18 වන පරිච්ඡේදය
ඇල්මා පුද්ගලිකව දේශනා කරයි – ඔහු මොර්මන්ගේ ජලයන්හි බෞතිස්මයේ ගිවිසුම ගෙන බෞතිස්ම කරයි – ඔහු ක්‍රිස්තුස්වහන්සේගේ සභාව සංවිධානය කර පූජකවරුන් නියම කරයි – ඔවුන් ජනතාවට උගන්වා ඔවුන්ටම ද උපකාර කරති – ඇල්මා සහ ඔහුගේ ජනතාව නෝවා රජුගෙන් පලා වනාන්තරයට යති. ක්‍රි.පූ. 147–145 පමණ.
1 තවද දැන්, එය මෙසේ සිදු විය, එනම් නෝවා රජුගේ මෙහෙකරුවන්ගෙන් පලා ගිය ඇල්මා, ඔහුගේ පාපයන් සහ අයුතුකම් කෙරෙහි පසුතැවිලි වී, පුද්ගලිකව ජනතාව අතරට ගොස්, අබිනඩායිගේ වචන ඉගැන්වීමට පටන් ගත්තේය –
2 එසේය, එනම් පැමිණීමට නියමිතව තිබූ දේ ද, මරණයට පත්වූවන්ගේ උත්ථානය පිළිබඳව ද, ජනතාවගේ මිදීම ද, එනම් බලයෙන් සිදු වන්නට වූ, සහ වේදනාවන්, සහ ක්‍රිස්තුස්වහන්සේගේ මරණය, සහ උන්වහන්සේගේ උත්ථානය ද ස්වර්ගයට නැගීමද පිළිබඳව ය.
3 තවද ඔහුගේ වචනයට සවන් දෙන්නා වූ බොහෝ දෙනෙකුට ඔහු ඉගැන්වීය. තවද ඔහු ඔවුන්ට පුද්ගලිකව ඉගැන්වූයේ, එනම් එය රජුගේ අවබෝධයට නොඑන සේය. තවද බොහෝ දෙනා ඔහුගේ වචන විශ්වාස කළෝය.
4 තවද එය මෙසේ සිදු විය, කාලයන් හෝ සමයන්හි, වනගත සතුන්ගෙන් නිරතුරු උපද්‍රව කරනු ලැබුවාවූ එම දේශයේ මායිම්හි තිබූ, එනම් රජුන්ගෙන් එහි නාමය ලැබූ මොර්මන් නම් ස්ථානයට, ඔහුව විශ්වාස කළ තරමට ඔවුන් ගමන් ගත්තෝය.
5 දැන්, එහි මොර්මන්හි පවිත්‍ර ජලයෙන් වූ උල්පතක් තිබුනේය, තවද ඇල්මා එහි ගැවසුණේය, ජලය අසළ කුඩා ගස් මූකළන් තිබූ බැවින්, ඔහු දිවා කාලයේදී රජුගේ සෙවීම්වලින් සැඟවීමට එහි සිටියේය.
6 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහුව විශ්වාස කළ තරම් බොහෝ දෙනෙකු ඔහුගේ වචනවලට සවන් දීමට එහි ගියෝය.
7 තවද එය මෙසේ සිදු විය, එනම් බොහෝ දිනකට පසු, ඇල්මා වචනවලට සවන් දීමට, මොර්මන්ගේ ස්ථානයෙහි එක් රැස් වූ තරමක සමූහයක් සිටියෝය. එසේය, ඔහුට සවන් දීමට, ඔහුගේ වචනය විශ්වාස කළ සියලු දෙනාම එක් රැස් වූවෝය. තවද ඔහු ඔවුන්ට ඉගැන්වූයේය, තවද ඔවුන් හට පසුතැවිලිවීම ද, මිදීම සහ ස්වාමීන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ද දේශනා කළේය.
8 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ඔවුන් හට මෙසේ කීවේය: බලව, මේ තිබෙන්නේ මොර්මන්හි ජලයන් ය (මක්නිසාද ඒවා එසේ නම් කර තිබුනේය) තවද දැන්, නුඹලා දෙවියන්වහන්සේගේ රැළ තුළට පැමිණ, උන්වහන්සේගේ ජනතාව යැයි අඬ ගසනු ලැබීමට ආශා කරන හෙයින්, එකිනෙකාගේ බර පහසු වන සේ, උසුලාගැනීමට ද කැමැත්තෙන් සිටින හෙයින්;
9 එසේය, තවද ශෝකවන්නෝ සමඟ ශෝක වීමට කැමැත්තෙන් සිටින හෙයින් ද; එසේය, සැනසීම අවශ්‍යව සිටින අය සමඟ සිට ගෙන සනසවන්නට ද, දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස සෑමවිටම සහ සෑමදෙයකදීම සහ, නුඹලා සිටින්නා වූ සෑම ස්ථානයකදීම සිට ගැනීමට, මරණය තෙක් පවා ද, එනම් නුඹලා දෙවියන්වහන්සේ තුළින් මිදී, පළමුවන උත්ථානයේදී ගණන් ගත්වූවන් සමඟ, එනම් නුඹලා සදාකාලික ජීවිතය ලබා ගන්නා හෙයින් ය –
10 දැන් මම නුඹලාට කියන්නෙමි, මෙය නුඹලාගේ හදවත්හි ඇති ආශාව වන්නේ නම්, ස්වාමීන්වහන්සේගේ නාමයෙන් බෞතීස්ම වී, උන්වහන්සේ ඉදිරියෙහි සාක්ෂිකරුවෙකු ලෙස එනම් උන්වහන්සේ සමඟ ගිවිසුමකට ඇතුළත් වී, එනම් නුඹලා උන්වහන්සේට සේවය කර උන්වහන්සේගේ අණපනත් තබන සේ, එනම් උන්වහන්සේ උන්වහන්සේගේ ආත්මය තවත් අධික ලෙස නුඹ කෙරෙහි වගුරන්නේනම්, එයට එරෙහිව නුඹලාට තිබෙන්නේ කුමක්ද?
11 තවද දැන්, ජනතාව මේ වචන ඇසූ විට, ඔවුන් ඔවුන්ගේ දෑත් ප්‍රීතියෙන් අත්පොළසන් ගසා: මෙය අපගේ හදවත්හි ඇති ආශාව වේ, යැයි කෑගැසුවෝය.
12 තවද දැන්, එය මෙසේ සිදු විය, එනම් පළමුවූවන්ගෙන් එක් අයෙකු වන, හීලම්ව ඇල්මා රැගෙන, ජලයට ගොස් සිට ගත් විට, මොරගසා, මෙසේ පැවසුවේය: අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේගේ ආත්මය ඔබවහන්සේගේ මෙහෙකරුවා මත වගුරුවන සේක, එනම් ඔහු ඔහුගේ හදවතෙහි ශුද්ධභාවයෙන් මෙම කාර්යයන් කරන මෙන් ය.
13 දැන් ඔහු මෙම වචන ඇසූ විට, ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔහු මත විය, තවද ඔහු මෙසේ පැවසුවේය: හීලම්, සර්වබලධාරී දෙවියන්වහන්සේගෙන් ලබා ගත් අධිකාරී බලයෙන්, මම නුඹව බෞතීස්ම කරමි, එනම් නුඹ ගිවිසුමකට ඇතුළු වූ සාක්ෂිකරුවෙකු ලෙස නුඹ මැරෙනසුලු ශරීරයෙහි මැරෙණ තෙක් උන්වහන්සේට සේවය කළ යුතුය; තවද ස්වාමීන්වහන්සේගේ ආත්මය නුඹ මත වගුරුවන සේක්වා; තවද ලෝකයේ පටන්ගැන්ම සිට උන්වහන්සේ සූදානම් කර ඇති, ක්‍රිස්තුස්වහන්සේගේ මිදීම තුළින්, උන්වහන්සේ නුඹට සදාකාලික ජීවිතය දීමනා කරන සේක්වා.
14 දැන් ඇල්මා මෙම වචන පැවසූ පසු, ඇල්මා සහ හීලම් දෙදෙනාම ජලයෙහි ගිල්වනු ලද්දේය; තවද ඔවුන් නැඟිට ප්‍රීතියෙන්, සහ ආත්මයාණන්ගෙන් පූර්ණව ජලයෙන් පිටතට ආවෝය.
15 තවද නැවතත්, ඇල්මා තව කෙනෙකු ගෙන, දෙවන වරටත් ජලය තුලට ගොස්, පළමු අයගේ ආකාරයට බෞතීස්ම කළේය, එහෙත් ඔහු ඔහුව නැවතත් ජලයෙහි ගිල්වූයේ නැත.
16 තවද මෙම ආකාරයට අනුව ඔහු මෝර්මන්ගේ ස්ථානයට යන්නාවූ සියලු දෙනා බෞතීස්ම කළේය; තවද ගණනින් ඔවුන් ප්‍රාණයන් දෙසිය හතරක් පමණ විය; තවද මොර්මන්ගේ ජලයෙහි ඔවුන් බෞතීස්ම වී, දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පූර්ණ විය.
17 තවද එම කාලය සිට, ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව නොහොත්, දෙවියන්වහන්සේගේ සභාව යැයි නම් කරන ලදී, තවද එය මෙසේ සිදු විය, එනම් දෙවියන්වහන්සේගේ බලයෙන් සහ අධිකාරී බලයෙන් බෞතීස්ම වූ කවුරු නමුත් උන්වහන්සේගේ සභාවට එක් කරනු ලැබුවේය.
18 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා, දෙවියන්වහන්සේගෙන් අධිකාරී බලය ලබා, පූජකවරයන් නියම කළේය; ඔවුන්ගේ ගණනෙහි පනස්දෙනෙකුගෙන් එක් අයෙකුට පවා ද ඔහු නියම කළේ ඔවුන් හට දේශනා කිරීමට, සහ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට අදාළව පවතින දේවල් පිළිබඳව ඉගැන්වීමටය.
19 තවද ඔහු උගන්වා ඇති දේ ද, ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් පවසා ඇති දේ මිස, වෙන කිසිවක් ඔවුන් උගන්වනු නොකළ යුතු යැයි ඔහු ඔවුන්ට අණ කළේය.
20 එසේය, එපමණක් නොව, උන්වහන්සේගේ ජනතාව මුදවා ගත්, ස්වාමීන්වහන්සේ කෙරෙහි පසුතැවිල්ල සහ ඇදහිල්ල මිස ඔවුන් වෙන කිසිවක් උගන්වනු නොකළ යුතු යැයි ඔහු ඔවුන්ට අණ කළේය.
21 තවද එකිනෙකා අතර මතභේද නොතිබිය යුතු යැයි ඔහු ඔවුන්ට අණ කළේය, එහෙත් ඔවුන් එක් ඇසකින් ඉදිරිය දෙස බලා සිටිය යුතු බවත්, එක් ඇදහිල්ලක් සහ එක් බෞතිස්මයක් ඇතුව, එකිනෙකා කෙරෙහි ඇති ඒකත්වයෙන් සහ ප්‍රේමයෙන් ඔවුන්ගේ හදවත් ගොතන ලද මෙන් තැබිය යුතු බවය.
22 තවද ඔහු එසේ ඔවුන්ට දේශනා කිරීමට අණ කළේය. තවද ඔවුන් එසේ දෙවියන්වහන්සේගේ දරුවන් බවට පත් විය.
23 තවද ඔවුන් සබත් දවස පිළිපැද, එය ශුද්ධව තැබීමට ද, එසේම සෑම දවසකදීම ඔවුන් ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේට තුති පිදිය යුතු බවට ද ඔහු ඔවුන්ට අණ කළේය.
24 තවද ඔහු නියම කල පූජකවරුන් ඔවුන්ගේම දෑතින් ඔවුන්ගේ උපකාරයට වෙහෙස විය යුතු බව ඔහු එසේම අණ කළේය.
25 තවද ඔවුන් එකට එක් රැස් වී ජනතාවට ඉගැන්වීමට, සහ ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේට නමස්කාර කිරීමට, සහ එසේම ඔවුන්ගේ බලයේ ඇති තෙක්, ඔවුන්ව රැස් කිරීමට, සෑම සතියකම එක් දිනයක් තිබුනේය.
26 තවද පූජකවරයන් ජනතාව මත ඔවුන්ගේ උපකාරයට යැපෙන්නට නොවීය; එහෙත් ඔවුන්ගේ වෙහෙසට ඔවුන්ට දෙවියන්වහන්සේගේ කරුණාව ලැබීය, එනම් ඔවුන් දෙවියන්වහන්සේ පිළිබඳව දැනුම ඇතුව, එනම් ඔවුන් ආත්මයාණන් කෙරෙහි ශක්තිමත්ව වර්ධනය වීම සඳහා, දෙවියන්වහන්සේගේ බලය සහ අධිකාරී බලයෙන් යුක්තව ඉගැන්වීමටය.
27 තවද නැවතත් සභාවේ ජනතාව ඔවුන්ගේ ධනයෙන් බෙදා හරින මෙන්, ඔහු සතු දේ අනුව සෑම කෙනෙකුම; ඔහුට බහුලව ඇත්නම් ඔහු බහුලව බෙදා හැරිය යුතුය; තවද මඳක් ඇති ඔහුගෙන්, අවශ්‍ය වන්නේ මඳක් ය; තවද නොමැති අයට ලබා දිය යුතු බව ඇල්මා අණ කළේය.
28 තවද එසේම ඔවුන් ඔවුන්ගේ ධනය බෙදා හැරිය යුත්තේ ඔවුන්ගේම සියකැමැත්තෙන් සහ දෙවියන්වහන්සේ උදෙසා ඇති යහපත් ආශාවන් නිසා, සහ අවශ්‍යතාවයෙන් සිටින ඒ පූජකවරුන්ට, එසේය, තවද සෑම අවශ්‍යතාවයෙන් පෙළෙන, නිරුවත් ප්‍රාණයකටය.
29 තවද ඔහු මෙය ඔවුන් හට පැවසුවේ, දෙවියන්වහන්සේගෙන් අණ ලැබූ පරිදිය; තවද ඔවුන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඍජුව ගමන් ගත් අතර, අවශ්‍යතාවයන් සහ වුවමනාවලට අනුව ලෞකික සහ ආත්මික දෙකින්ම එකිනෙකාට බෙදා හැරුවෝය.
30 තවද එය මෙසේ සිදු විය, එනම් මේ සියල්ල සිදු කරනු ලැබුවේ මොර්මන්හි දී ය, එසේය, මොර්මන්ගේ ජලයන් අසළදී ය, මොර්මන්ගේ ජලයන් අසළ තිබූ වනයේදී ය; එසේය, මොර්මන් ස්ථානය, මොර්මන්ගේ ජලයන්, මොර්මන්ගේ වනය දී ය, ඔවුන්ගේ මිදුම්කරුවාණන් පිළිබඳව ඇති දැනුමට පැමිණි අයගේ ඇස්වලට ඒවා කෙතරම් අලංකාරද; එසේය, ඔවුන් කෙතරම් ආශිර්වාදලද්දෝ ද, මක්නිසාද ඔවුන් සදාකාලයටම උන්වහන්සේට ප්‍රශංසා ගායනා කරන්නෝය.
31 තවද මේ දේවල් සිදු කරනු ලැබුවේ දේශයේ මායිම්වල ය, එනම් ඒවා රජුගේ දැනුමට නොපැමිණෙන හෙයින්ය.
32 එහෙත් බලව, එය මෙසේ සිදු විය, එනම් රජු, ජනතාව අතර චලනයක් සොයා ගත් විට, ඔවුන්ව අධීක්ෂණය කිරීමට ඔහුගේ මෙහෙකරුවන් යැව්වේය. එසේහෙයින් ස්වාමීන්වහන්සේගේ වචනයට සවන් දීමට ඔවුන් ඔවුන්ව එකට එක්රැස් කරන දිනයේදී රජු වෙතින් සොයා ගනු ලැබුවෝය.
33 තවද දැන් ඇල්මා ඔහුට එරෙහිව ජනතාව කැරැල්ලකට කළඹන බවට රජු පැවසීය; එසේහෙයින් ඔවුන්ව විනාශ කිරීමට ඔහු ඔහුගේ සේනාව යැව්වේය.
34 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා සහ ස්වාමීන්වහන්සේගේ ජනතාව රජුගේ සේනාවේ පැමිණීම පිළිබඳව සැල කරනු ලැබුවෝය; එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ කූඩාරම් සහ ඔවුන්ගේ පවුල් ද රැගෙන වනාන්තරය තුළට නික්ම ගියෝය.
35 තවද ඔවුන් ගණනින් ප්‍රාණයන් හාරසිය පනහක් පමණ විය.