ශුද්ධලියවිලි
2 වන නිල ප්‍රකාශය


2 වන නිල ප්‍රකාශනය

“කළු සහ සුදු, වහල්ලා සහ නිදහස් තැනැත්තා, පිරිමි සහ ගැහැණු” ඇතුලු “සියල්ලන්ම දෙවියන්වහන්සේ හා සමාන” බව මොර්මොන්ගේ පොත උගන්වයි (2 නෙපි 26:33). සභාවේ ඉතිහාසය පුරාම, බොහෝ රටවල සෑම ජාතියකම සහ ජනවර්ගයකම ජනයා බව්තීස්ම වී සභාවේ ඇදහිලිවන්ත සාමාජිකයන් ලෙස ජීවත් වී ඇත. ජෝසෆ් ස්මිත්ගේ ජීවිත කාලය තුළ, සභාවේ කළු ජාතික පිරිමි සාමාජිකයන් කිහිපදෙනෙකුව පූජකත්වයට වෙන්කර තිබිණි. එහි ඉතිහාසයේ මුල් අවධියේදී, සභාවේ නායකයන් විසින් අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතික පුරුෂයන්ට පූජකත්වය ලබාදීම නැවැත්වූහ. සභාවේ වාර්තා මෙම ක්‍රියාවෙහි මූලාරම්භය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබානොදේ. සභාවේ නායකයන් විශ්වාස කළේ මෙම ක්‍රියාව වෙනස් කිරීම සඳහා දෙවියන්වහන්සේගෙන් එළිදරව්වක් අවශ්‍ය බවයි, එමෙන්ම ඔවුන් යාච්ඤාශීලීව මගපෙන්වීම සෙවීය. මෙම එළිදරව්ව සභාවේ සභාපතිවරයා වූ ස්පෙන්සර් ඩබ්. කිම්බල් වෙත පැමිණි අතර, 1978 ජුනි 1 වන දින, සෝල්ට් ලේක් දේවමාළිගාවේදී සභාවේ අනෙකුත් නායකයින්ට එය තහවුරු කරන ලදි. වරක් පූජකත්වයට අදාළ වූ ජාතිය සම්බන්ධ සියලු සීමාවන් මෙම එළිදරව්ව මගින් ඉවත් කරන ලදි.

අදාළ අයගේ දැනගැනීම උදෙසාය:

1978 සැප්තැම්බර් 30 දින, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 148 වන අර්ධ වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේදී, සභාවේ පළමු සභාපතිත්වයේ පළමු උපදේශක වන, සභාපති එන්. එල්ඩොන් ටැනර් විසින් පහත දැක්වන ප්‍රකාශනය ඉදිරිපත් කරන ලදි:

මෙම වසරේ ජුනි මස මුලදී, පූජකවර සහ දේවමාළිගා ආශිර්වාදයන් සභාවේ සියලුම සුදුසු පිරිමි සමාජිකයන් වෙත ලබාදීම සඳහා සභාපති ස්පෙන්සර් ඩබ්. කිම්බල් විසින් එළිදරව්වක් ලබා ඇති බව පළමු සභාපතිත්වය විසින් නිවේදනය කරන ලදි. ශුද්ධ වූ දේවමාළිගාවේ පූජනීය කාමර තුළ දීර්ඝ භාවනා සහ යාච්ඤාවෙන් පසු ඔහු වෙත පැමිණි, මෙම එළිදරව්ව ඔහුට ලැබීමෙන් පසු, එය පිළිගෙන අනුමත කළ ඔහුගේ උපදේශකයින්ට ඔහු එය ඉදිරිපත් කළ බව මෙම සම්මන්ත්‍රණයට දැනුම් දෙන ලෙස සභාපති කිම්බල් මා හට පැවසුවේය. ඉන්පසු එය ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයට ඉදිරිපත් කරන ලදි, ඔවුන් එය ඒකමතිකව අනුමත කළෝය, තවද පසුව එය අනෙකුත් සියලුම ප්‍රධාන අධිකාරීන්ට ඉදිරිපත් කළ අතර, ඔවුන් එලෙසම එය ඒකමතිකව අනුමත කළෝය.

මෙම ලිපිය කියවන ලෙස සභාපති කිම්බල් දැන් මාගෙන් ඉල්ලා ඇත:

1978 ජුනි 8

ලෝකය පුරා සිටින යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සියලුම ප්‍රධාන සහ ප්‍රාදේශීය පූජකවර නිලධාරීන් වෙත:

ප්‍රියාදර සහෝදරවරුනි:

පොළොව මත ස්වාමින්වහන්සේගේ ක්‍රියාවන්ගේ ව්‍යාප්තිය අප දැක ඇතිවාක් මෙන්ම, බොහෝ ජාතීන් වල ජනතාව විසින් නැවත පිහිටවූ ශුභාරංචියේ පණිවිඩයට ප්‍රතිචාර දැක්වීම, සහ නිතර වැඩිවන සංඛ්‍යාවකින් සභාවට එකතුවීම ගැන අප කෘතඥ වී ඇත්තෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස, ශුභාරංචිය විසින් සපයන්නාවූ සියලුම වරප්‍රසාදයන් සහ ආශිර්වාද සභාවේ සියලුම සුදුසු සාමාජිකයින්ට ලබාදීමට අභිප්‍රායක් සමඟ එය අපව පොළඹවා ඇත.

දෙවියන්වහන්සේගේ සදාකාලික සැලසුමට අනුව, යම් වේලාවකදී අපගේ සියලුම සුදුසු සහෝදරයින් පූජකවරය ලබනු ඇති බවට, අපට පෙර සිටි සභාවේ අනාගතවක්තෘවරුන් සහ සභාපතිවරුන් විසින් දෙන ලද පොරොන්දු ගැන අප දැන සිටි නිසාත්, තවද පූජකවරය අත්හිටුවා තිබූ එම පුද්ගලයින්ගේ ඇදහිලිවන්ත බව දුටු නිසාත්, ස්වාමින්වහන්සේගෙන් දිව්‍යමය මගපෙන්වීම ආයාචනා කරමින් දේවමාළිගාවේ ඉහළ කාමරයේ පැය ගණනාවක් ගතකරමින්, අපගේ ඇදහිලිවන්ත සහෝදරයින් වන මොවුන් වෙනුවෙන්, අපි බොහෝ වෙලාවක් උනන්දුවෙන් ආයාචනා කළෙමු.

උන්වහන්සේ අපගේ යාච්ඤාවන් ඇසූ සේක, තවද ශුද්ධ වූ පූජකවරයේ දිව්‍යමය අධිකාරිත්වය ක්‍රියාත්මක කිරීමට බලය සමඟ, තවද දේවමාළිගාවේ ආශිර්වාද ඇතුළු, ඒ මගින් ගලා එන්නාවූ සෑම ආශිර්වාදයක්ම ඔහුගේ ආදරණීයයන් සමඟ භුක්ති විඳිමින්, සභාවේ සෑම ඇදහිලිවන්ත සහ සුදුසු මනුෂ්‍යයෙකුම ශුද්ධ වූ පූජකවරය ලබාගන්නා, බොහෝ කලක් තිස්සේ සිට පොරොන්දු වූ එම දවස පැමිණ ඇති බවට උන්වහන්සේ එළිදරව් මගින් ස්ථිර කර ඇත්තේය. ඒ ආකාරයට, සභාවේ සියලුම සුදුසු පිරිමි සාමාජිකයින්ව ජාතිය හෝ වර්ණය නොතකමින් පූජකවරයට නියම කරනු ලබන්නේය. ආරෝනික හෝ මෙල්කිසදෙක් පූජකවරයට නියම කිරීමට, සුදුසු බව සඳහා ස්ථාපනය කර ඇති ප්‍රමිති වලට ඔවුන් අනුකූලව සිටින බව සහතික කිරීම සඳහා, සෑම අපේක්ෂකයෙකු සමඟම සැලකිලිමත්ව සම්මුඛ සාකච්ඡා පැවැත්වීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරන ලෙස පූජකවර නායකයින්ට උපදෙස් ලබාදී ඇත.

උන්වහන්සේගේ අධිකාරිත්වය ඇති සේවකයින්ගේ හඬට උවමනාවෙන් සවන්දෙන, තවද ශුභාරංචියේ සියලුම ආශිර්වාද ලබාගැනීමට ඔවුන්වම සූදානම් කරගන්නා, ලෝකය පුරා සිටින උන්වහන්සේගේ දරුවන්ගේ ආශිර්වාද වෙනුවෙන් ස්වාමින්වහන්සේ විසින් දැන් උන්වහන්සේගේ කැමැත්ත දන්වා ඇති බව අපි ස්ථිරව ප්‍රකාශ කරන්නෙමු.

ඔබගේම අවංක,

ස්පෙන්සර් ඩබ්. කිම්බල්

එන්. එල්ඩොන් ටැනර්

මැරියොන් ජී. රොම්නි

පළමු සභාපතිත්වය

ස්පෙන්සර් ඩබ්. කිම්බල්ව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ආනාගතවක්තෘවරයා, දර්ශන දකින්නා, සහ එළිදරව්කරු, සහ සභාපතිවරයා ලෙස අප ස්ථිර කරන නිසා, ව්‍යවස්ථානුකූල සභාවක් ලෙස රැස්වූ අප මෙම එළිදරව්ව ස්වාමින්වහන්සේගේ වචනය සහ කැමැත්ත ලෙස පිළිගන්නා බවට මම යෝජනා කරන්නෙමි. එකඟ වන සියල්ලන් ඔබගේ දකුණු අත ඔසවමින් එය සංඛේතවත් කරන්න. විරුද්ධ කිසිවෙකුත් සිටීනම්, එම සලකුණෙන්ම සංඛේතවත් කරන්න.

ඉහත යෝජනාව පවත්වා ගැනීම සඳහා වූ ඡන්දය ඒකමතිකව ස්ථිර විය.

සෝල්ට් ලේක් නගරය, යූටා, 1978 සැප්තැම්බර් 30.