ශුද්ධලියවිලි
3 නීෆායි 25


25 වන පරිච්ඡේදය

දෙවන පැමිණීමේදී, උඩඟු සහ දුෂ්ටයන් ඉපනැලි මෙන් පුළුස්සා දමනු ලැබේ – එලියා ඒ බලවත් සහ භයානක දවසට පෙර නැවත පැමිණෙනු ඇත – මලාකී 4 සසඳන්න. ක්‍රි.ව. 34.

1 මක්නිසාද බලව උදුනක් මෙන් දැවෙන දවසක් පැමිණෙන්නේය; තවද සියලු උඩඟු අය ද, එසේය, දුෂ්ටකම් කරන සියල්ලෝ ද ඉපනැලි වන්නෝය; තවද පැමිණෙන දවසේදී ඔවුන් දවාලන බව සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක, එවිට එය ඔවුන්ට මුලක් හෝ අත්තක් ඉතිරි නොකරනු ඇත.

2 එහෙත් මාගේ නාමයට භය ඇති නුඹලාට ධර්මිෂ්ඨකමේ පුත්‍රයාණෝ ස්වකීය පියාපත්වල සුවය ඇතුව නැගිටින සේක; තවද නුුඹලාද පිටතට ගොස් ගාලේ වස්සන් මෙන් වැඩෙන්නහුය.

3 නුඹලා දුෂ්ටයන් පාගා දමන්නහුය; මක්නිසාද මා මෙය කරන දවසේදී ඔවුහුු නුඹලාගේ පාද යට අළු වන්නේයැයි සේනාවල ස්වාමීන්වහන්සේ පවසන සේක.

4 නුඹලා මා විසින් සියලු ඊශ්‍රායෙල්වරුන් උදෙසා මාගේ මෙහෙකරවූු මොසෙස්ට හොරෙබ්හි ඔහු හට ආඥා කළ ව්‍යවස්ථා සහ විනිශ්චයන් සිහි කරන්න.

5 බලව, ස්වාමීන්වහන්සේගේ මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පෙර මම නුඹ සැමට එලියා අනාගතවක්තෘ එවන්නෙමි;

6 තවද මම පැමිණ පොළොවට ශාපයකින් පහර නොදෙන පිණිස, තවද ඔහු පියවරුන්ගේ සිත් දරුවන් වෙතටත්, දරුවන්ගේ සිත් ඔවුන්ගේ පියවරුන් වෙතටත් හරවන්නේය.