ප්‍රධාන සම්මන්ත්‍රණය
කදිම නිවාස
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


කදිම නිවාස

හොඳම පරිපූර්ණ ඉංජිනේරුවා, සාදන්නා සහ ගෘහ අභ්‍යන්තර අලංකරණ නිර්මාණකරුවා ගැළවුම්කාරයාණෝය. උන්වහන්සේගේ ව්‍යාපෘතිය වන්නේ අපගේ ප්‍රාණයන්හි පරිපූර්ණත්වය හා සදාකාලික ප්‍රීතියයි.

මෑතකදී සෝල්ට් ලේක් නගරයේ වෙළඳ දැන්වීම් පුවරුවක මගේ නෙත ගැටුණා. එයින් ගෘහභාණ්ඩ සහ අභ්‍යන්තර ගෘහ අලංකරණ සමාගමක් පිළිබඳ ප්‍රචාරය කරා. එහි සරලව, “සෝල්ට් ලේක් නගරයේ කදිම නිවාස වලට සේවය සපයනවා” යනුවෙන් සඳහන් කර තිබුණා.

පණිවිඩය සිත්ඇඳගන්නා සුළුයි—“කදිම නිවසක්” යනු කුමක්ද? විශේෂයෙන්ම මගේ බිරිඳ, කැතී, සහ මම හැදුවැඩූ දරුවන් සහ අද ඔවුන් හදාවඩා ගන්නා දරුවන් සම්බන්ධයෙන්, මා එම ප්‍රශ්ණය ගැන සිතන්නට වුනා. සෑමතැනකම සිටින දෙමාපියන් මෙන්, අපි අපේ පවුල ගැන කරදර වෙනවා, එමෙන්ම අපේ පවුල වෙනුවෙන් යාච්ඥා කරනවා. අපි තවමත් කරනවා. අපි අවංකවම ඔවුන් වෙනුවෙන් හොඳම දේ බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට සහ ඔවුන්ගේ දරුවන්ට කදිම නිවාස වල ජීවත්විය හැක්කේ කෙසේද? කැතීට සහ මට බැහැදැකීමට වරප්‍රසාදය ලැබුණු සභා සාමාජිකයන්ගේ නිවාස ගැන මම ආවර්ජනය කර බැලුවා. අපි කොරියාවේ සහ කෙන්‍යාවේ, පිලිපීනයේ සහ පේරු, ලාඕස් සහ ලැටිවියාවේ නිවාස බැහැදැක තිබෙනවා. මෙම නිවාස පිළිබඳව නිරීකශණය කළ දේවල් හතරක් බෙදාගැනීමට මට ඉඩ ලබාදෙන්න.

පළමුව, ස්වාමින්වහන්සේගේ දෘශ්ඨිකෝණයෙන්, කදිම නිවාස පිහිටුවීමේදී එහි ජීවත්වන මිනිසුන්ගේ පෞද්ගලික ගුණාංග මත සෑමදෙයක්ම සම්බන්ධ වෙනවා. මෙම නිවාස කදිම බවට පත්කරගෙන තිබුනෙ එහි ගෘහ භාණ්ඩ හෝ ඒවායේ හිමිකරුවන්ගේ ශුද්ධ වටිනාකම හෝ සමාජ තත්වය වැනි දේවල වැදගත් හෝ කල්පවත්නා බව පෙරදැරි කරගෙන නොවේ. ඕනෑම නිවෙසක තිබෙන හොඳම ගතිලක්ෂණය නම් ක්‍රිස්තුස්වහන්සේගේ රූපය එහි වෙසෙන්නන්ගෙන් පිළිබිඹු වීමයි. වඩාත් වැදගත් වන්නේ වෙසෙන්නන්ගේ ප්‍රාණයන්ගේ අභ්‍යන්තර අලංකාරයයි, ගොඩනැගිල්ල නොවේ.

ගිවිසුම් මාර්ගය ඔස්සේ මහත් ඕනෑකමින් ඉදිරියට යාමෙන් ක්‍රිස්තුස්වහන්සේගේ ගුණාංග “කාලයාගේ ඇවෑමෙන්”1 උපයාගත හැකියි. ක්‍රිස්තුස්වහන්සේගේ ගුණාංග යහපත්කමින් ජීවත්වීමට උත්සහ කරන්නන්ගේ ජීවිත සරසවනවා. පොළව මඩ හෝ කිරිගරුඬ වුවත්, එය සුභාරංචියේ ආලෝකයෙන් නිවස පුරවනවා. “මෙම දේවල් සොයන්න”2 යන නියෝගය අනුගමනය කරන ඔබේ නිවසේ සිටින එකම තැනැත්තා ඔබ වුවද, ඔබගේ පවුලේ නිවසේ අධ්‍යාත්මික ගෘහභාණ්ඩ සඳහා ඔබට දායක විය හැකියි.

අපගේ ඉඩකඩම් දේපළ නොව අපගේ අධ්‍යාත්මික ජීවිතය සංවිධානය කරගැනීම, සූදානම් කරගැනීම, සහ පිහිටුවා ගැනීම තුළින් “[අපව] සංවිධානය කරගන්න; අවශ්‍ය සෑම දෙයක්ම සූදානම් කරගන්න; සහ නිවසක් පිහිටුවා ගන්න”යන ස්වාමින්වහන්සේ දුන් උපදෙස් අප අනුගමනය කරනවා. අපි ඉවසිලිවන්තව ගැලවුම්කරුවාණන්ගේ ගිවිසුම් මාර්ගය අනුගමනය කරන විට, අපගේ නිවස “මහිමාන්විත නිවසක්, පිළිවෙළකින් යුත් නිවසක්, [සහ] දෙවියන්වහන්සේගේ නිවසක්” බවට පත්වනවා.3

දෙවනුව, කදිම නිවසක වෙසෙන්නන් ශුද්ධලියවිලි සහ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ වචන අධ්‍යයනය කිරීමට කාලය වෙන්කර ගනී. සභාපති රසල් එම්. නෙල්සන්, අපගේ නිවාස ශුද්ධලියවිලි අධ්‍යයනය මගින් “වෙනස්කර” සහ “නැවත සකස්කර ගැනීමට” අපට ආරාධනා කර තිබෙනවා.4 කදිම නිවාස පවා පහසුවෙන් පළුදු වියහැකි බව, පෞද්ගලික වර්ධනයේ සහ අපගේ දුර්වලකම් නැවත සකස්කර ගැනීමේ වැදගත්කම ඔහුගේ ආරාධනය හඳුනාගෙන තිබෙනවා. දිනපතා පසුතැවිලිවීම යනු අපට මඳ කාරුණික බවක්, වඩා ආදරණීය බවක් සහ අවබෝධයක් වර්ධනය කරගැනීමට බලය ලබාදෙන පරිවර්තන මෙවලමක්. ශුද්ධලියවිලි අධ්‍යයනය ගැළවුම්කරුවාණන් වෙතට අපව සමීප කරනවා මෙන්ම උන්වහන්සේගේ ත්‍යාගශීලී ප්‍රේමය හා කරුණාව අපගේ වර්ධනයට උපකාරී වනවා.

බයිබලය සහ මෝර්මන්ගේ පොත, සහ අනගි මුතු ඇටය තුළ පවුල් පිළිබඳ කතන්දර සඳහන් වනවා, එබැවින් කදිම නිවාස ගොඩනැගීම සඳහා එම දිව්‍යමය ග්‍රන්ථ කිසිවකටත් සමාන කළ නොහැකි අත්පොත් වීම පුදුමයට කරුණක් නොවේ. ඒවායේ දෙමාපියන්ගේ යාච්ඤා, පරික්ශාවන් වල මහත් අනතුරු, ධර්මිෂ්ටකමේ ජයග්‍රහණ, සාගත සහ අධිකකම තුළ ඇතිවූ පීඩා, මරණයේ සහ ශෝකයේ අත්දැකීම්, යුද්ධයේ බිහිසුණුකම සහ සාමයේ සුභඵල පිළිබඳ කතාන්දර සඳහන් වෙනවා. ධර්මිෂ්ටකම තුළින් පවුල් සාර්තක වූ ආකාරය සහ වෙනත් මාර්ග තෝරාගැනීම තුළින් ඔවුන් අසමත් වූ ආකාරය ශුද්ධලියවිලි අපට නැවත නැවතත් පෙන්වාදෙනවා.

තුන්වනුව, කදිම නිවාස විසින් ස්වාමින්වහන්සේ විසින් උන්වහන්සේගේ කදිම නිවස වන දේවමාළිගාව සඳහා නිර්මාණය කරන ලද සැලැස්මේ පිටපත අනුගමනය කරනවා. දේවමාලිගාවක් නිර්මාණය කිරීම—ඉඩම එළිකර, පොළව මට්ටම් කිරීම වැනි මූලික පියවරයන්ගෙන් ආරම්භ වනවා. භූමිය සූදානම් කිරීම සඳහා වන එම මූලික උත්සාහයන් මූලික ආඥා පිළිපැදීම හා සැසඳිය හැකියි. ආඥා යනු අනුගාමිකත්වය ගොඩනගා ඇති අත්තිවාරමයි. දේවමාළිගාවක ඇති වානේ රාමුවක් මෙන්, නොසෙල්වෙන අනුගාමිකත්වය අපව සවිමත්, ස්ථීර, සහ වෙනස්නොවන සුළු වීමට හේතුවෙනවා.5 මෙම නොසෙල්වෙන රාමුව අපගේ හදවත් වෙනස්කිරීම සඳහා ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් අප වෙත එවීමට ඉඩලබාදෙනවා.6 හදවතෙහි බලවත් වෙනසක් අත්විදීම, දේවමාළිගාවක අභයන්තර අලංකාර අංග එකතු කරනවා වැනිය.

අපි ඇදහිල්ලෙන් දිගින් දිගටම ක්‍රියාකරන විට, ස්වාමින්වහන්සේ ක්‍රමක් ක්‍රමයෙන් අපව වෙනස්කරනවා. අපට උන්වහන්සේගේ ස්වරූපය අපගේ මුහුණින් ලැබෙන අතර උන්වහන්සේගේ චරිතයේ ඇති ආදරය සහ අලංකාරය පිළිබිඹු කිරීමට පටන් ගන්නවා.7 අප උන්වහන්සේට වැඩි වැඩියෙන් සමාන වනවිට, උන්වහන්සේගේ නිවස අපට අපගේ නිවස මෙන්ද අපගේ නිවස උන්වහන්සේට උන්වහන්සේගේ නිවස මෙන්ද දැනෙයි.

දේවමාළිගා නිර්දේශයකට සුදුසුකම් ලැබීමෙන් සහ තත්වයන් අපට ඉඩලබාදෙන තරමට එය භාවිතා කිරීමෙන් අපට අපගේ නිවස උන්වහන්සේගේ නිවස සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගත හැකියි. අපි එසේ කිරීමෙන්, ස්වාමින්වහන්සේගේ නිවසේ ඇති ශුද්ධවූ බව අපගේ නිවසේද රඳා පවතිනවා.

විශමයජනක සෝල්ට් ලේක් දේවමාළිගාව මේ ආසන්නයේම පිහිටා තිබෙනවා. දේවමාළිගාව 1853 සිට 1893 දක්වා කාලය තුළ පුරෝගාමීන් විසින් මූලික මෙවලම්, දේශීය ද්‍රව්‍ය, සහ නිමක් නොමැති උත්සහය සමග, ඉදිකරන ලද්දක්. මුල්කාලීන සභාවේ සාමාජිකයින් ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පය සහ අභ්‍යන්තර ගෘහ අලංකාර සැලසුම් සඳහා ලබාදිය හැකි හොඳම දේවල් භාවිතා කරමින් මිලියන ගණනක් දෙනා විසින් පිළිගත් විශිෂ්ට අග්‍රකෘතියක් නිර්මාණය කළා.

දේවමාළිගාව කැපකර දැනට අවුරුදු 130ක් ගතවී තිබෙනවා. වැඩිහිටි ගැරී ඊ. ස්ටීවන්සන් ඊයේ දිනයේ සඳහන් කළ පරිදි, දේවමාළිගාව සැලසුම් කිරීම සඳහා භාවිතා කර ඇති ඉංජිනේරු මූලධර්ම නව, ආරක්ෂිත ප්‍රමිතීන් මගින් ප්‍රතිස්ථාපනය කර තිබෙනවා. දේවමාළිගාවේ ඉන්ජිනේරු ශිල්පය වැඩිදියුණු කිරීමට සහ ව්‍යුහාත්මක දුර්වලතා අළුත්වැඩියා කිරීමට අපොහොසත් වීම, තමන්ට හැකි සෑම දෙයක්ම කර පසුව දේවමාළිගාවේ රැකවරණය පසු පරම්පරාවන්ට භාර දුන් පුරෝගාමීන්ගේ විශ්වාසය පාවා දෙන්නක් මෙන් වෙනවා.

දේවමාළිගාවේ ව්‍යුහාත්මක භූමිකම්පා වලට මුහුණදීමේ ශක්තිය වැඩි දියුණු කිරීම සඳහා සභාව අවුරුදු හතරක ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.8 අත්තිවාරම, පොළොව සහ බිත්ති ශක්තිමත් කරනු ලැබෙයි. අද පවතින හොඳම ඉංජිනේරු දැනුම දේවමාළිගාව නවීන ප්‍රමිතීන්ට ගෙන එනු ඇත. ව්‍යුහාත්මක වෙනස්කම් අපට දැකගත නොහැකි වුනත්, ඒවායේ බලපෑම් සැබෑ හා වැදගත් වනු ඇත. මෙම සියලු කාර්යයන් වලදී, දේවමාළිගාවේ අලංකාර අභ්‍යන්තර සැලසුම් අංග සුරැකෙනු ඇත.

සෝල්ට් ලේක් දේවමාළිගා ප්‍රතිසංස්කරණය විසින් අපට ලබාදී ඇති ආදර්ශය අනුගමනය කර අපගේ අධ්‍යාත්මික භූමිකම්පා වලට මුහුණදීමේ ඉංජිනේරු ශිල්පය යාවත්කාලීනව පවතින බව තහවුරු කරගැනීමට කාලය ගත යුතුයි. කලින් කලට කෙරෙන ස්වයං ඇගයීම් හා සමග “මට තව අඩු මොනවාද?”9 කියා ස්වාමින්වහන්සේගෙන් ඇසීම, කදිම නිවසක් ගොඩනැගීමට අප සියලුදෙනාටම දායක විය හැකියි.

හතරවනුව, කදිම නිවාස, ජීවිතයේ කුණාටු වලදී සරණක් වෙයි. දෙවියන්වහන්සේගේ ආඥා රකින්නන් “දේශයෙහි සමෘද්ධිමත් වන“10 බවට ස්වාමින්වහන්සේ පොරොන්දු වී තිබෙනවා. දෙවියන්වහන්සේගේ සමෘද්ධිය යනු ජීවිතයේ ගැටළු මධ්‍යයේ වුවද ඉදිරියට යාමට ඇති බලයයි.

2002 දී මම ප්‍රශ්ණ පිළිබඳ වැදගත් පාඩමක් ඉගෙනගත්තා. පැරගුවේ අසුන්ශියන් හි සිටින විට, මා නගරයේ ස්ටේක සභාපතිවරුන් මුණගැසුණා. එම අවස්ථාවෙහිදී, පැරගුවේ රාජ්‍යය දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණදුන් අතර බොහෝ සභාවේ සාමාජිකයන් දුක් වින්දා ඒ වගේම ණය නොවී තමන්ගේ අවශ්‍යතාවන් ඉටුකරගැනීමට පවා නොහැකි වුණා. මාගේ ධර්මදූත මෙහෙයෙන් පසු මම දකුණු ඇමරිකාවට නැවත ගොස් නොතිබූ අතර පැරගුවේ දේශයට කිසිදිනෙක ගොස් තිබුනේ නෑ. මම එම ප්‍රාදේශීය සභාපතිත්වයේ සේවය කලේ සති කිහිපයකට පමණයි. එම සභාපතිවරුන්ට මගපෙන්වීම ලබාදීමට මට ඇති නොහැකියාව පිළිබඳව සැක සංකාවෙන් යුතුව, ඔවුන්ගේ ස්ටේක වල වඩාත් හොඳින් සිදුවන දේවල් පමණක් කුමක්දැයි කියා මා දැනුවත් කරන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. පළමු සභාපතිවරයා මට හොඳින් සිදුවන දේවල් ගැන පැවසුවා. දෙවැන්නා හොඳින් සිදුවන දේවල් සහ ගැටළු කිහිපයක් සඳහන් කළා. අවසාන සභාපතිවරයාගේ අවස්ථාව පැමිණි විට ඔහු සඳහන් කළේ කරදරකාරී අභියෝග මාලාවක් පමණයි. ස්ටේක සභාපතිවරුන් තත්වයෙහි විශාලත්වය පැහැදිලි කළ ආකාරයෙන් කුමක් කියන්නද කියා, බලාපොරොත්තු රහිත තත්වයකට ආසන්නව, මම වැඩි වැඩියෙන් සැලකිලිමත් වුණා.

අවසාන ස්ටේක සභාපති ඔහුගේ අදහස් දැක්වීම අවසාන වනවාත් සමගම, මගේ මනසට අදහසක් පැමිණියා:“වැඩිහිටි ක්ලේටන්, ඔවුන්ගෙන් මෙම ප්‍රශ්ණය ඇසුවා: ‘සභාපතිවරුනි, ඔබලාගේ ස්ටේක වල සාමාජිකයන්ගෙන් සම්පූර්ණ දසයෙන් කොටස, සහ ත්‍යාගශීලී උපවාස පිදුම් ගෙවන්නේ, සභාවේ ඇති ඔවුන්ගේ කැඳවීම් උපරිමයෙන්ම කරන්නේ, නිවාස ගුරුවරු හෝ බැහැදැක ඉගැන්වීමේ ගුරුවරු11 ලෙස සත්‍යවශයෙන්ම සෑම මසකම ඔවුන්ට අයත් පවුල් බැහැදකින්නේ, පවුල් නිවාස සැදෑව පවත්වන්නේ, ශුද්ධලියවිලි අධ්‍යනය කරන්නේ, සහ සෑම දිනකම පවුල් යාච්ඥාව පවත්වන්නේ කවුද, ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රශ්ණ විසදීමට සභාවේ ඉදිරිපත්වීමකින් තොරව, තමන් විසින්ම විසඳාගත නොහැකි ප්‍රශ්ණ ඇති අය කීදෙනෙකු සිටිනවාද?’”

මට ලැබුණු හැඟීමට ප්‍රතිචාර දක්වමින් මම සභාපතිවරුන්ගෙන් එම ප්‍රශ්ණ ඇසුවා.

ඔවුන් පුදුම නිශ්ශබ්දතාවයකින් මා දෙස බැලූ අතර පසුව පියුස් නින්ගුනෝ යනුවෙන් පිළිතුරු දුන්නා, එහි තේරුම “කවුරුත් නෑ” යන්නයි. එවිට ඔවුන් මට පැවසුවේ ඒ සියල්ලම කළ සාමාජිකයන් කිසිවෙකුටත් තනිවම විසඳ ගැනීමට නොහැකිවූ ප්‍රශ්ණ නොතිබුනු බවයි. ඒ ඇයි? ඒ ඔවුන් කදිම නිවාස වල ජීවත් වූ නිසායි. ඔවුන්ගේ ඇදහිලිවන්ත ජීවන රටාව ඔවුන් වටා ඇති ආර්ථික අර්බුදය තුළ ඔවුන්ට අවශ්‍යවූ ශක්තිය, දැක්ම සහ ස්වර්ගීය උපකාරය ලබාදුන්නා.

මෙයින් අදහස් කරන්නේ ධර්මිෂ්ටයන්, අසනීප වීම්, අනතුරු වලට ලක්වීම්, ව්‍යාපාර අසාර්ථක වීම් වලට මුහුණදීම හෝ ජීවිතයේ වෙනත් දුෂ්කරතාවන්ට මුහුණනොදෙන බව නොවේ. මරණීය ජීවිතය සැමවිටම අභියෝග ගෙන එනවා, නමුත් පණත් වලට කීකරු වීමට උත්සාහ කරන්නන් හට සාමය හා බලාපොරොත්තුව ඇතිව ඉදිරියට යාමට ආශීර්වාද ලැබෙන බව, කාලයෙන් කාලයට මා දැක තිබෙනවා. එම ආශිර්වාද සෑම කෙනෙකුටම ලබාගත හැකියි. 12

දාවිත් මෙසේ ප්‍රකාශ කළා, “ස්වාමින්වහන්සේ ගෙය නොසාදන සේක්නම්, සාදන්නෝ නිෂ්ඵළ සේ වෙහෙසෙති”13 ඔබ කොතැනක ජීවත්වුවත්, ඔබේ නිවස කුමන ආකාරයෙන් දිස්වුවත්, සහ ඔබේ පවුලේ බැඳීම කුමක් වුවත්, ඔබේ පවුලට කදිම නිවසක් තැනීමට ඔබට උපකාර කළ හැකියි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ ශුභාරංචිය එම නිවස සඳහා සැලසුම් සපයනු ඇත. හොඳම පරිපූර්ණ ඉංජිනේරුවා, සාදන්නා සහ ගෘහ අභ්‍යන්තර අලංකරණ නිර්මාණකරුවා ගැළවුම්කාරයාණෝය. උන්වහන්සේගේ ව්‍යාපෘතිය වන්නේ අපගේ ප්‍රාණයන්හි පරිපූර්ණත්වය හා සදාකාලික ප්‍රීතියයි. උන්වහන්සේගේ ආදරණීය උපකාරයත් සමග, ඔබේ ප්‍රාණයට උන්වහන්සේට අවශ්‍ය සියල්ලම විය හැකි මෙන්ම කදිම නිවසක් ස්ථාපිත කර ජීවත්වීමට සූදානම් ඔබේ හොඳම අනුවාදය වීමට ඔබට හැකියි.

අප සියලුදෙනාගෙම දෙවියන් සහ පියාණන් ජීවමාන බව මම ස්තූතිපූර්වකව සාක්ශි දරනවා. උන්වහන්සේගේ පුත්‍රයාණන් වන ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සියලු මනුශ්‍ය වර්ගයාගේ ගැළවුම්කාරයාණන් සහ මිදුම්කාරයාණන් වේ. උන්වහන්සේලා අපට පරිපූර්ණ ලෙස ප්‍රේම කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව මෙම පොළොව මත දෙවියන්වහන්සේගේ රාජධානියයි. ජීවමාන දිවැසිවරු සහ ප්‍රේරිතයන් අද එය මෙහෙයවනු ඇත. මෝර්මන්ගේ පොත සත්‍යයයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ ශුභාරංචිය කදිම නිවාස ස්ථාපිත කිරීම සඳහා ඇති නිවාස සැලැස්මේ හොඳම පිටපතයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.