ශුද්ධලියවිලි
මොසායා 17


17 වන පරිච්ඡේදය

ඇල්මා විශ්වාස කර තවද අබිනඩායිගේ වචන ලියයි – අබිනඩායි ගින්නෙහි වේදනාවෙන් මරණයට පත් වේ – ඔහු ඔහුගේ මිනීමරුවන් මත රෝග සහ ගින්නෙන් මරණය ගැන අනාවැකි කියයි. ක්‍රි.පූ. 148 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, එනම් අබිනඩායි මෙම කියමන් අවසන් කළ පසු, රජු අණ කළේ පූජකවරුන් ඔහු රැගෙන ගොස් ඔහුව මරණයට පත් කළ යුතු බවයි.

2 එහෙත් ඔවුන් මැද එක් අයෙක් සිටිය අතර ඔහුගේ නම ඇල්මා විය, ඔහු ද නීෆායිගෙන් පැවතෙන්නෙකි. තවද ඔහු තරුණ පිරිමියෙක් විය, තවද අබිනඩායි පැවසූ වචන ඔහු විශ්වාස කළේය, මක්නිසාද ඔවුන්ට විරුද්ධව අබිනඩායි සාක්ෂි දුන් අයුතුකම පිළිබඳව ඔහු දැන සිටියේය; එසේහයින් අබිනඩායි සමඟ ඔහු කෝප නොගෙන, නමුත් ඔහුට සාමයෙන් පිටත්ව යන්නට ඉඩ දෙන ලෙස ඔහු රජුගෙන් ආයාචනා කළේය.

3 එහෙත් රජු වඩාත් කෝපයට පත් වූ අතර, තවද ඇල්මා ඔවුන් අතරෙන් පලවා හැරීමටත්, තවද ඔවුන් ඔහුව මරා දමන පිණිස ඔහුගේ සේවකයන් ඔහු පසුපස යැවීය.

4 එහෙත් ඔහු ඔවුන්ගෙන් ඉවතට පලා ගොස් ඔවුන්ට සොයාගත නොහැකි වන ලෙස තමාව සඟවාගත්තේය. තවද ඔහු දින ගණනාවක් සැඟව සිටි බැවින් අබිනඩායි කතා කළ සියලු වචන ලිවීය.

5 තවද එය මෙසේ සිදු විය, එනම් රජු ඔහුගේ ආරක්ෂකයින් අබිනඩායිව වට කර ඔහුව රැගෙන යන ලෙසට සැලැස්වූවේය; තවද ඔවුන් ඔහුව බැඳ ඔහුව සිරගෙට දැමුවේය.

6 තවද දින තුනකට පසු, ඔහුගේ පූජකයන් සමඟ උපදේශ ගෙන, ඔහුව නැවත තමා ඉදිරියට ගෙන ඒමට ඔහු සැලැස්වූවේය.

7 තවද ඔහු ඔහුට මෙසේ පැවසුවේය: අබිනඩායි, අපට නුඹට විරුද්ධව චෝදනාවක් හමුවී ඇත, තවද නුඹ මරණයට සුදුසුය.

8 මක්නිසාද දෙවියන්වහන්සේ ම මනුෂ්‍ය දරුවන් අතරට පැමිණිය යුතු බව නුඹ පවසා ඇත; තවද දැන්, මෙම හේතුව නිසා නුඹ මා සහ මාගේ ජනතාව ගැන නුඹ කතා කළ නපුරු වචන ප්‍රතික්ෂේප නොකරන්නේ නම් නුඹව මරණයට පත් කරනු ලබන්නේය.

9 දැන් අබිනඩායි ඔහුට මෙසේ පැවසුවේය: මම නුඹට කියමි, මෙම ජනතාව ගැන මා නුඹට පැවසූ වචන මම ප්‍රතික්ෂේප නොකරමි, මක්නිසාද ඒවා සත්‍යය වේ; තවද එනම් ඒවයේ සත්‍යභාවය නුඹලා දැන ගන්නා පිණිස මම මා විසින් නුඹලා අතට පත්වන්නට මම ඉඩ දුන්නෙමි.

10 එසේය, තවද මම මරණය දක්වා වූවත් විඳවමි, තවද මම මාගේ වචන ප්‍රතික්ෂේප නොකරන්නෙමි, තවද ඒවා නුඹට විරුද්ධව සාක්ෂියක් ලෙස නැගී සිටිනු ඇත. තවද නුඹලා මා මරන්නේ නම් නුඹලා අහිංසක රුධිරය වගුරුවන්නේය, තවද අවසාන දවසේ දී මෙය ද නුඹට විරුද්ධව සාක්ෂියක් ලෙස නැගී සිටිනු ඇත්තේය.

11 තවද දැන් නෝවා රජු ඔහුව නිදහස් කිරීමට සූදානම් විය, මක්නිසාද ඔහු ඔහුගේ වචනයට බිය විය; මක්නිසාද දෙවියන්වහන්සේගේ විනිශ්චයන් ඔහු වෙත එනු ඇතැයි ඔහු බිය විය.

12 එහෙත් පූජකයන් ඔහුට විරුද්ධව ඔවුන්ගේ හඬ ඔසවමින්, තවද ඔහුට මෙසේ පවසමින් චෝදනා කරන්නට පටන් ගත්තේය: ඔහු රජුට අපහාස කළා. එබැවින් රජු ඔහුට විරුද්ධව කෝපයෙන් ඇවිස්සුණේය, තවද ඔහු මරා දමන පිණිස ඔහුව භාර දුන්නේය.

13 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඔහුව රැගෙන තවද ඔහුව බැඳ, එසේය, මරණය දක්වා පවා, තවද ඔහුගේ හමට දර මිටිවලින් පහර දුන්නේය.

14 තවද දැන් ගිනිදැල් ඔහුව දවන්නට පටන් ගත් විට, ඔහු ඔවුන් හට මොරගසමින්, මෙසේ පැවසුවේය:

15 බලව, නුඹලා මා හට කළාක් මෙන්, එබැවින් එය මෙසේ සිදු වනු ඇත, එනම් නුඹගේ වංශය මා විඳින වේදනාවන්, ගින්නෙන් මරණයට පත්වන වේදනාව පවා, බොහෝ දෙනෙකුට විඳීමට සලස්වන්නේය; තවද මෙසේ වන්නේ ඔවුන්ගේ දෙවියන් වන ස්වාමීන්වහන්සේගේ ගැලවීම විශ්වාස කරන බැවිනි.

16 තවද එය මෙසේ සිදු වනු ඇත්තේය, එනම් නුඹලාගේ අයුතුකම් නිසා නුඹලා සියලු ආකාරයේ රෝගවලින් පීඩා ලබන්නෝය.

17 එසේය, තවද නුඹලාට සෑම අතින්ම පහර දෙනු ලබන්නෝය, තවද කැලෑ රෑනක් කැලෑවේ බිහිසුණු මෘගයන් විසින් ලුහුබඳිනවාක් මෙන් පවා, නුඹලාව ලුහුබැඳ ඔබ මොබ විසිරුවනු ඇත්තේය.

18 තවද එදින නුඹලා දඩයම් කරනු ලබන්නහුය, තවද නුඹලාගේ සතුරන් අතින් නුඹලා අල්ලා ගනු ලබන්නහුය, තවද එවිට මා විඳින පරිදි, නුඹලා ද විඳිනු ඇත, ගින්නෙන් මරණයේ වේදනාවන් විඳින්නහුය.

19 මෙලෙස දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව විනාශ කරන්නන් මත පළිගැනීම ක්‍රියාත්මක කරන සේක. අහෝ දෙවියන්වහන්ස, මාගේ ආත්මය පිළිගනු මැනව.

20 තවද දැන්, අබිනඩායි මේ වචන කී විට, ගින්නෙන් මරණයට පත්ව, ඔහු වැටුණේය; එසේය, ඔහු මරණයට පත් කරනු ලැබුවේ දෙවියන්වහන්සේගේ අණ පනත් ප්‍රතික්ෂේප නොකරන නිසාය, ඔහුගේ වචනවල සත්‍ය බව ඔහුගේ මරණයෙන් මුද්‍රා කළේය.