මේ දේවල් මට දන්වන්නේය; මක්නිසාද මම දෙවියන්වහන්සේගෙන් ඉපදී නැත්නම් මම මේ දේවල් නොදැන සිටිය යුතුයි.

7 නමුත් බලව, ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ මහත් දයාවෙන් තමන්වහන්සේගේ දූතයා මා වෙත ප්‍රකාශ කරන පිණිස එවු සේක, එනම් මම උන්වහන්සේගේ ජනතාව අතර විනාශ කිරීමේ ක්‍රියාව නතර කළ යුතු බවය; එසේය, තවද මම දේවදූතයෙකු මුහුණට මුහුණ දුටුවෙමි, තවද ඔහු මා සමඟ කතා කළේය, තවද ඔහුගේ හඬ ගිගිරුම් මෙන් විය, තවද එය මුළු පොළොවම කම්පනය කළේය.

8 තවද එය මෙසේ සිදු විය, එනම් මම දින තුනක් සහ රාත්‍රී තුනක් ආත්මයේ ඉතාමත් කටුක වේදනාවෙන් සහ සංවේගයෙන් සිටියෙමි; තවද මම කිසිදාක, ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ හට දයාව උදෙසා මොරගසන තෙක්, මා හට මාගේ පව්වලට කමාවක් නොලැඹුණි. එහෙත් බලව, මම උන්වහන්සේ හට මොරගැසුවෙමි, තවද මම මාගේ ආත්මයට සාමය සොයා ගත්තෙමි.

9 තවද දැන්, මාගේ පුත්‍රය, මම නුඹට මෙය කීවේ නුඹ ප්‍රඥාව ඉගෙන ගන්නා පිණිසය, එනම් මනුෂ්‍යයාට ගැලවීම ලැබීමට වෙනත් මාර්ගයක් හෙවත් ක්‍රමයක් නොමැති බවත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ සහ උන්වහන්සේ තුළින් පමණක් බව නුඹ මගෙන් ඉගෙන ගන්නා පිණිසය. බලව, උන්වහන්සේ ලෝකයේ ජීවනය ද ආලෝකය ද වන සේක. බලව, උන්වහන්සේ සත්‍යයේ සහ ධර්මිෂ්ඨකමේ වචනය වන සේක.

10 තවද දැන්, නුඹලා වචනය ඉගැන්වීම පටන්ගෙන ඇති බැවින් එසේම නුඹලා නොනවත්වා ඉගැන්වීමට මම කැමති වෙමි; තවද නුඹලා සෑම දෙයකදීම උද්‍යෝගයෙන් හා මධ්‍යස්ථව සිටින්නේනම් මම කැමැත්තෙමි.

11 නුඹලා නුඹලාගේ උඩඟුකමට ඔසවනු නොලබන්නට වග බලාගන්න; එසේය එනම් නුඹලාගේ ප්‍රඥාව තුළ ද, නුඹගේ බොහෝ ශක්තිය පිළිබඳවවත් නුඹ ආත්මවර්ණනා නොකරන ලෙස වග බලාගන්න.

12 නිර්භීත වන්න, එහෙත් බල නොකරන්න; තවද එසේම නුඹලා නුඹලාගේ ආශා සියල්ල මැඩ පවත්වන ලෙසට වග බලාගන්න, එනම් නුඹලා ප්‍රේමයෙන් පිරී යන පිණිස; නුඹලා අලසකමින් වැළකීමට වග බලාගන්න.

13 සෝරම්වරුන් මෙන් යාච්ඤා නොකරන්න, මක්නිසාද ඔවුන් මනුෂ්‍යයන්ගෙන් කීර්තිය ලබා ගැනීමට, තවද ඔවුන්ගේ ප්‍රඥාව ගැන ප්‍රශංසා ලැබීමටත් යාච්ඤා කරන බව නුඹලා දැක ඇත.

14 මෙසේ නොකියන්න: අහෝ දෙවියන්වහන්ස, එනම් අපි අපගේ සහෝදරයන්ට වඩා යහපත් හෙයින් මම ඔබවහන්සේට ස්තූති කරමි; එහෙත් ඒ වෙනුවට මෙසේ පවසන්න: අහෝ ස්වාමීන්වහන්ස, මාගේ නුසුදුසුකමට සමාව දෙනු මැනව, තවද මාගේ සහෝදරයන්ව දයාවෙන් සිහිපත් කරනු මැනව – එසේය, නුඹගේ නුසුදුසුකම සෑමවිටම දෙවියන්වහන්සේ අබියස පිළිගන්න.

15 තවද ස්වාමීන්වහන්සේ නුඹගේ ආත්මයට ආශීර්වාද කරන සේක්වා, තවද නුඹව අවසාන දවසේදී නුඹව උන්වහන්සේගේ රාජ්‍යයට සමාදානයෙන් හිඳගැනීමට පිළිගනිත්වා. මාගේ පුත්‍රය, දැන් ගොස්, තවද මෙම ජනතාවට වචනය උගන්වන්න. සිහිකල්පනාවෙන් සිටින්න. මගේ පුත්‍රය, සමුගන්නෙමි.