ශුද්ධලියවිලි
මොසායා 11


11 වන පරිච්ඡේදය

නෝවා රජ දුෂ්ටකමින් පාලනය කරයි – ඔහු ඔහුගේ භාර්යාවන් සහ උපභාර්යාවන් සමඟ ප්‍රීති ඝෝෂාවෙන් අසංවර ජීවිතයක් ගත කරයි – අබිනඩායි ජනතාව වහල්භාවයට රැගෙන යනු ලබන බවට අනාවැකි කියයි – නෝවා රජු ඔහුගේ ජීවිතය නැසීමට සොයයි. ක්‍රි.පූ. 160–150 පමණ.

1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් සෙනිෆ් රාජ්‍යය ඔහුගේ එක් අයෙකු වූ, නෝවා හට පවරන ලද්දේය; එබැවින් නෝවා ඔහු වෙනුවට රාජ්‍ය පාලනය ආරම්භ කරයි; තවද ඔහු ඔහුගේ පියාගේ මාර්ගයේ ගමන් නොකෙරුවේය.

2 මක්නිසාද බලව, ඔහු දෙවියන්වහන්සේගේ අණ පනත් නොපිළිපැද්දේය, එහෙත් ඔහු ඔහුගේ හදවතේ ආශාවන්ට අනුව ගමන් කළේය. තවද ඔහුට බොහෝ භාර්යාවන් සහ උපභාර්යාවන් සිටියේය. තවද ඔහු ඔහුගේ ජනතාවට පාපයන් කිරීමට සලස්වා, තවද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිකුල් සහගත දේ කළේය. එසේය, තවද ඔවුන් වේශ්‍යාකම් සහ සියලු ආකාරයේ දුෂ්ටකම් කළෝය.

3 තවද ඔහු ඔවුන්ට අයත් සියලු දෙයින් පහෙන් එකක බද්දක් අය කළේය. ඔවුන්ගේ රත්‍රන් වලින්ද, තවද ඔවුන්ගේ රිදීවලින්ද, තවද පහෙන් කොටසක් ඔවුන්ගේ සිෆ් වලින් ද, තවද ඔවුන්ගේ තඹ වලින් ද, තවද ඔවුන්ගේ පිත්තල ද, තවද ඔවුන්ගේ යකඩ වලින් ද; තවද ඔවුන්ගේ තරබාරු සතුන්ගෙන් පහෙන් කොටසක් ද; තවද එසේම ඔවුන්ගේ ධාන්‍ය සියල්ලෙන්ම ද පහෙන් කොටසක් ද විය.

4 තවද ඔහු මෙය ගනු ලැබුවේ ඔහුගේ ද, තවද ඔහුගේ භාර්යාවන් සහ තවද ඔහුගේ උපභාර්යාවන්ගේ නඩත්තුව උදෙසාත්ය; තවද එසේම ඔහුගේ පූජකයින් ගේ ද, තවද ඔවුන්ගේ භාර්යාවන් හා උපභාර්යාවන් ද සඳහා ය; එසේම ඔහු රාජධානියේ කටයුතු වෙනස් කළේය.

5 මක්නිසාද ඔහු ඔහුගේ පියා විසින් කැප කරනු ලැබූ සියලුම පූජකවරුන් නෙරපා දැමුවේය, තවද ඔවුන් වෙනුවට අලුත් අයව කැප කළේය, මේ ආකාරයෙන් ඔවුන්ගේ හදවත් උඩඟුකමෙන් වැඩි වූයේය.

6 එසේය, තවද මෙසේ නෝවා රජු ඔවුන්ගේ අලසකමට සහාය විය, තවද ඔවුන්ගේ රූප වන්දනාවන්ට, තවද ඔවුන්ගේ වෛශ්‍යාකම්වලට, නෝවා රජු ඔහුගේ ජනතාව මත පැටවූ බදු වලින්ය; මෙසේ ජනතාව අයුතුකම් වලට ආධාර කිරීමට බොහෝ සෙයින් වෙහෙසුණෝය.

7 එසේය, තවද ඔවුන් ද එසේම රූප වන්දනාකරුවන් විය, මක්නිසාද ඔවුන් රජුගේ ද පූජකයන්ගේ ද නිෂ්ඵල සහ චාටු බස්වලට රැවටිනි; මක්නිසාද ඔවුන් ඔවුන් හට චාටු බස් කීවෝය.

8 තවද එය මෙසේ සිදු විය, එනම් නෝවා රජු ශෝභන සහ විශාල ගොඩනැගිලි ඉදි කෙරුවේය; තවද ඔහු ඒවා විශිෂ්ඨ ලී වැඩ වලින් සැරසුවේය, තවද සියලු ආකාරයේ අනර්ඝ දේවල් වූ රත්රන් ද, තවද රිදී ද, තවද ලෝහයන් ද, පිත්තල ද, තවද සිෆ් ද, තවද තඹ ආදියෙන් ද විය.

9 තවද ඔහු එසේම ඔහු වෙනුවෙන් විසල් මාලිගාවක් ගොඩනැගුවේය, තවද එහි මැද සිංහාසනයක් ද, ඒ සියල්ල විශිෂ්ඨ ලීවලින් ද, තවද රන් සහ රිදීවලින් ද තවද අනර්ඝ දේවලින් සරසන ලදී.

10 තවද ඔහු එසේම එනම් ඔහුගේ සේවකයන් දේවමාළිගාවේ පවුරු තුළ සියළු ආකාරයේ ලී වලින් ද, තවද තඹවලින් ද, තවද පිත්තලවලින් ද, විශිෂ්ඨ වැඩ කරවීමට සැලැස්සුවේය.

11 තවද උත්තම පූජකවරුන් සඳහා වෙන් කරන ලද අසුන්, අන් සියලු අසුන් වලට වඩා ඉහළින්, ඔහු ඒවා ශුද්ධ රත්රන් වලින් සැරසිලි කළේය; තවද ඔහු ඔවුන් ඉදිරියෙහි ළය වැස්මක් සෑදීමට සැලැස්සුවේය, එනම් ඔවුන් ඔවුන්ගේ ජනතාවට බොරු සහ නිෂ්ඵල වචන කතා කරන විට ඔවුන්ගේ ශරීර සහ ඔවුන්ගේ හස්තය එය මත රැඳී සිටින පිණිසය.

12 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු දේවමාළිගාව අසළ කුළුණක් සෑදුවේය; එසේය, ඉතා උස් කුළුණක් ය, එය කෙතරම් උස් වූයේද යත්, එනම් ඔහු එහි මුදුනේ සිටගත් විට, ලේමන්වරුන්ට අයත්, ශිලොම්ගේ දේශය ද එමෙන්ම ශෙම්ලොන්ගේ දේශය ද දෙස බලා සිටීමට; තවද අවට සියලු දේශ බැලීමට පවා ඔහුට හැකි විය.

13 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ශිලොම් දේශයේ ගොඩනැඟිලි බොහෝමයක් සෑදීමට සැලැස්සුවේය; තවද ඔහු ශිලොම් දේශයට උතුරින් පිහිටි කන්ද මත විශාල කුළුණක් ගොඩනැගීමට සැලැස්සුවේය, එනම් එය නීෆායිගේ දරුවන් දේශයෙන් පලා ගිය අවස්ථාවේ ඔවුන්ගේ සුරක්ෂිතය විය; තවද මෙසේ ඔහුගේ ජනතාවගේ බදු අය කර ගැනීමෙන් ලබාගත් ධනයෙන් ඔහු එය කළේය.

14 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු තම හදවත ඔහුගේ ධනය මත තැබුවේය, තවද ඔහු ඔහුගේ කාලය අසංවරව ඔහුගේ භාර්යාවන් සහ උපභාර්යාවන් සමඟ ගත කළේය; තවද එසේම ඔහුගේ පූජකවරුන් ද වෙසඟණන් සමඟ ඔවුන්ගේ කාලය ගත කළෝය.

15 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු දේශයේ පුරා මිදිවතු පැළ කළේය; තවද ඔහු මුද්‍රික – යන්ත්‍ර ගොඩනඟා, අධිකව මිදියුෂ සෑදුවේය; තවද එසේහෙයින් ඔහු සුරාලෝලයෙකු වී, තවද ඔහුගේ ජනතාවද එසේ වූවෝය.

16 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරු ඔහුගේ ජනතාව වෙත, කුඩා කණ්ඩායම් මෙන් පැමිණීමට පටන් ගත්හ, තවද ඔවුන්ගේ වගාබිම් වලදීම, තවද සතුන් රැළ රැකබලාගනිමින් සිටියදී ඔවුන්ව මරා දමන්නට විය.

17 තවද නෝවා රජු ඔවුන්ව වළක්වන පිණිස දේශය වටේ මුරකරුවන් යැවීය. එහෙත් ඔහු ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොයැවූ බැවින්, තවද ලේමන්වරු ඔවුන් වෙතට පැමිණ ඔවුන් මරා දැමුවෝය, තවද ඔවුන්ගේ රැළවල් බොහෝමයක් දේශයෙන් එළියට පන්නා දැමුවෝය; එලෙස ලේමන්වරුන් ඔවුන්ව විනාශ කිරීමට පටන් ගත්තෝය, තවද ඔවුන් කෙරෙහි වූ ක්‍රෝධය ක්‍රියාවට නැඟුවෝය.

18 තවද එය මෙසේ සිදු විය, එනම් නෝවා රජු ඔහුගේ හමුදාව ඔවුන්ට එරෙහිව පිටත් කෙරුවේය, තවද ඔවුන් ආපසු පලවා හරිනු ලැබුවේය, නැතහොත් ඔවුන් ඔවුන්ව කලකට පසුපසට පලවා හැරියේය; එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ කොල්ලය ගැන සතුටු වෙමින් ආපසු ගියෝය.

19 තවද දැන්, මෙම මහත් ජයග්‍රහණය නිසාවෙන් ඔවුන් තම හදවත් උඩඟුකමින් ඉපිලී; ඔවුන් ඔවුන්ගේ ශක්තිය ගැන පාරට්ටු කර ගත්තෝය, එනම් ඔවුන්ගේ පනස්දෙනාට ලේමනිවරුන් දහස් ගණනකට විරුද්ධව නැඟී සිටිය හැකි බව පවසමින්ය; තවද මෙසේ ඔවුන් පුරසාරම් දොඩමින්, තවද ඔවුන්ගේ සහෝදරයන්ගේ රුධිරය වැගිරීමෙන් රුධිරයෙහි කුල්මත් වූවෝය, තවද මෙසේ වූයේ ඔවුන්ගේ රජුගේ සහ පූජකවරුන්ගේ දුෂ්ටකම නිසාවෙන්ය.

20 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් අතර අබිනඩායි නම් මිනිසෙක් විය; තවද ඔහු ඔවුන් අතර ඉදිරියට ගොස්, තවද අනාවැකි කීමට පටන්ගත්තේය; බලව, ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක: තවද මෙලෙස උන්වහන්සේ, මෙසේ වදාළමින්, මා හට අණ කළ සේක: ඉදිරියට යන්න, තවද මෙම ජනතාවට පවසන්න, මෙසේ ස්වාමීන්වහන්සේ පවසන සේක – මෙම ජනතාව හට දුක් වේ, මක්නිසාද මම ඔවුන්ගේ පිළිකුල් සහගතකම දුටිමි, තවද ඔවුන්ගේ දුෂ්ටකම ද, තවද ඔවුන්ගේ වෛශ්‍යාකම්ද, තවද ඔවුන් පසුතැවිලි නොවුනහොත් මිස මා මාගේ කෝපයෙන් පැමිණෙන්නෙමි.

21 තවද ඔවුන් පසුතැවිලි වී ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ වෙතට හැරුණොත් මිසක, බලව, මම ඔවුන්ගේ සතුරන් අත්වලට ඔවුන්ව බාර දෙන්නෙමි; එසේය, තවද ඔවුන් වහල්භාවයට පමුණුවනු ලැබේ; තවද ඔවුන් ඔවුන්ගේ සතුරන්ගේ අතින් ඔවුන්ව පීඩාවට පත් වනු ඇත්තේය.

22 තවද එය මෙසේ සිදු වන්නේය, එනම් මාගේ ජනතාවගේ අයුතුකම් වලට බැහැදකිනා, ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ බව ද, මා ඊර්ෂ්‍යාවන්ත දෙවි කෙනෙකු බව ද දැන ගනු ඇත්තේය.

23 තවද එය මෙසේ සිදු විය, එනම් මෙම ජනතාව පසුතැවිලි වී ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ වෙතට හැරී ආවොත් මිස, ඔවුන් වහල්භාවයට පමුණුවනු ලබන්නෙමි; තවද දෙවි වූ සර්වබලධාරී ස්වාමීන්වහන්සේ මිස අන්කිසිවෙක් ඔවුන් ගලවන්නේ නැත.

24 එසේය, තවද එය මෙසේ සිදු වන්නේය, එනම් ඔවුන් මා හට මොරගසන විට, ඔවුන්ගේ මොරගැසීම් ඇසීමට මම පමා වන්නෙමි; එසේය, තවද ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන්ට පහර දෙනු ලැබීමට මම ඔවුන්ට ඉඩ හරින්නෙමි.

25 තවද ඔවුන්ගේ ගෝණි රෙදි සහ අළු ද තුළ පසුතැවිලි වී, තවද ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේට බලවත් ලෙස මොරගැසුවොත් මිස, මම ඔවුන්ගේ යාච්ඤාවලට සවන් නොදෙන්නෙමි, එමෙන්ම ඔවුන්ගේ පීඩාවලින් ඔවුන්ව පිටතට ගලවා නොගන්නෙමි; තවද ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක, තවද උන්වහන්සේ මා හට මෙසේ අණ කළ සේක.

26 දැන් එය මෙසේ සිදු විය, එනම් අබිනඩායි මෙම වචන ඔවුන්ට කථා කළ විට ඔවුන් ඔහු සමඟ උදහස් වූවෝය, තවද ඔහුගේ ජීවිතය නැති කිරීමට සෙව්වෝය; එහෙත් ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ අත්වලින් ඔහුව ගලවාගත් සේක.

27 දැන් නෝවා රජු අබිනඩායි ඔහුගේ ජනතාවට පැවසූ වචන ගැන ඇසූ විට, ඔහු ද කෝප විය; තවද ඔහු මෙසේ කීවේය: එනම් මා සහ මාගේ ජනතාව විනිශ්චය කරනු ලැබීමට අබිනඩායි කවරෙක් ද, නැතහොත් මාගේ ජනතාවට එතරම් මහත් පීඩාවක් ගෙන එන ස්වාමීන්වහන්සේ යනු කවරෙකුද?

28 අබිනඩායිව මෙහි ගෙන ඒමට මම නුඹට අණ කරමි, එනම් මම ඔහුව මරා දමනු පිණිස, මක්නිසාද ඔහු මෙවැනි දෑ පවසා ඇත්තේ ඔහු මාගේ ජනතාව එකිනෙකා සමග කෝපය කැළඹවීමට ය, තවද මාගේ ජනතාව අතර මතභේද ඇති කිරීමටය; එසේහෙයින් මම ඔහුව මරණයට පත් කරන්නෙමි.

29 දැන් ජනතාවගේ දෑස් අන්ධ කෙරුණි; එසේහෙයින් ඔවුන් අබිනඩායි ගේ වචන වලට විරුද්ධව තම හදවත් දැඩි කරගත්තෝය, තවද ඔවුන් එතැන් පටන් ඔහුව අල්ලා ගැනීමට සෙව්වෝය. නෝවා රජු ස්වාමීන්වහන්සේගේ වචනයට විරුද්ධ ව තම හදවත දැඩි කරගත්තේය, තවද ඔහු තම නපුරු ක්‍රියාවලට පසුතැවිලි නොවූයේය.