ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 135


135 වන කොටස

1844 ජුනි 27, කාර්තේජ්, ඉලිනොයිස් හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා සහ ඔහුගේ සහෝදර, ආදිපීතෘ හයිරම් ස්මිත්ගේ ප්‍රාණ පරිත්‍යාගයේ නිවේදනය. ජෝසෆ් සහ හයිරම් ස්මිත්ව ඝාතනය කරන විට ප්‍රකාශයට පත්කිරීමට ආසන්න වශයෙන් සූදානම්ව තිබූ, දහම සහ ගිවිසුම් හි 1844 වන සංස්කරණය අවසානයේ මෙම ලේඛනය ඇතුළත් විය.

1–2, ජෝසෆ් සහ හයිරම්ව කාර්තේජ් හිරගෙදරදී මරාදමනු ලබයි; 3, අනාගතවක්තෘවරයාගේ විශිෂ්ටතම තත්වය පැසසුමට ලක්වෙයි; 4–7, ඔවුන්ගේ අහිංසක රුධිරය මෙම කාර්යයේ සත්‍යය සහ දිව්‍යමයභාවය ගැන සාක්ෂි දරයි.

1 මෙම පොතේ සහ මොර්මොන්ගේ පොතේ සාක්ෂිය මුද්‍රා කිරීම උදෙසා, අනාගතවක්තෘවරයා වූ ජෝසෆ් ස්මිත් සහ ආදිපීතෘවරයා වූ හයිරම් ස්මිත් යන අයගේ ප්‍රාණ පරිත්‍යාගය අපි නිවේදනය කරන්නෙමු. 1844 ජුනි මස 27 වන දින, පස්වරු පහට පමණ, ආයුධ සන්නද්ධ—කලු සායම් තවරාගත්—150 සිට 200 දක්වා වූ පුද්ගලයන්ගෙන් යුත් දාමරික කණ්ඩායමක් විසින්, කාර්තේජ් හිරගෙදරදී ඔවුන්ට වෙඩි තබන ලදි. පළමුව හයිරම්ට වෙඩි වැදී ඔහු සන්සුන්ව බිම වැටී, මම මැරුණු මනුෂ්‍යයෙක්මි! යැයි කෑගැසීය, ජෝසෆ් ජනේලය වෙතින් පැන්නේය, තවද එම ප්‍රයත්නය තුළදී ඔහුට වෙඩි වැදුන අතර; අහෝ ස්වාමින් වූ මාගේ දෙවියනි! යැයි කෑගසමින් ඔහු මරණයට පත්විය, ඔවුන් දෙදෙනාටම ඔවුන් මියගිය පසුවද, ඉතා කුරිරු ආකාරයෙන් වෙඩි තබන ලදි, තවද දෙදෙනාටම උණ්ඩ සතරක් ශරීරගතව තිබිණි.

2 ජෝන් ටේලර් සහ විලාර්ඩ් රිචර්ඩ්ස්, දොළොස්දෙනාගෙන් එම දෙදෙනා පමණක් එම අවස්ථාවේදී කාමරය තුළ සිටි පුද්ගලයන් විය; මුල් තැනැත්තා දරුණු ආකාරයෙන් උණ්ඩ සතරක් සමඟින් තුවාල ලැබීය, එහෙත් ඉන්පසු සුවපත් වූයේය; පසුව සඳහන් කළ තැනැත්තා, දෙවියන්වහන්සේගේ ආරක්ෂාව තුළින්, ඔහුගේ කබායේ සිදුරක් හෝ නොවී ගැලවුණි.

3 ජෝසෆ් ස්මිත්, ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයා සහ දර්ශන දකින්නා, යේසුස්වහන්සේ පමණක් හැරෙන්නට, ලෝකයේ ජීවත්වූ වෙනත් කිසියම් මනුෂ්‍යයෙකුට වඩා, මෙම ලෝකයේ මනුෂ්‍යයන්ගේ ගැලවීම උදෙසා, බොහෝ සේ ක්‍රියාකර ඇත්තේය. වසර විස්සක් වැනි කෙටි කාලයක් තුළ, ඔහු මොර්මොන්ගේ පොත පෙරට පැමිණවීය, එය ඔහු පරිවර්තනය කරන ලද්දේ දෙවියන්වහන්සේගේ දීමනාවෙන් සහ බලයෙනි, තවද ඔහු එය මහද්වීප දෙකක පළකිරීමටද මැදිහත් වූයේය; එහි ඇතුළත්ව තිබෙන සදාකාලික ශුභාරංචියේ පූර්ණත්වය, පොළොවේ සතරකොන් වෙතට යවන ලද්දේය; මෙම දහම සහ ගිවිසුම් පොතේ සමන්විත වන එළිදරව් සහ ආඥාවන්ද වෙනත් බොහෝ ප්‍රඥාවන්ත ලේඛන සහ උපදෙස්ද මනුෂ්‍යය දරුවන්ගේ ප්‍රයෝජනය උදෙසා පෙරට ගෙනෙන ලදේදේය; බොහෝ පසුදවස් වල ශුද්ධවන්තයන් දහස් ගණනක් රැස්කරමින්, ශ්‍රේෂ්ඨ නගරයක් ගොඩනගා, තවද මරාදැමිය නොහැකි කීර්තියක් සහ නාමයක් තබායන ලද්දේය. ඔහු ශ්‍රේෂ්ඨයෙක්ව ජීවත් විය, තවද ඔහු දෙවියන්වහන්සේ සහ ඔහුගේ ජනතාවගේ ඇස් ඉදිරියේ ශ්‍රේෂ්ඨයෙක්ව මරණයට පත්විය; තවද අතීත කාලයේ ස්වාමින්වහන්සේගේ ආලේපලත් බොහෝදෙනෙකු මෙන්, ඔහුගේ ධර්මදූතය සහ ඔහුගේ කාර්යය ඔහුගේම ස්වකීය රුධිරය මගින් මුද්‍රා කළේය; තවද ඔහුගේ සහෝදර හයිරම්ද එසේමය. ජීවිතයේදී ඔවුහු වෙන් නොවූහ, තවද මරණයේදීද ඔවුහු වෙන් නොවූහ!

4 නීතියේ ව්‍යාජ අවශ්‍යතාවයකට තමාව බාරදීමට ජෝසෆ් කාර්තේජ් වෙත ගිය විට, ඔහුගේ ඝාතනයට දවස් දෙකකට හෝ තුනකට පෙර, ඔහු මෙසේ කීවේය: “මම බැටළුවෙකු මෙන් ඝාතනය වෙතට යන්නෙමි; එහෙත් මම ගිම්හාන උදෑසනක් මෙන් සන්සුන්ය; දෙවියන්වහන්සේ ඉදිරියේ සහ මනුෂ්‍යයන් ඉදිරියේ මගේ හෘදසාක්ෂිය වරදින් ශුන්‍යය. මම අහිංසකයෙක්ව මියයන්නෙමි, තවද එය මෙසේ මා සම්බන්ධයෙන් කියනු ඇත—ඔහුව දරුණු ලෙස ඝාතනය කරන ලදි.”—එම උදෑසනම, හයිරම් යාමට සූදානම් වූ පසුව—ඝාතනයට යන බව එසේ පවසනු ලැබුවේද? එසේය, එය එසේ විය—මොර්මොන්ගේ පොතෙහි ඊතර් දොළොස්වන පරිච්ඡේදයේ අවසානයට පෙර ඇති, පහත දැක්වෙන පරිච්ඡේදය ඔහු විසින් කියවන ලද්දේය, තවද එහි පිටුව ඉහළින් නමන ලද්දේය;

5 තවද එය මෙසේ සිදුවිය, එනම් ස්වාමින්වහන්සේ අන්‍ය ජාතින් වෙතට කරුණාව ලබාදී, ඔවුන්ට දයාව ලබාදෙන පිණිස මම උන්වහන්සේට යාච්ඤා කළෙමි. තවද එය මෙසේ සිදුවිය, එනම් ස්වාමින්වහන්සේ මට මෙසේ කී සේක; ඔවුන්ට දයාව නොමැති නම් එය නුඹට ප්‍රශ්නයක් නොවන්නේය, නුඹ ඇදහිලිවන්තව සිටියෙහිය; එසේහෙයින් නුඹගේ වස්ත්‍ර පිරිසිඳු කරනු ලබන්නේය. තවද නුඹ නුඹගේ දුර්වලකම දුටු නිසා, මාගේ පියාණන්ගේ මාළිගා වල මා විසින් සූදානම් කරන ලද ස්ථානයෙහි හිඳගැනීමට වුවත් නුඹව ශක්තිමත් කරනු ලබන්නේය. තවද දැන් මම…. අන්‍ය ජාතීන්ටද; එසේය, එසේම මා ආදරය කරන්නාවූ මාගේ සහෝදරයන්ටද, ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියේ අපි හමුවන තුරු සමුගන්නෙමියි පවසන්නෙමි, එහිදී මාගේ වස්ත්‍රයෙහි නුඹලාගේ රුධිරයෙහි කැළැල් නොමැති බව සියලු මනුෂ්‍යයෝ දැනගනු ලබන්නෝය. සාක්ෂි දරන්නෝ දැන් මරණයට පත්ව ඇත, තවද ඔවුන්ගේ සාක්ෂිය බලගැන්වී ඇත්තේය.

6 හයිරම් ස්මිත්ට 1844 පෙබරවාරි මාසයට අවුරුදු හතලිස්-හතරක් විය, තවද ජෝසෆ් ස්මිත්ට 1843 දෙසැම්බර් මාසයට අවුරුදු තිස්-අටක් විය; තවද මෙතැන් පටන් ඔවුන්ගේ නම්, වර්ග කළ ආගමික ප්‍රාණ පරිත්‍යාගිකයන් අතරට ඇතුළත් වන්නේය; තවද සෑම ජාතියකම පාඨකයන් මොර්මොන්ගේ පොත, සහ සභාවේ මෙම දහම සහ ගිවිසුම් පොත, විනාශ වූ ලෝකයක ගැලවීම උදෙසා ඒවා පෙරට ගෙන ඒමට දහනම වන සියවසේ උතුම් රැධිරය වැගිරවූ බව සිහිපත් කරනු ඇත; තවද එනම් කොල පැහැති ගසක් දෙවියන්වහන්සේගේ ගෞරවය උදෙසා ගින්දරෙන් පහර ලබන්නේ නම්, දූෂණයේ මිදිවත්ත ශුද්ධකිරීම සඳහා වියලි ගස් දවාලීම කෙතරම් පහසුවෙනු ඇත්ද. ඔවුහු මහිමය උදෙසා ජීවත් වූහ; ඔවුහු මහිමය උදෙසා මරණයට පත්වූහ; තවද මහිමය ඔවුන්ගේ සදාකාලික විපාකය වන්නේය. කාලයෙන් කාලයට පාරිශුද්ධ කරනු ලැබූවන් උදෙසා මැණික් මෙන් ඔවුන්ගේ නාමයන් පරම්පරාවෙන් පරම්පරාවට පවතිනු ඇත.

7 ඔවුන්ව කලින් නිතර ඔප්පු කරනු ලැබූ ලෙස, ඔවුන් කිසි වරදක් නොකළ අහිංසකයන් වූහ, තවද සිරගෙදර තුළ සිරකරනු ලැබුවේ ද්‍රෝහින් සහ දුෂ්ට මනුෂ්‍යයන්ගේ කුමන්ත්‍රණ තුළින් පමණක්ය; තවද කාර්තේජ් හිරගෙදර පොළොව මත ඔවුන්ගේ අහිංසක රුධිරය “මොර්මොන් දහම” සම්බන්ධව පැහැදිලිව සහ විශාලව මුද්‍රා වූවකි, එනම් පොළොවේ කිසියම් උසාවියකදී ප්‍රතික්ෂේප කළ නොහැක්කකි, තවද ඔවුන්ගේ අහිංසක රුධිරය ඉලිනොයිස් ජනපදයට මහත් අපකීර්තියකි, ආණ්ඩුකාරවරයා විසින් පොරොන්දු වූ ලෙස කැඩුණු ඇදහිල්ල සමඟ, සදාකාලික ශුභාරංචියේ සත්‍යය පිළිබඳ දෝෂාභියෝගයක් කළ නොහැකි බවට සියලු ලෝකයට සාක්ෂියකි; තවද ඔවුන්ගේ අහිංසක රුධිරය නිදහස් ධජය මතය, තවද එය එක්සත් ජනපදයේ මහා ප්‍රඥප්තිය (magna charta) මතය, තවද සියලු ජාතින් අතර ගෞරවාන්විත මනුෂ්‍යයන්ගේ හදවත් ස්පර්ශ කරන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආගමට තානාපතියෙක්ය; තවද ඔවුන්ගේ අහිංසක රුධිරය, යොහාන් දුටු අල්තාරය යට සියලුම ප්‍රාණ පරිත්‍යාගිකයින්ගේ අහිංසක රුධිරය සමඟ, සේනාවල ස්වාමින්වහන්සේ පොළොවේ එම රුධිරය උදෙසා පලිගන්නා තුරු උන්වහන්සේ වෙතට මොරගසන්නේය. ආමෙන්.