3 වන පරිච්ඡේදය
බෙන්ජමින් රජු ඔහුගේ ආමන්ත්‍රණය නොකඩවා පවත්වයි – සර්වබලධාරී ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයන් අතර මැටි මණ්ඩපයක් තුළින් උපස්ථාන කරන සේක – උන්වහන්සේ ලෝකයේ පාපය උදෙසා වන්දි ගෙවන විට, සෑම රෝම කුපයක්ම තුළින් රුධිරය ගලා එන සේක – ගැලවීම උන්වහන්සේගේ නාමය තුළින්ම පමණක් ලැබේ – මනුෂ්‍යයාට ස්වභාවික මිනිසාව අත්හැර දමා, තවද වන්දිගෙවීම කරණකොටගෙන ශුද්ධවන්තයෙක් විය හැක – දුෂ්ඨයන්ගේ වධ වේදනා ගිනි හා ගෙන්දගම් විලක් මෙන් වනු ඇත. ක්‍රි.පූ. 124 පමණ.
1 තවද නැවතත් මගේ සහෝදරයනි, මට තවදුරටත් නුඹලාට කතා කිරීමට තිබෙන නිසා, නුඹලාගේ අවධානය අවශ්‍ය වන්නේයි; මක්නිසාද බලව, මතු පැමිණෙන්නට තිබෙන්නාවූ දේවල් ගැන මට නුඹලා හට කීමට ඇත.
2 තවද මා නුඹලාට පවසන දේවල් දෙවියන්වහන්සේගේ දේවදූතයෙකු විසින් මට දන්වනු ලැබුවේය. තවද ඔහු මට මෙසේ කීවේය: අවදි වන්න; තවද මම අවදි වූයෙමි, තවද බලව ඔහු මා ඉදිරියෙහි සිටගෙන සිටියේය.
3 තවද ඔහු මට මෙසේ කීවේය: අවදිවන්න, තවද මා විසින් නුඹට කියන්නාවූ වචන වලට සවන් දෙන්න; මක්නිසාද බලව, මම නුඹලා හට මහත් ප්‍රීතියේ යහපත් ආරංචි ප්‍රකාශ කිරීමට පැමිණියෙමි.
4 මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලාගේ යාච්ඤා අසා, තවද නුඹලාගේ ධර්මිෂ්ඨකම සම්බන්ධව විනිශ්චය කළ සේක, තවද මා එවන ලද්දේ නුඹ හට ප්‍රකාශ කර නුඹ සතුටු වන පිණිස ය; තවද නුඹ නුඹගේ ජනතාවට ප්‍රකාශ කරන පිණිස, එනම් ඔවුන්ද එසේම ප්‍රීතියෙන් පිරී යන පිණිසය.
5 මක්නිසාද බලව, කාලය පැමිණෙන්නේය, තවද එය ඉතා ඈතක නොවන්නේය, එනම් බලයෙන් යුක්තව, සදාකාලයෙන් සදාකාලයටම රජකම් කළ, කරන්නාවූත්, සර්වබලධාරී ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය දරුවන් අතරට ස්වර්ගයෙන් බැස, තවද මැටි මණ්ඩපයක වැඩ හිඳ, බලවත් හාස්කම් කරමින්, මේ ආකාරයෙන් රෝගීන් සුවකරමින්, මළවුන් නැඟිටුවමින්, කොරවූවන්ට ඇවිදීමට සලස්වමින්ද, අන්ධවූවන්ට පෙනීම ලබාදෙමින්ද සහ බිහිරිවූවන්ට ඇසීමද, තවද සියලු ආකාරයේ රෝගයන් සුව කරමින්, මනුෂ්‍යයන් අතරින් ඉදිරියට යන සේක.
6 තවද උන්වහන්සේ යක්ෂයන්, හෝ මනුෂ්‍ය දරුවන්ගේ හදවත්වල වෙසෙන දුෂ්ඨ ආත්මයන් දුරු කරන සේක.
7 තවද බලව, උන්වහන්සේ පරීක්ෂාවන් විඳින්නේය, තවද ශරීරයේ වේදනාව, කුසගින්න, පිපාසය සහ විඩාව ද, එය මරණයට හැර මනුෂ්‍යයෙකු දුක් විඳිය හැකි ප්‍රමාණයට වඩා විඳිමින්; මක්නිසාද බලව, රුධිරය සෑම රෝමකූපයක් තුළින් එන සේක, මන්ද උන්වහන්සේගේ ජනතාවගේ දුෂ්ඨකම සහ පිළිකුල්සහගත ක්‍රියා නිසා උන්වහන්සේ මහත් සංවේගයට පත් වන සේක.
8 තවද උන්වහන්සේ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනුවෙන් හඳුන්වන අතර, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ යැයි කියනු ලබන සේක, ස්වර්ගයෙහිද හා පොළොවෙහිද පියාණන්ය, ආරම්භයේ සිට සියලු දේවල මැවුම්කරුවාණන්ය; තවද උන්වහන්සේගේ මව මරියා යැයි කියනු ලබන්නේය.
9 තවද බලව, උන්වහන්සේ උන්වහන්සේගේ ස්වකීයන් වෙතට පැමිණෙන සේක, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන මනුෂ්‍ය පුත්‍රයන් හට ගැළවීම පැමිණෙන පිණිසය; තවද මේ සියල්ලෙන් පසුව පවා ඔවුන් උන්වහන්සේව මනුෂ්‍යයෙකු ලෙස සලකා, තවද උන්වහන්සේ තුළ යක්ෂයෙකු ඇති බව පවසා, තවද උන්වහන්සේට කසපහර දී, උන්වහන්සේව කුරුසියේ ඇණ ගසනු ලබන්නේය.
10 තවද උන්වහන්සේ තුන්වන දින මළවුන්ගෙන් නැඟිටින සේක; තවද බලව, උන්වහන්සේ ලෝකය විනිශ්චය කරන පිණිස නැගී සිටින සේක; තවද බලව, මේ සියලු දේවල් සිදු කරනු ලබන්නේ, එනම් මනුෂ්‍ය දරුවන් කෙරෙහි ධර්මිෂ්ඨ විනිශ්චයක් පැමිණෙන පිණිසය.
11 මක්නිසාද බලව, තවද උන්වහන්සේගේ රුධිරය වන්දි ගෙවන ලද්දේ ආදම්ගේ වරද නිසා වැටුනු වූවන්ද, දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔවුන් පිළිබඳ කුමක්දැයි නොදැන මිය ගිය වූවන්, හෝ නොදැනුවත්කමින් පව් කළ වූවන්ද උදෙසාය.
12 එහෙත් ඛේදයකි, ඛේදයකි තමා දෙවියන්වහන්සේට විරුද්ධව කැරලි ගසන බව දන්නා තැනැත්තා හට! මක්නිසාද පසුතැවිලි වීම තුළින් හා ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් මිස මෙවැනි අය හට ගැළවීම නොලැබෙන්නේය.
13 තවද, දෙවි වූ ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධවූ අනාගතවක්තෘන් සියලු මනුෂ්‍ය දරුවන් අතරට යැවූයේ, මේ දේවල් සෑම ඥාතීන්, ජාතීන් සහ භාෂාවන්ට ප්‍රකාශ කරන පිණිස ය. එය කරණකොටගෙන ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන බව විශ්වාස කරන කවරෙකු වූවත්, ඔවුන්ගේ පාපයට කමාව ලබාගන්නේය, තවද උන්වහන්සේ ඒ වන විටත් ඔවුන් අතරට පැමිණ සිටියාක් මෙන්, බලවත්වු මහත් ප්‍රීතියෙන් ප්‍රීතිවන්නෝය.
14 තවදුරටත්, දෙවි වූ ස්වාමීන්වහන්සේගේ උන්වහන්සේගේ ජනතාව මුරණ්ඩු ජනතාවක් බව දුටු සේක, තවද උන්වහන්සේ මෝසෙස්ගේ නීතිය වැනි නීතියක් ඔවුන්ට නියම කළ සේක.
15 තවද, උන්වහන්සේගේ පැමිණීම ගැන බොහෝ සලකුණු ද ආශ්චර්යමත් දේ ද ආදර්ශ ද සෙවනැලි ද උන්වහන්සේ ඔවුන්ට පෙන්වූ සේක; තවද ශුද්ධ වූ අනාගතවක්තෘවරු උන්වහන්සේගේ පැමිණීම ගැන ඔවුන්ට කථා කළහ; තවද එහෙත් ඔවුන් ඔවුන්ගේ සිත් දැඩි කර ගත්තෝය, තවද උන්වහන්සේගේ රුධිරයෙන් වන්දිගෙවීම මිස, මෝසෙස්ගේ නීතියෙන් ප්‍රයෝජනයක් නොමැති බව වටහා නොගත්තෝය.
16 තවද කුඩා දරුවන්ට පව් කිරීමට හැකියාව තිබුන වුවද, ඔවුන්ව ගලවාගැනීමට නොහැකි වන්නේය; එහෙත් මම නුඹලාට කියමි, ඔවුන් ආශීර්වාද ලද්දෝ ය; මක්නිසාද බලව, ආදම් මෙන් හෝ ස්වභාවයෙන්ම ඔවුන් වැටුනද, ඒ ආකාරයෙන්ම ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය ඔවුන්ගේ පාප වෙනුවෙන් වන්දි ගෙවන සේක.
17 තවද තවදුරටත් මම නුඹලාට කියන්නෙමි, මනුෂ්‍ය දරුවන්ට ගැළවීම පැමිණිය හැකි වන වෙනත් නාමයක් වෙනත් මාර්ගයක් හෝ ක්‍රමයක් ලබාදී නොමැත්තේය, එය, සර්වබලධාරී ස්වාමීන්වහන්සේ වන ක්‍රිස්තුස්වහන්සේගේ නාමය තුළින් සහ ඒ මඟින් පමණි.
18 මක්නිසාද බලව, උන්වහන්සේ විනිශ්චය කරන සේක, තවද උන්වහන්සේගේ විනිශ්චය සාධාරණය; තවද, ඔහුගේ ළදරු වියේදී මිය යන එම ළදරුවා විනාශයට පත්නොවන්නේය; නමුත් මනුෂ්‍යයන් කුඩා දරුවන් මෙන් තමන් යටහත් පහත් වෙනවා මිස, ඔවුන් ඔවුන්ගේම ප්‍රාණවලට සදාකාලික විනාශය පානය කරන්නෝය, ගැළවීම ලබා ගත්තේත්, ලැබෙන්නේත්, පැමිණෙන්නේත් සර්වබලධාරී ස්වාමීන්වහන්සේ වන ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ රුධිරය තුලින් සහ මගින් බව විශ්වාස කිරීමෙන්ය.
19 මක්නිසාද ආදම්ගේ වැටීමේ සිට, ස්වාභාවික මනුෂ්‍යයා, දෙවියන්වහන්සේට සතුරෙකි, තවද ස්වාභාවික මනුෂ්‍යයා ඉවත දමා, ස්වාමීන් වූ ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් ශුද්ධවන්තයෙකු බවට පත්ව, තවද දරුවෙකු මෙන්, අවනත, යටහත් පහත්, නිහතමානී, ඉවසිලිවන්ත, ප්‍රේමයෙන් පිරී, දරුවෙකු පවා ඔහුගේ පියාණන්ට යටත් වන්නාවු මෙන්, යටත් වීමට කැමැත්තෙන් ස්වාමීන්වහන්සේ ඔහු මත පැමිණ වීමට සුදුසු යැයි සිතන සියලුු දේවල් දරා, ශුද්ධාත්මයාණන්ගේ පොළඹවා ගැනීම්වලට ඔහු යටත් වුවහොත් මිස, සදාකාලයෙන් සදාකාලයටම පවතිනු ඇත්තේය.
20 තවද තවදුරටත්, මම නුඹලාට කියමි, එනම් ගැළවුම්කරුවාණන් පිළිබඳ දැනුම සෑම ජාතියකටම, ඥාතීන්ට, භාෂාවන්ට සහ මනුෂ්‍යයන් මුළුල්ලෙහිම පැතිර යන කාලය පැමිණෙනු ඇත්තේය.
21 තවද බලව, එම කාලය පැමිණෙන විට, කුඩා දරුවන් හැර, කිසිවෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිදොස් ලෙස සොයාගනු නොලැබේ, පසුතැවිල්ලෙන් හා ඇදහිල්ලෙන් සර්වබලධාරී ස්වාමීන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ නාමය තුළින් පමණක් වනු ඇත්තේය.
22 තවද මේ කාලයේ දී පවා, නුඹගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ නුඹට අණ කළ දේ නුඹ නුඹගේ ජනතාවට ඉගැන්වූ විට, මා නුඹට කී වචන අනුව පමණක්, ඔවුන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි තවත් නිර්දෝෂී ලෙස සොයා නොගැනේ.
23 තවද දැන් දෙවි වූ ස්වාමීන්වහන්සේ මට අණ කළ වචන මම පවසා ඇත්තෙමි.
24 තවද, ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක: එබැවින් ඔවුන්ව විනිශ්චය කරනු ලබන්නේ සෑම මනුෂ්‍යයෙකුගේම ක්‍රියා අනුව, ඒවා යහපත් වූවත් හෝ ඒවා දුෂ්ට වූවත්; ඔවුන් විනිශ්චය දවසේදී මේ ජනතාවට විරුද්ධව දීප්තිමත් සාක්ෂියක් ලෙස පෙනී සිටිනු ඇත්තේය.
25 තවද ඒවා දුෂ්ඨ නම්, ඔවුන්ගේම වරද සහ පිළිකුල් සහගත ක්‍රියාවන් පිළිබඳ භයානක පෙනීමකට භාර කරනු ලැබේ, එමඟින් ඔවුන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හැකිළී දුක්ඛිත තත්වයට තවද, නිමක් නැති වධ වේදනා වලට ලක් වෙයි, එතැන් සිට ඔවුන්ට තව දුරටත් ආපසු හැරීමක් නොමැත; එබැවින් ඔව්හු තමන්ගේම ප්‍රාණයන්ට සදාකාලික විනාශය පානය කර තිබේ.
26 එසේහෙයින්, ඔවුන් දෙවියන්වහන්සේගේ උදහසේ කුසලානයෙන් පානය කර ඇත්තෝය, එම යුක්තිය ඔවුන්ට ප්‍රතික්ෂේප කළ නොහැකිය, එය වඩා ප්‍රතික්ෂේප වන්නේ ආදම්ගේ වැටීම මක්නිසාද තහනම් ඵලය භුක්ති විඳීමෙන්ය; එබැවින්, දයාව ඔවුන්ට සදහටම හිමි විය නොහැක.
27 තවද ඔවුන්ගේ වධ වේදනා ගිනි හා ගෙන්දගම් විලක් මෙන් වන්නේය, එහි ගිනිදැල් නොනිවේ, තවද එහි දුම සදාකාලයෙන් සදාකාලයට ඉහළට නැඟෙන්නේය. ස්වාමීන්වහන්සේ මට මෙසේ අණ කළ සේක. ආමෙන්.