2 වන පරිච්ඡේදය
ලීහායි ඔහුගේ පවුල රැගෙන රතු මුහුද අසල වනාන්තරය තුළට යයි – ඔවුන් ඔවුන්ගේ දේපළ අත්හැර යති – ලීහායි ස්වාමීන්වහන්සේ උදෙසා පූජාවක් ඔප්පු කරන අතර ඔහුගේ පුත්‍රයන්ට අණ පනත් පිළිපැදීමට උගන්වයි – ලේමන් සහ ලෙමුවෙල් ඔවුන්ගේ පියාට විරුද්ධව මැසිවිලි නඟති – නීෆායි කීකරුව සිටින අතර ඇදහිල්ලෙන් යාච්ඤා කරයි; ස්වාමීන්වහන්සේ ඔහුට කතා කරන අතර, ඔහුව ඔහුගේ සහෝදරයන්ව පාලනය කිරීමට තෝරාගනු ලබයි. ක්‍රි.පූ. 600 දී පමණ.
1 මක්නිසාද බලව, එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ මාගේ පියාට, එසේය, සිහිනයකින් පවා කතා කොට, තවද ඔහුට මෙසේ වදාළ සේක: ලීහායි නුඹ කර ඇති දේවල් නිසා නුඹ ආශිර්වාද ලද්දෙහිය; තවද නුඹ ඇදහිලිවන්තව සිට තවද මා නුඹට අණ කළ දේවල් මෙම ජනතාවට ප්‍රකාශ කළ බැවින්, බලව, ඔවුන් නුඹගේ ජීවිතය පැහැර ගැනීමට සොයති.
2 තවද එය මෙසේ සිදු විය, ස්වාමීන්වහන්සේ මාගේ පියාට සිහිනයකින් පවා කථාකොට, එනම් ඔහු ඔහුගේ පවුල රැගෙන වනාන්තරයට පිට විය යුතුයයි අණ කළ සේක.
3 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ස්වාමීන්වහන්සේගේ වචනයට කීකරු විය, එබැවින් ඔහු ස්වාමීන්වහන්සේ ඔහුට අණ කළ පරිදිම කළේය.
4 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු වනාන්තරයට පිටව ගියේය. තවද ඔහු ඔහුගේ නිවසින් පිටව, තවද ඔහුගේ උරුම දේශයෙන්ද, ඔහුගේ රත්රන් ද, ඔහුගේ රිදීද, ඔහුගේ අනර්ඝ දේවල් අත්හැර වනාන්තරයට පිටත් වූ අතර ඔහුගේ පවුල, ආහාර ද්‍රව්‍ය, සහ කූඩාරම් හැර වෙන කිසිවක් ඔහු සමඟ නොගෙන, තවද වනාන්තරයට පිටව ගියේය.
5 තවද ඔහු රතු මුහුදේ වෙරළට ආසන්න සීමාවලින් පහතට පැමිණියේය; තවද ඔහු වනාන්තරයේ රතු මුහුදට ආසන්න සීමාවල ගමන් කළේය; තවද ඔහු වනාන්තරයේ ඔහුගේ පවුල සමඟ ගමන් කළේය, එහි මාගේ මව වන, සරායා ද, මාගේ වැඩිමහල් සහෝදරයන් වන ලේමන්, ලෙමුවෙල් හා සෑම් ද ඇතුළත් විය.
6 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු දවස් තුනක් වනාන්තරයෙහි ගමන් කළ පසු, ඔහු ජලය ඇති ගංගාවක් අද්දර මිටියාවතක තම කූඩාරම පිහිටේව්වේය.
7 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ගල් වලින් පූජාසනයක් ගොඩනගා තවද ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පු කර, තවද ස්වාමීන් වන අපගේ දෙවියන්වහන්සේට ස්තූති කළේය.
8 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු එම ගංගාව ලේමන් යයි නම් කළේය, තවද එය රතු මුහුද වෙතට ගළා බැස්සේය; තවද නිම්නය එහි මුව අද්දර සීමාවෙහි පිහිටියේය.
9 තවද මාගේ පියා එම ගංගාවේ ජලය රතු මුහුදේ උල්පත වෙත ගලා යන බව දුටු විට, ඔහු ලේමන්ට කථාකොට, මෙසේ කීවේය: අහෝ නුඹ මෙම ගංගාව මෙන්, නොකඩවා සියලු ධර්මිෂ්ඨකමේ උල්පත කරා ගළා යත්වා!
10 තවද ඔහු ලෙමුවෙල්ට ද කතා කළේය: අහෝ නුඹත් මෙම නිම්නය මෙන්, තවද ස්වාමීන්වහන්සේගේ අණ පනත් පිළිපැදිමේදී, ස්ථිරව හා අචලව, නොසැලී සිටින්නෙහි නම්!
11 දැන් ඔහු ලේමන් සහ ලෙමුවෙල්ගේ මුරණ්ඩුකම නිසා මෙසේ කීවේය; මක්නිසාද බලව ඔවුන් ඔවුන්ගේ පියාට විරුද්ධව බොහෝ දේ මැසිවිලි නැඟුවේ, මක්නිසාද ඔහු දර්ශන දකින්නෙක් වූ නිසාත්, ඔවුන්ව ජෙරුසලම් දේශයෙන් පිටතට ගෙන, ඔවුන්ගේ උරුම දේශයෙන්ද, තවද ඔවුන්ගේ රත්රන්ද, ඔවුන්ගේ රිදීද තවත් බොහෝ අනර්ඝදේ අත්හැර දමා, වනාන්තරයේ නැසීමට ආ බැවින්ය. තවද ඔහු මෙය කළේ ඔහුගේ සිතේ ඇති මෝඩ සිතිවිලි හේතුකොටගෙන බව ඔවුන් පැවසූහ.
12 තවද මෙසේ වැඩිමහල්ලන්ව සිටි ලේමන් සහ ලෙමුවෙල්, ඔවුන්ගේ පියාට විරුද්ධව මැසිවිලි නැඟූවේය. තවද ඔවුන් එසේ මැසිවිලි නැඟුවේ ඔවුන්ව මැවූ දෙවියන්වහන්සේගේ ක්‍රියා ඔවුන් නොදත් නිසාය.
13 අනාගතවක්තෘවරුන්ගේ වචනවලට අනුව, එම මහා නගරය වන ජෙරුසලම, විනාශ කළ හැකි බවත් ඔවුන් විශ්වාස නොකළේය. තවද ඔවුන් මාගේ පියාගේ ජිවිතය පැහැර ගැනීමට සොයමින්, ජෙරුසලමෙහි සිටි යුදෙව්වන් මෙන් වූහ.
14 තවද එය මෙසේ සිදු විය, එනම් මාගේ පියා ලෙමුවෙල් නිම්නයේදී, ආත්මයාණන්ගෙන් පූර්ණව, බලයෙන් යුක්තව, ඔවුන්ගේ ශරීර ඔහු ඉදිරියේ වෙව්ළවන තෙක් ඔවුනට කථා කළේය. තවද ඔවුන් තමාට විරුද්ධව කතා කිරීමට නොපෙළඹෙන ලෙස ඔහු ඔවුන්ව ව්‍යාකූල කළේය; එබැවින්, ඔහු ඔවුන්ට අණ කළ පරිදි ඔවුන් කළේය.
15 තවද මාගේ පියා කූඩාරමක වාසය කළේය.
16 තවද එය මෙසේ සිදු විය, එනම් මම, නීෆායි, බොහෝ බාලවයස්කාරව සිටි, එසේනමුත් ශරීරයෙන් විශාළ වූ අතර, තවද දෙවියන්වහන්සේගේ අභිරහස් දැනගැනීමට බලවත් කැමැත්තෙන් සිටි අතර, එබැවින්, මම ස්වාමීන්වහන්සේට මොරගැසුවෙමි; තවද බලව උන්වහන්සේ මා බැහැ දැක, තවද මාගේ හෘදය මෘදු කළ හෙයින්, එනම් මාගේ පියා පැවසූ සියලු වචන මා විශ්වාස කළෙමි; එසේහෙයින් මාගේ සහෝදරයන් මෙන් ඔහුට විරුද්ධව මා කැරලි නොගැසුවෙමි.
17 තවද මම සෑම්ට කතා කොට, ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් කරණකොටගෙන මට ප්‍රකාශ කළ දේවල් ඔහුට දැනගැනීමට සැලැස්සුවෙමි. තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු මාගේ වචන විශ්වාස කළේය.
18 එහෙත්, බලව, ලේමන් හා ලෙමුවෙල් මාගේ වචනවලට සවන් නොදුන්නේය; තවද ඔවුන්ගේ හදවත්වල දැඩිකම නිසා ශෝක වූ මම ඔවුන් උදෙසා ස්වාමීන්වහන්සේට මොරගැසුවෙමි.
19 තවද එය මෙසේ සිදු විය, එවිට ස්වාමීන්වහන්සේ මට කතා කොට, මෙසේ වදාළ සේක: නීෆායි, නුඹ ආශිර්වාද ලද්දෙහිය, මක්නිසාද නුඹගේ ඇදහිල්ල කරණකොටගෙන එනම් නුඹ උද්‍යෝගයෙන්ද හදවතේ යටහත්කමින්ද මා සෙව්වේහිය.
20 තවද නුඹලා මාගේ අණ පනත් පිළිපදින තාක්, නුඹලා සමෘද්ධිමත් වන අතර, තවද පොරොන්දු වූ දේශයකට ගෙන යනු ලබන්නේය; එසේය, මම නුඹ වෙනුවෙන් සූදානම් කළා වූ දේශයකට පවා; එසේය, අනෙකුත් දේශයන් සියල්ලටම වඩා උතුම් තෝරා ගත් දේශයකටය.
21 තවද එපමණින් නුඹගේ සහෝදරයන් නුඹට විරුද්ධව කැරලිගසන තාක්කල් ඔවුන්ව ස්වාමීන්වහන්සේගේ අභිමුඛයෙන් කපා හරිනු ලබන්නේය.
22 තවද එපමණින් නුඹ මාගේ අණ පනත් පිළිපදින තාක්කල්, නුඹ නුඹගේ සහෝදරයන් කෙරෙහි පාලකයෙකු හා ගුරුවරයෙකු බවට පත් කරනු ලබන්නේය.
23 මක්නිසාද බලව, මට විරුද්ධව ඔවුන් කැරලි ගසන එම දවසේදී, මම ඔවුන්ව මහත් වූ ශාපයකින් පවා ශාප කරන්නෙමි, තවද ඔවුන්ද මට විරුද්ධව කැරලි ගැසුවොත් මිස ඔවුන්ට නුඹගේ වංශය කෙරෙහි බලයක් නොපවතිනු ඇත.
24 තවද එය එසේ වී ඔවුන් මට විරුද්ධව කැරලි ගසන්නේ නම්, ඔවුන් නුඹගේ වංශයට නැවත සිහි කිරීමේ මාර්ග වල තුළ කැළඹවීමට කසයක් වනු ඇත්තේය.