ශුද්ධලියවිලි
1 නීෆායි 22


22 වන පරිච්ඡේදය

ඊශ්‍රායලය මුළු පොළෝ තලය පුරා විසිරුවණු ලැබේ – අන්‍යජාතිකයන් අවසාන දවස් වලදී ශුභාරංවියෙන් ඊශ්‍රායල් පෝෂණය කර සහ රැකබලාගනු ඇත – ඊශ්‍රායලය එක් රැස් කර ගළවාගනු ලබන්නේය, තවද දුෂ්ටයන් ඉපනැල්ල සේ පිළිස්සෙනු ඇත – යක්ෂයාගේ රාජ්‍යය විනාශ වනු ඇත, තවද සාතන් බැඳ තබනු ඇත. ක්‍රි.පූ. 588–570 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, මම, නීෆායි, පිත්තල තහඩු මත කැටයම් කරන ලද මෙම දේවල් කියවීමෙන් පසු, මාගේ සහෝදරයන් මා වෙත පැමිණ තවද මා හට මෙසේ පැවසුවෝය: නුඹ කියවූ මෙම දේවල් වලිින් අදහස් කරන්නේ කුමක්ද? බලව, මේවා ආත්මික ලෙසින් තේරුම් ගත යුතු ද, එනම් මාංශයට නොව ආත්මයට අනුව සිදුවෙන්නා වූ දේවල් ලෙස ද?

2 තවද මම, නීෆායි, ඔවුන් හට මෙසේ පැවසුවෙමි: බලව ඒවා ආත්මයාණන්ගේ හඬ විසින් දිවැසිවරයාට ප්‍රකාශ කරන ලදී; මක්නිසාද ආත්මයාණන් කරණකොටගෙන සියලු දේ දිවැසිවරුන් හට දැනුවත් වන්නේය, එනම් මාංශයට අනුව මනුෂ්‍ය දරුවන් හට සිදුවන්නට ඇති දේවල් ය.

3 එබැවින්, මා විසින් කියවා ඇති දේවල් තාවකාලික හා ආත්මික දේවල් දෙකටම අදාළ වන්නේය; මක්නිසාද ඊශ්‍රායල් වංශය, ඈතකදී හෝ මෑතකදී, මුළු පොළෝ තලය මතද, සියලු ජාතීන් අතරේ ද විසිරී යනු ඇති බව පෙනෙන්නේය.

4 තවද බලව, ජෙරුසලමේ සිටින අයගේ දැනුමෙන් දැනටමත් නැති වී සිටින බොහෝ පිරිස් ඇත්තේය. එසේය, සියලු ගෝත්‍රයන්ගෙන් වැඩි කොටසක් ඉවතට ගෙන ගොස් ඇත; තවද, ඔවුන් මුහුදේ දූපත් මත ඔබ මොබ විසිරී සිටින්නෝය; තවද ඔවුන් ඉවතට ගෙන ගොස් ඇති බව අප දන්නා බව ඇරෙන්නට, ඔවුන් කොතනදැයි අපි කිසිවෙක් නොදනිමු.

5 තවද ඔවුන් ඉවතට ගෙන ගිය දා සිට, ඔවුන් පිළිබඳව ද, තවද ඉන් පසු විසුරුවා ව්‍යාකූල බවට පත් කරනු ලබන සියල්ලන් ගැන ද මේ දේවල් අනාවැකි ඵළ කර ඇත, ඒ ඊශ්‍රායලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේ නිසා ය; මක්නිසාද උන්වහන්සේට විරුද්ධව ඔවුන් තම හදවත් දැඩි කරගනිති; එබැවින්, ඔවුන් සියලු ජාතීන් අතර ඔවුන් විසිරුවා දමනු අතර සියලු මනුෂ්‍යයන්ගේ වෛරයෙන් පීඩා විඳින්නෝය.

6 එසේ වූවත්, අන්‍යජාතිකයින් විසින් රැකබලාගත් පසු, තවද ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ අත අන්‍යජාතිකයන් මත ඔසවා ඔවුන් ධජයක් ලෙස පිහිටුවනු ලබන අතර, ඔවුන්ගේ දරුවන් ඔවුුුුුන්ගේ දෑත් වලින් ඔසවා ගෙන ගොස්, ඔවුන්ගේ දියණියන් ඔවුන්ගේ උරහිස් මතින් රැගෙන ගිය පසු, බලව මේ පැවසූ සියලු දෑ තාවකාලික වන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ අප පියවරුන් සමඟ වූ ගිවිසුම් එලෙසය; එය පැමිණෙන්නා වූ දවස් වලදී අප සහ ඊශ්‍රායල් වංශයේ සිටින අපගේ සියලු සහෝදරයන් ද අදහස් කරන්නේය.

7 තවද එයින් අදහස් කරනු ලබන්නේ එනම් ඊශ්‍රායල් වංශයේ සියල්ලන් විසුරුවා ව්‍යාකූල කල පසු කාලයක් පැමිණෙන බව ද එනම් දෙවි වූ ස්වාමීන්වහන්සේ අන්‍යජාතිකයන් අතරින් බලවත් ජාතියක් ඔසවා තබන්නේය, එසේය, මෙම පොළොව පවා මත ය; තවද ඔවුන් අතින් අපේ වංශය විසිරුවනු ලබන්නෝය.

8 තවද අපගේ වංශය විසුරුවා දැමූ පසු දෙවි වූ ස්වාමීන්වහන්සේ අන්‍යජාතිකයින් අතර ශ්‍රේෂ්ඨ කාර්යයක් ඉෂ්ඨ කරනු ඇත, එය අපගේ වංශයට ද මහත් වටිනාකමක් වනු ලබන්නේය; එබැවින්, එය අන්‍යජාතිකයන්ගෙන් පෝෂණය වන ලෙසටත්, ඔවුන්ගේ දෑත් වලින් ඔසවා ගෙන සහ උරහිස් මතින් ගෙන යනු ලැබීමට සමාන කළ හැකිය.

9 තවද එය අන්‍යජාතිකයන් හට ද වටිනාකමක් ඇත; තවද අන්‍යජාතිකයන්ට පමණක් නොව මුළු ඊශ්‍රායල් වංශයටමත් එසේය, එයින් ස්වර්ගයේ පියාණන්වහන්සේ මෙසේ කියමින් ආබ්‍රහම් සමඟ වූ ගිවිසුම් පිළිබඳව දැනුවත් කෙරෙන්නේය: නුඹගේ වංශය තුළින් පොළොවේ සියලු ඥාතීන් ආශිර්වාද කෙරෙන්නේය.

10 තවද මාගේ සහෝදරයනි, එනම් සියලු ජාතීන්ගේ දෑස් ඉදිරියේ උන්වහන්සේගේ හස්තය අනාවරණය නොකරන්නේ නම් පොළොවේ සියලු ඥාතීන්ට ආශීර්වාද ලද නොහැකි බව නුඹලා දැන ගැනීමට මම කැමැත්තෙමි.

11 එබැවින්, දෙවි වූ ස්වාමින්වහන්සේ, උන්වහන්සේගේ ශුභාරංචිය සහ උන්වහන්සේගේ ගිවිසුම් ඊශ්‍රායල් වංශයේ ඔවුන් වෙතට ගෙන ඒම සඳහා සියලු ජාතින්ගේ දෑස් ඉදිරියේ උන්වහන්සේගේ හස්තය අනාවර්ණය කරන සේක.

12 එබැවින්, උන්වහන්සේ ඔවුන් නැවතත් වහල්භාවයෙන් පිටතට ගෙන එන සේක, තවද ඔවුන් ඔවුන්ගේ උරුම භූමියේ එක්රැස්වෙන්නේය; තවද ඔවුන් අප්‍රසිද්ධයෙන් පිටතටත්, අඳුරෙන් පිටතටත් ගෙන එනු ලබන්නේය; තවද ඊශ්‍රායලයේ බලවත් තැනැන්වහන්සේ වන, ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ ගැලවුම්කරුවාණන් ද ඔවුන්ගේ මිදුම්කරුවාණන් බව ද ඔවුන් දැනගනු ඇත්තේය.

13 තවද මුළු පොළොවෙහිම වේශ්‍යාව වන, එම බලවත් හා පිළිකුල් සහගත සභාවේ රුධිරය, ඔවුගේම හිස මතට හරවනු ලබන්නේය; මක්නිසාද ඔවුන් තම තමන් අතර යුද්ධ කරනු ඇත, තවද ඔවුන්ගේම දෑතේ තිබෙන කඩුව ඔවුන්ගේම හිස මතට වැටෙනු ඇත, තවද ඔවුන් තමන්ගේම රුධිරයෙන් මත් වී සිටිනු ඇත.

14 අහෝ ඊශ්‍රායල් වංශයෙනි, තවද සියලු ජාතීන් නුඹට එරෙහිව යුද්ධ කරන්නේය, එකිනෙකාට විරුද්ධව හැරෙනු ලබන්නේය, තවද ඔවුන් ස්වාමීන්වහන්සේගේ ජනතාව උගුලේ හසුකරගන්නට කැපූ වලේම ඔවුන් වැටෙනු ලබන්නෝය. තවද එනම් සයන්ට එරෙහිව සටන් කරන සියලු දෙනා විනාශයට පත් වනු ඇත, තවද ඒ මහා වේශ්‍යාව, ස්වාමීන්වහන්සේගේ නිවැරදි මාර්ගයන් දූෂිත මුළා කළ, එසේය, එනම් එම බලවත් හා පිළිකුල් සහගත සභාව, දූවිල්ලට පෙරළෙනු ඇත තවද එහි වැටීම මහත් වන්නේය.

15 මක්නිසාද බලව, සාතන්ට මනුෂ්‍ය දරුවන්ගේ හදවත් මත ඇති බලය නැතිවෙන්නා වූ කාලය වේගයෙන් එළඹෙන බව, අනාගතවක්තෘවරයා පවසන්නේය; මක්නිසාද එනම් සියලු උඩඟු හා දුෂ්ටකම් කරන ඔවුන් ඉපනැල්ල සේ වන දවස ඉතා ඉක්මනින් පැමිණෙන්නේය; තවද ඔවුන් ඇවිළිය යුුුතු දවස පැමිණෙන්නේය.

16 මක්නිසාද දෙවියන්වහන්සේගේ උදහසේ පූර්ණත්වය මනුෂ්‍ය දරුවන් මත වගුරවන දවස ඉක්මනින් පැමිණෙන්නේය; මක්නිසාද දුෂ්ටයින් ධර්මිෂ්ඨයන් විනාශ කිරීමට උන්වහන්සේ ඉඩ නොදෙන සේක.

17 එබැවින්, උන්වහන්සේ ධර්මිෂ්ඨයන් උන්වහන්සේගේ බලයෙන් රකින සේක, උන්වහන්සේගේ උදහසේ පූර්ණත්වය පැමිණවිය යුතු වූවත් එසේය, ඔවුන්ගේ සතුරන් ගින්නෙන් විනාශ කිරීමට වූවද, උන්වන්සේ උන්වහන්සේගේ බලයෙන් ධර්මිෂ්ඨයන් රකිනා සේක. එබැවින්, ධර්මිෂ්ඨයන් බිය වන්නට අවශ්‍ය නැත; මක්නිසාද එය ගින්නෙන් සිදුවෙන්නක් වූවද, ඔවුන් ගැලවෙන්නේ යැයි දිවැසිවරයා මෙසේ කියන්නේය.

18 බලව, මාගේ සහෝදරයනි, මම නුඹලාට පවසමි, එනම් මේ දේවල් ඉක්මනින් පැමිණිය යුතු වේ: එසේය, රුධිරයෙන් ද, ගින්නෙන් ද, තවද දුමෙහි වාෂ්පයෙන් ද පැමිණිය යුතු අතර; එය මේ පොළොව මතුපිටද විය යුතුය; තවද එය ඔවුන් ඊශ්‍රායලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේ හට විරුද්ධව ඔවුන්ගේ හදවත් දැඩිකරගතහොත් මනුෂ්‍යයන් හට ඔවුන්ගේ මාංශයට අනුව එය පැමිණෙන්නේය.

19 මක්නිසාද බලව, ධර්මිෂ්ඨයන් විනාශ නොවන්නෝය; මක්නිසාද සයන්ට එරෙහිව සටන් කරන සියල්ලෝම කපා දමන වේලාව නිසැකවම පැමිණිය යුතුය.

20 තවද ඔහු මෙසේ පසවමින් කීවාවූ, මෝසෙස්ගේ වචන ඉටුවීමට, ස්වාමීන්වහන්සේ නිසැකවම උන්වහන්සේගේ ජනතාව වෙනුවෙන් මාර්ගයක් සූදානම් කරන සේක: මා මෙන්ම, නුඹලා හට නුඹගේ ස්වාමීන් වන දෙවියන්වහන්සේ අනාගතවක්තෘවරයෙකු ඔසවා තබන සේක; ඔහු නුඹලා වෙත පවසන සියලු දේටම සවන් දිය යුත්තේය. තවද එය මෙසේ සිදුවන්නේය, එනම් එම අනාගතවාක්තෘවරයාට සවන් නොදෙනා වූ සියල්ලන් ජනතාව අතරින් කපා හරිනු ලබන්නේය.

21 තවද දැන් මම, නීෆායි නුඹලාට පවසන්නෙමි, මෝසෙස් පැවසූ ඒ දිවැසිවරයා ඊශ්‍රායලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේ වන සේක; එබැවින්, උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චය ක්‍රියාත්මක කරන සේක.

22 තවද ධර්මිෂ්ඨයන් බිය විය යුතු නැත, මක්නිසාද ඒ ඔවුන් ව්‍යාකූලත්වයට පත් නොවන අය වන්නේය. එහෙත් එය යක්‍ෂයාගේ රාජ්‍යයයි, එය මනුෂ්‍ය දරුවන් අතර ගොඩ නැගෙන, මාංශයට අනුව සිටිනා ඔවුන් අතර පිහිටුවා තිබෙන රාජ්‍යයයි –

23 මක්නිසාද කාලය ඉක්මණින් පැමිණෙන්නේය, එනම් ලාභ ඉපැයීම සඳහා තැනූ සභාවන් ද, තවද මාංශය කෙරෙහි බලය අත්කරගැනීමට ඉදිකෙරුණු ඒවා ද, තවද ලෝකයේ දෑස් ඉදිරියේ ජනප්‍රියත්වය අත්කරගැනීමට ඉදි කෙරුණු ඒවා ද, තවද මාංශයේ තෘෂ්ණාවන් හා ලෝකයෙන් එන දෑ හඹා යන ඒවා ද, තවද සියලු ආකාරයේ අයුතුකම් කිරීමට ද; එසේය, කොටින්ම, යක්‍ෂයාගේ රාජ්‍යයට අයත් සියලු දෙනා බිය වීමට, වෙව්ලීමට, තවද කම්පනය වීමට ද අවශ්‍ය වන්නේය; ඔවුන් දූවිල්ලේ පහතට ගෙන දමන්නට අවශ්‍ය අය වන්නේය; ඔවුන් ඉපනැල්ල සේ ක්‍ෂය වන්නා අයයි; තවද මෙය අනාගතවක්තෘවරයාගේ වචන වලට අනුව ය.

24 තවද ධර්මිෂ්ඨයන් ගවකුටියේ පැටවුන් මෙන් ඔසවා තැබිය යුතු කාලය වේගයෙන් පැමිණෙන්නේය, තවද ඊශ්‍රායලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේ ආධිපත්‍යයෙන්, තවද ශක්තියෙන්, තවද බලයෙන්, තවද මහත් මහිමයෙන් ද රජකම් කරන සේක.

25 තවද උන්වහන්සේ තමන්වහන්සේගේ දරුවන් පොළොවේ සතර කොනින් රැස්කරන සේක; තවද උන්වහන්සේ තම බැටළුවන් ගණන් කරන සේක, තවද ඔවුන් උන්වහන්සේව දනිති; තවද එහි එක් රැලක්ද එක් එඬේරෙකු ද වන්නේය; තවද උන්වහන්සේ තම බැටළුවන්ව පෝෂණය කරන සේක, තවද උන්වහන්සේ තුළ ඔවුන් තණබිම් සොයා ගනු ඇත.

26 තවද උන්වහන්සේගේ ජනතාවගේ ධර්මිෂ්ඨකම නිසා, සාතන්ට බලයක් නැත; එබැවින්, ඔහුව වසර ගණනාවක කාල පරාසයකට ලිහිල් කළ නොහැක; මක්නිසාද ජනතාවගේ හදවත් කෙරෙහි ඔහුට බලයක් නැත; මක්නිසාද ඔවුන් ධර්මිෂ්ඨකමින් වාසය කරති, තවද ඊශ්‍රායලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේ පාලනය කරන සේක.

27 තවද දැන් බලව, මම, නීෆායි, මේ සියල්ල මාංශයට අනුව පැමිණිය යුතු බව නුඹලාට කියමි.

28 එහෙත්, බලව, ඔවුන් පසුතැවිලි වන්නේ නම්, සියලු ජාතීන්, ඥාතීන්, භාෂා සහ ජනතාවන් ඊශ්‍රායලයේ ශුද්ධ වු තැනැන්වහන්සේ තුළ ආරක්ෂිතව වාසය කරනු ඇත්තේය.

29 තවද දැන් මම, නීෆායි, අවසාන කරමි; මක්නිසාද මේ දේවල් පිළිබඳව තව දුරටත් කතා නොකරමි.

30 එබැවින් මාගේ සහෝදරයෙනි, පිත්තල තහඩු මත ලියා ඇති දේවල් සත්‍ය බව නුඹලා සලකා බැලිය යුතු ය; තවද මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගේ අණ පනත් වලට කීකරු විය යුතු බව එවා සාක්ෂි දරති.

31 එබැවින්, මා සහ මාගේ පියා පමණක් සාක්ෂි දුන් බවත්, සහ ඔවුන්ට ඉගැන්වූ බවත් නුඹලා නොසිතිය යුතුය. එබැවින් නුඹලා අණ පනත් වලට කීකරුව, අවසානය දක්වා දරා සිටින්නේ නම්, නුඹලා අන්තිම දවසේදී ගැලවීම ලබන්නෙහිය. තවද එය ඒසේමය. ආමෙන්.