ප්‍රධාන සම්මන්ත්‍රණය
ජීවමාන ක්‍රිස්තුස්වහන්සේගේ ජීවමාන සාක්ෂිකරුවෙක්
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ජීවමාන ක්‍රිස්තුස්වහන්සේගේ ජීවමාන සාක්ෂිකරුවෙක්

මෝර්මොන්ගේ පොතේ කේන්ද්‍රීය පණිවිඩය නම් මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම හා උසස් කිරීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අත්‍යවශ්‍ය කාර්යභාරය පිළිබඳ සත්‍ය දැනුම නැවත පිහිටුවීමයි.

2017 දී හිරු රශ්මිය සහිත වසන්ත දිනයක, පැරිස් ප්‍රංශ දේවමාළිගාව සඳහා විවෘත නිවස හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබියදී, සංචාරකයන්ව මගපෙන්වන්නෙකු වෙතට මුහුණේ ශෝකජනක ප්‍රකාශයක් සහිත මිනිසෙකු පැමිණියා. තමා දේවමාළිගාව අසල ජීවත්වූ බවත්, එය ඉදිකිරීමේ ක්‍රියාකාරී විරුද්ධවාදියෙකු වී සිටි බවත් ඔහු පිලිගත්තා. දිනක් තම මහල් නිවාසයේ ජනේලයෙන් එබී බැලූ විට, විශාල දොඹකරයක් ස්වර්ගයෙන් යේසුස්වහන්සේගේ පිළිරුවක් පහත් කොට දේවමාළිගා භූමියේ මෘදු ලෙස තබන අයුරු ඔහු දුටු බව කිව්වා. මෙම අත්දැකීම අපගේ සභාව කෙරෙහි ඇති ඔහුගේ හැඟීම් මුළුමනින්ම වෙනස් කළ බව මේ මිනිසා ප්‍රකාශ කළා. අප යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් බව ඔහු තේරුම්ගත් අතර, ඔහු කලින් කරන්නට ගිය හානියට සමාව අයැද සිටියා.

රූපය
ප්‍රංශයේ පැරිස් දේවමාළිගාවේ ප්‍රතිමාවක් තබමින්

පැරිස් දේවමාළිගාවේ භූමිය සහ අනෙකුත් සභාවේ දේපළ අලංකාර කරන ක්‍රිස්තුස්ගේ ප්‍රතිමාව, ගැළවුම්කරුවාණන්ට ඇති අපගේ ප්‍රේමය ගැන සාක්ෂි දරනවා. මෙම මුල් කිරිගරුඬ ප්‍රතිමාව ඩෙන්මාර්කයේ චිත්‍ර ශිල්පියෙකු වන බර්ටෙල් තෝර්වල්ඩ්සන් විසින් නිර්මාණය කරන ලද අතර එය 1820 දී කැටයම් කර තිබුණා—ඒ පළමු දර්ශනය සිදුවූ අවුරුද්දයි. මෙම ප්‍රතිමාව බොහෝදුරට කුරුසියේ දුක් විඳින ක්‍රිස්තුස්වහන්සේව නිරූපණය කරන, එම කාල පරිච්ඡේදයේ බොහෝ කලාත්මක ඉදිරිපත් කිරීම් වලට වඩා හාත්පසින්ම වෙනස්. තෝර්වල්ඩ්සන්ගේ නිර්මාණය මගින් මරණයට එරෙහිව ජයග්‍රහණය ලබාගත් ජීවමාන ක්‍රිස්තුස්වහන්සේව ඉදිරිපත් කරන අතර, විවෘත දෑත් මගින් උන්වහන්සේ වෙතට පැමිණෙන ලෙස සැමට ආරාධනා කරනවා. උන්වහන්සේගේ අත් සහ පාද වල ඇණ ලකුණු සහ උන්වහන්සේගේ පැත්තෙහි ඇති තුවාලය පමණක් උන්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයා ගලවා ගැනීමට විඳදරාගත් විස්තර කළ නොහැකි වේදනාව පිළිබඳ සාක්ෂි දරනවා.

රූපය
ක්‍රිස්තුස් හි නිරූපණය කර ඇති පරිදි ගැලවුම්කරුවාණන්ගේ හස්තය

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් වශයෙන් අප මෙම ප්‍රතිමාවට ඇලුම් කිරීමට එක් හේතුවක් නම්, එය ඇමරිකානු මහාද්වීපයේ ගැලවුම්කරුවාණන්ගේ දර්ශනය වීම පිළිබඳ මෝර්මොන්ගේ පොතෙහි දක්වා ඇති විස්තරය අපට එය මතක් කරදීමයි:

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඇමරිකාව බැහැදකිමින්

“තවද බලන්න, ස්වර්ගයෙන් පිටතට මනුෂ්‍යයෙකු බැස එනවා ඔවුහු දුටුවහ; තවද උන්වහන්සේ සුදු ලෝගුවක් ඇඳ සිටි සේක; තවද උන්වහන්සේ පහතට පැමිණ ඔවුන් මධ්‍යයේ සිටගත් සේක. …

“තවද එය මෙසේ සිදුවිය, එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ හස්තය දිගුකොට ජනතාව හට මෙසේ කියමින්, කථාකළ සේක:

“බලන්න, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්නෙමි, …

“… මම පියාණන්වහන්සේ මට දුන් එම තිත්ත කුසලානයෙන් බිව්වෙමි, තවද ලෝකයේ පාපයන් මාවෙත ගනිමින් පියාණන්වහන්සේව මහිමවත් කළෙමි.”1

ඉන්පසු උන්වහන්සේ සෑම පුරුෂයෙකුටම, ස්ත්‍රියකටම හා දරුවෙකුටම පිටතට පැමිණ, උන්වහන්සේ සැබවින්ම දිගු කලක් බලාසිටි මෙසියස් බවට පෞද්ගලික සාක්ෂියක් ලැබීමට, ඔවුන්ගේ දෑත් තම පැත්තට තල්ලු කර, අත් සහ පාදවල ඇණ කැළැල් ස්පර්ශ කරන ලෙසට ආරාධනා කළා.2

මෙම උත්කෘෂ්ට දර්ශනය මෝර්මොන්ගේ පොතේ උච්චතම අවස්ථාවයි. සෑමකෙනෙකුටම තමන්වහන්සේ වෙත පැමිණ උන්වහන්සේගේ වන්දිගෙවීමේ ආශිර්වාද ලබාගැනීමට ආරාධනා කිරීම සඳහා උන්වහන්සේගේ “දයාවේ දෑත්”3 මුදු මොළොක් ලෙස දිගුකරන, ගැලවුම්කරුවාණන්ගේ මෙම ප්‍රතිරූපයේ, උන්වහන්සේගේ ශුභාරංචියේ සම්පූර්ණ “යහපත් පණිවිඩය” අඩංගු වෙනවා.

මෝර්මොන්ගේ පොතේ කේන්ද්‍රීය පණිවිඩය නම් මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම හා උසස් කිරීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අත්‍යවශ්‍ය කාර්යභාරය පිළිබඳ සත්‍ය දැනුම නැවත පිහිටුවීමයි. මෙම තේමාව හඳුන්වාදීමේ පිටුවේ සිට අවසාන පරිච්ඡේදයේ අවසාන වචන හරහා ප්‍රතිරාවය වෙනවා. සියවස් ගණනාවක් පුරා ඇදහිල්ලෙන් වැටීම හා අධ්‍යාත්මික ව්‍යාකූලත්වය තුලින්, ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනේ සහ ගොල්ගොතාහි කළ දේවල ගැඹුරු අරුත නැතිවී හෝ දූෂිත වී තිබෙනවා. 1 නෙපි පරිවර්තනය කරමින් සිටියදී ජෝසෆ් ස්මිත් මෙම පුදුමාකාර පොරොන්දුව සොයාගත් විට, ඔහු කොතරම් සතුටට පත්වන්නට ඇත්ද: “මෙම අන්තිම වාර්තාව [මොර්මොන්ගේ පොත]… පළමු වාර්තාවේ [බයිබලය] සත්‍යය තහවුරු කරනු ඇත… තවද ඔවුන්ගෙන් රඳවා තබාගත් පැහැදිලි සහ අගනා දේවල් පැහැදිලි කරනු ලබන්නේය; බැටළුපැටවාණන් සදාතනික දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් සහ ලෝකයේ ගැළවුම්කරුවාණන් බවත්, තවද එනම් උන්වහන්සේ වෙතට සියලුම මනුෂ්‍යයන් පැමිණිය යුතු බවත්, නැතහොත් ඔවුන්ට ගැලවීම ලබාගත නොහැකි බවත්, සියලුම ජාතීන්ට, භාෂාවන්ට, සහ ජනතාවට දැනුවත් කරනු ලබන්නේය.”4

ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම පිළිබඳ පැහැදිලි හා වටිනා සත්‍යයන් මෝර්මොන්ගේ පොත පුරාම දක්නට ලැබෙනවා. මෙම සත්‍යයන් කිහිපයක් මම ලැයිස්තුගත කරන විට, ඒවා නිසා ඔබේ ජීවිතය වෙනස් වී ඇති ආකාරය හෝ වෙනස් කළහැකි ආකාරය ගැන සිතා බැලීමට මම ඔබට ආරාධනා කරනවා.

  1. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම යනු ජීවත්ව සිටි, දැනට ජීවත්වන, ඉදිරියට මිහිපිට ජීවත්වන සැමට නොමිලේ දෙන ලද ත්‍යාගයක්.5

  2. අපගේ පාප වල බර දරාගැනීමට අමතරව, ක්‍රිස්තුස්වහන්සේ අපගේ දුක් වේදනා, දුර්වලතා, විඳවීම්, සහ ලෙඩ රෝග සහ මිනිසාගේ මරණීය තත්වයට ආවේණික වූ සියලු දුක්පීඩා උන්වහන්සේ වෙතටම භාරගත්තා. උන්වහන්සේ අප වෙනුවෙන් දුක් නොවිඳි සන්තාපයක්, නොලැබූ වේදනාවක් හෝ දුකක් එහි නෑ.6

  3. ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය, ශාරීරික මරණය ඇතුළුව ආදම්ගේ වැටීමෙන් ඇතිවන අහිතකර ප්‍රතිඵල ජයගැනීමට අපට ඉඩ සලසනවා. ක්‍රිස්තුස්වහන්සේ නිසා, මේ පොළොවේ උපත ලැබූ දෙවියන්වහන්සේගේ සියලු දරුවන්, ඔවුන්ගේ ධර්මිෂ්ඨකම නොසලකා, නැවත නැගිටීමේ බලය7 තුළින් ඔවුන්ගේ ආත්ම හා ශරීර නැවත එක්වීම අත්විඳින අතර “ඔවුන්ගේ ක්‍රියා අනුව විනිශ්චය කරනු ලැබීමට” උන්වහන්සේ වෙත නැවත පැමිණෙනවා.”8

  4. ඊට වෙනස්ව, ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ සම්පූර්ණ ආශිර්වාදය ලැබීම “ක්‍රිස්තුස්වහන්සේගේ දහම” අනුව ජීවත්වීමට අප දක්වන දැඩි උවමනාව9 මත පදනම් වෙනවා.”10 තම සිහිනයේදී, ජීවන වෘක්ෂයට මගපෙන්වන “දුෂ්කර හා පටු මාවත”11 ලෙහි දුටුවා. එහි ඵල, දෙවියන්වහන්සේගේ ප්‍රේමය නිරූපණය කරන අතර එය ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ ආශිර්වාද තුළින් ප්‍රකාශ වෙනවා, “අනෙක් ඵලයන්ට වඩා වටිනවා මෙන්ම බෙහෙවින් ආශා විය යුතුය… [තවද] එය දෙවියන්වහන්සේගේ සියලුම දීමනාවන්ට වඩා උතුම්ය.”12 මෙම ඵලයට ප්‍රවේශ වීම සඳහා, අප යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබිය යුතුයි, පසුතැවිලි විය යුතුයි, “දෙවියන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දිය යුතුයි,”13 අත්‍යවශ්‍ය වත්පිළිවෙත් ලැබිය යුතුයි, එමෙන්ම අපගේ ජීවිතයේ අවසානය දක්වා පරිශුද්ධ ගිවිසුම් පවත්වා ගත යුතුයි.14

  5. උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ පාප සෝදා හරිනවා පමණක් නොව, උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට “ස්වාභාවික මනුෂ්‍යයා [ඉවත] දැමීමට,”15 “පේළියෙන් පේළියට”16 වර්ධනය වීමට සහ ශුද්ධකම වැඩිකරගැනීමට17 හැකිවන පරිදි බලය ලබාදෙනවා, එනම් ක්‍රිස්තුස්වහන්සේගේ ස්වරූපයෙන් පරිපූර්ණ මනුෂ්‍යයන් බවට පත්විය හැකි වීමටත්,18 දෙවියන්වහන්සේ සමග නැවත ජීවත්වීමට19 සහ ස්වර්ග රාජ්‍යයේ සියලු ආශිර්වාද උරුම කරගැනීමට සුදුසුකම් ලබාගැනීමටත් හැකිවන පිණිසයි.20

මෝර්මොන්ගේ පොතේ අඩංගු තවත් සැනසිලිදායක සත්‍යයක් නම්, එය අසීමිත හා විශ්වීය වුවද, ස්වාමින්වහන්සේගේ වන්දිගෙවීම අප සෑම කෙනෙකුටම තනිවම ගැලපෙන සුවිශේෂී පෞද්ගලික හා සමීප ත්‍යාගයක්.21 තම තුවාල කැළැල් ස්පර්ශ කරන ලෙස යේසුස්වහන්සේ එක් එක් නෙපිවර ගෝලයන්ට ආරාධනා කළාක් මෙන්, හරියට ඔබ හෝ මම මිහිපිට සිටින එකම පුද්ගලයා මෙන්, උන්වහන්සේ අප එක් එක්කෙනා වෙනුවෙන් පෞද්ගලිකව මිය ගියා. උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ වන්දිගෙවීමෙහි පුදුමාකාර ආශිර්වාද ලබාගැනීමට උන්වහන්සේ අපට පෞද්ගලික ආරාධනයක් කරනවා.22

මෝර්මොන්ගේ පොතේ කැපීපෙනෙන පුරුෂයන් හා ස්ත්‍රීන් පිළිබඳ උදාහරණ සලකා බලන විට ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමෙහි පෞද්ගලික ස්වභාවය වඩාත් සැබෑවක් බවට පත්වෙනවා. ඒ අතර ඊනොස්, ඇල්මා, සීස්රොම්, ලැමෝනි රජු සහ ඔහුගේ බිරිඳ සහ බෙන්යමින් රජුගේ ජනතාවද වෙනවා. ස්වාමින්වහන්සේගේ අසීමිත යහපත්කම හා දයාව තුළින් අපගේ හදවත් වෙනස් කළ හැකි ආකාරය සහ අපගේ ජීවිත පරිවර්තනය කළ හැකි ආකාරය පිළිබඳ ජීවමාන සාක්ෂියක් ඔවුන්ගේ පරිවර්තන කථා සහ විචිත්‍රවත් සාක්ෂි සපයනවා.23

ඇල්මා අනාගතවක්තෘවරයා තම ජනතාවගෙන් මේ දැවෙන ප්‍රශ්නය ඇසුවා. ඔහු මෙසේ කිව්වා, “නුඹලා වෙනස්වූ හදවතක අත්දැකීම විඳ ඇත්නම්, තවද මිදවීමේ ප්‍රේමයේ ගීතය ගායනා කිරීමට නුඹට හැඟුනේ නම්, තවද මම අසන්නෙමි, දැන් නුඹට එසේ හැඟෙන්නේද?”24 මෙම ප්‍රශ්නය අද ඉතා වැදගත් වේ, මන්ද ස්වාමින්වහන්සේගේ ගෝලයන් වශයෙන්, උන්වහන්සේගේ මිදීමේ බලය අප සමග සිටීමට, අපව පෙළඹවිමට, සහ සෑම දිනකම අපව වෙනස් කිරීමට අපට අවශ්‍යයි.

ඇල්මාගේ ප්‍රශ්නය ඇසීමටද නැවත භාවිතා කළ හැකියි, ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ මිහිරි බලපෑම ඔබේ ජීවිතයේ අවසාන වරට ඔබට දැනුනේ කවදාද? මෙය සිදුවන්නේ ඔබේ පව් වලට සමාව ලැබී ඇති බවට ඔබේ ප්‍රාණයට සාක්ෂි සපයන “උත්කෘෂ්ට හා මිහිරි” ප්‍රීතියක්25 ඔබට දැනෙන විටයි; හෝ වේදනාකාරී පරීක්ෂාවන් හදිසියේම දරාගැනීමට සැහැල්ලු වූ විට; හෝ ඔබේ හදවත මෘදු වී ඔබට රිදවූ කෙනෙකුට සමාව දීමට ඔබට හැකිවූ විටයි. නැතහොත්, අන් අයට ආදරය කිරීමට හා සේවය කිරීමට ඔබට ඇති හැකියාව වැඩිවී ඇති බව ඔබ දකින සෑම අවස්ථාවකම හෝ ශුද්ධකමේ ක්‍රියාවලිය ඔබව ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශයට අනුව වෙනස් පුද්ගලයකු බවට පත්කරන විටයි.26

මේ සියලු අත්දැකීම් සැබෑ ඒවා බවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් සහ උන්වහන්සේගේ වන්දිගෙවීම නිසා ජීවිත වෙනස් කළ හැකි බවට ඒවා සාක්ෂියක් බවටත් මම සාක්ෂි දරනවා. මෝර්මොන්ගේ පොත මෙම සුපිරි තෑග්ග පිළිබඳ අපගේ දැනුම පැහැදිලි කරන අතර පුළුල් කරනවා. ඔබ මෙම පොත අධ්‍යයනය කරන විට, ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේ වෙතට එන ලෙස ඔබට ආරාධනා කරන හඬ ඔබට ඇසෙයි. උන්වහන්සේගේ ආදර්ශයට අනුව ඔබ මෙම ආරාධනය පිළිගෙන ඔබේ ජීවිතය හැඩගස්වාගන්නේ නම්, උන්වහන්සේගේ මිදීමේ බලපෑම ඔබේ ජීවිතයට පැමිණෙනු ඇතැයි මම පොරොන්දු වෙනවා. ශුද්ධාතමයාණන්වහන්සේගේ බලය තුළින්, “පරිපූර්ණ දවස දක්වා”27 “මාගේ මුහුණ දැක මා බව දැනගන්න”28 ලෙස උන්වහන්සේ පැවසූ ලෙස සිදුවන තුරු, ගැලවුම්කරුවාණන්වහන්සේ දිනෙන් දින ඔබව පරිවර්තනය කරයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.