ශුද්ධලියවිලි
ඊතර් 3


3 වන පරිච්ඡේදය

ජැරඩ්ගේ සහෝදරයා ස්වාමීන්වහන්සේ ගල් දහසය ස්පර්ශ කරන විට උන්වහන්සේගේ ඇඟිල්ල දකී – ක්‍රිස්තුස්වහන්සේ තමන්වහන්සේගේ ආත්මික ශරීරය ජැරඩ්ගේ සහෝදරයාට දර්ශනය කරයි – පරිපූර්ණ දැනුමක් ඇති අයවලුන්ව තිරය ඇතුළත තබා ගැනීමට නොහැක – ජැරඩ්වරුන්ගේ වාර්තාව ආලෝකයට ගෙන ඒම සඳහා පරිවර්තකයන් සපයනු ලබයි.

1 තවද එය මෙසේ සිදු විය, එනම් (දැන් සූදානම් කර තිබූ යාත්‍රා ගණන අටක් විය) ජැරඩ්ගේ සහෝදරයා කන්දට ගොස්, එහි වූ අතිශය උස නිසා, ඔවුන් ෂෙලෙම් කන්ද ලෙස හැඳින්වූ අතර, තවද පර්වතයකින් කුඩා ගල් දහසයක් කඩා, උණු කළේය; තවද ඒවා විනිවිද පෙනෙන වීදුරු මෙන්, සුදු හා පැහැදිලි විය; තවද ඔහු ඒවා කන්ද මුදුනට තම දෑතින් ගෙන ගොස්, තවද නැවත ස්වාමීන්වහන්සේට මොරගසමින් මෙසේ කීවේය:

2 අහෝ ස්වාමීන්වහන්ස, එනම් ඔබවහන්සේ පවසා ඇත්තේ අප ගංවතුරෙන් වට වී සිටිය යුතු බවය. දැන් බලන්න, අහෝ ස්වාමීන්වහන්ස, තවද ඔබවහන්සේ අභිමුඛයෙහි ඔහුගේ දුර්වලකම නිසා ඔබවහන්සේගේ සේවකයා සමඟ කෝප නොවන්න; මක්නිසාද එනම් ඔබවහන්සේ ශුද්ධ බවත්, ස්වර්ගයේ වැඩසිටින බවත්, ඔබවහන්සේ අභිමුඛයෙහි අප නුසුදුසු බවත් අප දනිමු; මක්නිසාද වැටීම නිසා අපගේ ස්වභාවයන් නිරන්තරයෙන් නපුරු වී ඇත්තේය; එසේනමුත්, අහෝ ස්වාමීන්වහන්ස, එනම් අපගේ ආශාවන්ට අනුව ඔබවහන්සේගෙන් අපට ලැබෙන පරිදි, ඔබවහන්සේගෙන් අප අයැදිය යුතු ලෙස ආඥාවක් ඔබවහන්සේ අපට දී ඇත්තේය.

3 බලන්න, අහෝ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ අපගේ අයුතුකම් නිසා අපට පහර දී, තවද අපව එළවා දමා, තවද අප මෙම වසර ගණනාවක් කාන්තාරයේ සිටියෙමු; එසේනමුත්, ඔබවහන්සේ අපට අනුකම්පා කළ සේක. අහෝ ස්වාමීන්වහන්ස, මා දෙස අනුකම්පාවෙන් බලා, මේ ඔබවහන්සේගේ ජනතාව කෙරෙන් ඔබවහන්සේගේ කෝපය ඉවත් කරන්න, එනම් ඔවුන් මෙම රළු ගැඹුරු අන්ධකාරය හරහා යාමට ඉඩ නොදෙන්න; එහෙත් මම පර්වතයෙන් උණු කළ මෙම දේවල් දෙස බලන්න.

4 තවද අහෝ ස්වාමීන්වහන්ස, එනම් ඔබවහන්සේ හට සියලු බලය ඇති බවත්, තවද මනුෂ්‍යයාගේ ප්‍රයෝජනය සඳහා ඔබවහන්සේ කැමති ඕනෑම දෙයක් කළ හැකි බවත් මම දනිමි; එසේහෙයින් අහෝ ස්වාමීන්වහන්ස, මෙම ගල් ඔබවහන්සේගේ ඇඟිල්ලෙන් ස්පර්ශ කර, තවද ඒවා එනම් අන්ධකාරයේ බැබළෙන පරිදි සූදානම් කරන්න; තවද එනම් අප මුහුද තරණය කරන අතරතුර අපට ආලෝකය ලැබෙන පරිදි, අප සූදානම් කර ඇති යාත්‍රා තුළ ඒවා අපට බැබළෙනු ඇත්තේය.

5 බලන්න, අහෝ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ හට මෙය කළ හැකිය. මනුෂ්‍යයන්ගේ අවබෝධයට කුඩා ලෙස පෙනෙන්නා වූ, එනම් මහා බලය පෙන්වීමට ඔබවහන්සේට හැකි බව අප දනිමු.

6 තවද එය මෙසේ සිදු විය, එනම් ජැරෙඩ්ගේ සහෝදරයා මෙම වචන පැවසූ විට, බලව, ස්වාමීන්වහන්සේ තමන්වහන්සේගේ හස්තය දිගු කර, උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ගල් එකින් එක ස්පර්ශ කළ සේක. තවද ජැරෙඩ්ගේ සහෝදරයාගේ ඇස්වලින් තිරය ඉවත් කරන ලද අතර, ඔහු ස්වාමීන්වහන්සේගේ ඇඟිල්ල දුටුවේය; තවද එය මනුෂ්‍යයෙකුගේ ඇඟිල්ල මෙන්, මස් හා රුධිරය මෙන් විය; තවද ජැරෙඩ්ගේ සහෝදරයා භීතියෙන් පහර ලැබූ බැවින්, ඔහු ස්වාමීන්වහන්සේ අභිමුඛයෙහි වැටුණේය.

7 තවද එනම් ජැරඩ්ගේ සහෝදරයා පොළොවට වැටී සිටිනු ස්වාමීන්වහන්සේ දුටු සේක; තවද ස්වාමීන්වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක: නැඟීසිටින්න, නුඹ වැටුණේ මන්ද?

8 තවද ඔහු ස්වාමීන්වහන්සේ හට මෙසේ කීවේය: මම ස්වාමීන්වහන්සේගේ ඇඟිල්ල දුටුවෙමි, තවද උන්වහන්සේ මට පහර දෙයි කියා මම බිය වුණෙමි; මක්නිසාද ස්වාමීන්වහන්සේට මාංශය සහ රුධිරය ඇති බව මම දැන නොසිටියෙමි.

9 තවද ස්වාමීන්වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක: නුඹගේ ඇදහිල්ල නිසාවෙන් මා මතට මම මාංශය සහ රුධිරය ගන්නා බව නුඹ දුටුවෙහිය; තවද නුඹ තරම් මහත් ඇදහිල්ලකින් කිසිදු මනුෂ්‍යයෙකු මා ඉදිරියට පැමිණ නැත්තේය; මක්නිසාද එසේ නොවූයේ නම් නුඹට මාගේ ඇඟිල්ල නොපෙනෙන්නට ඉඩ තිබුණි. නුඹ මෙයට වැඩියෙන් දුටුවේද?

10 තවද ඔහුද පිළිතුරු දෙමින්: නැත; ස්වාමීනි, ඔබවහන්සේවම පෙනී සිටිය මැනවයි කීය.

11 තවද එවිට ස්වාමීන්වහන්සේ ඔහුට මෙසේ කී සේක: මා කියන්නා වූ වචන නුඹ විශ්වාස කරන්නේද?

12 තවද ඔහු පිළිතුරු දෙමින් කීය: එසේය, ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ සත්‍යය පවසන බව මම දනිමි, මක්නිසාද ඔබවහන්සේ සත්‍යයේ දෙවියන් කෙනෙකි, තවද ඔබවහන්සේට බොරු කීමට නොහැකිය.

13 තවද ඔහු මේ වචන පැවසූ විට, බලව, ස්වාමීන්වහන්සේ උන්වහන්සේව ඔහු හට පෙන්වා, තවද මෙසේ පැවසු සේක: නුඹ මේ දේවල් දන්නා බැවින් නුඹ වැටීමෙන් මුදවා ගනු ලැබ ඇත්තේය; එසේහෙයින් නුඹ මාගේ අභිමුඛයට නැවත ගෙන එනු ලැබ ඇත්තේය; එසේහෙයින් මම නුඹට මා පෙන්වමි.

14 බලව, ලෝකයේ පටන්ගැන්මේ සිට මාගේ ජනතාව මුදවා ගනු ලබන පිණිස සූදානම් කරන ලද තැනැත්තා මා වෙමි. බලව, මා ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙමි. මා පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන් වෙමි. මා තුළ සියලු මනුෂ්‍ය වර්ගයාට ජීවනය ලැබෙනු ඇත්තේය, තවද එය සදාකාලිකවම, මාගේ නාමය කෙරෙහි විශ්වාස කරන්නාවු අයවලුන්ට පවා වන්නේය; තවද ඔවුන් මාගේ පුත්‍රයන් සහ මාගේ දියණියන් වනු ඇත්තේය.

15 තවද මා විසින් මැවූ මනුෂ්‍යයා හට මා කිසිදාක මාව නොපෙන්වුවෙමි, මක්නිසාද නුඹ මෙන් කිසිදාක මනුෂ්‍යයා මා කෙරෙහි විශ්වාස නොකළෙහිය. නුඹව මාගේම ස්වරූපයට අනුව මවා ඇති බව නුඹට පෙනෙනවාද? එසේය, සියලු මනුෂ්‍යයන් පවා පටන් ගැන්මේදී මාගේම ස්වරූපයට අනුව මවන ලදී.

16 බලව, නුඹ දැන් දකින මෙම ශරීරය, මාගේ ආත්මයේ ශරීරයයි; තවද මාගේ ආත්මයේ ශරීරය අනුව මා මනුෂ්‍යයා මවා ඇත්තෙමි; තවද මා නුඹ හට ආත්මය තුළ පෙනි සිටින ආකාරයටම, මා මාගේ ජනතාවට මාංශයෙන් පෙනී සිටින්නෙමි.

17 තවද දැන්, මොරෝනායි වන මම, පැවසූ පරිදි, ලියා ඇති මෙම දේවල් පිළිබඳ සම්පූර්ණ විස්තරයක් සැදීමට මට නොහැකිය, එසේහෙයින් එනම් ජේසුස්වහන්සේ නීෆායිවරුන්ට තමන්වහන්සේවම පෙන්වූ ආකාරයට සහ එම ශරීරයේ සමානත්වයෙන් වූවද, මෙම මනුෂ්‍යයා හට ආත්මාකාරයෙන් තමන්වහන්සේවම පෙන්වූ බව පැවසීම මට ප්‍රමාණවත්ය.

18 තවද උන්වහන්සේ නීෆායිවරුන්ට උපස්ථාන කළ ආකාරයටම ඔහුටද උපස්ථාන කළ සේක; තවද මෙම සියල්ල, ස්වාමීන්වහන්සේ ඔහු හට පෙන් වූ බොහෝ ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් නිසා, එනම් මෙම මනුෂ්‍යයා දෙවියන්වහන්සේ බව දැන ගන්නා පිණිසය.

19 තවද මෙම මනුෂ්‍යයාගේ දැනුම නිසා ඔහුව තිරය තුළින් දැකීම වලක්වාගත නොහැකි විය; තවද ඔහු ජේසුස්වහන්සේගේ ඇඟිල්ල දුටුවේය, එය, ඔහු දුටු විට, ඔහු බියෙන් වැටුණේය; මක්නිසාද එනම් එය ස්වාමීන්වහන්සේගේ ඇඟිල්ල බව ඔහු දැන සිටියේය; තවද ඔහුට තවදුරටත් ඇදහිල්ල නොතිබුණේය, මක්නිසාද කිසිදු සැකයක් නොමැතිව, ඔහු දැන සිටියේය.

20 එසේහෙයින්, දෙවියන්වහන්සේ පිළිබඳ මෙම පරිපූර්ණ දැනුම ඇති බැවින්, ඔහුව තිරය තුළ තබා ගත නොහැකි විය; එසේහෙයින් ඔහු ජේසුස්වහන්සේව දුටුවේය; තවද උන්වහන්සේ ඔහු හට උපස්ථාන කළ සේක.

21 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ ජැරෙඩ්ගේ සහෝදරයාට මෙසේ පැවසූ සේක: බලව, එනම් මා මාංශයෙන් මාගේ නාමය මහිමයට පත් කරන කාලය පැමිණෙන තුරු, නුඹ දුටුවාවූ සහ ඇසුවාවූ මෙම දේවල් ලෝකයට යාමට ඉඩ නොදිය යුතුය; එබැවින්, නුඹ දුටුවාවූ සහ ඇසුවාවූ දේවල් නුඹ රක්ෂා කර තබාගන්න, තවද එය කිසිදු මනුෂ්‍යයෙකුට නොපෙන්වන්න.

22 තවද බලව, නුඹ මා වෙත පැමිණෙන විට, එනම් කිසිවෙකුට ඒවා අර්ථකථනය කළ නොහැකි වන පරිදි, නුඹ ඒවා ලියා තවද මුද්‍රා තැබිය යුතු වන්නේය; මක්නිසාද එනම් ඒවා කියවිය නොහැකි භාෂාවකින් නුඹ ඒවා ලිවිය යුතු වන්නේය.

23 තවද බලව, මෙම ගල් දෙක මා නුඹ හට දෙන්නෙමි, තවද නුඹ ඒවාද එසේම ලියන්නාවු එම දේවල් සමඟ මුද්‍රා තැබිය යුතුය.

24 මක්නිසාද බලව, නුඹ ලියන්නාවු එම භාෂාව මා ව්‍යාකුල කර ඇත්තෙමි; එබැවින් මාගේ නියමිත කාලයේදී මෙම ගල් එනම් නුඹ ලියන්නාවු මෙම දේවල් මනුෂ්‍යයන්ගේ ඇස්වලට තේරුම් කිරීමට මා සලස්වන්නෙමි.

25 තවද ස්වාමීන්වහන්සේ මෙම වචන පැවසූ විට, උන්වහන්සේ ජැරෙඩ්ගේ සහෝදරයා හට පොළොවේ සිටියාවු සියලු වැසියන් සහ එසේම සිටින්නට යන්නාවූ සියල්ලන් ද පෙන්වූ සේක; තවද පොළොවේ කෙළවර දක්වා පවා උන්වහන්සේ ඔවුන්ව උන්වහන්සේගේ පෙනෙන මානයෙන් වළක්වා නොගත් සේක.

26 මක්නිසාද උන්වහන්සේ කාලයකට පෙර ඔහුට පවසා තිබුණේ, එනම් උන්වහන්සේ කෙරෙහි ඔහු විශ්වාස කරන්නේ නම් ඔහු හට සියලු දේවල් පෙන්විය හැකි බවයි – එය ඔහුට පෙන්විය යුතු වන්නේය; එසේහෙයින් ස්වාමීන්වහන්සේ හට ඔහු කෙරෙන් කිසිවක් වළක්වා ගත නොහැකි විය, මක්නිසාද එනම් ස්වාමීන්වහන්සේ ඔහුට සියලු දේවල් පෙන්විය හැකි බව ඔහු දැන සිටියේය.

27 තවද ස්වාමීන්වහන්සේ ඔහු හට මෙසේ කී සේක: මෙම දේවල් ලියා තවද මුද්‍රා තබන්න; තවද මාගේ නියමිත කාලයේදී මනුෂ්‍ය දරුවන් හට ඒවා මා පෙන්වන්නෙමි.

28 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහුට ලැබුණාවු ගල් දෙක මුද්‍රා තබන ලෙසත්, තවද ස්වාමීන්වහන්සේ ඒවා මනුෂ්‍ය දරුවන්ට පෙන්වන තුරු, ඒවා නොපෙන්වන ලෙසත් ස්වාමීන්වහන්සේ ඔහුට අණ කළ සේක.