ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 65


65 වන කොටස

1831 ඔක්තෝම්බර් 30, හයිරම්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ යාච්ඤාව සම්බන්ධ එළිදරව්වකි.

1–2, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ යතුරු පොළොවේ මනුෂ්‍යයන්ට බාරදී ඇත්තේය, තවද ශුභාරංචියේ ක්‍රියාව ජයග්‍රාහික වන්නේය; 3–6, ස්වර්ගයේ සහස්‍රීය රාජ්‍යය පැමිණ පොළොවේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමඟ සම්බන්ධ වන්නේය.

1 උවමනාවෙන් සවන්දෙන්න, තවද බලව, උසස්තැන් සිට පහතට හඬක් යවන ලද්දේය, එය ප්‍රබල මෙන්ම බලවත්ය, එහි පෙරගමන් කිරීම පොළොවේ අන්තය දක්වා වන්නේය, එසේය, එම හඬ මනුෂ්‍යයන් වෙතටය—නුඹලා ස්වාමින්වහන්සේගේ මාර්ගය සූදානම් කරන්න, උන්වහන්සේගේ මාවත් සමතලා කරන්න.

2 දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ යතුරු පොළොවේ මනුෂ්‍යයන් වෙතට බාරදී ඇත්තේය, තවද දෑත් වලින් තොරව කන්දකින් කපන ලද ගලක් පෙරට පෙරලී පැමිණෙනවා මෙන්, එය පොළොව සම්පූර්ණයෙන් පුරවන තුරු, එතැන් සිට ශුභාරංචිය පොළොවේ අන්තයන් වෙත පැතිර යන්නේය.

3 එසේය, හඬක් මෙසේ මොරගසන්නේය—නුඹලා ස්වාමින්වහන්සේගේ මාර්ගය සූදානම් කරන්න, නුඹලා බැටළු පැටවාණන්ගේ රාත්‍රී භෝජනය සූදානම් කරන්න, මනමාලයා උදෙසා සූදානම් වීම් කරන්න.

4 ස්වාමින්වහන්සේ වෙතට යාච්ඤා කරන්න, උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට හඬගසන්න, උන්වහන්සේගේ පුදුමාකාර වූ ක්‍රියාවන් ජනතාවන් අතර දන්වා සිටින්න.

5 ස්වාමින්වහන්සේට හඬගසන්න, එනම් උන්වහන්සේගේ රාජ්‍යය පොළොව මත පෙරට යවන පිණිසද, එනම් එහිවූ පදිංචිකරුවන් එය ලබන පිණිසද, එමෙන්ම පොළොව මත පිහිටුවා ඇති දෙවියන්වහන්සේගේ රාජ්‍යය බැහැදැකීමට, උන්වහන්සේගේ මහිමයේ දීප්තියෙන් සැරසී, මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වර්ගයෙන් පහතට පැමිණෙන, එම පැමිණෙන්නට ඇති දවස් උදෙසා සූදානම් වන්න.

6 එසේහෙයින්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පෙරට යනු ලැබේවා, එනම් ස්වර්ගීය රාජ්‍යය පැමිණේවා, එනම් ඔබවහන්සේ, අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද මහිමයට පත්වේවා, එසේම ඔබවන්සේගේ සතුරන් යටත්කරනු ලැබේවා; මක්නිසාද සදාකාලයෙන් සදාකාලයට ගෞරවයද, බලය සහ මහිමයද ඔබවහන්සේගේය. ආමෙන්.