ශුද්ධලියවිලි
1 නීෆායි 11


11 වන පරිච්ඡේදය

නීෆායි ස්වාමීන්වහන්සේගේ ආත්මය දකින අතර ජීවන වෘක්ෂය දර්ශනයෙන් පෙන්වනු ලබයි – ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ මව දකින අතර දෙවියන්වහන්සේගේ නිහතමානීකම ගැන ඉගෙන ගනී – ඔහු දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ගේ බෞතීස්මය, මෙහෙවර සහ කුරුසිපත් වීම දකී – ඔහු බැටළුපැටවාණන්ගේ ප්‍රේරිතයින් දොළොස්දෙනාගේ කැඳවීම සහ මෙහෙවර ද දකියි. ක්‍රි.පූ. 600–592 පමණ.

1 මක්නිසාද එය මෙසේ සිදු විය, මාගේ පියා දුටු දේවල් දැන ගැනීමට මා ආශා වූ පසු, තවද ඒවා මට ප්‍රකාශ කිරීමට ස්වාමීන්වහන්සේට හැකි බව විශ්වාස කළ පසු, මම ඒවා මගේ හදවතින් මෙනෙහි කරමින් සිටින විට මම ස්වාමීන්වහන්සේගේ ආත්මයට හසුවී, එසේය, මා මින් පෙර කවදාවත් දැක නොමැති, තවද මා මීට පෙර කිසි දිනක පා නොතැබූ, අතිශයින් උස් කන්දක් මතට මා ගෙනයනු ලැබීය.

2 තවද ආත්මයාණන්වහන්සේ මට කතා කළ සේක: බලව, නුඹ ආශා වන්නේ කුමකටද?

3 තවද මම මෙසේ කීවෙමි: මගේ පියා දුටු දේ දැකීමට මම ආශා වන්නෙමි.

4 තවද ආත්මයාණන්වහන්සේ මට කීවේය: නුඹේ පියා පැවසූ එනම් එම වෘක්ෂය ඔහු දුටු බව නුඹ විශ්වාස කරන්නෙහිද?

5 තවද මම මෙසේ කීවෙමි: එසේය, මගේ පියාගේ සියලු වචන මා විශ්වාස කරන බව ඔබවහන්සේ දන්නා සේක.

6 තවද මා මෙම වචන පැවසූ විට, ආත්මයාණන්වහන්සේ මහ හඬින් මොරගසමින්, මෙසේ කී සේක: මහෝත්තම දෙවියන් වු, ස්වාමීන්වහන්සේට හෝසන්නා; මක්නිසාද උන්වහන්සේ මුළු පොළොවට, එසේම, ඉහළින් තිබෙන්නා වූ සියල්ලගේම පවා දෙවියන්වහන්සේය. තවද නීෆායි, නුඹ ආශීර්වාද ලද්දේය, මක්නිසාද නුඹ මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් විශ්වාස කරන්නෙහිය; එබැවින්, නුඹ ආශා කළා වු දේවල් නුඹ දකින්නෙහිය.

7 තවද බලව, මෙය සංකේතයක් ලෙස නුඹට දෙනු ලැබේ, එනම් නුඹේ පියා රස බැලූ ඵල දරන ගස නුඹ දුටු පසු, එසේම ස්වර්ගයෙන් බැස එන මනුෂ්‍යයෙකු නුඹ දකිනු ඇත්තේය, තවද නුඹලා ඔහුට සාක්ෂි දරන්නේය; තවද නුඹලා ඔහුව දුටු පසු, ඒ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව නුඹ වාර්තා කරනු ඇත.

8 තවද එය මෙසේ සිදු විය, එනම් ආත්මයාණන්වහන්සේ මා හට මෙසේ කීසේක: බලව! තවද මම බැලූ විට ගසක් දුටිමි; තවද එය මාගේ පියා දුටු ගසට සමාන විය; තවද එහිවූ අලංකාරය බොහෝ සෙයින් වැඩි විය, එසේය, සියලු අලංකාරයට වඩා වැඩි විය; තවද එහිවූ සුදු පැහැය හමායන හිම වල සුදු පැහැයට වඩා වැඩි විය.

9 තවද එය මෙසේ සිදු විය, මම ගස දුටු පසු, මම ආත්මයාණන්වහන්සේට මෙසේ කීවෙමි: සියල්ලටම වඩා අනර්ඝ වූ ගස, ඔබවහන්සේ මට පෙන්වූ බව මම දකිමි.

10 තවද උන්වහන්සේ මා හට මෙසේ කීවේය: නුඹ ආශා වන්නේ කුමකටද?

11 තවද මම ඔහුට මෙසේ කීවෙමි: එහි තේරුම දැනගැනීම පිණිසය – මක්නිසාද මම මනුෂ්‍යයෙකුට කතා කරන ලෙස උන්වහන්සේට කතා කළෙමි; මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ ස්වරූපයෙන් සිටින බව මම දුටුවෙමි; එහෙත් එසේනමුත්, ඒ ස්වාමීන්වහන්සේගේ ආත්මය බව මම දැන සිටියෙමි; තවද මනුෂ්‍යයෙකු තවත් කෙනෙකු සමඟ කතා කරන්නාක් මෙන් උන්වහන්සේ මට කතා කළේය.

12 තවද එය මෙසේ සිදු විය, එනම් ආත්මයාණන්වහන්සේ මට මෙසේ කීවේය: බලව! තවද මම උන්වහන්සේ දෙස බැලීමට මෙන් බලා සිටියෙමි, තවද මම උන්වහන්සේ දුටුවේ නැත. මක්නිසාද උන්වහන්සේ මා ඉදිරියෙන් ගොස් තිබුණි.

13 තවද එය මෙසේ සිදු විය, එනම් මම බැලු විට තවද බලවත් යෙරුසලම නගරය ද, එසේම අනෙකුත් නගර ද දුටුවෙමි. තවද මම නාසරෙත් නුවර දුටුවෙමි; තවද නාසරෙත් නුවරදී මම කන්‍යාවක් දුටුවෙමි, තවද ඇය ඉතා ලස්සන හා සුදු පැහැ විය.

14 තවද එය මෙසේ සිදු විය, එනම් මම ස්වර්ගය විවර වී තිබෙනු දුටුවෙමි; තවද දේවදූතයෙක් බැස මා ඉදිරියෙහි සිටගත්තේය; තවද ඔහු මට මෙසේ කීවේය: නීෆායි, නුඹ දකින්නේ කුමක්ද?

15 තවද මම ඔහුට මෙසේ කීවෙමි: අනෙක් සියලුම කන්‍යාවන්ට වඩා රූමත් හා ඉතා සුන්දර කන්‍යාවක්ය.

16 තවද ඔහු මා හට මෙසේ කීවේය: දෙවියන්වහන්සේගේ නිහතමානීත්වය නුඹ දන්නෙහිද?

17 තවද මම ඔහු හට මෙසේ කීවෙමි: උන්වහන්සේ තම දරුවන්ට ප්‍රේම කරන බව මම දනිමි; එසේනමුත්, සියලු දේවල තේරුම මම නොදනිමි.

18 තවද ඔහු මා හට මෙසේ කීවේය: බලව, නුඹ දකින කන්‍යාවිය, මාංශාකාරයට අනුව, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ මවය.

19 තවද එය මෙසේ සිදු විය, එනම් ඇය ආත්මයාණන්වහන්සේ ඔසවාගෙන යන බව මම දුටුවෙමි; තවද ඇය ආත්මයාණන්වහන්සේ ඔසවාගෙන ගිය පසු ටික වේලාවකින් දේවදූතයා මට කතා කොට මෙසේ කියමින්: බලව!

20 තවද මම බැලුවෙමි තවද නැවතත්, ඇගේ දෑතින් දරුවෙකු දරා සිටි කන්‍යාවිය දුටිමි.

21 තවද දේවදූතයා මා හට මෙසේ කීවේය: බලව දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්, එසේය, එපමණක් නොව සදාතනික පියාණන්වහන්සේගේ පුත්‍රයාය! නුඹේ පියා දුටු වෘක්ෂයේ තේරුම නුඹ දන්නෙහිද?

22 තවද මම ඔහුට උත්තර දෙමින්, මෙසේ පැවසීය: එසේය, එය මනුෂ්‍ය දරුවන්ගේ හදවත් තුළ වැගිරී එය විහිදනු ලද, දෙවියන්වහන්සේගේ ප්‍රේමයයි; එබැවින්, එය සියල්ලටම වඩා ප්‍රියමනාපය.

23 තවද ඔහු මා හට කථා කොට, කීවේය: එසේය, තවද ආත්මයට ඉතා ප්‍රීතිමත් වන්නේය.

24 තවද ඔහු මේ වචන කී පසු, ඔහු මට මෙසේ කීවේය: බලව! තවද මම බැලූ විට, දෙවියන්වහන්සේගේ පුත්‍රයා මනුෂ්‍ය දරුවන් අතරට යන බව මම දුටිමි; තවද බොහෝ දෙනෙක් උන්වහන්සේගේ පාමුල වැටී නමස්කාර කරන බව මම දුටුවෙමි.

25 තවද එය මෙසේ සිදු විය, එනම් මාගේ පියා දුටු යකඩ අත්වැල, ජීවමාන ජල උල්පතට, හෝ ජීවන වෘක්ෂයට ගෙන යන, දෙවියන්වහන්සේගේ වචනය බව මම දුටුවෙමි; ඒම ජලය දෙවියන්වහන්සේගේ ප්‍රේමය නිරූපනය කරන්නේය; තවද එසේම ජීවන වෘක්ෂය එනම් දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ නිරූපනයක් බව ද මම දුටුවෙමි.

26 තවද දේවදූතයා නැවතත් මට මෙසේ කීවේය: බලව, තවද දෙවියන්වහන්සේගේ නිහතමානීකම බලන්න!

27 තවද මම බැලු විට මාගේ පියා පැවසූ, ලෝකයේ මිදුම්කරුවාණන් මම දුටුවෙමි; තවද උන්වහන්සේට ඉදිරියෙන් මාර්ගය පිළියෙළ කරන අනාගතවක්තෘවරයාද මම දුටුවෙමි. තවද දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් පිටතට ගොස් ඔහුගෙන් බව්තීස්මය ලැබීය; තවද උන්වහන්සේ බව්තීස්මය වූ පසු, ස්වර්ගය විවෘත වූ බව මම දුටුවෙමි, තවද ශුද්ධාත්මයාණන්වහන්සේ ස්වර්ගයෙන් බැස පරෙවියෙකුගේ ස්වරූපයෙන් උන්වහන්සේ මත සිටි සේක.

28 තවද උන්වහන්සේ බලයෙන් හා මහත් තේජසින් සෙනඟට මෙහෙවර කරමින් ගිය බව මම දුටිමි; තවද උන්වහන්සේට සවන් දීමට ජන සමූහයා රැස්ව සිටියෝය; තවද ඔවුන් උන්වහන්සේව ඔවුන් අතරින් නෙරපා දැමූ බව මම දුටිමි.

29 තවද උන්වහන්සේ පසුපස යමින් තවත් දොළොස් දෙනෙක් සිටිනු ද මම දුටිමි. තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ව මාගේ මුහුණ ඉදිරියෙන් ආත්මයාණන් විසින් ගෙන යන ලදී, මා ඔවුන්ව නොදුටුවේය.

30 තවද එය මෙසේ සිදු විය, එනම් දේවදූතයා නැවතත් මට කථා කොට පැවසුවේය: බලව! තවද මම බැලූවෙමි, තවද ස්වර්ගය නැවත විවර වී තිබෙනු මම දුටුවෙමි, තවද දේවදූතයන් මනුෂ්‍ය දරුවන් මතට බැස එනවා මම දුටිමි; තවද ඔවුහු ඔවුන්ට මෙහෙවර කළහ.

31 තවද ඔහු නැවතත් මට කථා කොට මෙසේ කීවේය: බලව! මම බැලූ විට, දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් මනුෂ්‍ය දරුවන් අතරට යන බව මම දුටිමි. තවද මම රෝගීවූ සහ සියලූම ආකාර ලෙඩ රෝගවලින් පීඩාවට පත්වූ සහ යක්ෂයන්ගෙන් සහ අශුද්ධාත්මයන්ගෙන් යුත් ජන සමූහයක් දුටිවෙමි; තවද දේවදූතයා කතා කොට මේ සියල්ල මට පෙන්වීය. තවද දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ගේ බලයෙන් ඔවුහු සුවය ලැබූහ; තවද යක්ෂයන් ද අශුද්ධාත්මයන්ද නෙරපාහරිනු ලැබූහ.

32 තවද එය මෙසේ සිදු විය, එනම් දේවදූතයා නැවතත් මට කථා කොට, කීවේය: බලන්න! මම දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්, සෙනඟ විසින් අල්ලාගෙන යනු දුටුවෙමි; එසේය, සදාකාල දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ලෝකය විසින් විනිශ්චය කරනු ලැබුවේය; තවද මම දැක තවද සාක්ෂි දැරුවෙමි.

33 තවද නීෆායි වන, මම, උන්වහන්සේව කුරුසිය මත ඔසවා තවද ලෝකයේ පව් උදෙසා මරා දමනු ලැබූ බව දුටුවෙමි.

34 තවද උන්වහන්සේ මරා දැමූ පසු, බැටළුපැටවාණන්ගේ ප්‍රේරිතයන්ට විරුද්ධව සටන් කිරීමට පොළොවේ විශාල ජනසමූහයන් රැස්ව සිටින බව මම දුටුවෙමි; මක්නිසාද මෙසේ ස්වාමීන්වහන්සේගේ දේවදූතයා විසින් දොළොස් දෙනා කැඳවනු ලැබුවේය.

35 තවද පොළොවේ ජනසමූහයා එක් රැස් වූහ; තවද මාගේ පියා දුටු ගොඩනැගිල්ල මෙන් ඔවුන් විශාල හා ඉඩකඩ සහිත ගොඩනැගිල්ලක සිටින බව මම දුටුවෙමි. තවද ස්වාමීන්වහන්සේගේ දේවදූතයා නැවතත් මට කථා කොට, කීවේය; බලව, ලෝකය සහ එහි වූ ප්‍රඥව බලන්න; එසේය, බලව ඊශ්‍රායෙල් වංශය බැටළුපැටවාණන්ගේ ප්‍රේරිතයන් දොළොස්දෙනාට විරුද්ධව සටන් කිරීමට එක් රැස්ව සිටිති.

36 තවද එය මෙසේ සිදු විය, එනම් විශාල හා ඉඩකඩ සහිත ගොඩනැගිල්ල ලෝකයේ උඩඟුකම බව මම දුටු බවට සාක්ෂි දරමි; තවද එය වැටුණි, තවද එහි වැටීම අතිශයින් විශාල විය. තවද ස්වාමීන්වහන්සේගේ දේවදූතයා නැවතත් මට කථා කොට, මෙසේ කීවේය: බැටළුපැටවාණන්ගේ ප්‍රේරිතයන් දොළොස් දෙනාට විරුද්ධ ව සටන් කරන්නා වූ, සියලු ජාතීන්, ඥාතීන්, භාෂා සහ මනුෂ්‍යයන්ගේ විනාශය එසේ වන්නේය.