ශුද්ධලියවිලි
මොසායා 14


14 වන පරිච්ඡේදය

යෙසායා මෙසියස්වහන්සේ ගැන කතා කරයි – මෙසියස්වහන්සේගේ නින්දාවට පත්වීම සහ වේදනාවන් දක්වා ඇත – උන්වහන්සේ තමන්වහන්සේගේ ආත්මය පාපය උදෙසා පූජාවක් කර අපරාධකරුවන් වෙනුවෙන් මැදිහත් වන සේක – යෙසායා 53 සසඳන්න. ක්‍රි.පූ. 148 පමණ.

1 එසේය, යෙසායා පවා මෙසේ නොකියයිද: අපගේ වාර්තාව විශ්වාස කළේ කවුරුන් ද, තවද ස්වාමීන්වහන්සේගේ හස්තය අනාවරණය වන්නේ කවුරුන් හටද?

2 මක්නිසාද උන්වහන්සේ ළාමක පැලයක් මෙන් ද, වියළි බිමින් මතුවෙන මුලක් මෙන් ද උන්වහන්සේ ඉදිරියෙහි වැඩෙන සේක; උන්වහන්සේ හට රුවක් ද ශෝභාවක් ද නැත; තවද අප උන්වහන්සේ දකින විට උන්වහන්සේ කෙරේ ආශා වීමට සුන්දරත්වයක් ද නොමැත.

3 උන්වහන්සේව මනුෂ්‍යයන් විසින් සුළුකොට ප්‍රතික්ෂේප කරන සේක; වේදනා ඇත්තාවූ, තවද දුක දන්නාවූ මනුෂ්‍යයෙක් වන සේක; තවද අප උන්වහන්සේගෙන් අපගේ මුහුණ සැඟවූවෙමු; උන්වහන්සේ සුළු කරනු ලැබූ සේක, තවද අප උන්වහන්සේ නොසලකා හැරියෙමු.

4 සැබවින්ම උන්වහන්සේ අපගේ දුක් උසුලාගත් සේක, තවද අපගේ ශෝකයන් දරාගත් සේක; නමුත් උන්වහන්සේ දඬුවම ද, දෙවියන්වහන්සේගෙන් පහර ද, පීඩාව ද, ලැබූ කෙනෙකු යැයි අප සැලකුවෙමු.

5 එහෙත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ වැරදි නිසාය, උන්වහන්සේ තළනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය; අපට සාමය ගෙන දෙන තරවටු කිරීම උන්වහන්සේ මත විය; තවද උන්වහන්සේගේ කසපහර කැළැල්වලින් අප සුවය ලබමු.

6 අප සියල්ලෝම, බැටළුවන් මෙන් නොමඟ ගියෙමු; අප එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමු; තවද ස්වාමීන්වහන්සේ ද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ මත තැබූ සේක.

7 උන්වහන්සේ යටත් කරනු ලැබුණි, තවද උන්වහන්සේ පීඩාවට පත් විය, එහෙත් උන්වහන්සේ තමන්වහන්සේගේ මුඛය නෑර සිටි සේක; උන්වහන්සේව මරන්ට ගෙනයන බැටළු පැටවකු මෙන් උන්වහන්සේව ගෙන එනු ලබන්නේය, තවද බැටළුවෙක් ඇයගේ ලෝම කපන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්නාක් මෙන් ද උන්වහන්සේ තමන්වහන්සේගේ මුඛය නෑර සිටි සේක.

8 උන්වහන්සේව සිරගෙයින් ද විනිශ්චයෙන් ද පහකරනු ලැබූ සේක; තවද උන්වහන්සේගේ පරම්පරාව ගැන කවරෙක් ප්‍රකාශ කරන්නේ ද? මක්නිසාද උන්වහන්සේව ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් ඉවතට කපා හරිනු ලැබූ සේක; උන්වහන්සේ තළනු ලැබුවේ මාගේ ජනතාවගේ වරද නිසාය.

9 තවද උන්වහන්සේ උන්වහන්සේගේ මරණයේ දී උන්වහන්සේගේ සොහොන දුෂ්ටයන් අතරෙහි සෑදූ සේක, තවද උන්වහන්සේගේ මරණයේ දී ධනවතුන් සමඟ වූ සේක; මක්නිසාද උන්වහන්සේ නපුරක් කළේවත්, උන්වහන්සේගේ මුඛයෙහි කිසි ප්‍රයෝගයක්වත් තිබුණේ නැත.

10 එහෙත් උන්වහන්සේ තළන්නට ස්වාමීන්වහන්සේ කැමති වූ සේක; උන්වහන්සේ උන්වහන්සේව දුකට පත් කළ සේක; නුඹ උන්වහන්සේගේ ආත්මය පාපය වෙනුවෙන් පූජාවක් කරන විට උන්වහන්සේ තමන්වහන්සේගේ වංශය දකින සේක, තමන්වහන්සේගේ දවස් වැඩි කරගන්නා සේක, තවද ස්වාමීන්වහන්සේගේ කැමැත්ත ද උන්වහන්සේගේ හස්තයෙහි සඵල වන්නේය.

11 උන්වහන්සේ තමන්වහන්සේගේ ආත්ම වේදනාවේ ඵල දැක, තෘප්තියට පැමිණෙන සේක; මාගේ ධර්මිෂ්ඨ සේවකයා ස්වකීය දැනුම තුළින් බොහෝ දෙනෙකු නිදොස් කරනු ලබන්නේය; මක්නිසාද ඔවුන්ගේ අයුතුකම් ද උන්වහන්සේම දරාගන්නා සේක.

12 එසේහෙයින් මම උන්වහන්සේ හට ශ්‍රේෂ්ටයන් සමඟ පංගුවක් බෙදා දෙන්නෙමි, තවද උන්වහන්සේ බලවන්තයන් සමඟ කොල්ලය බෙදාගන්නා සේක; මෙසේ වන්නේ උන්වහන්සේ තමන්වහන්සේගේ ප්‍රාණය මරණයට වගුරුවා දුන් නිසාවෙනි; තවද උන්වහන්සේව අපරාධකාරයන් සමඟ ගණන්ගනු ලැබ; තවද උන්වහන්සේ බොහෝ දෙනෙකුගේ පාප උසුලාගෙන, තවද අපරාධකාරයන් උදෙසා උන්වහන්සේ මැදිහත් වූ සේක.