ශුද්ධලියවිලි
1 නීෆායි 1


නීෆායිගේ පළවෙනි පොත

ඔහුගේ රාජ්‍ය පාලනය සහ මෙහෙවර

ලීහායි සහ ඔහුගේ භාර්යාව වු සරායා සහ (වැඩිමහල් අයගේ පටන්) ලේමන්, ලෙමුවෙල්, සෑම් සහ නීෆායි ලෙස නම් කරනු ලැබූ ඔහුගේ පුතුන් සිව්දෙනා පිළිබඳ වූ විස්තරයකි. ඔහු ජනතාවට ඔවුන්ගේ අයුතුකම් ගැන අනාවැකි පැවසූ පසු ඔවුන් ඔහුගේ ජීවිතය විනාශ කිරීමට උත්සාහ දැරූ බැවින්, ස්වාමීන්වහන්සේ ලීහායිට ජෙරුසලම් දේශයෙන් පිටව යන ලෙස අනතුරු අඟවයි. ඔහු තම පවුලේ අය සමඟ වනාන්තරය තුළට දින තුනක ගමනක් යයි. නීෆායි තම සහෝදරයන් රැගෙන යුදෙව්වන්ගේ වාර්තාවන් ලබා ගැනීමට ජෙරුසලම් දේශයට ආපසු පැමිණෙයි. ඔවුන්ගේ වේදනා පිළිබඳ වූ විස්තරයකි. ඔවුන් ඉෂ්මායෙල්ගේ දූවරුන්ව භාර්යාවන් කොට ගනු ලබයි. ඔවුන් ඔවුන්ගේ පවුල් රැගෙන වනාන්තරය තුළට පිටත් වෙයි. වනාන්තරය තුළ වූ ඔවුන්ගේ වේදනාවන් හා පීඩාවන්. ඔවුන්ගේ ගමන්වල වූ මාර්ගයන්. ඔවුන් විශාල ජලය වෙත පැමිණෙයි. නීෆායිගේ සහෝදරයෝ ඔහුට විරුද්ධව කැරලි ගසයි. ඔහු ඔවුන්ව ලැජ්ජාවට පත් කරමින් නැවක් සාදයි. ඔවුහු එම ස්ථානය බෞන්ටිෆුල් ලෙස නම් කරයි. ඔවුන් විශාල ජලය හරහා සහ යනාදී වශයෙන් පොරොන්දු වූ දේශයට ඇතුළු වෙති. මෙය නීෆායිගේ වාර්තාවට අනුවය; නැතහොත් වෙනත් වචන වලින් කිවහොත්, මම, නීෆායි, මෙම වාර්තාව ලිව්වෙමි.

1 වන පරිච්ඡේදය

නීෆායි ඔහුගේ ජනතාවගේ වාර්තාව ආරම්භ කරයි – ලීහායි දර්ශනයෙන් ගිනි කණුවක් දකියි, තවද අනාවැකි පොතකින් කියවයි – ඔහු දෙවියන්වහන්සේට ප්‍රශංසා කරයි, මෙසියස්වහන්සේගේ පැමිණීම ගැන අනවැකි පවසයි, තවද ජෙරුසලමේ විනාශය ගැන අනාවැකි පවසයි – ඔහුට යුදෙව්වන් විසින් හිංසා කරනු ලබයි. ක්‍රි.පූ. 600 පමණ.

1 මම, නීෆායි, යහපත් දෙමාපියන්ගෙන් උපත ලැබ, එම නිසා මාගේ පියාගේ සියලු ඉගෙනීමෙහි තරමක් දුරට මා හට උගන්වනු ලැබුවෙමි; තවද මාගේ දවස්වල බොහෝ දුක් පීඩා දැක, එසේනමුත්, මාගේ සියලු දවස්වලදී ස්වාමීන්වහන්සේගෙන් බොහෝ සෙයින් අනුග්‍රහය ලැබුවෙමි. එසේය, දෙවියන්වහන්සේගේ යහපත්කම සහ අභිරහස් පිළිබඳ විශාල දැනුමක් ඇති බැවින්, මම මාගේ දවස්වල මාගේ ක්‍රියාවන් පිළිබඳව වාර්තාවක් තබන්නෙමි.

2 එසේය, මම යුදෙව්වන්ගේ ඉගෙනීමත් සහ ඊජිප්තුවරුන්ගේ භාෂාවත් ඇතුළත් වන්නා වූ මාගේ පියාගේ එම භාෂාවෙන් වර්තාවක් සාදන්නෙමි.

3 තවද මම සාදන වාර්තාව සත්‍ය බව මම දනිමි; තවද මම එය මාගේම අතින් සාදන්නෙමි; තවද මම එය මාගේ දැනුමට අනුව සකස් කරන්නෙමි.

4 මක්නිසාද එය මෙසේ සිදු විය, යූදාහි රජු වූ, ශෙදෙකියාගේ රාජ්‍ය පාලන කාලයේ පළමු වසරේ ආරම්භයේදී (මාගේ පියා, ලීහායි, ඔහුගේ සියලු දවස් ජෙරුසෙලමේ ජීවත්විය); තවද එම වසරේදීම බොහෝ අනාගතවක්තෘවරුන් පැමිණ, ජනතාවට ඔවුන් පසුතැවිලි විය යුතු බවත්, නැතහොත් බලවත් වූ ජෙරුසෙලම් නගරය විනාශ වන බවත් අනවැකි පැවසුවේය.

5 එමනිසා එය මෙසේ සිදු විය, මාගේ පියා, ලීහායි, ස්වාමීන්වහන්සේ ඉදිරියට ගොස්, එසේය, ඔහුගේ මුළු හදවතින් පවා, ඔහුගේ ජනතාව උදෙසා යාච්ඤා කළේය.

6 තවද එය මෙසේ සිදු විය, ඔහු ස්වාමීන්වහන්සේට යාච්ඤා කළ කල්හී, එහි ගිනි කණුවක් පැමිණ තවද ඔහු ඉදිරියෙහි පර්වතයක් මත රැදුනේය; තවද ඔහු බොහෝ දේවල් දැක හා අසා තිබිනි; තවද ඔහු දුටු සහ ඇසූ එම දේවල් නිසා ඔහු බොහෝ සෙයින් සලිතව වෙව්ළුවේය.

7 තවද එය එසේ සිදු වූ පසු, ඔහු ජෙරුසලමේ තම නිවසට හැරී ගියේය; තවද ඔහු දැක සිටි දේවල් නිසා ආත්මයාණන්වහන්සේ විසින් යටපත් කරනු ලැබ, තවද ඔහු ඔහුගේ ඇඳේහි වැතිරවනු ලැබීය.

8 තවද මෙසේ ආත්මයාණන්වහන්සේ විසින් යටපත් කරනු ලැබ, ඔහුව දර්ශනයකින් ගෙන යනු ලැබුවේය, එපමණක් නොව ස්වර්ගය විවර වී තිබෙනවා ඔහු දුටුවේය, තවද දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සිංහාසනයේ වැඩ සිටිමින්, ගණන් කරන්නට බැරි තරම්වූ දේවදූතයන් සමූහයකින් වට කරනු ලැබ, ඔවුන්ගේ දෙවියන්වහන්සේට ගායනා හා ප්‍රශංසා කරන ආකාරය තමා දුටුවේයයි ඔහු සිතුවේය.

9 තවද එය මෙසේ සිදු විය, තැනැන්වහන්සේ කෙනෙකුන් ස්වර්ගය මධ්‍යයේ සිට බැස එනවා ඔහු දුටුවේය, තවද උන්වහන්සේගේ ප්‍රභාව මධ්‍යාහ්නයේ හිරු එළියට වඩා වැඩි බව ඔහු දුටුවේය.

10 තවද එසේම වෙනත් දොළොස් දෙනෙකු උන්වහන්සේ පසු පස එනවා ඔහු දුටුවේය, තවද ඔවුන්ගේ දීප්තිය අහසේ වූ තාරකාවන් අභිබවා තිබුණේය.

11 තවද ඔවුහූ පහතට පැමිණ පොළොතලය මත ඉදිරියට ගියේය; තවද පළමුවැන්නා පැමිණ මාගේ පියා ඉදිරියෙහි සිට, ඔහු වෙත පොතක් දී, තවද ඔහු එය කියවිය යුතුයැයි ඔහුට අණ කළේය.

12 තවද එය මෙසේ සිදු විය, ඔහු එය කියවන විට, ඔහුව ස්වාමීන්වහන්සේගේ ආත්මයෙන් පුරවනු ලැබීය.

13 තවද ඔහු කියවමින් මෙසේ කීවේය: ජෙරුසලමට දුක්වේ, දුක්වේ, මක්නිසාද තිගේ පිළිකුල්කම මම දුටුවෙමි! එසේය, තවද එය සහ එහි වැසියන් විනාශ විය යුතු බවත්; බොහෝ අය කඩුවෙන් විනාශ විය යුතු බවත්, තවද බොහෝ දෙනෙකු වහල්භාවයට ගෙන බබිලෝනියට ගෙන යනු ඇති බවත් – මාගේ පියා ජෙරුසලම පිළිබදව බොහෝ දේ කියෙව්වේය.

14 තවද එය මෙසේ සිදු විය, මගේ පියා බොහෝ විශිෂ්ඨ සහ ආශ්චර්යමත් වූ දේවල් කියවා හා දුටු විට, ඔහු බොහෝ දේ මෙවැනි ආකාරයෙන් ස්වාමීන්වහන්සේ උදෙසා හඬනගා කීවේය: අහෝ ස්වාමීන් වූ සර්වබලධාරි දෙවියන්වහන්ස! ඔබවහන්සේගේ ක්‍රියා කෙතරම් විශිෂ්ඨ හා ආශ්චර්යමත්ද, ඔබවහන්සේගේ සිංහාසනය ස්වර්ගයෙහි උසස්ය, තවද ඔබවහන්සේගේ බලය ද, යහපත්කම හා කරුණාව පොළොවේ සියලුම වැසියන් මතය; මක්නිසාද ඔබවහන්සේ කරුණවන්ත බැවින්, තවද ඔබවහන්සේ වෙත එන්නන් නැසෙන්නට ඔබවහන්සේ ඔවුන්ට ඉඩ නොදෙන සේක!

15 තවද ඉන්පසු මාගේ පියාගේ, ඔහුගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමේ භාෂාව මෙම ආකාරයෙන් විය; මක්නිසාද ඔහු දුටු එම දේවල් නිසාවෙන්, එසේය, එනම් ස්වාමීන්වහන්සේ ඔහුට පෙන්වූ දෙයින්, ඔහුගේ ප්‍රාණය ප්‍රීතිමත් විය, තවද ඔහුගේ මුළු හදවත පිරී තිබුණේය.

16 තවද දැන් මම, නීෆායි, මාගේ පියා ලියා ඇති දේවල් පිළිබද සම්පූර්ණ විස්තරයක් නොකරමි, මක්නිසාදයත් ඔහු දර්ශන සහ සිහිනයන් තුළින් දුටු බොහෝ දේවල් ඔහු ලියා ඇත්තේය; තවද ඔහු ඔහුගේ දරුවන්ට කතා කළ හා අනාවැකි කී බොහෝ දේ ලියා ඇති අතර, ඒවා ගැන මම සම්පූර්ණ විස්තරයක් නොකරන්නෙමි.

17 එහෙත් මම මාගේ දවස්වල මාගේ ක්‍රියවල විස්තරයක් කරන්නෙමි. බලව, මම මාගේ අතින්ම සෑදු තහඩු මත, මාගේ පියාගේ වාර්තාවේ සාරාංශයක් කරන්නෙමි, එමනිසා, මම මාගේ පියාගේ වාර්තාවේ සාරාංශයක් කළාට පසුව, මම මාගේම ජිවිතයේ විස්තරයක් කරන්නෙමි.

18 එමනිසා, නුඹලා මෙය දැනගන්නවාට මම කැමැත්තෙමි, එනම් ස්වාමීන්වහන්සේ මාගේ පියා, ලීහායිට, එසේය, ජෙරුසලමේ විනාශය පිළිබඳව බොහෝ ආශ්චර්යවත් දේවල් පෙන්වූ පසු, බලව, ඔහු ජනතාව අතරට ගොස්, තවද ඔහු දුටු හා ඇසූ දේවල් පිළිබඳ අනවැකි කීමටත්, ප්‍රකාශ කිරීමටත් පටන් ගත්තේය.

19 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු යුදෙව්වන් පිළිබඳ සාක්ෂී දැරූ දේවල් නිසාවෙන් ඔවුන් ඔහුට සරදම් කළේය; මක්නිසාද ඔහු සත්‍යය වශයෙන්ම ඔවුන්ගේ නපුරුකම් සහ පිළිකුල්කම් පිළිබඳ සාක්ෂි දැරීය; තවද ඔහු දුටු හා ඇසුවා වූ දේවල් ද, තවද එසේම ඔහු කියවූ පොතේ එම දේවල් ද, මෙසියස්වහන්සේගේ පැමිණීම පිළිබඳව පැහැදිලිව ප්‍රකාශ කළා වූ සහ එසේම ලෝකයේ මිදීම පිළිබඳ ද ඔහු සාක්ෂි දැරුවේය.

20 තවද යුදෙව්වන් මෙම දේවල් ඇසූවිට ඔහු සමග කෝප වූහ; එසේය, ඔවුන් පුරාණයේ අනාගතවකෘවරුන්ව පිටතට දමා, ගල් ගසා, මැරුවාක් මෙන්; තවද ඔවුන් ඔහුගේ ජීවිතය ද සෙව්වෝය, එනම් ඔවුන් එය පැහැර ගැනීම පිණිසය. නමුත් බලව, ස්වාමීන්වහන්සේගේ මෘදු කරුණාව උන්වහන්සේ විසින් තෝරාගත් සෑම අයවලුන් මත ඇති බවද, ඔවුන්ගේ ඇදහිල්ල කරණකොටගෙන, ඔවුන්ට මුදාගැනීමේ බලය දක්වා බලවත් කරන බවට, මම, නීෆායි, නුඹලාට පෙන්වන්නෙමි.