ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 98


98 වන කොටස

1833 අගොස්තු 6, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මෙම එළිදරව්ව පැමිණියේ මිසුරි හි ශුද්ධවන්තයන් මත පැමිණියාවූ පීඩාවන් වල ප්‍රතිඵලයක් ලෙසය. මිසුරි හි සභාවේ සාමාජිකයන් පදිංචි වීම වැඩිවීමත් සමඟම, ශුද්ධවන්තයන්ගේ සංඛ්‍යාව, දේශපාලන හා ආර්ථික බලපෑම, සහ සංස්කෘතික හා ආගමික වෙනස්කම්, ඒවා තර්ජනයක් ලෙස සිතූ, පදිංචිව සිටි වෙනත් පදිංචිකරුවන්ට කරදරයක් විය. 1833 ජූලි මාසයේදී, මැර පිරිසක් සභාවේ දේපළ විනාශ කර, සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට තාර දමා පිහාටු දැමූ අතර, ශුද්ධවන්තයන්ට ජැක්සන් ප්‍රාන්තයෙන් පිටවන ලෙස බලකර සිටියහ. මිසුරි හි ඇති ගැටළු පිළිබඳ සමහර ප්‍රවෘත්ති කර්ට්ලන්ඩ් හි (සැතපුම් නවසියයක් ඈතින් සිටි) අනාගතවක්තෘවරයා වෙත ලඟාවූ බවට සැකයක් නැතත්, තත්වයෙහි බරපතලකම මේ දිනවල ඔහුට දැනගත හැකිව තිබුණේ එළිදරව්වෙන් පමණි.

1–3, ශුද්ධවන්තයන්ගේ පීඩාවන් ඔවුන්ගේ යහපත උදෙසා වන්නේය; 4–8, ශුද්ධවන්තයන් දේශයේ ව්‍යවස්ථාගත නීති වලට මිත්‍රශීලී විය යුතුය; 9–10, අවංක, ප්‍රඥාවන්ත, සහ යහපත් මනුෂ්‍යයින් ලෞකික රජයන්ට සහයෝගය දැක්විය යුතුය; 11–15, ස්වාමින්වහන්සේගේ කාරණය උදෙසා සිය ජීවිත පහත හෙලන ඔවුන් සදාකාල ජීවනය ලබන්නෝය; 16–18, යුද්ධය ප්‍රතික්ෂේප කොට තවද සාමය ප්‍රකාශ කරන්න; 19–22, කර්ට්ලන්ඩ් හි ශුද්ධවන්තයන්ට තරවටු කොට පසුතැවිලි වීමට ආඥා කරනු ලබයි; 23–32, ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ ජනතාව මත පටවනු ලැබුවාවූ පීඩාවන් සහ හිංසාවන් පාලනය කරන උන්වහන්සේගේ නීති එළිදරව් කරනු ලබයි; 33–38, යුද්ධය ධර්මිෂ්ඨ වන්නේ ස්වාමින්වහන්සේ එය ආඥා කරන විට පමණි; 39–48, ශුද්ධවන්තයන් ඔවුන්ගේ සතුරන්ට සමාව දිය යුතුය, ඔවුන් පසුතැවිලි වන්නේ නම්, එසේම ස්වාමින්වහන්සේගේ පලිගැනීමෙන්ද ගැලවෙන්නෝය.

1 සැබවක් මාගේ මිතුරනි මම නුඹලා හට පවසන්නෙමි, බිය නොවන්න, නුඹලාගේ හදවත් වලට සහනය ලබන්නට ඉඩදෙන්න; එසේය, සදහටම ප්‍රීති ප්‍රමුදිත වන්න, තවද සියල්ලෙහිදී ස්තූතිවන්ත වන්න;

2 ස්වාමින්වහන්සේ කෙරෙහි ඉවසිලිවන්තව සිටින්න, මක්නිසාද නුඹලාගේ යාච්ඤාවන් සබතේ ස්වාමින්වහන්සේගේ සවන් වෙතට ඇතුල් වී ඇත්තේය, තවද මෙම මුද්‍රාවෙන් සහ ගිවිසුමෙන් වාර්තා වී ඇත්තේය—ස්වාමින්වහන්සේ ඒවා ලබාදෙන්නේ යැයි දිව්රා තවද තීන්දුකොට ඇති සේක.

3 එසේහෙයින්, උන්වහන්සේ මෙම පොරොන්දුව නුඹලා හට දෙන සේක, වෙනස් නොවන ගිවිසුමක් සමඟින් ඒවා සම්පූර්ණ කරනු ලබන්නේය; තවද මාගේ නාමයේ මහිමය පිණිස, තවද නුඹලා පීඩාවට පත්කොට ඇති සියලු දේවල් නුඹලාගේ යහපත උදෙසා එක්ව ක්‍රියාකරන්නේ යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

4 තවද දැන්, සැබවක් දේශයේ නීති සම්බන්ධව මම නුඹලා හට පවසන්නෙමි, මාගේ ජනතාව මම ඔවුන්ට ආඥා කරන සියලුම දේවල් කිරීමට වගබලාගැනීම මාගේ කැමැත්ත වන්නේය.

5 තවද එනම් සියලුම මනුෂ්‍යය වර්ගයාට අයත් වූ අයිතීන් සහ වරප්‍රසාද පවත්වාගැනීමේ නිදහස පිළිබඳ මූලධර්මයට සහය දක්වන එම ව්‍යවස්ථාදායක දේශයේ නීතිය, මා ඉදිරියේ යුක්තිසහගත වන්නේය.

6 එසේහෙයින්, ස්වාමින්වහන්සේ වන, මම, දේශයේ ව්‍යවස්ථාදායක නීතිය වන එම නීතියට මිත්‍රශීලී වීම සම්බන්ධව, නුඹලාව, සහ මාගේ සභාවේ නුඹලාගේ සහෝදරයින්ව ධර්මිෂ්ඨ කරන්නෙමි;

7 තවද මිනිසාගේ නීතිය සම්බන්ධව කවරාකාර දෙයක් මෙයට වඩා අඩු හෝ වැඩි වුවහොත්, එය නපුරෙන් පැමිණෙන්නේය.

8 ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන, මම, නුඹලාව නිදහස් කරන්නෙමි, එසේහෙයින් නුඹලා සැබවින්ම නිදහස්ය; තවද නීතියද එසේම නුඹලාව නිදහස් කරන්නේය.

9 එසේවුවද, දුෂ්ටයන් රජකරන විට ජනතාව වැලපෙන්නෝය.

10 එසේහෙයින්, අවංක මනුෂ්‍යයන්ව සහ ප්‍රාඥාවන්ත මනුෂ්‍යයන්ව උද්යෝගයෙන් සෙවිය යුතු වන්නෝය, තවද යහපත් මනුෂ්‍යයන්ව සහ ප්‍රාඥාවන්ත මනුෂ්‍යයන්ව නුඹලා අනුමතකොට සහය විය යුතු වන්නෝය; එසේ නොවුනහොත් මේ දේවල් වලට වඩා අඩු කුමනාකාර දෙයක් වුවත් පැමිණෙන්නේ නපුරෙන්ය.

11 තවද මම නුඹලා හට ආඥාවක් දෙන්නෙමි, එනම් නුඹලා සියලු දුෂ්ට දේ අතහැර සියලු යහපත වෙතට ඇලිය යුතු වන්නෝය, එනම් නුඹලා දෙවියන්වහන්සේගේ මුඛය වෙතින් පිටවෙන සෑම වචනයකටම අනුව ජීවත් වන පිණිසය.

12 මක්නිසාද උන්වහන්සේ ඇදහිලිවන්තයන් වෙතට පේළියෙන් පේළියට, ආඥාවෙන් ආඥාවට දෙන සේක; තවද මම නුඹලාව අත්හදා බලන්නෙමි තවද මෙතැන් සිට නුඹලාව පරීක්ෂා කරන්නෙමි.

13 තවද කවරෙකු වුවද ඔහුගේ ජීවිතය මාගේ කාරණය, මාගේ නාමය උදෙසා පහත හෙලන්නේද, නැවත එය, සදාකාල ජීවිතය වුවත්, සොයාගනු ලබන්නේය.

14 එසේහෙයින්, නුඹලාගේ සතුරන්ට බිය නොවන්න, මක්නිසාද මම මාගේ හදවතේ නියමයක් කර ඇත්තෙමියි, ස්වාමින්වහන්සේ පවසන සේක, එනම් නුඹලා සුදුසුදැයි සොයාගන්නා පිණිස, මරණය දක්වා වුවත්, නුඹලා මාගේ ගිවිසුමෙහි පවතින්නෙහුදැයි දැනගැනීම පිණිස, මම සියලු දේවලදී නුඹලාව පරීක්ෂා කර බලන්නෙමි.

15 මක්නිසාද නුඹලා මාගේ ගිවිසුමෙහි නොපවතින්නේ නම් නුඹලා මා හට සුදුසු නොවන්නෝය.

16 එසේහෙයින්, යුද්ධය ප්‍රතික්ෂේප කොට සාමය ප්‍රකාශ කරන්න, තවද දරුවන්ගේ හදවත් ඔවුන්ගේ පියවරුන් වෙතටද, පියවරුන්ගේ හදවත් දරුවන් වෙතටද හැරවීමට උද්යෝගීමත්ව සොයන්න;

17 තවද නැවතත්, යුදෙව්වන්ගේ හදවත් අනාගතවක්තෘවරුන් වෙතටද, අනාගතවක්තෘවරුන්ගේ හදවත් යුදෙව්වන් වෙතටද [හැරවීමට උද්යෝගීමත්ව සොයන්න]; එනම් මම පැමිණ මුළු පොළොවටම ශාපයකින් පහරදී සහ සියලු මාංශයන්ට මා ඉදිරියේ දැවීයාමට පහර නොදීමටය.

18 නුඹලාගේ හදවත් වලට කරදර නොවීමට සලස්වන්න; මක්නිසාද මාගේ පියාණන්ගේ ගෘහයේ බොහෝ වාසස්ථාන ඇත්තේය, තවද නුඹලා උදෙසා මම ස්ථානයක් පිළියෙල කොට ඇත්තෙමි; තවද මාගේ පියාණන්වහන්සේ සහ මා සිටින්නේ කොතැනකද, එහි නුඹලාද සිටින්නෝය.

19 බලන්න, ස්වාමින්වහනසේ වන, මම, කර්ට්ලන්ඩ් හි සභාවේ සිටින බොහෝ අය හා සමඟ බොහෝ ප්‍රසන්න නොවෙමි.

20 මක්නිසාද ඔවුහු ඔවුන්ගේ පාපයන්, තවද ඔවුන්ගේ දුෂ්ට මාර්ගයන්, ඔවුන්ගේ හදවත් වල උඩඟුකම්, තවද ඔවුන්ගේ තණ්හා, තවද ඔවුන්ගේ සියලු පිළිකුල් දේවල් අත්නොහරින්නෝය, තවද මා ඔවුන්ට දී තිබෙන ප්‍රාඥාවේ සහ සදාකාල ජීවනයේ වචනද පිළිපදින්නේ නැත.

21 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් ස්වාමින්වහන්සේ වන, මම, මා ඔවුන් හට පැවසූ සියලු දේවලට ඔවුන් පසුතැවිලි නොවී තවද පිළිපදින්නේ නැතිනම්, ඔවුන්ට තරවටුකර, මා සඳහන් කරන කුමනාකාර දෙයක් වුවද කරන්නෙමි.

22 තවද නැවතත් මම නුඹලා හට පවසන්නෙමි, මම නුඹලාට ආඥා කරන කවරාකාර දෙයක් වුවත් කිරීමට නුඹලා වගබලාගන්නේද, ස්වාමින්වහන්සේ වන, මම, නුඹලා වෙතින් සියලු කෝපය සහ උදහස නැවත හරවා යවන්නෙමි, තවද නුඹලාට විරුද්ධව නිරයේ දොරටු ජයගන්නේ නැත.

23 දැන්, නුඹලාගේ පවුල් සම්බන්ධව මම නුඹලා හට කතා කරන්නෙමි—මනුෂ්‍යයන් නුඹලාට හෝ නුඹලාගේ පවුල් වලට, එක් වරක්, පහර දෙන්නේ නම්, තවද නුඹලා එය ඉවසීමෙන් දරමින් තවද ඔවුන්ට විරුද්ධව, නින්දා නොකර, පලිගැනීම නොසොයන්නේද, නුඹලා විපාකයන් ලබන්නෝය;

24 එහෙත් නුඹලා එය ඉවසිලිවන්තව දරා නොගන්නේ නම්, එය නුඹලා හට ධර්මිෂ්ඨ මිම්මක් ලෙස මනිණු ලබන්නේය.

25 තවද නැවතත්, නුඹලාගේ සතුරන් දෙවනි වතාවටත් නුඹලාට පහරදෙන්නේ නම්, තවද නුඹලාගේ සතුරන්ට විරුද්ධව නුඹලා අපහාස නොකරමින්, තවද එය ඉවසිලිවන්තව දරාගන්නේ නම්, නුඹලාගේ විපාකය සිය-ගුණයක් වන්නේය.

26 තවද නැවතත්, ඔහු නුඹලාට තුන්වන අවස්ථාවේත් පහර දෙන්නේ නම්, තවද නුඹලා ඉවසිලිවන්තව එය දරාගන්නේ නම්, නුඹලාගේ ත්‍යාගය දෙගුණ වී නුඹලා වෙතට සතර ගුණයකින් වන්නේය;

27 තවද මෙම සාක්ෂි තුන ඔහු පසුතැවිලි නොවන්නේ නම් නුඹලාගේ සතුරන්ට විරුද්ධව නැගී සිටින්නේය, තවද මකාදමනු නොලබන්නේය.

28 තවද දැන්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එම සතුරා මාගේ පලිගැනීමෙන් ගැලවී යන්නේ නම්, එනම් ඔහු මා ඉදිරියට විනිශ්චය වෙතට ගෙන නොඑන්නේ නම්, එවිට නුඹලා මාගේ නාමයෙන් ඔහුට අනතුරු ඇඟවීමට වගබලාගන්න, එනම් ඔහු තවදුරටත් නුඹලා මත හෝ නුඹලාගේ පවුල මත, හෝ නුඹලාගේ දරුවන්ගේ දරුවන් වෙතට තුන්වන සහ සතරවන පරම්පරාව වෙතට වුවද නොපැමිණෙන පිණිසය.

29 තවද එවිට, ඔහු නුඹලා මත හෝ නුඹලාගේ දරුවන්, හෝ නුඹලාගේ දරුවන්ගේ දරුවන් වෙතට තුන්වන සහ සතරවන පරම්පරාවන් වෙතට පැමිණෙන්නේ නම්, මම නුඹලාගේ සතුරන්ව නුඹලාගේ හස්තයට භාරකර ඇත්තෙමි;

30 තවද එවිට නුඹලා ඔහුව අතහැර දමන්නේ නම්, නුඹගේ ධර්මිෂ්ඨකමටද; තවද නුඹගේ දරුවන් මෙන්ම නුඹගේ දරුවන්ගේ දරුවන්ගෙන් තුන්වන සහ සතරවන පරම්පරා වෙතටද විපාක ලබන්නෝය.

31 එසේවුවද, නුඹලාගේ සතුරා නුඹලාගේ හස්තයෙහිය; තවද නුඹලා ඔහුගේ ක්‍රියාවන් අනුව ඔහුට විපාක ලබාදෙන්නේ නම් නුඹලා ධර්මිෂ්ඨ වන්නෙහුය; ඔහු නුඹලාගේ ජීවිතය සොයා ඇත්තේනම්, තවද නුඹලාගේ ජීවිතය ඔහු මගින් අනතුරට පත්ව ඇත්නම්, නුඹලාගේ සතුරා නුඹලාගේ හස්තයෙහි වන අතර නුඹලාව සාධාරණීකරණය කොට ඇත්තේය.

32 බලන්න, මාගේ සේවකයා වූ නෙපිටද, නුඹගේ පියවරුන් වූ, යෝසෙප්, තවද යාකොබ්, තවද ඊසාක් සහ ආබ්‍රහම්, සහ මාගේ සියලු පැරණි අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් හටද දෙනු ලැබූ නීතිය මෙය වන්නේය.

33 තවද නැවතත්, මාගේ ආදි වාසීන්ට මා දුන් නීතිය මෙය වන්නේය, එනම් ස්වාමින්වහන්සේ වන, මම, ඔවුන්ට ආඥා කළොත් මිස, එනම් ඔවුන් ජාතියකට, වංශයකට, භාෂාවකට හෝ ජනතාවකට, විරුද්ධව සටන් නොකළ යුතු වන්නෝය.

34 තවද කිසියම් ජාතියක්, භාෂාවක් හෝ ජනතාවක් ඔවුන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්නේ නම්, ඔවුන් පළමුව එම ජනතාවට, ජාතියට හෝ භාෂාවට සාමයේ කොඩියක් එසවිය යුතු වන්නෝය;

35 තවද එනම් එම ජනතාව සාමයේ පිදුම පිළිනොගන්නේ නම්, දෙවන හෝ තුන්වන අවස්ථාවේත් පිළිනොගන්නේ නම්, ඔවුන් මෙම සාක්ෂි ස්වාමින්වහන්සේ ඉදිරියට ගෙන ආ යුතු වන්නෝය;

36 එවිට ස්වාමින්වහන්සේ වන, මම, ඔවුන් හට ආඥාවක් දෙන්නෙමි, තවද ඔවුන්ව එම ජාතීන්ට, භාෂාවන් හෝ ජනතාවන්ට විරුද්ධව යුද්ධ කිරීමට යාම සාධාරණීකරණය කරන්නෙමි.

37 තවද ස්වාමින්වහන්සේ වන, මම, ඔවුන්ගේ, සහ ඔවුන්ගේ දරුවන්ගේ යුද්ධයන්, තවද ඔවුන්ගේ දරුවන්ගේ දරුවන්ගේත් තුන්වන සහ සතරවන පරම්පරාව දක්වා වුවද, ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් ඔවුන් සඳහා පලිගන්නා තුරු ඔවුන්ගේ යුද්ධයන්ට සටන් කරන්නෙමි.

38 බලන්න, මක්නිසාද මා ඉදිරියේ සාධාරණීකරණය වන පිණිස, මෙය සියලු ජනතාවට ආදර්ශයක් වන්නේ යැයි, ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ පවසන සේක.

39 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, නුඹලාගේ සතුරන් නුඹ වෙත පළමු අවස්ථාවේ පැමිණි පසු, ඔහු පසුතැලි වී තවද නුඹ වෙතට සමාව අයදිමින් පැමිණෙන්නේ නම්, නුඹ ඔහුට සමාව දී, තවද නුඹලාගේ සතුරන්ට විරුද්ධව එය සාක්ෂියක් ලෙස තවදුරටත් රඳවා නොගත යුතු වන්නේය—

40 තවද දෙවනි සහ තුන්වන අවස්ථා සඳහාද එසේම වන්නේය; තවද නුඹලාගේ සතුරන් නුඹට විරුද්ධව කළාවූ වරද වලට පසුතැවිලි වන අවස්ථාවන් සැත්තෑවර සතක් වන තුරු වුවත්, නුඹලා ඔහුට කමාව දියයුතු වන්නෝය.

41 තවද ඔහු නුඹලාට විරුද්ධව වරදකර පළමුවන අවස්ථාවේ පසුතැවිලි නොවන්නේ නම්, එසේවුවද නුඹලා ඔහුට කමාව දියයුතු වන්නෝය.

42 තවද ඔහු නුඹලාට විරුද්ධව දෙවන අවස්ථාවේත් වරදකරන්නේ නම්, තවද පසුතැවිලි නොවන්නේ නම්, එසේවුවද නුඹලා ඔහුට කමාව දියයුතු වන්නෝය.

43 තවද ඔහු තුන්වන අවස්ථාවේත් නුඹලාට විරුද්ධව වරදකර, තවද පසුතැවිලි නොවන්නේ නම්, නුඹලා එසේම ඔහුට කමාව දියයුතු වන්නෝය.

44 එහෙත් ඔහු නුඹලාට විරුද්ධව හතරවන අවස්ථාවේත් වරද කරන්නේ නම් නුඹලා ඔහුට කමාව දියයුතු නොවන්නෝය, එහෙත් මෙම සාක්ෂි ස්වාමින්වහන්සේ ඉදිරියට ගෙන ආ යුතු වන්නෝය; තවද ඔහු පසුතැවිලිව තවද ඔහු නුඹට විරුද්ධව කළාවූ සියලු දේවල වරද වෙනුවන් සතර ගුණයකින් විපාක ලබාදෙන තුරු ඒවා පහව නොයන්නේය.

45 තවද ඔහු මෙය කරන්නේ නම්, නුඹලා නුඹලාගේ මුළු හදවතින්ම ඔහුට කමවා දියයුතු වන්නෝය; තවද ඔහු මෙය නොකරන්නේ නම්, ස්වාමින්වහන්සේ වන, මම, නුඹලාගේ සතුරාගෙන් සිය ගුණයකින් පලිගන්නෙමි.

46 තවද ඔහුගේ දරුවන් මතද, තවද මා හට වෛර කරන ඔහුගේ දරුවන්ගේ දරුවන් සහ ඔවුන් සියල්ලෝම තුන්වන සහ සතරවන පරම්පරාව දක්වා වුවත් එසේමය.

47 එහෙත් දරුවන් හෝ දරුවන්ගේ දරුවන් පසුතැවී, ස්වාමින් වූ ඔවුන්ගේ දෙවියන්වහන්සේ වෙතට ඔවුන්ගේ සියලු හදවත් සමඟින් සහ ඔවුන්ගේ සියලු බලයෙන්, මනසින් සහ ශක්තියෙන් හැරෙමින්, ඔවුන් හෝ ඔවුන්ගේ පියවරුන්ගේ හෝ ඔවුන්ගේ පියවරුන්ගේ පියවරුන් වරදකර තිබේ නම්, එම කළා වූ වරද වලට සතර ගුණයකින් නැවත පිහිටුවා තිබේනම්, එවිට නුඹලාගේ උදහස හරවා යැවිය යුතු වන්නේය;

48 තවද ඔවුන් මත තවදුරටත් පලිගැනීම පැමිණෙන්නේ නැතැයි, ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ පවසන සේක, තවද ඔවුන්ගේ වරදවල් ඔවුන්ට විරුද්ධව ස්වාමින්වහන්සේ ඉදිරියේ තවදුරටත් සාක්ෂියක්ව කිසිදිනක ගෙනඑනු නොලබන්නේය. ආමෙන්.