ශුද්ධලියවිලි
1 නීෆායි 9


9 වන පරිච්ඡේදය

නීෆායි වාර්තා කට්ටල දෙකක් සාදයි – ඒ සෑම එකක්ම නීෆායිගේ තහඩු ලෙස නම් කරයි – විශාල තහඩුවල ලෞකික ඉතිහාසය අඩංගු වේ; කුඩා ඒවා ප්‍රධාන වශයෙන් ශුද්ධ වූ දේවල් සමඟ කටයුතු කරයි. ක්‍රි.පූ. 600–592 පමණ.

1 තවද මේ සියල්ල, තවද තහඩුවල ලිවිය නොහැකි, තවත් මහඟු දේ බොහෝමයක්, මාගේ පියා දුටුවේ, තවද ඇසුවේ, තවද කතා කරන ලද්දේ, ඔහු ලෙමුවෙල් මිටියාවතේ, කූඩාරමක රැඳී සිටියදීය.

2 තවද දැන්, මෙම තහඩු ගැන මා කතා කළ පරිදි, බලව එය මම මාගේ ජනතාවගේ ඉතිහාසය ගැන පූර්ණ විස්තරයක් සඳහන් කරන තහඩු නොවන්නේය; මක්නිසාද මම මාගේ ජනතාවගේ පූර්ණ විස්තරයක් සඳහන් කරන තහඩු මම නීෆායි යනුවෙන් නම් කොට ඇත; එබැවින්, ඒවා නීෆායිගේ තහඩු ලෙස හඳුන්වන්නේ, මාගේ නාමයෙනි; තවද මෙම තහඩු ද නීෆායිගේ තහඩු ලෙස හඳුන්වනු ඇත.

3 කෙසේනමුත්, මා මෙම තහඩු සාදන ලෙසට ස්වාමීන්වහන්සේගෙන් මා හට ආඥාවක් ලැබී ඇත්තේ, මාගේ ජනතාවගේ මෙහෙවර ගැන විස්තරයක් කොටා තැබීමේ විශේෂ අරමුණ සඳහාය.

4 අනෙක් තහඩු මත රජවරුන්ගේ රාජ්‍ය පාලනය, සහ මාගේ ජනතාවගේ යුද්ධ සහ මතභේද ගැන වාර්තාවක් කොටා තිබිය යුතුය; එබැවින් මෙම තහඩු වැඩි වශයෙන් මෙහෙවරය වෙනුවෙනි; තවද අනෙක් තහඩු වැඩි වශයෙන් රජවරුන්ගේ රාජ්‍ය පාලනය සහ මාගේ ජනතාවගේ යුද්ධ සහ මතභේද වෙනුවෙනි.

5 එබැවින්, ස්වාමීන්වහන්සේ මෙම තහඩු සෑදීමට මට ආඥා කර ඇත්තේ උන්වහන්සේ තුළ ඥාණවන්ත අරමුණක් වෙනුවෙනි, එම අරමුණ කුමක්දැයි මම නොදනිමි.

6 එහෙත් ස්වාමීන්වහන්සේ ආරම්භයේ සිටම සියල්ල දන්නා සේක; එබැවින්, උන්වහන්සේ මනුෂ්‍ය දරුවන් අතර උන්වහන්සේගේ සියලු කාර්යයන් ඉටු කිරීම සඳහා උන්වහන්සේ මාර්ගයක් පිළියෙල කරන සේක; මක්නිසාද බලව, උන්වහන්සේගේ සියලු වචන ඉටු කිරීමට සියලු බලය උන්වහන්සේ සතුව ඇත්තේය. තවද එය එසේමය, ආමේන්.