ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 119


119 වන කොටස

1838 ජූලි 8, ෆාර් වෙස්ට්, මිසුරි හිදී, “අහෝ ස්වාමිනි! දසයෙන් කොටස සඳහා ඔබේ සෙනගගේ දේපළ වලින් කොපමණ ප්‍රමාණයක් අවශ්‍යදැයි ඔබේ සේවකයන්ට පෙන්වනු මැනව” යන ඔහුගේ ඉල්ලීමට පිළිතුරු වශයෙන්, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. වර්තමානයේ තේරුම්ගන්නා පරිදි, දසයෙන් කොටස ලබාදීමේ නීතිය, මෙම එළිදරව්වට පෙර සභාවට ලබාදී නොමැත. එම යාච්ඤාවේ දසයෙන් කොටස යන යෙදුම උපුටා දක්වා ඇති අතර පෙර එළිදරව් වලින් (64:23; 85:3; 97:11) අදහස් කළේ දහයෙන් එකක් පමණක්ම නොවේ, නමුත් සභාවේ අරමුදල් සඳහා කැමැත්තෙන් ලබාදුන් පරිත්‍යාග, හෝ දායකත්වයන්ය. ස්වාමින්වහන්සේ මීට පෙර සභාවට දේපළ කැපකිරීමේ හා භාරකාරත්වයේ නීතිය ලබාදී ඇති අතර, සාමාජිකයින් (ප්‍රධාන වශයෙන් ප්‍රමුඛ වැඩිහිටියන්) සදාකාලික ගිවිසුමක් මගින් එයට ඇතුලත්ව ඇත. බොහෝ අය මෙම ගිවිසුම සමඟ බැඳීමට අපොහොසත් වීම නිසා, ස්වාමින්වහන්සේ විසින් එය ටික කාලයකට ඉවත්කර තවද ඒ වෙනුවට මුළු සභාව සඳහාම දසයෙන් කොටස ලබාදීමේ නීතිය ලබාදුන් සේක. ශුද්ධ වූ අරමුණු සඳහා ඔවුන්ගේ දේපළ වලින් කොපමණ කොටසක් උන්වහන්සේට අවශ්‍යද යන්න අනාගතවක්තෘවරයා ස්වාමින්වහන්සේගෙන් විමසන ලදි. එම පිළිතුර මෙම එළිදරව්වයි.

1–5, ශුද්ධවන්තයන් ඔවුන්ගේ අතිරික්ත දේපළ වලින් ගෙවිය යුතු වන්නෝය, තවද වාර්ෂිකව ඔවුන්ගේ ලාභයෙන් දසයෙන් කොටසක්, දසයෙන් කොටස ලෙස ලබාදිය යුතු වන්නෝය; 6–7, එවැනි ක්‍රියාමාර්ගයක් සයොන දේශය පාරිශුද්ධ කරනු ලබන්නේය.

1 සැබවක්, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, ඔවුන්ගේ සියලු අතිරික්ත දේපළ මාගේ සභාවේ සයොනයේ සභාපතිවරයාගේ අත්වල තැබීම මා හට අවශ්‍ය වන්නේය.

2 මක්නිසාද මාගේ ගෘහයේ ගොඩනැගීම උදෙසාද, තවද සයොනය සහ පූජකවරය සඳහා අත්තිවාරම දැමීම උදෙසාද, තවද මාගේ සභාවේ සභාපතිත්වයේ ණය උදෙසාදය.

3 තවද මෙය මාගේ ජනතාවගේ දසයෙන් කොටසේ ආරම්භය වන්නේය.

4 තවද එයින් පසුව, මෙසේ දසයෙන් කොටස ලබාදුන් අයවළුන් ඔවුන්ගේ සියලු ලාභයෙන් දසයෙන්-කොටසක් වාර්ෂිකව ගෙවිය යුතු වන්නෝය; තවද මාගේ ශුද්ධ වූ පූජකවරය උදෙසා, මෙය ඔවුන්ට සදාකාලයටම ස්ථාවර නීතියක් වන්නේ යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

5 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එය මෙසේ සිදුවන්නේය එනම් සයොන දේශයට රැස්වන්නාවූ ඔවුන් සියල්ලන්ම ඔවුන්ගේ අතිරික්ත දේපළ වලින් දසයෙන් කොටස ගෙවිය යුතු වන්නෝය, තවද මෙම නීතිය පැවැත්විය යුතු වන්නෝය, නැතහොත් ඔවුන්ව නුඹලා අතරෙහි පැවතීමට සුදුසු ලෙස සොයාගනු නොලබන්නෝය.

6 තවද මම නුඹලා හට පවසන්නෙමි, එනම් එහි මාගේ නීතීන් සහ මාගේ විනිශ්චයන් පවත්වන පිණිසද, එය වඩාත් ශුද්ධවන්ත වන පිණිසද, මාගේ ජනතාව මෙම නීතිය ශුද්ධ ලෙස තබාගැනීම නොපවත්වන්නේද, තවද මෙම නීතිය මගින් මා වෙතට සයොන දේශය පාරිශුද්ධ නොකරන්නේද, බලන්න, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එය නුඹලා වෙතට සයොන දේශයක් නොවන්නේය.

7 තවද මෙය සයොනයේ සියලු ස්ටේකයන්ට ආදර්ශයක් වන්නේය. එය එසේම වන්නේය. ආමෙන්.