ශුද්ධලියවිලි
3 නීෆායි 13


13 වන පරිච්ඡේදය

ජේසුස්වහන්සේ නීෆායිවරුන්ට ස්වාමීන්වහන්සේගේ යාච්ඤාව උගන්වයි – ඔවුන් ස්වර්ගයේ වස්තු රැස් කළ යුතු වෙයි – ඔවුන්ගේ මෙහෙයේ යෙදී සිටින්නා වූ ගෝලයන් දොළොස් දෙනාට ලෞකික දේවල් ගැන නොසිතන ලෙස අණ කරනු ලබයි – ශු. මතෙව් 6 සසඳන්න. ක්‍රි.ව. 34 පමණ.

1 සැබවක් සැබවක් මම කියමි, එනම් නුඹලා දුප්පතුන්ට දන් දෙනවා නම් මා කැමැත්තෙමි; එහෙත් මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියේ නුඹලාගේ දන් නොදීමට නුඹලා වගබලා ගන්න; එසේ නොකළහොත් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේගෙන් නුඹලාට විපාකයක් නොලැබෙනු ඇත්තේය.

2 එසේහෙයින් නුඹලා දන් දෙන කල, මනුෂ්‍යයන්ගේ මහිමය ලබන පිණිස, සිනගෝගවලදීත් වීථිවලදීත්, කුහකයන් කරන්නාක් මෙන්, නුඹලාට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න. සැබවින්ම මම නුඹලාට කියමි, ඔවුන්ට ඔවුන්ගේ විපාකය ලැබෙන්නේය.

3 එහෙත් නුඹලා දන් දෙන විට, නුඹලාගේ දකුණත කරන දේ නුඹලාගේ වම් අතට දැන ගැනීමට ඉඩ නොදෙන්න.

4 එනම් නුඹලාගේ දානය රහසිගතව තිබිය යුතු වන පිණිසය; තවද රහසින් දකින නුඹලාගේ පියාණන්වහන්සේ, උන්වහන්සේ විසින්ම නුඹලාට එළිපිටම විපාක දෙන සේක.

5 `තවද නුඹලා යාච්ඤා කරන කල, නුඹලා කුහකයන් මෙන් නොකරන්න. මක්නිසාද ඔවුහු මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස, සිනගෝගවලත්, තවද වීදි කොණ්වලත් සිටගෙන යාච්ඤා කිරීමට ප්‍රියවෙති. සැබවක් නුඹලාට කියමි, ඔවුන්ට ඔවුන්ගේ විපාකය ලැබෙන්නේය.

6 එහෙත් නුඹලා, නුඹලා යාච්ඤා කරන විට, නුඹලාගේ කුටියට ඇතුළු වී, තවද නුඹලා දොර වසා ගත් විට, රහසින් සිටින නුඹලාගේ පියාණන්වහන්සේට යාච්ඤා කරන්න; එවිට රහසින් දකින, නුඹලාගේ පියාණන්වහන්සේ නුඹලාට එළිපිටම විපාක දෙන සේක.

7 එහෙත් නුඹලා යාච්ඤා කරන විට, විජාතීන් මෙන් නිෂ්ඵල පුනරුච්චාරණය නොකරන්න, මක්නිසාද ඔවුන් සිතන්නේ එනම් ඔවුන්ගේ බොහෝ කථා නිසා ඔවුන්ට සවන් දෙනු ඇති බවයි.

8 එසේහෙයින් නුඹලා ඔවුන්ට සමාන නොවන්න, මක්නිසාද නුඹලා නුඹලාගේ පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නටත් පෙර නුඹලාට අවශ්‍ය දේ උන්වහන්සේ දන්නා සේක.

9 එසේහෙයින් නුඹලා මෙසේ යාච්ඤා කරන්න: ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණෙනි, ඔබවහන්සේගේ නාමයට ගෞරව වේවා.

10 ඔබවහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන්, පොළොවෙහිද සිදුවේවා.

11 තවද අපගේ ණයගැතියන්ට අප කමාව දෙන ආකාරයටම, අපගේ ණයෙන් අපට කමාව දෙන සේක්වා.

12 තවද අපව පරීක්ෂාවට නොපමුණුවා, එහෙත් නපුරෙන් අපව ගලවාගත මැනව.

13 මක්නිසාද රාජ්‍යයද, බලයද, මහිමයද සදහටම ඔබවහන්සේගේය. ආමෙන්.

14 මක්නිසාද, නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ ද නුඹලාටත් එසේම කමා කරන සේක;

15 එහෙත් නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරදට කමා නොකරන්නහු නම්, නුඹලාගේ පියාණන්වහන්සේ නුඹලාගේ වරදටත් කමා නොකරන සේක.

16 තවදුරටත්, නුඹලා උපවාස කරන කල, කුහකයන් මෙන් දුක්බර මුහුණක් ඇතිව නොසිටින්න, මක්නිසාද, ඔවුන් උපවාස කරන බව මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔවුන්ගේ මුහුණු විකෘති කරගනිති. සැබවින්ම මම නුඹලාට කියමි, ඔවුන්ට ඔවුන්ගේ විපාකය ලැබෙන්නේය.

17 එහෙත් නුඹලා, නුඹලා උපවාස කරන විට, නුඹලාගේ හිස ආලේප කර, නුඹලාගේ මුහුණ සෝදන්න;

18 එනම් නුඹලා උපවාස කරන බව මනුෂ්‍යයන්ට නොව, එහෙත් රහසින් වැඩ සිටින්නා වූ, නුඹලාගේ පියාණන්වහන්සේට පෙනෙන පිණිස සිටින්න; එවිට රහසින් දකින නුඹලාගේ පියාණන්වහන්සේ නුඹලාට එළිපිටම විපාක දෙන සේක.

19 පොළොවෙහි නුඹලා උදෙසා වස්තු රැස්කර නොගන්න, එහිදී කාවා සහ මලකඩ විනාශ කරන්නේය, තවද සොරුන් කඩා වැදී සොරකම් කරන්නෝය.

20 එහෙත් ස්වර්ගයෙහි නුඹලා උදෙසා වස්තු රැස් කරගන්න, එහිදී කාවාවත් මලකඩවත් නාස්ති නොකරන්නේය, තවද සොරුන් කඩා වැදී සොරකම් නොකරන්නෝය.

21 මක්නිසාද නුඹලාගේ වස්තුව කොතැනද, නුඹලාගේ සිතත් එතැනම වන්නේය.

22 ශරීරයේ ආලෝකය ඇස වන්නේය; එසේහෙයින්, නුඹගේ ඇස පැහැදිලි නම්, නුඹගේ මුළු ශරීරයම ආලෝකයෙන් පිරී යනු ඇත්තේය.

23 එහෙත් නුඹගේ ඇස නපුරු නම්, නුඹගේ මුළු ශරීරයම අඳුරෙන් පිරී යනු ඇත්තේය. එසේහෙයින් නුඹලා තුළ ඇති ආලෝකය අඳුරු නම්, ඒ අන්ධකාරය කොපමණ මහත්ද!

24 ස්වාමීවරුන් දෙදෙනෙකුට සේවය කිරීමට කිසි මනුෂ්‍යයෙකුට නුපුළුවන; මක්නිසාද ඔහු එක් කෙනෙකුට වෛර වී අනෙකාට ප්‍රේම කරනු ඇත්තේය, නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනෙකා හෙළා දකිනු ඇත්තේය. නුඹලාට දෙවියන්වහන්සේටත් වස්තුවටත් සේවය කළ නොහැක.

25 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ මේ වචන පැවසූ පසු, උන්වහන්සේ තමන්වහන්සේ තෝරාගත් දොළොස් දෙනා දෙස බලා ඔවුන්ට මෙසේ වදාළ සේක: මා පැවසූ වචන සිහිපත් කරන්න. මක්නිසාද බලව, මෙම ජනතාවට මෙහෙ කිරීමට මා තෝරාගත් අය නුඹලා වන්නෝය. එසේහෙයින් මම නුඹලා හට කියන්නෙමි, නුඹලා කුමක් කන්නේද, නැතහොත් නුඹලා කුමක් බොන්නේද කියාවත් නුඹලාගේ ජීවිතය ගැනවත්, නුඹලා කුමක් අඳින්නේද කියා නුඹලාගේ ශරීරය ගැනවත් කනස්සලු නොවෙල්ලා. කෑමට වඩා ජීවිතයද, වස්ත්‍රයට වඩා ශරීරයද උතුම් නොවේද?

26 අහසේ පක්ෂීන් බලව, මක්නිසාද උන් වපුරන්නේ නැත, කපන්නේවත් නැත, අටුකොටුවලට රැස්කරන්නේවත් නැත; එහෙත් නුඹලාගේ ස්වර්ගික පියාණන්වහන්සේ උන් පෝෂණය කරනසේක. නුඹලා උන්ට වඩා බොහෝ යහපත් නොවේද?

27 කනස්සලුවීමෙන් තමාගේ උසට එක රියනක් එකතුකරගන්නට නුඹලා අතරෙන් කවරෙකුට පුළුවන්ද?

28 තවද වස්ත්‍ර ගැන නුඹලා කුමක් නිසා කනස්සලු වන්නේද? කෙතේ මානෙල් මල් වැඩෙන ආකාරය සලකා බලපල්ලා; ඒවා වෙහෙසෙන්නේවත් නැත, ඒවා නූල් කටින්නේවත් නැත.

29 තවද එහෙත් මම නුඹලාට කියන්නෙමි, එනම් සලමොන් පවා, ඔහුගේ සියලු මහිමයේදී වූවත්, මේවායින් එකක් මෙන් සැරසී නොසිටියේය.

30 එසේහෙයින්, අද තිබෙන්නාවූ, හෙට උඳුනෙහි දමනු ලබන්නා වූ, කෙතේ තණකොළ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, නුඹලාගේ ඇදහිල්ල අල්ප නොවන්නේ නම්, උන්වහන්සේ නුඹලාටත් එලෙස පළඳවනසේක.

31 එසේහෙයින් අප කුමක් කමුද? නැතහොත් අප කුමක් බොමුද? නැතහොත් අප කුමක් පලඳින්නේමුද? කියමින් කනස්සලු නොවෙල්ලා.

32 මක්නිසාද මේ සියල්ල නුඹලාට අවශ්‍ය බව නුඹලගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නා සේක.

33 එහෙත් පළමුකොට දෙවියන්වහන්සේගේ රාජ්‍යයද තවද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න, තවද මේ සියලු දේවල් නුඹලාට එකතු කරනු ලබන්නේය.

34 එසේහෙයින් හෙට දවස ගැන කනස්සලු නොවෙල්ලා, මක්නිසාද හෙට දවස තමාගේම දේවල් ගැනම සිතන්නේය. ඒ දවසේ නපුර එයට ප්‍රමාණවත් වන්නේය.