ශුද්ධලියවිලි
3 නීෆායි 26


26 වන පරිච්ඡේදය

ජේසුස්වහන්සේ ආරම්භයේ සිට අවසානය දක්වා සියල්ල පැහැදිලි කරයි – ළදරුවන් සහ දරුවන් ලියා තැබිය නොහැකි පුදුමාකාර දේවල් පවසති – ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සිටින අයට ඔවුන් අතර සියලු දේ පොදු වේ. ක්‍රි.ව. 34 පමණ.

1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ මේ දේවල් පැවසු පසු උන්වහන්සේ ජන සමූහයට ඒවා විස්තර කළ සේක; තවද උන්වහන්සේ ලොකු සහ කුඩා දෙපිරිසටම සියල්ල පහදා දුන් සේක.

2 තවද ඔහු මෙසේ කීවේය: නුඹ ළඟ නොතිබූ මෙම ශුද්ධ ලියවිලි, පියාණන්වහන්සේ මා නුඹට දෙන ලෙස අණ කළ සේක; මක්නිසාද ඒවා අනාගත පරම්පරාවන්ට ලබා දීම උන්වහන්සේ තුළ ප්‍රඥාව විය.

3 තවද උන්වහන්සේ ආරම්භයේ සිට උන්වහන්සේගේ මහිමයෙන් පැමිණිය යුතු කාලය දක්වා පවා සියල්ල පැහැදිලි කළ සේක – එසේය, පොළොව මතට පැමිණෙන සියල්ල පවා, මූලද්‍රව්‍ය දැඩි තාපයෙන් දියවන තුරු පවා, තවද පොළොව ලියවිල්ලක් මෙන් එකට ඔතා තිබිය යුතුය, තවද අහස සහ පොළොව පහව යන්නේය;

4 තවද බලවත් සහ අවසාන දවස දක්වා පවා, එවිට සියලු ජනතාව ද, සියලු ඥාතීන් ද, සියලු ජාතීන් ද, සහ භාෂාවන් ද, ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ඒවා යහපත් හෝ දුෂ්ඨ වුව ද, දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනී සිටිනු ඇත, ඔවුන්ගේ ක්‍රියා විනිශ්චය කරනු ලබන්නේ, ඒවා හොඳ ද නරක ද යන්නයි –

5 ඒවා යහපත් වන්නේ නම්, සදාකාල ජීවිතයේ නැවත නැඟිටීමටත්; නපුරු නම්, ශාපයේ නැවත නැඟිටීමටත්; ලෝකය ආරම්භ වීමට පෙර සිටි ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති දයාව, යුක්තිය සහ ශුද්ධකම අනුව එය දෙවියන්වහන්සේ ඉදිරියේ සිට, සමාන්තර වන්නේය. එකක් එක හස්තයක ද අනෙක අනෙක් හස්තයේ ද වන්නේය.

6 තවද දැන් ජේසුස්වහන්සේ සැබවින්ම ජනතාවට ඉගැන්වූ දේවලින් සියයෙන් කොටසක්වත් මෙම පොතෙහි ලිවිය නොහැකිය.

7 එහෙත් බලව, උන්වහන්සේ ජනතාවට ඉගැන්වූ දේවලින් වැඩි කොටසක් නීෆායිගේ තහඩු වල ඇතුළත් වන්නේය.

8 තවද මම ලියා ඇති මෙම දේවල් උන්වහන්සේ ජනයාට ඉගැන්වූ දේවල්වලින් සුළු කොටසක් පමණි; තවද, ජේසුස්වහන්සේ පැවසූ වචනවලට අනුව, අන්‍යජාතීන්ගෙන් මේ ජනතාව වෙත ඒවා නැවත ගෙන ඒම සඳහා මම ඒවා ලියා ඇත්තෙමි.

9 තවද ඔවුන්ට මෙය ලැබුණු විට, එය මුලින්ම ඔවුන්ගේ ඇදහිල්ල පරීක්ෂා කිරීම සුදුසුය, තවද ඔවුන් මෙම දේවල් විශ්වාස කරන්නේ නම්, එවිට බලවත් දේවල් ඔවුන් හට ප්‍රකාශිත කරනු ලබන්නේය.

10 තවද මෙම දේවල් ඔවුන් විශ්වාස නොකරන්නේ නම්, එවිට බලවත් දේවල් ඔවුන්ගේ හෙළා දැකීමට, ඔවුන් වෙතින් වලක්වා ගන්නේය.

11 බලව, මම ඒවා ලිවීමට සූදානම්ව සිටියෙමි, ඒ සියල්ල නීෆායිගේ තහඩු මත කැටයම් කර තිබුණි, නමුත් ස්වාමීන්වහන්සේ එය තහනම් කරමින් මෙසේ කී සේක: මම මාගේ ජනතාවගේ ඇදහිල්ල පරීක්ෂා කරන්නෙමි.

12 එසේහෙයින් මම මොර්මන්, ස්වාමීන්වහන්සේ මා හට අණ කළ දේවල් ලියන්නෙමි. තවද දැන්, මෝර්මන්, මම මාගේ ප්‍රකාශවල අවසානයක් කරන්නෙමි, තවද මා හට ආඥා කරනු ලැබූ එම දේවල් ලිවීමට ආරම්භ කරන්නෙමි.

13 එසේහෙයින්, බලන්න එනම් ස්වාමීන්වහන්සේ සැබවින්ම ජනතාවට කාල පරාසයක් පුරාවට දවස් තුනක කාලයක් සඳහා ඉගැන්වු බව නුඹ දකිනු ඇතැයි මම කැමැත්තෙමි; තවද ඉන්පසුව එනම් උන්වහන්සේ ඔවුන්ට බොහෝ විට පෙනී සිටිමින්, රොටි කඩා, එයට ආශිර්වාද කර, ඔවුන්ට දුන් සේක.

14 තවද එය මෙසේ සිදු විය, එනම් උන්වහන්සේ කථා කරන ලද සමූහයාගේ දරුවන්ට ඉගැන්වූ අතර සේවය කළ සේක. උන්වහන්සේ ඔවුන්ගේ දිවවල් ලිහිල් කළ සේක. තවද ඔවුන් උන්වහන්සේ ජනතාවට හෙළි කළ ප්‍රමාණයට වඩා ශ්‍රේෂ්ඨ හා විශ්මිත දේවල් ඔවුන් තම පියවරුන්ට පැවසූ සේක. තවද උන්වහන්සේ ඔවුන්ට කථා කිරීමට හැකිවීමට ඔවුන්ගේ දිවවල් ලිහිල් කළ සේක.

15 තවද එය මෙසේ සිදු විය, එනම් පසුව උන්වහන්සේ ස්වර්ගයට නැගීමෙන් පසු දෙවන වරටත් ඔවුන්ට පෙනී සිට, ඔවුන්ගේ සියලු රෝගීන් සහ කොර අය සුව කිරීමෙන් පසු, ඔවුන්ගේ අන්ධයන්ගේ ඇස් ඇරීමෙන් පසු, බිහිරි අයගේ කන් අවහිර ඉවත් කිරීමෙන් පසු, ඔවුන් අතර සියලු ආකාරයේ සුව කිරීම් පවා සිදු කිරීමෙන් පසු, මළවුන්ගෙන් මිනිසෙකු නැඟිටුවා, තම බලය ඔවුන්ට පෙන්වා, පියාණන් වෙතට නැඟ ගිය සේක.

16 බලව, එය මෙසේ සිදු විය, පසුදා සමූහයා එක්රැස්වූ අතර, ඔවුන් දෙදෙනාම මේ දරුවන් දුටුවෝය, තවද ඇසූවෝය; එසේය, ළදරුවන් පවා ඔවුන්ගේ මුඛයන් විවෘත කර තවද පුදුම දේවල් කීවෝය; තවද ඔවුන් කීවාවූ එම දේවල් කිසිම මනුෂ්‍යයෙකු ඒවා ලිවීම තහනම් බව ඔවුන් ප්‍රකාශ කළහ.

17 තවද එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ තෝරාගත් ගෝලයන් ඒ කාලයේ සිට බෞතීස්ම කිරීමට සහ ඔවුන් වෙත පැමිණි සියලු දෙනාට ඉගැන්වීමට පටන් ගත් අතර; ජේසුස්වහන්සේගේ නාමයෙන් බෞතීස්ම වූ සියලු දෙනා ශුද්ධාත්මයාණන්ගෙන් පිරී ගියහ.

18 තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ලියා තැබීමට අවසර නැති කිව නොහැකි දේවල් දුටුවෝය, තවද අසා ඇත්තෝය.

19 තවද ඔවුහූ ඉගැන්වූහ, තවද එකෙක් අනෙකාට උපස්ථාන කරන ලද්දේය; තවද ඔවුහු සියලු දේවල් ඔවුන් අතරෙහි පොදුවේ තබා ගත්හ, සියලු මනුෂ්‍යයෝ එකෙක් අනෙකා සමග යුක්ති සහගතව ක්‍රියා කළහ.

20 තවද එය මෙසේ සිදු විය, එනම් ජේසුස්වහන්සේ ඔවුන්ට අණ කළ පරිදිම ඔවුන් සියල්ල කළහ.

21 තවද ජේසුස්වහන්සේගේ නාමයෙන් බෞතීස්ම වූ අය ක්‍රිස්තුස්වහන්සේගේ සභාව ලෙස හැඳින්විණි.