ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 14


14 වන කොටස

1829 ජුනි, නිව්යෝර්ක්, ෆෙයිට් හිදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුළින් ඩෙවිඩ් විට්මර් හට දෙනු ලැබූ එළිදරව්වකි. මොර්මොන්ගේ පොත පරිවර්තනය පිළිබඳ විට්මර් පවුල ඉමහත් උනන්දුවකට පත්ව ඇත. අනාගතවක්තෘවරයා ඩේවිඩ් විට්මර් ජ්‍යේෂ්ඨගේ, නිවස ඔහුගේ නවාතැන ලෙස පිහිටුවා ගත්තේය, පරිවර්තනයේ ක්‍රියාවලිය සම්පූර්ණත්වයට ගෙනයනු ලදුව සහ ඉදිරියට පැමිණෙන්නා වූ පොතෙහි ප්‍රකාශන අයිතිය ආරක්ෂිත වනතුරු ඔහු එහි පදිංචි විය. විට්මර් පුතණුවන් තිදෙනෙකු, එක් එක්කෙනෙකු එම කාර්යයේ අව්‍යාජ බවේ සාක්ෂියක් ලබාගනිමින්, ඔවුන්ගේ පෞද්ගලික යුතුකමක් ලෙස තකා එම කාරණාව සම්බන්ධයෙන් දැඩිව සැලකිලිමත් විය. මෙම එළිදරව්ව සහ පහත කොටස් දෙක (15 සහ 16 වන කොටස්) ඌරීම් සහ තුම්මීම් තුළින් කළ ඉල්ලීමට ලැබුණු පිළිතුරකි. ඩෙවිඩ් විට්මර් පසුව මොර්මොන්ගේ පොතෙහි සාක්ෂිකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු බවට පත්විය.

1–6, ස්වාමින්වහන්සේගේ මිදි වත්තේ සේවකයෝ ගැලවීම ලබාගන්නෝය; 7–8, සදාකාල ජීවනය දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨතම දීමනාව වන්නේය; 9–11, ක්‍රිස්තුස්වහන්සේ ස්වර්ගයද පොළොවද මැවූ සේක.

1 ශ්‍රේෂ්ඨ සහ පුදුමාකාර ක්‍රියාවක් මනුෂ්‍ය දරුවන් වෙතට පැමිණීමට නියමිතය.

2 බලන්න, මම දෙවියන්වහන්සේ වෙමි; මාගේ වචනයට ඇහුම්කන් දෙන්න, එය ඉක්මන් සහ බලවත් වන්නේය, සංධි සහ ඇට මිදුළු දෙකම බෙදීමට, දෙමුවහත් කඩුවකට වඩා තියුණු වන්නේය; එසේහෙයින් මාගේ වචනයට ඇහුම්කන් දෙන්න.

3 බලන්න, අස්වැන්න නෙලාගැනීම සඳහා කෙත දැනටමත් සූදානම්ය; එසේහෙයින්, නෙලාගැනීමට කැමති කවරෙකු වුවත් ඔහුගේ දෑකැත්ත දමා ඔහුගේ ශක්තියෙන් කපත්වා, එනම් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සදාකාලික ගැලවීම ඔහුගේ ප්‍රාණයේ රැස්කරගන්නා පිණිස තවද දවස පවතින තුරු නෙලාගනිත්වා.

4 එසේය, අස්වැන්න කපාගැනීමට ඔහුගේ දෑකැත්ත දිගුකරන කවරෙකු වුවද, ඔහුව දෙවියන්වහන්සේ විසින් කැඳවා ඇත්තේය.

5 එසේහෙයින්, නුඹ මාගෙන් ඉල්ලන්නේ නම් නුඹට ලැබෙන්නේය; නුඹ තට්ටු කරන්නේ නම් එය නුඹට විවෘත වන්නේය.

6 මාගේ සයොනය ඉදිරියට ගෙන ඒමට සහ පිහිටුවාලීමට සොයන්න. සියලු දේවලදී මාගේ ආඥාවන් පිළිපදින්න.

7 තවද, නුඹලා මාගේ ආඥාවන් පිළිපදිමින් අවසානය දක්වා දරාගන්නේද නුඹලා සදාකාල ජීවනය උරුම කරගන්නෙහුය, එම දීමනාව දෙවියන්වහන්සේගේ සියලු දීමනා වලින් ශ්‍රේෂ්ඨතම දීමනාව වන්නේය.

8 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇදහිල්ලෙන් විශ්වාස කරමින්, මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් නුඹ ඉල්ලන්නේ නම්, නුඹ ශුද්ධාත්මයාණන් ලබන්නෙහුය, උන්වහන්සේ කතා කිරීමේ හැකියාව දෙන්නේය, එනම් නුඹ අසන සහ දකින දේවල් දෙකෙහිම සාක්ෂිකරුවකු ලෙස නැගී සිටින පිණිසද, එසේම මෙම පරම්පරාවට පසුතැවිල්ල ප්‍රකාශ කිරීමටද නුඹට හැකි වනු පිණිසය.

9 බලන්න, ස්වර්ග සහ පොළොවද, අන්ධකාරයේ සැඟවිය නොහැකි ආලෝකයද මැවූ මම, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍ර වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙමි.

10 එසේහෙයින්, මම මාගේ ශුභාරංචියේ සම්පූර්ණත්වය අන්‍ය ජාතීන් වෙතින්, ඉශ්‍රායෙල් වංශය වෙතට ඉදිරියට ගෙන ආ යුතුමය.

11 තවද බලන්න, නුඹ ඩේවිඩ් වේ, නුඹව උපකාර කිරීමට කැඳවා ඇත්තේය; එම දේ නුඹ කරන්නේ නම්, තවද ඇදහිලිවන්ත වන්නේ නම්, නුඹ ආත්මිකව සහ ලෞකිකව දෙකෙහිදීම ආශිර්වාද ලද්දෙහුය, නුඹගේ විපාකය මහත් වන්නේය. ආමෙන්.