ශුද්ධලියවිලි
ඊතර් 2


2 වන පරිච්ඡේදය

ජැරඩ්වරු පොරොන්දු දේශයකට යන ගමනට සූදානම් වෙති – එය තෝරාගත් දේශයක් වන්නේය, මනුෂ්‍යයන් ක්‍රිස්තුස්වහන්සේට සේවය කළ යුතු හෝ ගසාගෙන යා යුතු – ස්වාමීන්වහන්සේ ජැරඩ්ගේ සහෝදරයා සමඟ පැය තුනක් කථාකරන සේක – ජෙරඩයිට්වරු බත්තල් ගොඩ නගති – බත්තල් ආලෝක කරන අන්දම ගැන යෝජනා කරන ලෙස ස්වාමීන්වහන්සේ ජැරඩ්ගේ සහෝදරයාගෙන් ඉල්ලා සිටියිි.

1 තවද එය මෙසේ සිදු විය, එනම් ජැරඩ් සහ ඔහුගේ සහෝදරයා සහ ඔවුන්ගේ පවුල්ද, ජැරඩ් සහ ඔහුගේ සහොදරය්ගේ මිතුරන් සහ ඔවුන්ගේ පවුල්ද, පිරිමි සහ ගැහැනු සියලු වර්ගයේම ඔවුන් එක්රැස් කරගත් ඔවුන්ගේ රැලවල් සමග, උතුරු කරයේ මිටියාවත තුළට පහතට ගියෝය. (මිටියාවතේ නාමය නිම්රොඩ් විය. එය නම් කෙරුනේ බලවත් දඩයක්කරුවා අනුවය).

2 තවද ඔවුන් එසේම උගුල් අටවා, අහසේ පක්ෂීන් අල්ලා ගත්හ; තවද ඔවුන් ජලයේ මසුන් රැගෙන යාමට භාජනයක් ද සූදානම් කළහ, එහි ඔවුහූ ජලයෙන් අල්ලා ගන්නා ලද මත්සයන් ඔවුන් සමග ගෙන ගියහ.

3 තවද එහි එසේම ඔවුන් තමන් සමඟ ඩෙසරෙට් ද රැගෙන ගියහ, එහි අර්ථය නම් මී මැස්සෙකි; එබැවින් ඔවුන් මී මැස්සන් රැලවල්ද, පොළොව මතු පිට මත වූ සියලු ආකාරයේ දේ, සියලු වර්ගවල බීජ ඔවුන් සමඟ රැගෙන ගියහ.

4 තවද එය මෙසේ සිදුවිය. එනම්, නිම්රොඩ් මිටියාවත පහතට ඔවුන් පැමිණි විට, ස්වාමීන්වහන්සේ බැස පැමිණ ජැරඩ්ගේ සහෝදරයා සමඟ කතා කළ සේක; තවද උන්වහන්සේ වලාකුළක සිටි අතර ජැරඩ්ගේ සහෝදරයා ඔහුව දුටුවේ නැත.

5 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ ඔවුන්ට වනාන්තරයට, එසේය, කිසිදාක මනුෂ්‍යයෙකු නොසිටි එම කොටසට යන ලෙස අණ කළ සේක. තවද එය මෙසේ සිදු විය. එනම්, ස්වාමීන්වහන්සේ ඔවුන් ඉදිරියෙන් ගමන් කළ සේක, උන්වහන්සේ වළාකුලෙහි සිටිමින් ඔවුන් සමඟ කතා කර, ඔවුන් ගමන් කළ යුතු ස්ථානයට මඟ පෙන්වූ සේක.

6 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුහු වනාන්තරය තුළ ගමන් කළෝය. තවද බත්තල් ගොඩ නැගුහ. තවද එයින් ඔවුන්ව ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් නිතර මගපෙන්වනු ලැබ ඔවුන් බොහෝ ජලයන් තරණය කළෝය.

7 තවද එනම් ස්වාමීන්වහන්සේ ඔවුන්ට මුහුදෙන් එපිට වනාන්තරයේ නතර වීමට ඉඩ නොදුන් සේක, එහෙත් උන්වහන්සේ එනම් ඔවුන්ව පොරොන්දු දේශය වෙතට පවා ගමන්කළ යුතු වීමට කැමති වූ සේක. එය වෙනත් සියල්ලටම වඩා තෝරාගත් උතුම් දේශයක්ය. එය ස්වාමීන් වූ දෙවියන්වහන්සේ විසින් ධර්මිෂ්ඨ ජනතාවක් සඳහා ආරක්ෂා කරන ලදි.

8 තවද උන්වහන්සේ උන්වහන්සේගේවහන්සේගේ උදහසෙන් ජැරඩ්ගේ සහෝදරයාට දිවුරුම් දී තිබුණේ, එතැන් සිට සදහටම මෙම පොරොන්දු දේශය හිමි කර ගන්නා ඕනෑම අයෙකු සැබෑ සහ එකම දෙවියන්වහන්සේට සේවය කළ යුතු බවයි, නැතහොත් උන්වහන්සේගේ පූර්ණ වු උදහස ඔවුන් මතට පැමිණි විට ඔවුන් අතුගා දැමිය යුතුය.

9 තවද දැන්. මෙම දේශය සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ නියෝග අපට දැකගත හැකිය, එය පොරොන්දු දේශයක් බවත්; එය හිමිකර ගන්නා ඕනෑම ජාතියක් දෙවියන්වහන්සේට සේවය කරනු ඇත, නැතහොත් උන්වහන්සේගේ කෝපයේ සම්පූර්ණත්වය ඔවුන් මතට පැමිණෙන විට ඔවුන් අතුගා දමනු ලැබේ. තවද උන්වහන්සේගේ උදහසේ සම්පූර්ණත්වය ඔවුන් මතට පැමිණෙන්නේ ඔවුන් අයුතුකමෙන් මේරුනු විටය.

10 මක්නිසාද බලව, මෙය අනෙකුත් සියලු දේශයන්ට වඩා තෝරාගත් දේශයකි; එබැවින් එය හිමිකර ගන්නා තැනැත්තා දෙවියන්වහන්සේට සේවය කරන්නේය. නැතහොත් අතුගා දමනු ලැබේ; මක්නිසාද එය දෙවියන්වහන්සේගේ සදාකාලික නියෝගයයි. තවද දේශයේ දරුවන් අතර අයුතුකමේ පූර්ණත්වය සිදුවන තුරු, එනම් ඔවුන් අතුගා දමනු නොලැබේ.

11 තවද, අහෝ අන්‍ය ජාතිකයින් වු නුඹලා මත මෙය පැමිණෙන්නේය, එනම්, නුඹලා දෙවියන්වහන්සේගේ නියෝගය දැනගන්නා පිණිසය, එනම් නුඹලා පසුතැවිලි වී, තවද පූර්ණත්වය පැමිණෙන තුරු අයුතුකම් නොපැවැත්වීමටය, දේශයේ වැසියන් මෙතෙක් කර ඇති පරිදි දෙවියන්වහන්සේගේ උදහසේ පූර්ණත්වය නුඹ කෙරෙහි පහළට නොඑන පිණිසය.

12 බලව, මෙය තෝරාගත් දේශයකි, තවද එය හිමි කරගන්නා ඕනෑම ජාතියක් වහල්භාවයෙන්, බැඳීම්වලින් සහ ස්වර්ගයට අයත් අනෙකුත් සියලුම ජාතීන්ගෙන් නිදහස් වනු ඇත, ඔවුන් දේශයේ දෙවියන්වහන්සේට සේවය කරන්නේ නම්, ඒ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේය, අප ලියා ඇති දේවල් මගින් උන්වහන්සේ ප්‍රකාශ කරන ලදී.

13 තවද දැන් මම මගේ වාර්තාව ඉදිරියට ගෙන යමි; මක්නිසාද ස්වාමීන්වහන්සේ ජැරඩ් සහ ඔහුගේ සහෝදරයන්ව දේශයන් බෙදන මහා මුහුදට පවා ගෙන ආ සේක. තවද ඔවුන් මුහුදට පැමිණි විට ඔවුන් තම කූඩාරම් ගසාගත්තෝය; ඔවුන් එම ස්ථානයට මොරියැන්කුමර් යයි නම් කළහ; තවද ඔවුන් කූඩාරම්වල වාසය කළ අතර, තවද වසර හතරක් මුහුදු වෙරළේ කූඩාරම්වල වාසය කළෝය.

14 තවද එය මෙසේ සිදු විය, සිව් වසරක් අවසානයේ ස්වාමීන්වහන්සේ නැවත ජැරඩ්ගේ සහෝදරයා වෙත පැමිණ, වලාකුළක සිට ඔහු සමඟ කතා කළ සේක. තවද පැය තුනක් පුරා ස්වාමීන්වහන්සේ ජැරඩ්ගේ සහෝදරයා සමඟ කතා කළ සේක, ස්වාමීන්වහන්සේගේ නාමයට කථා කිරීමට ඔහු මතක තබා නොගත් නිසා හික්මවු සේක.

15 තවද ජැරඩ්ගේ සහෝදරයා තමා කළ නපුර ගැන පසුතැවිලි වී, ඔහු සමඟ සිටි ඔහුගේ සහෝදරයන් වෙනුවෙන් ස්වාමීන්වහන්සේගේ නාමයට කථා කළේය. තවද ස්වාමීන්වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක: මම නුඹට සහ නුඹේ සහෝදරයන්ට ඔවුන්ගේ පාපවලට සමාව දෙන්නෙමි; එහෙත් නුඹ තවදුරටත් පව් නොකළ යුතුය, මක්නිසාද මාගේ ආත්මය සැමවිටම මනුෂ්‍යයා සමඟ පොරබදන්නේ නැති බව නුඹ මතක තබා ගත යුතුය; එබැවින්, නුඹ සම්පූර්ණයෙන්ම මේරෙන තුරු නුඹ පව් කළහොත් නුඹ ස්වාමීන්වහන්සේගේ අභිමුඛයෙන් කපා හරිනු ලැබේ. තවද මම නුඹට උරුමයක් ලෙස ලබා දෙන දේශය පිළිබඳ මාගේ සිතුවිලි මේවාය; මක්නිසාද එය අනෙක් සියලුම දේශයන්ට වඩා තෝරාගත් දේශයක් වන්නේය.

16 තවද, ස්වාමීන්වහන්සේ මෙසේ වදාළ සේක: වැඩට යමින් මීට පෙර ගොඩනැගු ආකාරයට අනුව බත්තල් ගොඩනගන්න. තවද, එය මෙසේ සිදු විය. එනම් ජැරඩ්ගේ සහෝදරයා සහ ඔහුගේ සහෝදරයන්ද වැඩට ගියෝය. තවද ස්වාමීන්වහන්සේගේ උපදෙස් අනුව ඔවුන් ගොඩනඟා ඇති ආකාරයටම බත්තල් සෑදූහ. ඒවා කුඩා වූ අතර ජලය මත පක්ෂියෙක් සැහැල්ලු වන්නාක් මෙන් සැහැල්ලු විය.

17 තවද, ඒවා ඉතා තදින් ඉදිකර තිබූ ආකාරයට ඉදිකර තිබුණි, ඒවාට බඳුනකට මෙන් ජලය රඳවා ගත හැකි විය; තවද එහි වු පතුල තැටියක් වන්නාක් මෙන් තද විය. තවද එහි වූ පැති බඳුනකට මෙන් තද විය; තවද එහි කෙළවර උල් විය. තවද එහි මුදුන බඳුනකට මෙන් තද විය; එහි වු දිග ගසක දිග මෙන් වුයේය. තවද එහි වූ දොර වසා දැමූ විට එහි දොර බඳුනකට මෙන් තද වුයේය.

18 තවද එය මෙසේ සිදු විය, එනම් ජැරඩ්ගේ සහෝදරයා ස්වාමීන්වහන්සේට මොරගසමින් මෙසේ කීවේය: අහෝ ස්වාමීනි, ඔබවහන්සේ මට අණ කළ කාර්යය මම ඉටු කළෙමි, තවද ඔබවහන්සේ මට මඟ පෙන්වූ පරිදි මම බත්තල් සෑදුවෙමි.

19 තවද බලව, අහෝ ස්වාමීනි, ඒවායේ ආලෝකයක් නොමැත්තේය; අප කොහේට යා යුතුද? තවද එසේම අප විනාශ වන්නෙමු, මන්ද ඒවා තුළ අපට හුස්ම ගත නොහැක, ඒවා තුළ ඇති වාතය හැර; එසේහෙයින් අප විනාශ වන්නෙමු.

20 තවද ස්වාමීන්වහන්සේ ජැරඩ්ගේ සහෝදරයාට මෙසේ වදාළ සේක: බලව, නුඹ ඉහළ කොටසේ සහ පහළ කොටසේ සිදුරක් සාදන්න, තවද නුඹට වාතය සඳහා දුක් විඳින විට නුඹ සිදුර විවෘත කර වාතය ලබාගන්න. තවද ජලය නුඹ මතට පැමිණියහොත්, ගංවතුරෙන් නුඹ විනාශ නොවන පරිදි නුඹ සිදුර වසා දැමිය යුතුය.

21 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ අණ කළ පරිදි, ජැරඩ්ගේ සහෝදරයා එසේ කළේය.

22 තවද ඔහු නැවතත් ස්වාමීන්වහන්සේට මොරගැසුවේය: අහෝ ස්වාමීනි බලන්න, ඔබවහන්සේ මට අණ කළ ලෙසම මම කළෙමි; තවද මම මාගේ ජනතාව සඳහා භාජන සූදානම් කළෙමි, තවද බලන්න ඒවායේ ආලෝකයක් නැත. අහෝ ස්වාමීනි, අන්ධකාරයේ අපට මේ මහා ජලය තරණය කිරීමට ඔබවහන්සේ ඉඩ දෙන සේක්ද?

23 තවද ස්වාමීන්වහන්සේ ජැරඩ්ගේ සහෝදරයාට මෙසේ වදාළ සේක: නුඹේ භාජනවල ආලෝකය ලබා ගැනීමට මා කුමක් කළ යුතු යැයි නුඹ කැමතිද? මක්නිසාද බලන්න, නුඹට කවුළු තිබිය නොහැක, මන්ද ඒවා කැබලිවලට කැඩී යනු ඇත; නුඹ ගින්න රැගෙන නොයා යුතුය, මන්ද නුඹ ගින්නේ ආලෝකයෙන් නොයනු ඇත.

24 මක්නිසාද බලව, නුඹ මුහුද මැද තල්මසෙකු මෙන් වනු ඇත; මක්නිසාද කඳු රළ නුඹ මතට කඩා වැටෙනු ඇත. කෙසේ වෙතත්, මම නුඹව නැවත මුහුදේ ගැඹුරින් ඉහළට ගෙන එන්නෙමි; මක්නිසාද මාගේ මුඛයෙන් සුළං නික්ම ගොස් ඇති අතර, වැසි සහ ගංවතුර ද මම යවා ඇත.

25 තවද බලව, මේ දේවල් වලට එරෙහිව මම නුඹව සූදානම් කරමි; මක්නිසාද යත් මුහුදේ රළවලට, පිටතට පැමිණි සුළංවලට සහ ඉදිරියේදී එන ගංවතුරට එරෙහිව මම නුඹව සූදානම් නොකර නුඹට මෙම මහා ගැඹුර තරණය කළ නොහැක. එබැවින් නුඹ මුහුදේ ගැඹුරට ගිලී යන විට නුඹට ආලෝකය ලැබෙන පරිදි මා නුඹට සූදානම් කළ යුත්තේ කුමක්ද?