15 වන පරිච්ඡේදය
ක්‍රිස්තුස්වහන්සේ පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන් යන දෙදෙනාම වන ආකාරය – උන්වහන්සේ මැදිහත් වී උන්වහන්සේගේ ජනතාවගේ වැරදි දරාගන්නා සේක – ඔවුන් සහ සියලු ශුද්ධ වූ අනාගතවක්තෘවරුන් උන්වහන්සේගේ වංශයෙන්ය – උන්වහන්සේ උත්ථානය සිදු කරන සේක – කුඩා දරුවන් හට සදාකාලික ජීවනය ඇත. ක්‍රි.පූ. 148 පමණ.
1 තවද දැන් අබිනඩායි ඔවුන් හට මෙසේ පැවසුවේය: දෙවියන්වහන්සේ උන්වහන්සේ විසින්ම මනුෂ්‍ය දරුවන් අතර පහතට පැමිණ, තවද උන්වහන්සේගේ ජනතාව මුදවා ගන්නා බව නුඹලා තේරුම් ගන්නවාට මම කැමැත්තෙමි.
2 තවද උන්වහන්සේ මාංශයේ වාසය කරන බැවින් උන්වහන්සේව දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ලෙස හඳුන්වනු ලබන අතර, තවද පියාණන්වහන්සේගේ කැමැත්තට මාංශය යටත් කර, පියාණන්වහන්සේ ද පුත්‍රයාණන් ද වන සේක –
3 පියාණන්වහන්සේ වන්නේ, උන්වහන්සේව දෙවියන්වහන්සේගේ බලයෙන් පිළිසිඳගත් නිසාවෙනි; තවද පුත්‍රයාණන් වන්නේ, මාංශය නිසාවෙනි; මෙලෙස පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන් බවට පත් වූ සේක –
4 තවද උන්වහන්සේලා එකම දෙවියන්වහන්සේය, එසේය, ස්වර්ගයෙත් පොළොවෙත් සත්‍ය සදාකාලික පියාණන්වහන්සේ වන සේක.
5 තවද මෙසේ මාංශය ආත්මයාණන්වහන්සේට, නැතහොත් පුත්‍රයාණන් පියාණන්වහන්සේට යටත් ව, එක ම දෙවියන්වහන්සේ වීම නිසා, පරික්ෂාවෙන් වේදනා විඳ, තවද පරීක්ෂාවට යටත් නොවන සේක, එහෙත් තමන්වහන්සේව අවමානයට ලක් කිරීමටත්, තවද කස පහරට ලක් කිරීමටත්, තවද පලවා හැරීමටත්, තවද උන්වහන්සේගේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීමටත් ඉඩ දුන් සේක.
6 තවද මේ සියල්ලටම පසු, මනුෂ්‍ය දරුවන් අතර බොහෝ බලවත් හාස්කම් කිරීමෙන් පසු, උන්වහන්සේව ගෙන යනු ඇත, එසේය, යෙසායා කී පරිදි, බැටළුවෙකු ලෝම කපන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්නාක් මෙන්, උන්වහන්සේ තමන්වහන්සේගේ මුඛය නෑර සිටි සේක.
7 එසේය, මෙලෙස වුවද උන්වහන්සේව ගෙන යනු ලැබ, කුරුසිපත් කරනු ලැබ, තවද මරනු ඇත, මාංශය මරණයට ද යටත් වනු ඇත, පුත්‍රයාණන්ගේ කැමැත්ත පියාණන්වහන්සේගේ කැමැත්ත තුළ ගිල දමනු ලබන සේක.
8 තවද මෙසේ දෙවියන්වහන්සේ මරණයේ බැමි බිඳ හෙලන සේක, මරණයට එරෙහිව ජයග්‍රහණය ලබමින්; මනුෂ්‍ය දරුවන් උදෙසා මැදිහත් වීිම සඳහා පුත්‍රයාණන් හට බලය ලබා දුන් සේක –
9 කරුණාවේ අභ්‍යන්තරයන් ඇතිව, ස්වර්ගයට ඔසවනු ලැබ; මනුෂ්‍ය දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් පුර්ණව; යුක්තිය සහ ඔවුන් අතර පෙනී සිටිමින්; මරණයේ බැමි බිඳ දමා, උන්වහන්සේ මතට ඔවුන්ගේ අයුතුකම සහ ඔවුන්ගේ වැරදි ගෙන, ඔවුන් මුදවා ගනිමින්, තවද යුක්තියේ ඉල්ලීම් තෘප්තිමත් කළ සේක.
10 තවද දැන් මම නුඹට කියමි, උන්වහන්සේගේ පරම්පරාව ප්‍රකාශ කරන්නේ කවුරුන් ද? බලව, මම නුඹට කියමි, එනම් උන්වහන්සේගේ ආත්මය පාපය වෙනුවෙන් පූජාවක් ලෙස ලබා දුන් විට උන්වහන්සේ තමන්වහන්සේගේ වංශය දකින සේක. තවද දැන් නුඹලා කුමක් කියන්නෙහි ද? තවද උන්වහන්සේගේ වංශය වන්නේ කවරෙක් ද?
11 බලව මම නුඹට කියමි, එනම් අනාගතවක්තෘවරුන්ගේ වචන ඇසූ කවරෙක් වූවත්, එසේය, ස්වාමීන්වහන්සේගේ පැමිණීම පිළිබඳව අනාවැකි කියූ සියලු ශුද්ධ අනාගතවක්තෘවරුන් ද – මම නුඹට කියමි, එනම් ඔවුන්ගේ වචනවලට ඇහුම්කන් දුන්, තවද ස්වාමීන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාව මුදවා ගන්නා බවට විශ්වාස කළ, තවද ඔවුන්ගේ පව් කමාව ලබා ගැනීමට එම දිනය තෙක් බලාපොරොත්තුවෙන් සිටි සියලු දෙනා, මම නුඹට කියමි, එනම් මොවුන් උන්වහන්සේගේ වංශයයි, නැතහොත් ඔවුන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ උරුමක්කාරයෝය.
12 මක්නිසාද උන්වහන්සේ දැරුවා වූ පව් මොවුන්ගේය; උන්වහන්සේ මරණයට පත් වූයේ මොවුන් උදෙසාය, ඔවුන් ඔවුන්ගේ අපරාධවලින් මුදවා ගනු පිණිසය. තවද දැන්, ඔවුන් උන්වහන්සේගේ වංශය නොවන්නේ ද?
13 එසේය, එනම් වරදට නොවැටුන, මා අදහස් කරන්නේ ලෝකයේ පටන්ගැන්මේ සිට සිටින්නාවූ සියලු ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්, තවද අනාවැකි කීමට මුඛය විවෘත කළා වූ සෑම කෙනෙකුම, අනාගතවක්තෘවරුන් නොවේ ද? ඔවුන් උන්වහන්සේගේ වංශය වන බව මම නුඹට කියමි.
14 තවද ඔවුන් සාමය ප්‍රකාශ කළ අය වේ, යහපත පිළබඳ යහපත් ආරංචි ගෙනා, ගැලවීම ප්‍රකාශ කළ අය වේ; තවද සයන් හට පැවසූ: නුඹගේ දෙවියන්වහන්සේ රජකම් කරන සේක!
15 තවද අහෝ ඔවුන්ගේ අඩි කඳු මත කෙතරම් අලංකාර ද!
16 තවද නැවතත්, තවමත් සාමය ප්‍රකාශ කරන්නන්ගේ අඩි කඳු මත කෙතරම් අලංකාර ද!
17 තවද නැවතත්, මෙතැන් පටන්, එසේය, මෙම කාලයේ සිට මින් ඉදිරියටත් තවද සදාකාලයටත්, සාමය ප්‍රකාශ කරන්නන්ගේ අඩි කඳු මත කෙතරම් අලංකාර ද!
18 තවද බලව, මම නුඹට කියමි, මෙපමණක් නොව. මක්නිසාද අහෝ යහපත් ආරංචි ගෙනෙන තැනැත්තාගේ අඩි කඳු මත කෙතරම් අලංකාර ද, එය සාමයේ ආදිකර්තෘ වන්නේය, එසේය, තමන්වහන්සේගේ ජනතාව මුදවාගත්, ස්වාමීන්වහන්සේ පවා; එසේය, උන්වහන්සේගේ ජනතාවට ගැලවීම ලබා දුන් තැනැන්වහන්සේ ය;
19 මක්නිසාද ලෝකයේ පටන්ගැන්මේ සිට සූදානම් කරන ලද, උන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාව වෙනුවෙන් නිම කළ මුදවා ගැනීම නොවූයේ නම්, මම නුඹට කියමි, මෙය නොවූයේ නම්, මනුෂ්‍ය වර්ගයා සියල්ලෝම විනාශ වන්නට ඉඩ තිබුණි.
20 එහෙත් බලව, මරණයේ බැමි බිඳ දමනු ලබන්නේය, තවද පුත්‍රයාණන් රජකම් කරන සේක, තවද මළවුන් කෙරෙහි බලය තිබෙන සේක; එසේහෙයින්, උන්වහන්සේ මළවුන්ගේ උත්ථානය සිදු කරන සේක.
21 තවද උත්ථානයක් පැමිණෙන්නේය, පළමු උත්ථානයක් ද පවා වන්නේය; එසේය, සිටි තැනැත්තන්ගේ ද, තවද සිටිනා අයගේ ද, තවද සිටින්නට ඇත්තාවුන්ගේ ද උත්ථානයක් ද, ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානය වන තුරු පවා – මක්නිසාද මෙසේ උන්වහන්සේව හඳුන්වනු ඇත.
22 තවද දැන්, සියලු අනාගතවක්තෘවරුන්ගේ උත්ථානය ද, තවද ඔවුන්ගේ වචන විශ්වාස කළ සියල්ලන්ගේ ද, නැතහොත් දෙවියන්වහන්සේගේ අණ පනත් තබන ලද සියල්ලන්ගේ ද, පළමු උත්ථානයේ දී ඉදිරියට පැමිණෙනු ඇත; එබැවින්, ඔවුන් පළමු උත්ථානය වේ.
23 ඔවුන්ව මුදවා ගත් දෙවියන්වහන්සේ සමඟ වාසය කිරීමට ඔවුන් ඔසවනු ලැබුවෝය; මෙලෙස, මරණයේ බැමි බිඳ දමනු ලැබූ, ක්‍රිස්තුස්වහන්සේ තුළින් ඔවුන්ට සදාකාලික ජීවනය ලැබෙනු ඇත.
24 තවද පළමු උත්ථානයේ කොටසකට හිමිකම් ඇත්තේ මොවුන්ය; තවද ඔවුන්ගේ නොදැනුවත්කම තුළ, ඔවුන් හට ගැලවීම ප්‍රකාශ නොකළ, මොවුන් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමට පෙර මියගිය තැනැත්තන් වේ. තවද මෙසේ ස්වාමීන්වහන්සේ මොවුන් නැවත පිහිටුවීමකට ගෙන එන සේක; තවද ක්‍රිස්තුස්වහන්සේ විසින් මුදවාගනු ලැබ, ඔවුන්ට පළමු උත්ථානයේ කොටසකට හිමිකම් ඇත, නැතහොත් සදාකාලික ජීවනය ඇත.
25 තවද කුඩා දරුවන්ට ද සදාකාලික ජීවනය තිබේ.
26 එහෙත් බලව, තවද බිය වන්න, තවද දෙවියන්වහන්සේ අභියස වෙව්ලාපන්න, මක්නිසාද නුඹලා වෙව්ලිය යුතුව ඇත; මක්නිසාද ස්වාමීන්වහන්සේ උන්වහන්සේට විරුද්ධව කැරලිගසන්නන් හා ඔවුන්ගේ පාපයන් තුළ මිය යන කිසිවෙකු මුදවා නොගන්නා සේක; එසේය, ලෝකයේ පටන්ගැන්මේ සිට ඔවුන්ගේ පාපයන් තුළ විනාශයට පත් වූ සියල්ලන්, එනම් දෙවියන්වහන්සේට විරුද්ධව කැමැත්තෙන් කැරලි ගැසූ, එනම් දෙවියන්වහන්සේගේ අණ පනත් දැන, තවද ඒවා නොතබන තැනැත්තන් ද පවා; පළමු උත්ථානයේ කිසිඳු කොටසකට හිමිකාරිත්වයක් නැත්තේ මොවුන්ටය.
27 එසේහෙයින් නුඹලා වෙව්ලිය යුතු නොවන්නේ ද? මක්නිසාද ගැලවීම එවැනි කිසිවෙකුට නොපැමිණෙන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ එවැනි කිසිවෙක් මුදවා නොගත් සේක; එසේය, එවැන්නෙක් ස්වාමීන්වහන්සේට මුදවා ගත ද නොහැක; මක්නිසාද උන්වහන්සේට තමන්වහන්සේව ප්‍රතික්ෂේප කළ නොහැක; මක්නිසාද යුක්තියට හිමිකමක් ඇති විට උන්වහන්සේ හට එය ප්‍රතික්ෂේප කළ නොහැකි වන සේක.
28 තවද දැන් මම නුඹට කියමි, එනම් ස්වාමීන්වහන්සේගේ ගැලවීම සියලු ජාතීන්ට, ඥාතීන්ට, භාෂාවන්ට, සහ ජනතාවට ප්‍රකාශ කළ යුතු කාලය පැමිණෙනු ඇත.
29 එසේය, ස්වාමීන්වහන්සේ, ඔබවහන්සේගේ මුරකරුවන් ඔවුන්ගේ හඬ ඔසවනු ඇත; ඔවුන් එක් හඬක් සමඟින් ගායනා කරනු ඇත; මක්නිසාද ස්වාමීන්වහන්සේ සයන් රැගෙන එන කල, ඔවුන් ඇසට ඇස දකිනු ඇත.
30 ප්‍රීතිමත්ව මොරගසන්න, ජෙරුසලමේ පාළු ස්ථානවල නුඹලා, එක්ව ගයන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව සැනසූ සේක, උන්වහන්සේ ජෙරුසලම මුදවාගත් සේක.
31 ස්වාමීන්වහන්සේ සියලු ජාතීන් ඉදිරියෙහි තමන්වහන්සේගේ ශුද්ධ වූ හස්තය නිරාවරණය කළ සේක; තවද පොළොවේ සියලු කෙළවරවල් දක්වා අපගේ දෙවියන්වහන්සේගේ ගැලවීම දකිනු ලබන්නේය.