ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 133


133 වන කොටස

1831 නොවැම්බර් 3, ඔහායෝ, හයිරම් හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මෙම එළිදරව්වට පූර්විකාවක් ලෙස, ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසය මෙසේ සඳහන් කරයි, “මේ අවස්ථාවේදී වැඩිහිටියන්ට පොළොවේ වැසියන්ට ශුභාරංචිය දේශනා කිරීම, හා එක්රැස් කිරීමට අදාළව දැනගැනීමට කැමති වූ බොහෝ දේ තිබුණි; තවද සැබෑ ආලෝකයෙන් ගමන් කර, තවද ඉහළ සිට උපදෙස් ලබාගැනීම සඳහා, 1831 නොවැම්බර් 3 වන දින, මම ස්වාමින්වහන්සේගෙන් විමසා පහත සඳහන් වැදගත් එළිදරව්ව ලබාගතිමි.” මෙම කොටස ප්‍රථමයෙන් උපග්‍රන්ථයක් ලෙස දහම සහ ගිවිසුම් පොතට එකතු කරන ලද අතර පසුව කොටස් අංකයක් පවරන ලදි.

1–6, ශුද්ධවන්තයන්ට දෙවෙනි පැමිණීම උදෙසා සූදානම් වීමට ආඥා කරනු ලබයි; 7–16, සියලු මනුෂ්‍යයන්ට බැබිලෝනිය වෙතින් පලායමින්, සයොනයට පැමිණ, තවද ස්වාමින්වහන්සේගේ ශ්‍රේෂ්ඨ දවස උදෙසා සූදානම් වීමට ආඥා කරනු ලබයි; 17–35, උන්වහන්සේ සයොන කන්ද මත නැගීසිටින සේක, මහද්වීපයන් එක දේශයක් බවට පත්වී, තවද ඉශ්‍රායෙලයේ නැතිවූ ගෝත්‍ර නැවත හැරී එනු ඇත; 36–40, ශුභාරංචිය ජෝසෆ් ස්මිත් තුළින් නැවත පිහිටවනු ලැබූයේ එය මුළු ලෝකයටම දේශනා කරනු ලැබීමටය; 41–51, ස්වාමින්වහන්සේ දුෂ්ටයන් මත පලිගැනීමත් සමඟ පහතට පැමිණෙන සේක; 52–56, එය උන්වහන්සේගේ මුදනු ලැබූවන්ගේ වසර වන්නේය; 57–74, ශුද්ධවන්තයන්ව ගලවාගැනීමට සහ දුෂ්ටයන්ගේ විනාශය උදෙසා ශුභාරංචිය පෙරට යැවිය යුතුව ඇත්තේය.

1 උවමනාවෙන් සවන්දෙන්න, අහෝ නුඹලා මාගේ සභාවේ ජනතාවෙනි, ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ පවසන සේක, තවද නුඹලා සම්බන්ධව ස්වාමින්වහන්සේගේ වචනයට සවන්දෙන්න—

2 ස්වාමින්වහන්සේ හදිසියේම උන්වහන්සේගේ දේවමාළිගාවට පැමිණෙන සේක; එසේය, එනම් දෙවියන්වහන්සේව අමතක කළ සියලු ජාතින් මත, තවද නුඹලා අතරේ සියලු අභක්තිකයන් මත; ස්වාමින්වහන්සේ ලෝකය මත විනිශ්චයට ශාපයකුත් සමඟ පහතට පැමිණෙනු ඇත.

3 මක්නිසාද උන්වහන්සේ සියලු ජාතීන්ගේ ඇස් ඉදිරියේ උන්වහන්සේගේ ශුද්ධ වූ බාහුව නිරාවරණය කරන සේක, තවද පොළොවේ අන්තයන්හි සියල්ලෝ ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ ගැලවීම දකින්නෝය.

4 එසේහෙයින්, නුඹලා සූදානම් වෙන්න, නුඹලා සූදානම් වෙන්න, අහෝ මාගේ ජනතාවෙනි; නුඹලාව පවිත්‍ර කරගන්න; අහෝ මාගේ සභාවේ ජනතාව වූ නුඹලා, අනෙකුත් ස්ථාන වල රැඳෙන්නට ආඥා කරනු නොලැබූ නුඹලා සියල්ලෙනි, සයොන දේශය මත, නුඹලාව එක්රැස් කරගන්න.

5 නුඹලා බැබිලෝනියෙන් පිටතට යන්න. ස්වාමින්වහන්සේගේ භාණ්ඩ දරාගන්නා නුඹලා පිරිසිඳුව සිටින්න.

6 නුඹලාගේ ශුද්ධ වූ රැස්වීම් කැඳවන්න, තවද නිතර නිතර එකිනෙකාට කතාකරන්න. තවද සෑම මනුෂ්‍යයෙකුටම ස්වාමින්වහන්සේගේ නාමයට හඬනගන්නට සලස්වන්න.

7 එසේය, සැබවක් මම නුඹලා හට නැවතත් පවසන්නෙමි, ස්වාමින්වහන්සේගේ හඬ නුඹලා වෙතට පැමිණෙන කාලය පැමිණ ඇත්තේය: නුඹලා බැබිලෝනියෙන් පිටතට යන්න; අහසේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා, සතර දිගින්ම, ජාතීන් අතරින් පිටතට නුඹලා රැස්වෙන්න.

8 මාගේ සභාවේ වැඩිහිටියන්ව දුර සිටින ජාතීන් වෙතට පෙරට යවන්න; මුහුදේ දූපත් වෙතටද; විදේශීය දේශයන් වෙතටද යවන්න; පළමුව අන්‍ය ජාතීන් වෙතටද, පසුව යුදෙව්වන් වෙතටද ලෙස, සියලු ජාතීන්ට හඬගසන්න.

9 තවද බලන්න, තවද බලව, මෙය ඔවුන්ගේ හැඬීමද, තවද සියලු ජනතාව වෙතට ස්වාමින්වහන්සේගේ හඬද වන්නේය: නුඹලා සයොන දේශය වෙතට පෙරට යන්න, තවද එනම් මාගේ ජනතාවගේ මායිම් විශාල කරනු ලබන්නේය, තවද එනම් ඇයගේ ස්ටේකයන් සවිමත් කරනු ලබන්නේය, තවද සයොනය අවට වටේ ප්‍රදේශ වෙත පෙරට ගමන්කරනු ලබන්නේය.

10 එසේය, සියලු ජනතාව අතර එම හැඬීම පෙරට යැවීමට සලස්වන්න: නැගිට තවද අවදිව තවද මනාලයා සම්මුඛ වීමට පෙරට යන්න; බලන්න තවද බලව, මනාලයා පැමිණෙන්නේය; ඔහුව සම්මුඛ වීමට නුඹලා පිටතට යන්න. ස්වාමින්වහන්සේගේ ශ්‍රේෂ්ඨ දවස සඳහා නුඹලාව සූදානම් කරගන්න.

11 එසේහෙයින්, පරික්ෂාවෙන් සිටින්න, මක්නිසාද නුඹලා එම දවස හෝ පැය නොදන්නෝය.

12 එසේහෙයින්, අන්‍ය ජාතියකයන් අතර සිටින්නාවූ අයට සයොනය වෙතට පලායාමට සලස්වන්න.

13 තවද යුදාහි සිටින්නාවූ ඔවුන්ට යෙරුසලම වෙතට, ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි කඳු වෙතට පලායාමට සලස්වන්න.

14 නුඹලා බැබිලෝනිය වෙතින්ද, ආත්මික බැබිලෝනිය වන, දුෂ්ටකමේ මධ්‍යය වෙතින්ද, ජාතින් අතරෙන් පිටතට යන්න.

15 එහෙත් සැබවක්, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, නුඹලාගේ ගමන හදිසියේ නොවන්නට සලස්වන්න, එහෙත් සියලු දේවල් නුඹලා ඉදිරියේ සූදානම් කරගන්න; තවද යමෙක් යන්නේද, ඔහු මත ක්ෂණික විනාශය නොපැමිණෙන පිණිස ඔහුට හැරී නොබලන්නට සලස්වන්න.

16 උවමනාවෙන් සවන්දෙන්න තවද අසන්න, අහෝ නුඹලා පොළොවේ පදිංචිකරුවෙනි. මාගේ සභාවේ වැඩිහිටියන් වූ නුඹලා එකට එක්ව, සවන්දෙන්න, තවද ස්වාමින්වහන්සේගේ හඬ අසන්න; මක්නිසාද උන්වහන්සේ සියලු මනුෂ්‍යයන් හට හඬගසන සේක, තවද උන්වහන්සේ සෑමතැනකම සිටින සියලු මනුෂ්‍යයන්ට පසුතැවිලි වීමට ආඥා කරන සේක.

17 මක්නිසාද බලන්න, ස්වාමින් වූ දෙවියන්වහන්සේ ස්වර්ගයේ මධ්‍යයෙන් මෙසේ මොරගසන දේවදූතයෙක්ව පෙරට යවා ඇති සේක: නුඹලා ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරන්න, තවද උන්වහන්සේගේ මාවත් ඍජු කරන්න, මක්නිසාද උන්වහන්සේගේ පැමිණීමේ පැය ආසන්නය—

18 බැටළුපැටවාණන් සයොන කන්ද මත නැගී සිටින විට, තවද උන්වහන්සේ සමඟ පියාණන්වහන්සේගේ නම නළලේ ලියන ලද එක්ලක්ෂ-හතලිස්-හතර-දහසක්ද සිටින්නෝය.

19 එසේහෙයින්, නුඹලා මනාලයාගේ පැමිණීම උදෙසා සූදානම් වෙන්න; නුඹලා යන්න, උන්වහන්සේව සම්මුඛ වීමට නුඹලා යන්න.

20 මක්නිසාද බලන්න, උන්වහන්සේ ඔලිවෙට් කන්ද මතද, තවද බලවත් වූ සාගරය මතද, මහත් වූ ගැඹුරේ වුවද, තවද මුහුදේ දූපත් මතද, තවද සයොන දේශයේද නැගීසිටින සේක.

21 තවද උන්වහන්සේ සයොනයෙන් පිටතට උන්වහන්සේගේ හඬ නගන සේක, තවද උන්වහන්සේ යෙරුසලම වෙතින් කතාකරන සේක, තවද උන්වහන්සේගේ හඬ සියලු ජනතාව අතර ඇසෙනු ලැබෙන්නේය;

22 තවද එම හඬ මහත් ජලයන් ගලන හඬක් මෙන් වන්නේය, තවද මහත් ඝර්ජනාවක හඬක් මෙන් වන්නේය, එය කඳු බිඳදමා ලන්නේය, තවද මිටියාවත් සොයාගනු ලැබිය නොහැකි වන්නේය.

23 උන්වහන්සේ මහත් ගැඹුරට ආඥා කරන අතර, තවද එය උතුරු රටවල් තුළට නැවත පලවාහරිනු ලබන්නේය, තවද දූපත් එක දේශයක් බවට පත්වන්නේය;

24 තවද යෙරුසෙලෙම් දේශය සහ සයොන දේශය ඔවුන්ගේ ස්වකීය ස්ථානයන් බවට නැවත පෙරලනු ලබන්නේය, තවද පොළොව එය බෙදනු ලැබීමට පෙර දවස් වල තිබූ පරිදි මෙන් වන්නේය.

25 තවද ස්වාමින්වහන්සේ වන, ගැලවුම්කරුවාණන්, උන්වහන්සේගේ ජනතාව මධ්‍යයේ නැගීසිටිමින්, සියලු මාංශය මත රජකම් කරන සේක.

26 තවද උතුරු රටවල් හි සිටින අයව ස්වාමින්වහන්සේගේ සිහියට පැමිණෙන්නේය; තවද ඔවුන්ගේ අනාගතවක්තෘවරු උන්වහන්සේගේ හඬ අසන්නෝය, තවද ඔවුහු තවදුරටත් ක්‍රියාත්මක නොවෙමින් නොසිටින්නෝය; තවද ඔවුන් පර්වතයන්ට පහරදෙන අතර, තවද ඔවුන්ගේ අභිමුඛයෙන් හිම පහතට ගලාබසිනු ඇත.

27 තවද මහත් ගැඹුර මධ්‍යයෙන් මහා මාර්ගයක් පැන නංවන්නේය.

28 ඔවුන්ගේ සතුරන් ඔවුන් හට ගොදුරක් බවට පත්වන්නෝය,

29 තවද නිසරු කාන්තාරයන් හි ජීවමාන ජල උල්පත් පෙරට පැමිණෙන්නේය; තවද වියළි පොළොව තවදුරටත් පිපාසිත දේශයක් නොවන්නේය.

30 තවද ඔවුන් ඔවුන්ගේ අනර්ඝ වස්තූන් මාගේ සේවකයන් වූ, ඊප්‍රායිම් දරුවන් වෙතට ගෙනඑනු ලබන්නේය.

31 තවද ඔවුන්ගේ අභිමුඛයේදී සදාකාලික කඳු සීමා වෙවුලා යන්නේය.

32 තවද එහිදී ඔවුන් දණින් වැටී, ස්වාමින්වහන්සේගේ සේවකයන්ගේ හස්තයෙන්, එනම් ඊප්‍රායිම්ගේ දරුවන් මගින්, සයොනයේදී, මහිමය සමඟ ඔටුනු පලඳවනු ලබන්නේය.

33 තවද ඔවුහු සුදාකාලික ප්‍රීතියේ ගීත සමඟින් පූර්ණ වන්නෝය.

34 බලන්න, මෙය ඉශ්‍රායෙල් ගෝත්‍ර මත සදාකාලික දෙවියන්වහන්ස්ගේ ආශිර්වාදය, සහ ඊප්‍රායිම්ගේ සහ ඔහුගෙන් පැවතෙන්නන්ගේ ශීර්ෂය මත වන පොහොසත්ම ආශිර්වාදය වන්නේය.

35 තවද එසේම යුදාගේ ගෝත්‍රයද, ඔවුන්ගේ වේදනාවෙන් පසුව, ස්වාමින්වහන්සේ ඉදිරියේ ශුද්ධවන්තභාවයෙන් පාරිශුද්ධ කරනු ලැබ, උන්වහන්සේගේ අභිමුඛයේ දහවලේ සහ රාත්‍රියේදී, සදාකාලයෙන් සදාකාලයට වාසය කරනු ලබන්නේය.

36 තවද දැන්, සැබවක් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, එනම් මෙම දේවල් නුඹලා අතර දැනගනු ලබන පිණිසය, අහෝ පොළොවේ පදිංචිකරුවෙනි, සදාකාලික ශුභාරංචිය ඇතිව, මම මාගේ දේවදූතයෙකු ස්වර්ගයේ මධ්‍යය තුළින් පියාඹා පෙරට යවා ඇත්තෙමි, ඔහු සමහරෙකු අතර පෙනීසිටිමින් තවද මනුෂ්‍යයන් වෙතට එය බාරදී ඇත, ඔහු එනම් පොළොවේ පදිංචිව සිටින බොහෝ අයවළුන් වෙත පෙනී සිටින්නේය.

37 තවද මෙම ශුභාරංචිය සියලු ජාතීන්, තවද ඥාතීන්, තවද භාෂාවන්, සහ ජනතාවන් හට දේශනා කරනු ලබන්නේය.

38 තවද දෙවියන්වහන්සේගේ සේවකයෝ පෙරට යමින්, මහත් හඬක් සමඟ මෙසේ කියන්නෝය: දෙවියන්වහන්සේට බියව තවද උන්වහන්සේට මහිමය දෙන්න, මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමිණ ඇත්තේය;

39 තවද ස්වර්ගයද, තවද පොළොවද, තවද මුහුදද, තවද ජල උල්පත්ද සෑදූ උන්වහන්සේට නමස්කාර කරන්න—

40 ස්වාමින්වහන්සේගේ නාමයට දහවලේ සහ රාත්‍රියෙහි මෙසේ පවසමින් හඬගසන්න: අහෝ එනම් ඔබවහන්සේ ස්වර්ගයන් දෙබෑ කරමින්, එනම් ඔබවහන්සේ පහතට පැමිණ, එනම් ඔබවහන්සේගේ අභිමුඛයෙන් කඳු පහතට රූරා බසින්නේය.

41 තවද එය ඔවුන්ගේ හිස් මත පිළිතුරු දෙනු ලබන්නේය; මක්නිසාද ස්වාමින්වහන්සේගේ අභිමුඛය ගිනිගෙන දැවී යන්නාවූ ගින්දර මෙන්ද, තවද ජලය නැටවීමට සලස්වන ගින්දරද මෙන්ය.

42 අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ පහතට පැමිණ ඔබවහන්සේගේ නාමය ඔබගේ විරුද්ධකරුවන්ට දැනගැනීමට සලස්වන සේක, තවද සියලු ජාතීහූ ඔබවහන්සේගේ අභිමුඛයෙහි වෙව්ලන්නෝය—

43 ඔබවහන්සේ භයංකාර දේවල් කරන කල, ඔවුන් බලාපොරොත්තු නොවන දේවල් මේවාය;

44 එසේය, ඔබවහන්සේ පහතට පැමිණෙන කල, තවද කඳු ඔබවහන්සේගේ අභිමුඛයෙන් පහතට රූරා යන විට, ඔබවහන්සේගේ මාර්ග තුළ ඔබවහන්සේව සිහිකරන්නාවූ, ප්‍රීති ප්‍රමුදිතව තවද ධර්මිෂ්ඨ කාර්යය කරන්නාවූ ඔහුව ඔබවහන්සේ මුණගැසිය යුතු වන්නේය.

45 මක්නිසාද ඔබවහන්සේ උදෙසා බලා සිටින අය වෙනුවෙන් ක්‍රියා කරන්නාවූ, ඔබවහන්සේ හැර වෙන දෙවිකෙනෙක් ඇති බවක්, අහෝ දෙවියන්වහන්ස, ලෝකයේ ආරම්භයේ පටන් අසන්නට යෙදුණේවත් කනට වැටුණේවත්, හෝ ඇසින් දකින්නට යෙදුණේවත් නැත.

46 තවද එය මෙසේ පවසා ඇත්තේය; එසේය, නොදන්නා එම ප්‍රදේශ වෙතින්, උන්වහන්සේගේ මහිමාන්විත වස්ත්‍රයෙන් සැරසී, උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ශක්තියෙන් ගමන් කරමින්, සායම් වස්ත්‍ර සමඟින් ස්වර්ගයෙහි සිට දෙවියන්වහන්සේ වෙතින් පහළට එන්නේ කවරෙක්ද?

47 තවද උන්වහන්සේ මෙසේ පවසන සේක: ධර්මිෂ්ඨකමින් කතා කළ, ගැලවීමට බලවන්ත වූ ඒ තැනැත්තා මම වෙමි.

48 තවද ස්වාමින්වහන්සේ සැරසී සිටින්නේ උන්වහන්සේගේ රතු වස්ත්‍රයෙන්ය, තවද උන්වහන්සේගේ සළු මුද්‍රික පැස පාගන්නෙකුගේ වස්ත්‍ර වලටද සමානය.

49 තවද උන්වහන්සේගේ අභිමුඛයේ මහිමය ඉතා ශ්‍රේෂ්ඨ වන්නේය එනම් ඉර සිය මුහුණ ලැජ්ජාවෙන් වසන් කරගන්නේය, තවද සඳ එහි ආලෝකය වලක්වාගන්නේය, තවද තරු සිය ස්ථාන වලින් හැලීයන්නේය.

50 තවද උන්වහන්සේගේ හඬ ඇසෙනු ලැබෙන්නේය: මම තනියම මිදි මඩින යන්ත්‍රය පාගා, තවද සියලු ජනයා මත විනිශ්චය පමුණුවා ඇත්තෙමි; තවද කිසිවෙකු මා සමඟ සිටියේ නැත;

51 තවද මම මාගේ උදහසින් ඔවුන්ව පාගන ලද්දෙමි, තවද මම මාගේ කෝපයෙන් ඔවුන්ව පොඩිකරන ලද්දෙමි, තවද ඔවුන්ගේ රුධිරය මාගේ වස්ත්‍ර මත මම විසුරුවා ඇත්තෙමි, තවද මාගේ සියලු ඇඳුම් පැල්ලම් වී ඇත; මක්නිසාද මේ මාගේ හදවතේ තිබූ පලිගැනීමේ දවස විය.

52 තවද දැන් මාගේ මුදනු ලැබූවන්ගේ වසර පැමිණ ඇත්තේය; තවද ඔවුන්ගේ ස්වාමින්වහන්සේගේ ප්‍රේමාන්විත කරුණාවද, තවද සදාකාලයෙන් සදාකාලයට, උන්වහන්සේගේ ප්‍රේමාන්විත කරුණාවට අනුව, තවද උන්වහන්සේ ඔවුන් මත උන්වහන්සේගේ යහපතට අනුව පිරිනමා ඇති සියලු දේද, ඔවුන් සඳහන් කරනු ඇත.

53 ඔවුන්ගේ සියලු පීඩාවන් හිදී උන්වහන්සේ පීඩා වින්ද සේක. තවද උන්වහන්සේගේ අභිමුඛයෙහි වූ දේවදූතයා ඔවුන්ව ගලවාගත්තේය; තවද උන්වහන්සේගේ ප්‍රේමය තුළ, තවද උන්වහන්සේගේ අනුකම්පාව තුළ, උන්වහන්සේ ඔවුන්ව මුදවාගෙන, තවද ඔවුන්ව උසුලමින්, තවද සියලු පැරණි දවස් වලදී ඔවුන්ව රැගෙන ගිය සේක;

54 එසේය, තවද එසේම ඊනොක්ව, තවද ඔහු සමඟ සිටි අයද; ඔහුට පෙර සිටි අනාගතවක්තෘවරුන්ද; තවද එසේම නෝවාද, තවද ඔහුට පෙර සිටියාවූ අයද; තවද එසේම මෝසෙස්ද, තවද ඔහුට පෙර සිටියාවූ අයද;

55 තවද මෝසෙස්ගේ සිට එලයිජා දක්වාද, එලයිජාගේ සිට යොහාන් දක්වාද, ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීමේදී උන්වහන්සේ සමඟ සිටියාවූ අයද, තවද ශුද්ධ වූ ප්‍රේරිතවරුන්ද, ආබ්‍රහම්, ඊසාක්, සහ යාකොබ්ද, බැටළු පැටවාණන්ගේ අභිමුඛයෙහි සිටින්නෝය.

56 තවද ශුද්ධවන්තයන්ගේ සොහොන් විවෘත කරනු ලබන්නේය; තවද නව යෙරුසලම, තවද එම ශුද්ධ වූ නගරය මත වන, සයොන කන්ද මත උන්වහන්සේ නැගී සිටිද්දී, ඔවුහු ඉදිරියට පැමිණ බැටළු පැටවාණන්ගේ දකුණු පාර්ශවයේ නැගී සිටින්නෝය; තවද ඔවුහු දහවලේ සහ රාත්‍රියේ සදාකලයෙන් සදාකාලයට බැටළු පැටවාණන්ට ගීතිකා ගායනා කරන්නෝය.

57 තවද මෙම කාරණාව හෙයින්, එනම් එළිදරව් කරන්නට තිබෙන්නාවූ එම මහිමයන්ට මනුෂ්‍යයන් පංගුකාරයන් බවට පත්කරන පිණිස, ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය, උන්වහන්සේගේ සදාකාලික ගිවිසුම, තාර්කිකව පැහැදිලිව සහ සරලත්වයෙන් පෙරට යවන සේක—

58 පොළොවට පැමිණෙන්නාවූ එම දේවල් උදෙසා දුර්වල වූවන්ව සූදානම් කරන පිණිසද, තවද ස්වාමින්වහන්සේගේ කාරණා උදෙසා දුර්වලයන් ප්‍රඥාවන්තයන්ව ව්‍යාකූල කරන පිණිසද, තවද කුඩා තැනැත්තන් ශක්තිමත් ජාතීන් බවට පැමිණීමේදී, තවද දෙදෙනෙක් ඔවුන්ගේ සතුරන් දහස් ගණනක් හට පලායාමට සලස්වන්නෝය.

59 තවද පොළොවේ දුර්වල දේවල් සමඟින් ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ ආත්මයේ බලයෙන් ජාතීන්ට පහර දෙනු ලබන්නේය.

60 තවද මෙම කාරණය උදසො මෙම ආඥාවන් දෙනු ලැබ ඇත්තේය; ඒවා දෙනු ලැබූ දවසේ පටන් ලෝකය වෙතින් සඟවා තැබීමට ආඥා කරන ලද්දේය, එහෙත් දැන් ඒවා සියලු මාංශය වෙතට පෙරට යා යුතු වන්නේය—

61 තවද මෙය සියලු මාංශය මත පාලනය කරන තැනැන්වහන්සේ වූ, ස්වාමින්වහන්සේගේ සිත සහ කැමැත්තට අනුවය.

62 තවද එනම් ස්වාමින්වහන්සේ ඉදිරියේ පසුතැවිලිව තවද තමන්ව පාරිශුද්ධ කරගන්නා ඔහුට සදාකාල ජීවනය දෙනු ලබන්නේය.

63 තවද ස්වාමින්වහන්සේගේ හඬට උවමනාවෙන් සවන්නොදෙන්නාවූ අය මත අනාගතවක්තෘ මෝසෙස් විසින් ලියන ලද දේවල් සම්පූර්ණ වීමට, ඔවුන්ව ජනතාව අතරින් කපාදැමිය යුතු වන්නේය.

64 තවද එසේම අනාගතවක්තෘ මලාකි විසින් මෙසේ ලියන ලද්දේය; මක්නිසාද, බලන්න, උඳුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය, එවිට සියලු උඩඟු අයද, එසේය, තවද දුෂ්ටකම් කරන සියල්ලන්ද, ඉපනැලි මෙන් වී; තවද ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන හැටියට, පැමිණෙන ඒ දවසේදී දැවී යනු ඇතැයි සේනාවල ස්වාමින්වහන්සේ පවසන සේක.

65 එසේහෙයින්, ඔවුන් හට ස්වාමින්වහන්සේගේ පිළිතුර මෙසේය:

66 මම මාගේ ස්වකීයයන් වෙතට පැමිණෙන එම දවසේදී, නුඹලා අතරින් කිසිවෙක් මා පිළිගත්තේ නැත, තවද නුඹලාව පලවාහැර තිබිණ.

67 මම නැවත කතා කළ විට එහි පිළිතුරු දෙන්නට නුඹලාගෙන් කිසිවෙකු සිටියේ නැත; එහෙත් මුදවාගැනීමට, හෝ ගැලවීමේ මාගේ බලයට, මාගේ හස්තය කොහෙත්ම කෙටිව තිබුනේ නැත.

68 බලන්න, මාගේ තරවටුවෙන් මම මුහුද සිඳුවාලන්නෙමි. මම ගංගා කාන්තාරයක් කරන්නෙමි; තවද එහි මත්සයන් පිපාසයෙන් මරණයට පත්ව, ගඳ ගසනු ලැබෙන්නේය.

69 මම ස්වර්ගයන් අන්ධකාරයෙන් සරසා, තවද ඒවා ගෝනි රෙදි වලින් වසන්නෙමි.

70 තවද මෙය මාගේ හස්තයෙන් නුඹලා ලබන්නෙහුය—නුඹලා දුකෙන් වැතිරී සිටින්නෝය.

71 බලන්න, තවද බලව, එහි නුඹලාව ගලවාගැනීමට කිසිවෙකුත් නැත; මක්නිසාද මම නුඹලාට ස්වර්ගයේ සිට කතා කළ විට නුඹලා මාගේ හඬට කීකරු නොවීය; නුඹලා මාගේ සේවකයන්ව විශ්වාස නොකළෝය, තවද ඔවුන්ව නුඹලා වෙතට එවූ විට නුඹලා ඔවුන්ව පිළිනොගත්තෝය.

72 එසේහෙයින්, ඔවුහු සාක්ෂිය මුද්‍රා කර තවද නීතිය බැඳ තැබූහ, තවද මම නුඹලාව අන්ධකාරය වෙතට බාරදෙනු ලැබුවෙමි.

73 මොවුහු පිටත අන්ධකාරයට යවනු ලබන්නේය, එහි හැඬීමද, විලාපයද, තවද දත්මිටි කෑමද වන්නේය.

74 බලන්න ස්වාමින් වූ නුඹගේ දෙවියන්වහන්සේ එය කතා කළ සේක. ආමෙන්.