ශුද්ධලියවිලි
ඊතර් 13


13 වන පරිච්ඡේදය

ජෝසප්ගේ වංශය විසින් ඇමරිකාවේ ගොඩනඟන නව ජෙරුසලමක් පිළිබඳ ඊතර් කථා කරයි – ඔහු අනාවැකි කියයි, නෙරපා හරිනු ලබයි, ජැරඩ්වරුන්ගේ ඉතිහාසය ලියයි, තවද ජැරඩ්වරුන්ගේ විනාශය පුරෝකථනය කරයි – මුළු දේශය පුරාම යුද්ධය ඇවිළෙයි.

1 තවද දැන් මම, මොරෝනායි, මා ලියමින් සිටි ජනතාවගේ විනාශය පිළිබඳ මාගේ වාර්තාව අවසන් කිරීමට පටන් ගනිමි.

2 මක්නිසාද බලව, ඔවුහු ඊතර්ගේ සියලු වචන ප්‍රතික්ෂේප කළහ; මක්නිසාද ඔහු මනුෂ්‍යයාගේ පටන්ගැනීමේ සිට, සියලු දේවල් ගැන ඔවුන්ට සැබවින්ම පැවසූවේය; තවද එනම් මෙම දේශයෙන් ජලය බැස ගිය පසු එය අනෙකුත් සියලු දේශවලට වඩා තෝරාගත් දේශයක් බවට, එනම් ස්වාමීන්වහන්සේ විසින් තෝරාගත් දේශයක් බවට පත් වූවේය; එබැවින් සියලු මනුෂ්‍යයන් එහි මතුපිට වාසය කරන තැනැත්තාට සේවය කළ යුතු බවට ස්වාමීන්වහන්සේට අවශ්‍ය විය;

3 තවද එනම් එය ස්වර්ගයෙන් බැස එන්නා වූ, නව ජෙරුසලමේ ස්ථානය වන්නේය, තවද ස්වාමීන්වහන්සේගේ ශුද්ධ වූ ශුද්ධස්ථානය වන්නේය.

4 බලව, ඊතර් ක්‍රිස්තුස්වහන්සේගේ දවස් දුටු අතර, ඔහු මෙම දේශය මත නව ජෙරුසලමක් සම්බන්ධයෙන් කථා කළේය.

5 තවද එසේම ඔහු ඊශ්‍රායෙල් වංශය සහ ලීහායි පැමිණිය යුතු වූ ජෙරුසලම සම්බන්ධයෙන්ද කථා කළේය – එය විනාශ වූ පසු එය නැවත ගොඩනැඟිය යුත්තේය, ස්වාමීන්වහන්සේ උදෙසා ශුද්ධ නගරයක් විය යුත්තේය; එබැවින්, එය පැරණි කාලයක තිබූ බැවින් එය නව ජෙරුසලමක් විය නොහැක; එහෙත් එය නැවත ගොඩනැගිය යුත්තේය, තවද ස්වාමීන්වහන්සේගේ ශුද්ධ නගරයක් බවට පත්විය යුතුය; තවද එය ඊශ්‍රායෙල් වංශයට ගොඩනැඟිය යුත්තේය –

6 තවද ජෝසෙප්ගේ වංශයේ ඉතිරි කොටසට, එනම් මේ දේශය මත නව ජෙරුසලමක් ගොඩනැඟිය යුත්තේය, මක්නිසාද ඒ දේවල් සඳහා විධියක් තිබුණේය.

7 මක්නිසාද යෝසෙප් තම පියා මිසර දේශයට ගෙනාවාක් මෙන්, ඔහු එහි පවා මිය ගියේය; එබැවින්, උන්වහන්සේ යෝසෙප්ගේ වංශයට අනුකම්පා කරන පිණිස, එනම් ස්වාමීන්වහන්සේ යෝසෙප්ගේ වංශයෙන් ඉතිරිවූවන් ජෙරුසලම් දේශයෙන් පිටතට ගෙනා සේක, එනම් යෝසෙප්ගේ පියා විනාශ නොවන ලෙස උන්වහන්සේ ඔහුට අනුකම්පා කළ ආකාරයටම, ඔවුන් විනාශ නොවන ලෙස උන්වහන්සේ යෝසෙප්ගේ වංශයට අනුකම්පා කළේය.

8 එබැවින්, යෝසෙප්ගේ වංශයේ ඉතිරිවූවන් මෙම දේශය මත ගොඩනගනු ලබන්නේය; තවද එය ඔවුන්ගේ උරුමයේ දේශයක් වනු ඇත්තේය; තවද ඔවුන් පුරාණ ජෙරුසලම මෙන්, ස්වාමීන්වහන්සේට ශුද්ධ වූ නගරයක් ගොඩනඟනු ඇත්තේය; තවද පොළොව පහව යන්නා වූ අවසානය පැමිණෙන තෙක්, ඔවුන් තවදුරටත් ව්‍යාකූලත්වයට පත් නොවනු ඇත්තේය.

9 තවද එහි අලුත් අහසක් සහ අලුත් පොළොවක් ඇති වනු ඇත්තේය; තවද පැරණි දේ පහව ගොස්, තවද සියලු දේවල් අලුත් වී ඇත්නම් පමණක්, ඒවා පැරණි දේට සමාන වනු ඇත්තේය.

10 තවද ඉන්පසු නව ජෙරුසලම පැමිණෙන්නේය; තවද එහි වාසය කරන්නෝ ආශීර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුන් බැටළු පැටවාණන්ගේ රුධිරයෙන් වස්ත්‍ර සුදු පැහැ කර ඇති අය වන්නෝය; තවද ඔවුන් ඊශ්‍රායෙල් වංශයේ වූ, එනම් යෝසෙප්ගේ වංශයේ ඉතිරිවූවන් අතර ගණන් ගනු ලබන්නා වූ අය වන්නෝය.

11 තවද ඉන්පසුව එසේම පුරාණ ජෙරුසලමද පැමිණෙන්නේය; තවද එහි වැසියන්, ඔවුන් ආශීර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුන් බැටළු පැටවාණන්ගේ රුධිරයෙන් සෝදා හරිනු ලැබ ඇත්තෝය; තවද ඔවුන් පොළොවේ සතර කොනෙන්, සහ උතුරු රටවලින් විසිරී ගොස්, එක්රැස් කරන ලද අය වන අතර, දෙවියන්වහන්සේ ඔවුන්ගේ පියා වන, ආබ්‍රහම්, සමඟ කළ ගිවිසුම සම්පුර්ණ කිරීමේ, පංගුකාරයන්ද වන්නෝය.

12 තවද මෙම දේවල් සිදු වූ විට, අන්තිමයන් වන්නෝ වූ, ප්‍රථමයන් වූ අයවලුන් සිටිති; තවද ප්‍රථමයන් වන්නෝ වූ, අන්තිමයන් වූ අය සිටිති, යන කියවෙන ශුද්ධ ලියවිල්ල ඉටු වන්නේය.

13 තවද මම තවත් ලිවීමට සිටි නමුත්, එහෙත් මට තහනම් කර ඇත්තේය; එහෙත් ඊතර්ගේ අනාවැකි ශ්‍රේෂ්ඨ සහ විශ්මයජනක වූවේය; එහෙත් ඔවුන් ඔහුව නිෂ්ඵල ලෙස සැලකූ අතර, ඔහුව පිටතට නෙරපා හරින ලද්දේය; තවද ඔහු දිවා කාලයේදී පර්වතයක කුහරයක සැඟවී සිටියේය, තවද රාත්‍රියේදී ඔහු ජනතාව මත සිදුවිය යුතු දේ දෙස බලා සිටමින් ඉදිරියට ගියේය.

14 තවද ඔහු පර්වත කුහරයක වාසය කරමින් සිටියදී, රාත්‍රියේදී, ජනතාවට සිදු වූ විනාශයන් නරඹමින් ඔහු මෙම වාර්තාවේ ඉතිරි කොටස සකස් කළේය.

15 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ජනතාව අතරින් නෙරපා හරින ලද එම වසරේම ජනතාව අතර බලවත් යුද්ධයක් ඇති වීමට පටන් ගත්තේය, මක්නිසාද බලවත් මනුෂ්‍යයන් වූ බොහෝ දෙනෙක් නැඟිට, තවද ඔවුන්ගේ රහස් දුෂ්ට සැලසුම් මගින් කොරියැන්ටමර්ව විනාශ කිරීමට උත්සාහ කළේය, එනම් ඒ පිළිබඳව කථා කොට ඇත්තේය.

16 තවද දැන් කොරියැන්ටමර්, සියලු යුද්ධ ශිල්පයන් සහ ලෝකයේ සියලු කපටිකම් පිළිබඳව, ඔහුම හදාරා, එබැවින් ඔහුව විනාශ කිරීමට උත්සාහ කළ අය වෙත සටනක් දුන්නේය.

17 එහෙත් ඔහු, නැතහොත් ඔහුගේ පැහැපත් පුත්‍රයන් හෝ දියණියන් පසුතැවිලි නොවීය; නැතහොත් කෝහෝර්ගේ පැහැපත් පුත්‍රයන් සහ දියණියන් ද; නැතහොත් කොරිහෝර්ගේ පැහැපත් පුත්‍රයන් සහ දියණියන් ද; තවද කෙටියෙන්, එහි මුළු පොළෝ තලය පුරාවටම ඔවුන්ගේ පාපයන් පිළිබඳ පසුතැවිලි වූවාවූ පැහැපත් පුත්‍රයන් සහ දියණියන් කිසිවෙකු නොසිටියේය.

18 එබැවින්, එය මෙසේ සිදු විය, එනම් ඊතර් පර්වතයක කුහරය තුළ වාසය කළ පළමු වසර තුළ, එම රහසිගත කල්ලිවල කඩුවෙන් මරණයට පත්කරන ලද බොහෝ ජනතාව එහි සිටි අතර, එනම් ඔවුන් රාජ්‍යය ලබා ගන්නා පිණිස කොරියැන්ටමර්ට විරුද්ධව සටන් කළෝය.

19 තවද එය මෙසේ සිදු විය, එනම් කොරියැන්ටමර්ගේ පුත්‍රයන් බොහෝ සෙයින් සටන් කළ අතර, තවද බොහෝ සෙයින් ලේ වැගිරවූහ.

20 තවද එනම් ඔහු ගොස් කොරියැන්ටමර් වෙත අනාවැකි පළ කළ යුතු බවත්, එනම් ඔහු සහ ඔහුගේ සියලු නිවැසියන්ද පසුතැවිලි වන්නේ නම්, ස්වාමීන්වහන්සේ ඔහුගේ රාජධාණිය ඔහු වෙත ලබා දෙන බවත්, සහ ජනතාව ඉතුරුකරන්නේ යැයි, ස්වාමීන්වහන්සේගේ වචනය දෙවන වසරේදී ඊතර් වෙත පැමිණියේය –

21 එසේ නොවුවහොත් ඔහු හැර, තවද ඔහුගේ නිවැසියන් සියලු දෙනාම විනාශ වන්නේය. තවද වෙනත් ජනතාවක් ඔවුන්ගේ උරුමය සඳහා දේශය ලබා ගැනීම සම්බන්ධයෙන් පැවසූ අනාවැකි සම්පූර්ණවීම දැකීමට පමණක් ඔහු ජීවත් විය යුත්තේය; තවද කොරියැන්ටමර් ඔවුන් විසින් භුමදානය ලබා ගත යුතුවන්නේය; තවද කොරියැන්ටමර් හැර සියලු ප්‍රාණයක්ම විනාශ විය යුතුවන්නේය.

22 තවද එය මෙසේ සිදු විය, එනම් කොරියැන්ටමර්, නැතහොත් ඔහුගේ නිවැසියන්, නැතහොත් ජනතාව පසුතැවිලි නොවීය; තවද යුද්ධ අවසානයක් නොවීය; තවද ඔවුන් ඊතර් මරා දැමීමට උත්සාහ කළේය, එහෙත් ඔහු ඔවුන් ඉදිරියෙන් පලා ගොස් තවද නැවතත් පර්වතයේ කුහරය තුළ සැඟවුණේය.

23 තවද එය මෙසේ සිදු විය, එනම් එහි ෂැරඩ් නැඟි සිටියේය, තවද ඔහුද එසේම කොරියැන්ටමර්ට විරුද්ධව සටනක් දුන්නේය; තවද ඔහු ඔහුට පහර දුන්නේය, එපමණකින් එනම් තුන්වන වසර තුළදී ඔහු ඔහුව වහල්භාවය වෙත ගෙන ආවේය.

24 තවද කොරියැන්ටමර්ගේ පුත්‍රයන්, හතරවන් වසර තුළදී, ෂැරඩ්ව පරාජය කර, තවද ඔවුන්ගේ පියා වෙත නැවත රාජධාණිය ලබා ගත්හ.

25 දැන් එහි සියලු දේශයේ තලය පුරාම යුද්ධයක් ඇති වීමට පටන් ගත්තේය, එනම් සෑම මනුෂ්‍යයෙකුම ඔහුගේ කණ්ඩායම සමඟ තමාගේ එම කැමැත්ත සඳහා සටන් කළහ.

26 තවද එහි සොරුන් සිටි අතර, තවද කෙටියෙන්, සමස්ත දේශයේ තලය පුරාම සියලු ආකාරයේ දුෂ්ටකම් පැවතුණේය.

27 තවද එය මෙසේ සිදු විය, එනම් කොරියැන්ටමර් ෂැරඩ් සමඟ අතිශයින් කෝපයට පත් විය, තවද ඔහු තමන්ගේ හමුදාවන් සමඟ ඔහුට විරුද්ධව සටන් කිරීමට ගියේය; තවද ඔවුහු මහත් කෝපයකින් මුණගැසුණෝය, තවද ඔවුහු ගිල්ගාල් මිටියාවතේදී මුණගැසුණෝය; තවද සටන අතිශයින් දරුණු බවට පැමිණියේය.

28 තවද එය මෙසේ සිදු විය, එනම් ෂැරඩ් දින තුනක කාලයක් පුරාවට ඔහුට විරුද්ධව සටන් කළේය. තවද එය මෙසේ සිදු විය, එනම් කොරියැන්ටමර් ඔහුට පහර දෙනු ලැබ, තවද හෙශ්ලොන් මිටියාවතට පැමිණෙන තෙක් ඔහුව ලුහුබැඳ ගියේය.

29 තවද එය මෙසේ සිදු විය, එනම් ෂැරඩ් නැවතත් ඔහුට මිටියාවත මතදී සටනක් ලබා දුන්නේය; තවද බලව, ඔහු කොරියැන්ටමර්ට පහර දී, තවද ගිල්ගාල් මිටියාවතට නැවතත් ඔහුව පලවා හැරියේය.

30 තවද කොරියැන්ටමර් නැවතත් ගිල්ගාල් මිටියාවතේදී ෂැරඩ්ට එරෙහිව සටනක් කළ අතර, එහිදී ඔහු ෂැරඩ්ට පහර දී තවද ඔහුව මරණයට පත් කළේය.

31 තවද ෂැරඩ් කොරියැන්ටම්ර්ගේ කලවය තුවාල කල අතර, එනම් ඔහු වසර දෙකක කාල පරාසයක් පුරාවට නැවත සටනට නොගියේය, එම කාලය තුළ දේශයේ තලය පුරා සියලු ජනතාව රුධිරය වැගිරෙව්වෝය, තවද එහි ඔවුන්ව වැළැක්වීමට කිසිවෙකු නොසිටියේය.