ශුද්ධලියවිලි
ඊතර් 12


12 වන පරිච්ඡේදය

අනාගතවක්තෘ ඊතර් මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේව විශ්වාස කරන ලෙස අවවාද කරයි – මොරෝනායි ඇදහිල්ලෙන් කළ පුදුමයන් සහ ආශ්චර්යයන් නැවත විස්තර කරයි – ජැරඩ්ගේ සහෝදරයාට ඇදහිල්ල ක්‍රිස්තුස්වහන්සේව දැකීමට හැකියාව ලබා දෙයි – මනුෂ්‍යයන් නිහතමානී වන පිණිස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දුර්වලකම් ලබා දෙන සේකි – ජැරඩ්ගේ සහෝදරයා ඇදහිල්ලෙන් සීරින් කන්ද ඉවත් කරයි – ඇදහිල්ල, බලාපොරොත්තුව, සහ ප්‍රේමය ගැලවීම සඳහා අත්‍යවශ්‍ය වෙයි – මොරෝනායි ජේසුස්වහන්සේව මුහුණට මුහුණ දකියි.

1 තවද එය මෙසේ සිදු විය, එනම් ඊතර්ගේ දවස් කොරියැන්ටමර්ගේ දවස්වල විය; තවද කොරියැන්ටමර් සියලු දේශය කෙරෙහි රජ වී සිටියහ.

2 තවද ඊතර් ස්වාමීන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙක් වූවේය; එබැවින් ඊතර් කොරියැන්ටමර්ගේ කාලයේදී පිටතට පැමිණ, තවද ජනතාවට අනාවැකි කීමට පටන් ගත්තේය, මක්නිසාද ඔහු තුළ සිටි ස්වාමීන්වහන්සේගේ ආත්මය නිසා ඔහුට එය වළක්වා ගත නොහැකි විය.

3 මක්නිසාද ඔහු උදෑසන සිට, හිරු බැස යන තුරුම දේශනා කරමින්, ඔවුන් විනාශ නොවන පිණිස පසුතැවිලි වී දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන ලෙස ජනයාට අවවාද කරමින්, ඇදහිල්ලෙන් සියල්ල සම්පූර්ණ වන බව ඔවුන්ට කීවේය –

4 එබැවින්, දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන ඕනෑම කෙනෙකු, වඩා හොඳ ලෝකයක් සඳහා නිසැකවම බලාපොරොත්තු විය හැක්කේය, එසේය, ඇදහිල්ල නිසාවෙන් පැමිණෙන්නා වූ බලාපොරොත්තුව වන, දෙවියන්වහන්සේගේ දකුණු හස්තයේ ස්ථානයක් පවා වන්නේය, එය මනුෂ්‍යයන්ගේ ප්‍රාණයන්ට නැංගුරමක් ් වන්නේය, එය ඔවුන්ව නියත සහ ස්ථිර කරවන, සැමවිටම යහපත් ක්‍රියාවලින් බහුල කොට, දෙවියන්වහන්සේව මහිමයට පත් කිරීම උදෙසා මඟ පෙන්වනු ඇත්තේය.

5 තවද එය මෙසේ සිදු විය, එනම් ඊතර් ජනතාවට මහත් හා ආශ්චර්ය දේවල් අනාවැකි පළ කළේය, ඔවුන් ඒවා නොදුටු බැවින්, ඔවුන් ඒවා විශ්වාස නොකළේය.

6 තවද දැන්, මම, මොරෝනායි, මෙම දේවල් ගැන යම්තාක් කතා කරන්නෙමි; එනම් ඇදහිල්ල යනු බලාපොරොත්තු වන නමුත් නොපෙනෙන දේවල් බව මම ලෝකයා හට පෙන්වන්නෙමි; එබැවින්, නුඹලා නොදකින නිසා විවාද නොකරන්න, මක්නිසාද නුඹලාගේ ඇදහිල්ලේ පරික්ෂාව පසු වනතුරු නුඹලාට කිසිඳු සාක්ෂියක් නොලැබේ.

7 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීමෙන් පසු උන්වහන්සේ අපගේ පියවරුන්ට තමන්වහන්සේව ප්‍රකාශ කරවූයේ ඇදහිල්ල කරණකොටගෙනය; තවද ඔවුන් උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබන තෙක් උන්වහන්සේ ඔවුන්ට තමන්වහන්සේව ප්‍රකාශ නොවූසේක; එබැවින්, උන්වහන්සේ ලෝකයට තමන්වහන්සේව ප්‍රකාශ නොකළ බැවින්, සමහරෙක්ට උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීමට අවශ්‍ය විය.

8 එහෙත් මනුෂ්‍යයන්ගේ ඇදහිල්ල නිසා උන්වහන්සේ ලෝකයට තමන්වහන්සේව ප්‍රකාශ කොට, තවද පියාණන්වහන්සේගේ නාමය මහිමයට පත් කර, තවද ඔවුන් නොදුටු දේවල් පිලිබඳ බලාපොරොත්තුවෙන් සිටින පිණිස, එනම් අන් අයට ස්වර්ගීය දීමනාවට පංගුකාරයන් වීමට මාර්ගයක් සූදානම් කළ සේක.

9 එබැවින්, නුඹලාටත් බලාපොරොත්තුවක් තබා ගත හැකි අතර, නුඹලාට අවශ්‍යය නමුත් ඇදහිල්ලක් ඇත්නම්, තවද දීමනාවට පංගුකාරයන් විය හැකිය.

10 බලව, එය පුරාණයේ සිටි ඔවුන් දෙවියන්වහන්සේගේ ශුද්ධ පිළිවෙළට අනුව කැඳවනු ලැබුවේ ඇදහිල්ල මඟින්ය.

11 එබැවින්, ඇදහිල්ල කරණකොටගෙන මෝසෙස්ගේ නීතිය දෙන ලද්දේය. එහෙත් දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ දීමනාව තුළ වඩාත් විශිෂ්ට මාර්ගයක් සූදානම් කොට ඇති සේක; තවද එය ඉටු වී ඇත්තේ එනම් ඇදහිල්ල කරණකොටගෙනය.

12 මක්නිසාද මනුෂ්‍ය දරුවන් අතර ඇදහිල්ලක් නොමැති නම් දෙවියන්වහන්සේට ඔවුන් අතර කිසිඳු හාස්කමක් කළ නොහැක්කේය; එබැවින්, ඔවුන්ගේ ඇදහිල්ලෙන් පසුව පමණක් උන්වහන්සේ තමන්වහන්සේව ප්‍රකාශ නොකළ සේක.

13 බලව, එනම් සිරගෙදර බිමට පෙරළීමට සැලැස්වූයේ ඇල්මා සහ ඇමියුලෙක්ගේ තිබූ ඇදහිල්ලයි.

14 බලව, නීෆායිගේ සහ ලීහායිගේ තිබූ ඇදහිල්ල ලේමන්වරුන් කෙරෙහි වෙනස ගෙන ආවේය, එනම් ඔවුන් ගින්නෙන් සහ ශුද්ධාත්මයාණන්ගෙන් බෞතීස්ම වූවෝය.

15 බලව, අම්මොන් සහ ඔහුගේ සහෝදරයන්ගේ ඇදහිල්ල ලේමන්වරුන් අතර මෙතරම් විශාල හාස්කමක් සිදු කළේය.

16 එසේය, තවද හාස්කම් කළ ඔවුන් සියල්ලන් පවා, එනම් ක්‍රිස්තුස්වහන්සේට පෙර සිටි අය සහ පසුව සිටි අය පවා ඇදහිල්ල මඟින් ඒවා සිදු කළහ.

17 තවද ගෝලයන් තිදෙනා එනම් ඔවුන් මරණයේ රස නොවිඳන පිණිස පොරොන්දුව ලබාගත්තේ ඇදහිල්ල මඟින්ය; තවද ඔවුන්ගේ ඇදහිල්ලෙන් පසුව පමණක් ඔවුන්ට පොරොන්දුව නොලැබුණි.

18 තවද ඔවුන්ගේ ඇදහිල්ලෙන් පසුව මිස කිසිවෙකු කිසිවිටෙක හාස්කම් සිදු නොකළේය; එබැවින් ඔවුන් මුලින්ම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි විශ්වාස කළෝය.

19 තවද ක්‍රිස්තුස්වහන්සේ පැමිණීමට පෙර සිට පවාම, අතිශයින් ශක්තිමත් ඇදහිල්ලක් තිබූ බොහෝ දෙනෙක් සිටියෝය, ඔවුන්ව තිරය තුළින් සඟවා තබා ගත නොහැකි විය, එහෙත් ඔවුන් ඇදහිල්ලේ ඇසින් දුටු දේවල් සැබවින්ම ඔවුන් ඔවුන්ගේ ඇස්වලින් දුටු අතර, තවද ඔවුන් සතුටු විය.

20 තවද බලව, එනම් මේ අයගෙන් එක් අයෙක් ජැරඩ්ගේ සහෝදරයා බව අපි මෙම වාර්තාවෙන් දැක ඇත්තේය; මක්නිසාද දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුගේ ඇදහිල්ල කොතරම් විශාලද යත්, එනම් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ඇඟිල්ල දිගු කළ විට, උන්වහන්සේ ජැරඩ්ගේ සහෝදරයාට කතා කළ උන්වහන්සේගේ වචනය නිසාත්, ඔහු ඇදහිල්ලෙන් ලබාගත් වචනය නිසාත්, එය ඔහුගේ දැකීමෙන් සැඟවීමට උන්වහන්සේට නොහැකි විය.

21 තවද ජැරෙඩ්ගේ සහෝදරයා ස්වාමීන්වහන්සේගේ ඇඟිල්ල දුටු පසු, ජැරඩ්ගේ සහෝදරයා ඇදහිල්ල මඟින් ලබාගත්තාවූ පොරොන්දුව නිසා, ස්වාමීන්වහන්සේ හට ඔහුගේ ඇස්වලින් කිසිවක් වළක්වා ගැනීමට නොහැකි විය; එබැවින් උන්වහන්සේ ඔහුට සියල්ල පෙන්වූ සේක, මක්නිසාද ඔහුව තවදුරටත් තිරය නොමැතිව තබා ගත නොහැකි විය.

22 තවද එනම් මාගේ පියවරුන් අන්‍යජාතීන් මාර්ගයෙන් ඔවුන්ගේ සහෝදරයන් මත එනම් මෙම දේවල් පැමිණෙන බවට පොරොන්දුව ලබාගත්තේ ඇදහිල්ල මඟින්ය; එසේහෙයින් ස්වාමීන්වහන්සේ, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ පවා, එසේය, මා හට අණ කළ සේක.

23 තවද මම උන්වහන්සේ හට මෙසේ පැවසුවෙමි: ස්වාමීනි, අපගේ ලිවීමෙහි වූ දුර්වලතාවයන් නිසාවෙන් අන්‍යජාතීන් මෙම දේවලට සරදම් කරනු ඇත්තේය; මක්නිසාද ස්වාමීන්වහන්ස, ඔබවහන්සේගේ ඇදහිල්ල කරණකොටගෙන වචනයෙන් අපව බලවත් කළ සේක, එහෙත් ඔබවහන්සේ ලිවීමෙහි අපව බලවත් කර නොමැති සේක; මක්නිසාද එනම් ඔබවහන්සේ ඔවුන්ට දුන්නාවු ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, මෙම සියලු ජනතාවට බොහෝ දේ කථා කිරීමට ඔබවහන්සේ සැලැස්වූ සේක;

24 තවද අපගේ අත්වල අපහසුතා නිසාවෙන්, එනම් අපට ස්වල්පයක් පමණක් ලිවීමට හැකි වන පරිදි ඔබවහන්සේ අපව තැනූ සේක. බලව, ඔබවහන්සේ අපව ජැරෙඩ්ගේ සහෝදරයා මෙන් ලිවීමෙන් බලවත් නොකල සේක, මක්නිසාද එනම් ඔහු ලියූවාවු දේවල් ඔබවහන්සේ මෙන් බලවත් වන ලෙස, මනුෂ්‍යයා හට ඒවා කියවීමට යටහත් කරන ලෙස ඔබවහන්සේ ඔහුව තැනූ සේක.

25 ඔබවහන්සේ එසේම එනම් අපට ඒවා ලිවිය නොහැකි තරම්, අපගේ වචන බලවත් සහ ශ්‍රේෂ්ඨ කළ සේක; එබැවින්, අප ලියන විට අප අපගේ දුර්වලකම දකින්නෙමු, තවද අපගේ වචන ස්ථානගත කිරීම නිසා අප පැකිලෙමු; තවද අන්‍යජාතීන් අපගේ වචනවලට සරදම් කරනු ඇතැයි මම බිය වන්නෙමි.

26 තවද මම මෙය පැවසූ විට, ස්වාමීන්වහන්සේ මා හට කථාකොට, මෙසේ කී සේක: අනුවනයෝ සරදම් කරති, එහෙත් ඔවුන් ශෝක වන්නෝය; තවද මාගේ කරුණාව යටහත් පහත් අයට ප්‍රමාණවත් වන්නේය, එනම් ඔවුන් නුඹලාගේ දුර්වලකමෙන් ප්‍රයෝජන නොගන්නෝය;

27 තවද මනුෂ්‍යන් මා වෙතට පැමිණෙන්නේ නම් මා ඔවුන්ගේ දුර්වලකම ඔවුන් හට පෙන්වන්නෙමි. එනම් ඔවුන් නිහතමානී වන පිණිස මනුෂ්‍යයන් හට මා දුර්වලකම ලබා දෙන්නෙමි; තවද එනම් මා අභිමුඛයෙහි තමන්ව නිහතමානී කරගන්නා සියලු මනුෂ්‍යයන්ට මාගේ කරුණාව ප්‍රමාණවත් වන්නේය; මක්නිසාද ඔවුන් මා අභිමුඛයෙහි තමන්ව නිහතමානී කරගන්නේ නම්, තවද මා තුළ ඇදහිල්ල තබන්නේ නම්, එවිට මා දුර්වල දේවල් ඔවුන් හට ශක්තිමත් වීමට පමුණුවන්නෙමි.

28 බලව, මා අන්‍යජාතීන්ට ඔවුන්ගේ දුර්වලකම පෙන්වන්නෙමි, තවද එනම් ඇදහිල්ල, බලාපොරොත්තුව සහ ප්‍රේමය මා වෙතට ගෙන එන – සියලු ධර්මිෂ්ඨකමේ උල්පත මා ඔවුන් හට පෙන්වන්නෙමි.

29 තවද මොරෝනායි වන මම, මෙම වචන ඇසු පසු, සනසනු ලැබ, තවද මෙසේ කීවෙමි: අහෝ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේගේ ධර්මිෂ්ඨකම සිදු වනු ඇත්තේය, මක්නිසාද එනම් ඔබවහන්සේ මනුෂ්‍ය දරුවන් කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ලට අනුව ක්‍රියා කරන බව මම දන්නෙමි;

30 මක්නිසාද ජැරෙඩ්ගේ සහෝදරයා සීරින් කන්දට මෙසේ කීවේය, ඉවත් වන්න – තවද එය ඉවත් විය. තවද ඔහුට ඇදහිල්ල නොතිබුනේ නම් එය ඉවත් නොවනු ඇත්තේය; එබැවින් ඔබවහන්සේ ක්‍රියා කරන්නේ මනුෂ්‍යයන්ට ඇදහිල්ල ඇතිවු පසුවය.

31 මක්නිසාද ඔබවහන්සේ මෙසේ ඔබවහන්සේගේ ගෝලයන් වෙත ප්‍රකාශ වූ සේක; මක්නිසාද ඔවුන් ඇදහිල්ල ඇතිවී, තවද ඔබවහන්සේගේ නාමයෙන් කථා කළ පසු, ඔබවහන්සේ මහත් බලයෙන් ඔවුන් හට ප්‍රකාශ වූ සේක.

32 තවද එසේම ඔබවහන්සේ එනම් මනුෂ්‍යයා කෙරෙහි ගෘහයක් සූදානම් කර ඇති බවත්, එසේය, ඔබවහන්සේගේ පියාණන්වහන්සේගේ මන්දිර අතරෙහි පවා ඔබවහන්සේ කී බව මා හට සිහි වන්නෙමි, එහිදී මනුෂ්‍යයා හට වඩාත් විශිෂ්ට බලාපොරොත්තුවක් ලබනු ඇත්තේය; එබැවින් මනුෂ්‍යයාට බලාපොරොත්තු තිබිය යුතු අතර, නැතහොත් ඔබවහන්සේ සූදානම් කළාවු ස්ථානයේ උරුමයක් ඔහුට ලබා ගත නොහැක.

33 තවද නැවතත්, එනම් ඔබවහන්සේ ලෝකයට ප්‍රේම කළ බවත්, ලෝකය උදෙසා ඔබවහන්සේගේ ජීවිතය පූජා කළ බවත්, එනම් මනුෂ්‍ය දරුවන් උදෙසා ස්ථානයක් සූදානම් කරන පිණිස එය නැවත ලබා ගන්නා බවත් ඔබවහන්සේ පැවසූ බව මා සිහිකරමි.

34 තවද දැන් එනම් මනුෂ්‍ය දරුවන් කෙරෙහි ඔබවහන්සේ තුළ ඇත්තාවු මෙම ප්‍රේමය දායාව බව මම දන්නෙමි; එබැවින්, මනුෂ්‍යයන් හට දායාව නොමැතිවන්නේ නම්, ඔබවහන්සේගේ පියාණන්වහන්සේගේ මන්දිරයන්හි ඔබවහන්සේ සූදානම් කළ එම ස්ථානය ඔවුන්ට උරුම කර ගැනීමට නොහැකි වන්නෝය.

35 එබැවින්, එනම් අපගේ දුර්වලකම නිසාවෙන්, අන්‍යජාතීන්ට දයාව නොමැති නම්, එනම් ඔබවහන්සේ ඔවුන්ව පරීක්ෂා කර, තවද ඔවුන්ගේ දීමනාවන්, එසේය, ඔවුන්ට ලැබුණාවූ එම දේවල් පවා රැගෙන, තවද වැඩිපුර ඇත්තාවු අයට ලබා දෙන බව, ඔබවහන්සේ පැවසූ මෙම දෙවල් තුළින් මම දන්නෙමි.

36 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ට දයාව ඇති වන පිණිස, එනම් අන්‍යජාතීන් වෙත කරුණාව ලබා දෙන පිණිස මම ස්වාමීන්වහන්සේ හට යාච්ඤා කළෙමි.

37 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ මා හට මෙසේ කී සේක: නුඹ විශ්වාසවන්තව සිට හෙයින්, ඔවුන්ට ප්‍රේමය නොමැතිවන්නේ නම් එය නුඹට වැදගත් නොවන්නේය; එබැවින්, නුඹගේ වස්ත්‍ර පිරිසිදු කරනු ලබන්නේය. තවද නුඹ නුඹගේ දුර්වලකම දුටු බැවින්, මාගේ පියාණන්වහන්සේගේ මන්දිරයන්හි මා සූදානම් කර ඇති ස්ථානයේ හිඳීමට පවා, නුඹව ශක්තිමත් කරනු ලබන්නේය.

38 තවද දැන්, මොරෝනායි වන මම, අන්‍යජාතීන්ටද, එසේය, තවද එසේම මම ප්‍රේම කරන්නාවු මාගේ සහෝදරයන්ටද, ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්ච-ආසනය අභිමුඛයෙහි අප හමුවන තුරු සමුදෙමි, එහිදි එනම් මාගේ වස්ත්‍ර නුඹලාගේ රුධිරයෙන් කැළැල් වී නොමැති බව සියලු මනුෂ්‍යයන් දැනගනු ලබන්නෝය.

39 තවද එවිට මම ජේසුස්වහන්සේව දුටු බවත්, තවද එනම් උන්වහන්සේ මා සමඟ මුහුණට මුහුණලා කථා කොට, තවද මනුෂ්‍යයෙකු තවත් කෙනෙකුට මාගේම භාෂාවෙන් පවසන ආකාරයට, මෙම දේවල් සම්බන්ධයෙන්, උන්වහන්සේ මට සරල නිහතමානීත්වයෙන් පැවසූ බවත්, නුඹලා දැන ගන්නෝය;

40 තවද ලිවීමෙහි වූ මාගේ දුර්වලකම නිසා, මා ලියා ඇත්තේ ස්වල්පයක් පමණි.

41 තවද දැන්, අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතයන් විසින් ලියා ඇත්තාවු මෙම ජේසුස්වහන්සේව සෙවීමට මම නුඹලාට අවවාද කරන්නෙමි, එනම් පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ කරුණාවද, තවද එසේම ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේද, තවද ඔවුන් පිළිබඳ සාක්ෂි දරන්නාවු ශුද්ධාත්මයාණන්වහන්සේද, නුඹලා තුළ සහ සදාකාලයටම පවතිවා. ආමෙන්.