2 වන පරිච්ඡේදය
ජනතාව අතර දුෂ්ටකම සහ පිළිකුල් සහගත කම වර්ධනය වේ – නීෆායිවරු සහ ලේමන්වරු ගැඩියැන්ටන් මංකොල්ලකරුවන්ට එරෙහිව ඔවුන්ව ආරක්ෂා කර ගැනීමට එක්සත් වෙති – හැරවුන ලද ලේමන්වරු සුදු බවට පත්වන අතර නීෆායිවරුන් ලෙස නම් කරනු ලබති. ක්‍රි.ව. 5–16 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් මෙසේ අනූ පස්වන වසරද අවසන් විය, තවද ජනතාව ඔවුන් ඇසූ ඒ සංකේත සහ ආශ්චර්යයන් අමතක කිරීමට පටන් ගත්තෝය, තවද ස්වර්ගයෙන් ලැබුණු සංකේතයක් හෝ ආශ්චර්යයක් ගැන විශ්ම වීම වඩ වඩාත් අඩු වන්නට පටන් ගත්තෝය, එපමණින් එනම් ඔවුන් හදවත්වලින් දැඩි වන්නට, තවද මනසින් අන්ධව සිටින්නට පටන් ගත්තෝය, තවද ඔවුන් දුටුවාවූ සහ ඇසුවාවූ සියලු දේවල් අවිශ්වාස කිරීමට පටන් ගත්තෝය.
2 ඔවුන්ගේ හදවත් තුළ යම් නිෂ්ඵල දෙයක් මවා ගනිමින්, එනම් එය මනුෂ්‍යයින් විසින් සහ යක්ෂයාගේ බලය විසින් තනන ලද්දක් බව, මනුෂ්‍යයින්ගේ හදවත් රැවටීමට සහ ඉවතට ගෙන යාමට පමුණුවන ලද්දේය; තවද මෙසේ සාතන් නැවතත් ජනතාවගේ හදවත් අත්පත් කර ගත්තේය, කෙතරම්ද යත් ඔහු ඔවුන්ගේ දෑස් අන්ධ කර, තවද එනම් ක්‍රිස්තුස්වහන්සේගේ දහම අනුවණ සහ නිෂ්ඵල දෙයක් බව විශ්වාස කිරීමට ඔවුන්ට මඟ පෙන්වූයේය.
3 තවද එය මෙසේ සිදු විය, එනම් ජනතාව දුෂ්ටකමින් සහ පිළිකුල්සහගත කමින් ශක්තිමත් වන්නට පටන් ගත්තෝය; තවද තවත් සංකේත හෝ ආශ්චර්යයන් තිබිය යුතු බව ඔවුන් විශ්වාස නොකළෝය; තවද සාතන් සැරිසැරුවේය, ජනතාවගේ හදවත් වෙනතකට ගෙන ගොස්, ඔවුන්ව පොළඹවා තවද එනම් දේශයේ මහත් දුෂ්ටකම් කිරීමට සැලැස්වූයේය.
4 තවද මෙලෙස අනූ හයවෙනි වසර ද ගෙවී ගියේය; ඒ වගේම අනූ හත්වෙනි වසරත්; ඒ වගේම අනූ අටවෙනි වසරත්; ඒ වගේම අනූ නවවෙනි වසරත්;
5 තවද මෙසේ නීෆායිවරුන්ගේ ජනතාව කෙරෙහි රජ වූ මොසායාගේ කාලයේ සිට වසර සියයක් ගෙවී ගියේය.
6 තවද ලීහායි ජෙරුසලමෙන් පිටවී වසර හයසිය නවයක් ගෙවී ගියේය.
7 තවද ක්‍රිස්තුස්වහන්සේ ලෝකයට පැමිණිය යුතු බවට, දිවැසිවරයන් විසින් පවසන ලද, සංකේත ලබා දුන් කාලයෙන් වසර නවයක් ගෙවී ගියේය.
8 දැන් නීෆායිවරුන් ඔවුන්ගේ කාලය ගණනය කිරීමට පටන් ගත්තේ සංකේත ලබා දුන් මෙම කාල පරිච්ඡේදයේ සිටය, නැතහොත් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමේ සිටය; එසේහෙයින්, වසර නවයක් ගෙවී ගොස් තිබුණි.
9 තවද වාර්තා භාරව සිටි, නීෆායිගේ, පියා වූ නීෆායි, සරහෙම්ලා දේශයට ආපසු නොගියේය, තවද මුළු දේශයේම කොතැනකවත් සොයා ගැනීමට නොහැකි විය.
10 තවද එය මෙසේ සිදු විය, එනම් ජනතාව තව දුරටත් දුෂ්ටකමේ රැඳී සිටියෝය, ඔවුන් අතර එවන ලද බොහෝ දේශනාවන් සහ අනාවැකියන් නොතකා; තවද මෙසේ දහවන වසර ද ගෙවී ගියේය; තවද එකොළොස්වන වසර ද අයුතුකමින් ගෙවී ගියේය.
11 තවද එය මෙසේ සිදු විය, දහතුන්වන වසරේ දී සියලු දේශයන් පුරා යුද්ධ හා ආරවුල් ඇති වීමට පටන් ගත්තේය; මක්නිසාද ගැඩියැන්ටන් මංකොල්ලකාරයෝ බොහෝ ගණනාවක් බවට පත් විය, තවද ජනතාවගෙන් බොහෝ දෙනෙකු මරා දැමුවෝය, තවද බොහෝ නගර පාළු බවට පත් කර දැමුවෝය, තවද දේශය පුරා මරණය සහ මනුෂ්‍ය සංහාරය පතුරුවා හැරියෝය, නීෆායිවරු න් සහ ලේමන්වරුන් යන දෙගොල්ලන්ම, එනම් සියලු ජනතාව ඔවුන්ට විරුද්ධව, ආයුධ ගැනීම යෝග්‍ය විය.
12 එසේහෙයින්, ස්වාමීන්වන්සේ වෙතට හැරුනු සියලු ලේමන්වරුන් තම සහෝදරයන් වන නීෆායිවරුන් සමඟ එක්වී, ඔවුන්ගේ ජීවිතවල සහ ඔවුන්ගේ කාන්තාවන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ ආරක්ෂාව සඳහා, එම ගැඩියැන්ටන් මංකොල්ලකරුවන්ට එරෙහිව ආයුධ අතට ගැනීමට, එසේය, තවද ඔවුන්ගේ සභාවේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ නමස්කාරය, තවද ඔවුන්ගේ ස්වාධීනත්වය සහ ඔවුන්ගේ නිදහස, තවද ඔවුන්ගේ නමස්කාරයේ වරප්‍රසාද පවත්වා ගැනීමට බල කෙරුණි.
13 තවද එය මෙසේ සිදු විය, එනම් මෙම දහතුන්වන වසර ගෙවී යාමට පෙර නීෆායිවරුන්ට මෙම යුද්ධය නිසා මුළුමනින්ම විනාශ වීමේ තර්ජනයක් ඇති විය, එය අතිශයින්ම වේදනාකාරී විය.
14 තවද එය මෙසේ සිදු විය, එනම්, නීෆායිවරුන් සමඟ එක්සත් වූ ලේමන්වරුන් නීෆායිවරුන් අතර ගණන් කරන ලදී;
15 තවද ඔවුන්ගේ ශාපය ඔවුන් වෙතින් ගනු ලැබීය. තවද ඔවුන්ගේ සම නීෆායිවරුන් මෙන් සුදු විය;
16 තවද ඔවුන්ගේ තරුණයෝ සහ ඔවුන්ගේ දූවරු බෙහෙවින් සුදු බවට පත්විය, තවද ඔවුන් නීෆායිවරුන් අතරේ ගණන් ගනු ලැබ, නීෆායිවරුන් ලෙස නම් කෙරුණි. තවද මෙසේ දහතුන්වන වසර අවසන් විය.
17 තවද එය මෙසේ සිදු විය, එනම් දහ හතරවන වසර පටන් ගැන්මේදීී, මංකොල්ලකරුවන් සහ නීෆායිගේ ජනතාව අතර යුද්ධය දිගටම පැවති අතර එය අතිශයින්ම වේදනාකාරී විය; කෙසේවෙතත්, නීෆායිගේ ජනතාව මංකොල්ලකරුවන්ගෙන් යම් වාසියක් ලබා ගත් අතර, ඔවුන් ඔවුන්ගේ ඉඩම්වලින් කඳුකරයට සහ ඔවුන්ගේ රහසිගත ස්ථානවලට පලවා හැරියෝය.
18 තවද මෙසේ දහ හතරවන වසර අවසන් විය. තවද පහළොස්වන වසරේ දී ඔවුන් නීෆායිගේ ජනතාවට විරුද්ධව පෙරට පැමිණියෝය; තවද නීෆායිගේ ජනතාවගේ දුෂ්ටකම නිසා, තවද ඔවුන්ගේ බොහෝ ආරවුල් සහ මතභේද නිසා, ගැඩියැන්ටන් මංකොල්ලකරුවන් ඔවුන් හරහා බොහෝ වාසි ලබා ගත්තෝය.
19 තවද මෙසේ පහළොස්වන වසර අවසන් විය. තවද මෙසේ ජනතාව බොහෝ පිඩාකාරී තත්වයකට පත් විය; තවද විනාශයේ කඩුව ඔවුන් පිට එල්ලී තිබුණේය, එනම් ඔවුන් එයින් පහර ලැබීමකට යන තරමටම, තවද මෙය ඔවුන්ගේ අයුතුකම නිසාය.