ප්‍රධාන සම්මන්ත්‍රණය
අධ්‍යාත්මිකව නිර්වචනය කළ මතකයන්
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අධ්‍යාත්මිකව නිර්වචනය කළ මතකයන්

අපගේ පාලනයෙන් ඔබ්බට ගිය පෞද්ගලික දුෂ්කරතා හෝ ලෝක තත්වයන් අපගේ මාවත අඳුරු කරන විට, අපගේ ජීවන පොතේ අධ්‍යාත්මිකව නිර්වචනය කරන ලද මතකයන් ඉදිරි මාවත දීප්තිමත් කිරීමට උපකාරී වන දීප්තිමත් ගල් හා සමානය.

පළමු දර්ශනයෙන් වසර දහඅටකට පසු ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා සිය අත්දැකීම් පිළිබඳ පුළුල් විස්තරයක් ලිවුවා. ඔහු විරුද්ධවාදිකම්, පීඩා, හිරිහැර, තර්ජන සහ ම්ලේච්ඡ ප්‍රහාරයන්ට මුහුණදී තිබෙනවා.1 එහෙත් ඔහු සිය පළමු දැක්ම ගැන නිර්භීතව දිගටම සාක්ෂි දුන්නා: “මම ඇත්තවශයෙන්ම ආලෝකයක් දුටුවෙමි, එම ආලෝකය මධ්‍යයේ පුද්ගලයන් දෙදෙනෙකු මම දුටුවෙමි, ඔවුන් ඇත්තවශයෙන්ම මට කථා කළහ; මා දර්ශනයක් දුටුවෙමි යැයි කීම නිසා මට වෛර කොට පීඩා කළද එය සත්‍යයකි. … මම එය දැනසිටියෙමි, දෙවියන්වහන්සේ එය දන්නා බව මම දැනසිටියෙමි, මට එය ප්‍රතික්ෂේප කළ නොහැකි විය.”2

ඔහුගේ දුෂ්කර පැය වලදී, ජෝසෆ්ගේ මතකය දශක දෙකකට ආසන්න කාලයක් පුරා දෙවියන්වහන්සේට ඔහු කෙරෙහි ඇති ප්‍රේමය සහ දිගු කලක් පුරෝකථනය කරන ලද නැවත පිහිටුවීම පිළිගත් සිදුවීම් වෙත ළඟාවුණා. ඔහුගේ අධ්‍යාත්මික ගමන ගැන මෙනෙහි කරමින් ජෝසෆ් මෙසේ පැවසුවා: “මගේ ඉතිහාසය විශ්වාස නොකිරීම ගැන මම කිසිවෙකුට දොස් නොකියමි. මා සතුව ඇති දේ මා අත්විඳින්නේ නැත්නම්, මමද එය විශ්වාස නොකරන්නට ඉඩ ඇත.”3

නමුත් එම අත්දැකීම් සැබෑ ඒවා වූ අතර, ඔහු ඒවා කිසිවිටෙකත් අමතක කළේ හෝ ප්‍රතික්ෂේප කළේ නෑ, ඔහු කාර්තේජ් වෙත යන විට ඔහුගේ සාක්ෂිය නිහඬව සනාථ කළා. “මම ඝාතනයට යන බැටළු පැටවෙකු මෙන් යමි, නමුත් ගිම්හානයේ උදෑසනක් මෙන් මම සන්සුන්ව සිටිමි; මට දෙවියන්වහන්සේ කෙරෙහිත් සියලු මිනිසුන් කෙරෙහිත් වරදක් නැති හෘද සාක්ෂියක් ඇත” ඔහු කිව්වා.4

ඔබේ අධ්‍යාත්මිකව අර්ථ දැක්වෙන අත්දැකීම්

ජෝසෆ් අනාගතවක්තෘවරයාගේ ආදර්ශයෙන් අපට පාඩමක් තිබෙනවා. ශුද්ධාත්මයාණන්ගෙන් අපට ලැබෙන සාමකාමී මගපෙන්වීම සමග වරින් වර, උන්වහන්සේ අපව දන්නා බවත් අපට ප්‍රේම කරන බවත් උන්වහන්සේ අපට විශේෂයෙන් හා විවෘතව ආශිර්වාද කරන බවත්, දෙවියන්වහන්සේ අප සෑම කෙනෙකුටම බලවත්ව හා පෞද්ගලිකව සහතික වෙනවා. එවිට, අපගේ දුෂ්කර අවස්ථාවන්හිදී, ගැළවුම්කරුවාණන් මෙම අත්දැකීම් අපගේ මනසට ගෙන එනවා.

ඔබේම ජීවිතය ගැන සිතන්න. වසර ගණනාවක් පුරා, මම ලොව පුරා විසිරී සිටින සාන්තුවරයන්ගේ ගැඹුරු අධ්‍යාත්මික අත්දැකීම් දහස් ගණනකට ඇහුම්කන්දී ඇති අතර, ඒවා දෙවියන්වහන්සේ අප එක් එක්කෙනා දන්නා බවත් සහ ආදරය කරන බවත් උන්වහන්සේව අපට එළිදරව් කිරීමට ආශාවෙන් සිටින බවත්, ඕනෑම ප්‍රශ්නයකින් ඔබ්බට මට තහවුරු කරනවා. මෙම අත්දැකීම් අපගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවන්හිදී පැමිණිය හැකියි හෝ මුලදී සොයාගත නොහැකි සිදුවීම් ලෙස පෙනෙන්නට පුළුවන්, නමුත් ඒවා සැමවිටම දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳ සුවිශේෂී ශක්තිමත් අධ්‍යාත්මික තහවුරු කිරීමක් සමග තිබෙනවා.

ජෝසෆ් අනාගතවක්තෘවරයා ප්‍රකාශ කළාක් මෙන් ප්‍රකාශ කිරීමට, මෙම අධ්‍යාත්මික අර්ථකථන මතක තබාගැනීම අපව දණගැසීමට ගෙන එනවා: “මට ලැබුනු ඒ දේ ලැබුනේ ස්වර්ගයෙන්. මම එය දනිමි, මම එය දන්නා බව දෙවියන්වහන්සේ දන්නා බවත් මම දනිමි.”5

උදාහරණ හතරක්

මම අන් අයගෙන් උදාහරණ කිහිපයක් බෙදාගන්නා විට ඔබේම අධ්‍යාත්මික අර්ථකථන මතකයන් ගැන මෙනෙහි කරන්න.

රූපය
වෛද්‍ය රසල් එම්. නෙල්සන්

මීට වසර ගණනාවකට පෙර, හෘද වෑල්ව දෙකක් සහිත වයෝවෘද්ධ ස්ටේක ආදිපීතෘවරයෙක් එවකට වෛද්‍ය රසල් එම්. නෙල්සන්ට මැදිහත් වන ලෙස ඉල්ලා සිටියද, ඒ වන විට හානියට පත් දෙවන කපාටයට ශල්‍ය විසඳුමක් තිබුනේ නෑ. වෛද්‍ය නෙල්සන් අවසානයේ සැත්කම කිරීමට එකඟ වුණා. සභාපති නෙල්සන්ගේ වචන මෙන්න:

“පළමු කපාටයේ ඇති බාධා ඉවත්කිරීමෙන් පසුව අපි දෙවන කපාටය නිරාවරණය කළෙමු. එය නොවෙනස්ව පවතින නමුත් නරක ලෙස අබලන් වී ඇති බවත්, එය තවදුරටත් ක්‍රියාත්මක විය නොහැකි බවත් අපට පෙනීගියේය. මෙම කපාටය පරීක්ෂා කර බලන විට, පණිවිඩයක් මගේ මනසෙහි පැහැදිලිවම සටහන් විය: වළල්ලේ වට ප්‍රමාණය අඩු කරන්න. මම ඒ පණිවිඩය මගේ සහායකයාට ප්‍රකාශ කළෙමි. ‘වළල්ල එහි සාමාන්‍ය ප්‍රමාණයට ඵලදායී ලෙස අඩු කළ හැකි නම් කපාට පටක ප්‍රමාණවත් වේ.’

“නමුත් කෙසේද? … මෙහි ගැටයක් සහ එහි ටක් එකක් දැමීමෙන්—මැහුම් දැමිය හැකි ආකාරය පෙන්වන පින්තූරයක් මගේ මනසට විචිත්‍රවත් විය. … මැහුම් දැමිය යුතු තැන් තිත් රේඛා වලින් සම්පූර්ණ වූ—එම මානසික ප්‍රතිරූපය මගේ මතකයේ තවමත් ඇත. හරිගැස්සවීම මගේ මනසේ රූප සටහන ලෙස සම්පූර්ණ කරනු ලැබීය. අපි කපාටය පරීක්ෂා කළ අතර කාන්දුව කැපීපෙනෙන ලෙස අඩුවී ඇති බව අපට පෙනී ගියේය. මගේ සහායකයා මෙසේ කීවේය, ‘එය ආශ්චර්යයකි.’”6 ආදිපීතෘවරයා වසර ගණනාවක් ජීවත් වුණා.

වෛද්‍ය නෙල්සන්ව මෙහෙයවා තිබුණා. තමාට මගපෙන්වූ බව ඔහු දන්නා බව දෙවියන්වහන්සේ දන්නා බව ඔහු දැනසිටියා.

රූපය
බියට්‍රිස් මැග්‍රේ

කැතී සහ මම ප්‍රථම වරට ප්‍රංශයේදී බියට්‍රිස් මැග්‍රේව මුණගැසුණේ මීට වසර 30 කට පෙරයි. නව යොවුන් වියේ බව්තීස්ම වීමෙන් ටික කලකට පසු ඇගේ අධ්‍යාත්මික ජීවිතයට බලපෑ අත්දැකීමක් ගැන බියට්‍රිස් මෑතකදී මට පැවසුවා. මෙන්න ඇගේ වචන:

“අපගේ ශාඛාවේ තරුණ තරුණියන් ඔවුන්ගේ නායකයන් සමග බෝඩෝ සිට පැය එකහමාරක් ලකානාඕ වෙරළට ගියා.

“ආපසු ගෙදර යාමට පෙර, එක් නායකයෙක් අන්තිම පිහිනීමට හා කිමිදීමට සිය කණ්නාඩි සමග රැල්ලට යාමට තීරණය කර තිබුණා. ඔහු නැවත නැගිටින විට, ඔහුගේ කණ්නාඩි අතුරුදහන් වී තිබුණා. … ඒවා සාගරයේදී අහිමි වී තිබුණා.

“ඔහුගේ කණ්නාඩි නැතිවීම නිසා ඔහුගේ මෝටර් රථය පැදවීම වැළැක්වෙනවා. අපි කිසි පිළිසරණක් නොමැතිව ගෙදරින් ඈත සිටියා.

“ඇදහිල්ලෙන් පිරුණු සහෝදරියක් අපි යාච්ඤා කරමු කියා යෝජනා කළා.

“යාච්ඤා කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියා මම මැසිවිලි නැගුවා, අපි ඉණ දක්වා අඳුරු වතුරේ සිටින විට ප්‍රසිද්ධියේ යාච්ඤා කරන්නට මම කණ්ඩායමට එක් වුණා.

“යාච්ඤාව ඉවර වුනාට පස්සේ මම හැමෝටම වතුර ඉසින්නට අත් දිගුකළා. මම සාගරයේ මතුපිට අත ගෙනයන විට ඔහුගේ කණ්නාඩි යුගලය මගේ අතේ රැඳී තිබුණා. දෙවියන්වහන්සේ අපේ යාච්ඤා වලට සවන්දෙන සහ පිළිතුරු දෙන බවට හැඟීමක් මගේ ප්‍රාණයට තදින්ම දැනුණා.”7

අවුරුදු හතළිස් පහකට පසුව ඇය එය සිහිපත් කළේ එය ඊයේ සිදු වූවාක් වගෙයි. බියට්‍රිස්ට ආශිර්වාද ලැබී ඇති අතර ඇය ආශිර්වාද ලත් බව දෙවියන්වහන්සේ දන්නා බව ඇය දැනසිටියා.

සභාපති නෙල්සන්ගේ සහ මාග්‍රේ සහෝදරියගේ අත්දැකීම් බෙහෙවින් වෙනස්, එහෙත්, දෙකටම, දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳ අමතක නොවන අධ්‍යාත්මික අර්ථදැක්වීමක් ඔවුන්ගේ හදවත් තුළ අන්තර්ගත වුණා.

මෙම නිර්වචන සිදුවීම් බොහෝවිට සිදුවන්නේ නැවත පිහිටුවීමේ ශුභාරංචිය ගැන ඉගෙනගැනීමේදී හෝ අන් අය සමග ශුභාරංචිය බෙදාගැනීමේදීයි.

රූපය
ෆ්ලොරිප්ස් ලුසියා දමසියෝ සහ නීල් එල්. ඇන්ඩර්සන්

මෙම පින්තූරය 2004 දී බ්‍රසීලයේ සාඕ පවුලෝ හිදී ගන්නා ලද්දක්. ඉපිටින්ගා බ්‍රසීල ස්ටේකයේ ෆ්ලොරිප්ස් ලුසියා දමසියෝගේ වයස අවුරුදු 114 ක්. ඇගේ ගමේ ධර්මදූතයින් ආශ්චර්යමත් ලෙස සුවය ලැබූ, බරපතළ ලෙස රෝගාතුර වී සිටි ළදරුවෙකුට පූජකත්ව ආශිර්වාදයක් ලබාදී ඇති බව, ඇගේ හැරීම ගැන කතාකරමින් දමසියෝ සහෝදරිය මට පැවසුවා. ඇයට වැඩිදුර දැනගැනීමට අවශ්‍ය වුණා. ඇය ඔවුන්ගේ පණිවිඩය ගැන යාච්ඤා කරමින් සිටියදී, ආත්මයාණන්ගේ ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂියක් ජෝසෆ් ස්මිත් දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයකු බව ඇයට තහවුරු කළා. 103 දී ඇය බව්තීස්ම වූ අතර 104 වන විට ඇය බලයෙන් සැරසුණා. සෑම වසරකම, ඇය දේවමාළිගාවේ සතියක් ගත කිරීම සඳහා පැය 14 ක බස් රථ ගමනක් ගියා. දමසියෝ සහෝදරියට ස්වර්ගීය තහවුරු කිරීමක් ලැබී ඇති අතර සාක්ෂිය, සත්‍ය බව ඇය දන්නා බව දෙවියන්වහන්සේ දන්නා බව ඇය දැනසිටියා.

මීට වසර 48 කට පෙර මා ප්‍රංශයට ගිය මගේ පළමු ධර්මදූතයේ අධ්‍යාත්මික මතකයක් මෙන්න.

සොයායමින් සිටියදී, මම සහ මගේ සහකරු වැඩිහිටි කාන්තාවක් සමග මෝර්මොන්ගේ පොතක් තබාගියා. සතියකට පමණ පසු එම කාන්තාවගේ මහල් නිවාසයට අපි ආපසු පැමිණි විට ඇය දොර විවර කළා. කිසිම වචනයක් කථා කිරීමට පෙර, මට ස්පර්ශ කළ හැකි අධ්‍යාත්මික බලයක් දැනුණා. මැඩම් ඇලිස් අවුබට් අපට ආරාධනා කර ඇය මෝර්මොන්ගේ පොත කියවා එය සත්‍ය බව දැනගත් බව කී විට, එම දැඩි හැඟීම් දිගටම පැවතුනා. එදා අපි ඇගේ නිවසින් පිටව යද්දී මම යාච්ඤා කළා, “ස්වර්ගික පියාණෙනි, කරුණාකර මට දැනුණු දේ කිසිදා අමතක නොකිරීමට මට උදව් කරන්න.” මට කවදාවත් අමතක වුණේ නැහැ.

රූපය
වැඩිහිටි ඇන්ඩර්සන් ධර්මදූතයෙකු ලෙස

පෙනෙන ආකාරයට සාමාන්‍ය මොහොතක, වෙනත් දොරවල් සිය ගණනක් මෙන්ම වූ දොරටුවක, මට ස්වර්ගයේ බලය දැනී තිබුණා. ස්වර්ගයේ කවුළුවක් විවෘත වී ඇති බව මා දන්නා බව දෙවියන්වහන්සේ දන්නා බව මම දැනසිටියා.

පුද්ගලීකරණය කළ හා ප්‍රතික්ෂේප කළ නොහැකි

මෙම අධ්‍යාත්මික වශයෙන් නිර්වචනය වන අවස්ථා විවිධ කාල වලදී සහ විවිධාකාරයෙන් අප සෑමකෙනෙකුටම පුද්ගලීකරණය වී පැමිණ තිබෙනවා.

ශුද්ධලියවිලි වල ඔබේ ප්‍රියතම උදාහරණ ගැන සිතන්න. ප්‍රේරිත පේත්‍රැස්ට ඇහුම්කන් දුන් අය “අනින ලද සිත් ඇතුව”8 සිටියා. ලාමන්වර කාන්තාවක් වන අබිෂ් “තම පියාගේ විශිෂ්ට දර්ශනය” විශ්වාස කළා.9 ඒවගේම ඊනොස්ගෙ මනසට හඬක් පැමිණියා.10

මගේ මිතුරා ක්ලේටන් ක්‍රිස්ටෙන්සන් මෝර්මොන්ගේ පොත ඉතා යාච්ඤාපූර්වකව කියවීමේදී ලැබූ අත්දැකීමක් විස්තර කළේ මෙසේයි: “සුන්දර, උණුසුම්, ආදරණීය ආත්මයක්… මා වටකර මගේ ආත්මය පුරා පැතිරී, මට දැනෙනු ඇතැයි මා නොසිතූ ප්‍රේමයේ හැඟීමක් මා තුළ පැතිරී ගියේය, [මෙම හැඟීම් රාත්‍රියට පසුත් පැවතුනි].”11

ආත්මික හැඟීම් ගින්නක් මෙන් අපගේ හදවතට බැස අපගේ ප්‍රාණය ආලෝකවත් කරන අවස්ථා තිබෙනවා. අපට සමහරවිට “හදිසියේම අදහස් පහරවල්” සහ ඉඳහිට බුද්ධියේ පිරිසිඳු ප්‍රවාහය ලැබෙන බව ජෝසෆ් ස්මිත් පැහැදිලි කළා.12

සභාපති ඩාලින් එච්. ඕක්ස්, එවැනි අත්දැකීමක් කිසිදිනෙක නොලැබූ බව ප්‍රකාශ කළ අවංක මිනිසෙකුට ප්‍රතිචාර දක්වමින්, මෙසේ උපදෙස් දුන්නා, “සමහරවිට ඔබේ යාච්ඤා වලට නැවත නැවතත් පිළිතුරු ලැබී ඇති නමුත්, ඔබේ අපේක්ෂාවන් ශ්‍රේෂ්ඨ ලකුණක් හෝ හඬක් මත තබා තිබෙනවා, ඒ නිසා ඔබට පිළිතුරක් නැතැයි ඔබ සිතනවා.”13 “ගින්නෙන් හා ශුද්ධාත්මයාණන්ගෙන් [ආශිර්වාද ලත්] නමුත් එය නොදැන සිටි” මහත් ඇදහිල්ලෙන් යුතු සෙනගක් ගැන ගැලවුම්කරුවාණන්ම කථා කළා.14

ඔබ උන්වහන්සේට සවන්දෙන්නේ කෙසේද?

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසීම අපට මෑතකදී අසන්නට ලැබුණා: “මෙම ප්‍රධාන ප්‍රශ්නය ගැන ගැඹුරින් සිතා බැලීමට මම ඔබට ආරාධනා කරනවා: ඔබ උන්වහන්සේට සවන්දෙන්නේ කෙසේද? උන්වහන්සේට වඩා හොඳින් හා නිතර නිතර සවන්දීමට පියවර ගන්නා ලෙස මම ඔබට ආරාධනා කරනවා.”15 ඔහු ඒ ආරාධනය අද උදෑසන නැවතත් පැවසුවා.

අපගේ යාච්ඤා වලදී, අපගේ නිවෙස් වල, ශුද්ධලියවිලි වල, අපගේ ගීතිකා වලදී, අපි සක්‍රමේන්තුවට සුදුසු ලෙස සහභාගි වන විට, අපගේ ඇදහිල්ල ප්‍රකාශ කරන විට, අප අන් අයට සේවය කරන විට සහ සෙසු ඇදහිලිවන්තයන් සමග දේවමාළිගාවට යන විට අපට උන්වහන්සේව ඇසෙනවා. අධ්‍යාත්මිකව නිර්වචනය වන අවස්ථා පැමිණෙන්නේ අප ප්‍රධාන සම්මන්ත්‍රණයට යාච්ඤාපූර්වකව සවන්දෙන විට සහ අප ආඥා වඩා හොඳින් පිළිපදින විටයි. දරුවෙනි, මෙම අත්දැකීම් ඔබ සඳහාත් අදාළයි. යේසුස්වහන්සේ “දරුවන්ට ඉගැන්නුවා, සේවය කළා… [දරුවන්] උතුම් හා පුදුමාකාර දේවල් කතා කළා” කියා මතක තබාගන්න.16 ගැලවුම්කරුවාණන් මෙසේ කිව්වා:

“[මෙම දැනුම] මාගේ ආත්මයෙන් නුඹලා හට දෙනු ලබන්නේය, … තවද මාගේ බලයෙන් මිස [එය] නුඹලාට ලැබිය නොහැකිවන්නේය;

“එසේහෙයින්, මාගේ හඬ ඇසුනේයයිද, මාගේ වචන දන්නේයයිද, සාක්ෂි දැරීමට නුඹලාට හැකිය.”17

ගැලවුම්කරුවාණන්ගේ අසමසම වන්දිගෙවීම නිසා අපට “උන්වහන්සේට සවන්දිය” හැකියි.

මෙම නිශ්චිත අවස්ථාවන් ලැබීමේ වේලාව අපට තෝරාගත නොහැකි අතර, සභාපති හෙන්රි බී. අයිරින්ග් අපට මෙම උපදෙස් ලබාදුන්නා: “අද රෑ, සහ හෙට රාත්‍රියේ, මෙම ප්‍රශ්ණ අසමින්, ඔබට යාච්ඤා කර මෙනෙහි කළ හැකියි: දෙවියන්වහන්සේ මට පමණක් පණිවිඩයක් එව්වාද? උන්වහන්සේගේ හස්තය මගේ ජීවිතයේ හෝ මගේ [පවුලේ] ජීවිත වල මම දුටුවාද?”18 ඇදහිල්ල, කීකරුකම, නිහතමානිකම සහ සැබෑ අභිප්‍රාය ස්වර්ගයේ කවුළු විවෘත කරනවා.19

නිදර්ශනයක්

රූපය
ජීවිතය හරහා සැරිසැරීම
රූපය
අධ්‍යාත්මික මතකයන් ආලෝකය ලබාදෙයි
රූපය
අධ්‍යාත්මික ආලෝකය නැවත සොයාගැනීමට අන් අයට උපකාර කිරීම

ඔබේ අධ්‍යාත්මික මතකයන් ඔබට මේ ආකාරයෙන් සිතිය හැකියි. නිරන්තර යාච්ඤාව, අපගේ ගිවිසුම් පවත්වා ගැනීමේ අධිෂ්ඨානය සහ ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය සමග අපි ජීවිතය හරහා ගමන් කරනවා. පුද්ගලික දුෂ්කරතා, සැකයන් හෝ අධෛර්යමත් වීම අපගේ මාවත අඳුරු කරන විට, හෝ අපගේ පාලනයෙන් ඔබ්බට ගිය ලෝක තත්වයන් අනාගතය ගැන අපව පුදුමයට පත්කරන විට, දෙවියන්වහන්සේ අපව හඳුනන අතර, අපට ප්‍රේම කරන අතර, තම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එවා ඇති බව අපව සනසවමින්, අපගේ ජීවන පොතෙන් අධ්‍යාත්මිකව නිර්වචනය කරන ලද මතකයන් දීප්තිමත් ගල් මෙන් වන අතර එය ඉදිරි මාවත දීප්තිමත් කිරීමට උපකාරී වෙනවා. යමෙකු ඔවුන්ගේ අර්ථකථන මතකයන් පසෙකට දමා නැතිවූ විට හෝ ව්‍යාකූල වූ විට, අපි ඔවුන් සමග අපගේ ඇදහිල්ල හා මතකයන් බෙදාගන්නා විට, ඔවුන් වරක් නිධානය කළ එම වටිනා අධ්‍යාත්මික අවස්ථාවන් නැවත සොයාගැනීමට ඔවුන්ට උපකාර කරමින්, අපි ඔවුන්ව ගැලවුම්කරුවාණන් දෙසට හරවනවා.

සමහර අත්දැකීම් කෙතරම් පරිශුද්ධද යත්, ඒවා අපි අපගේ අධ්‍යාත්මික මතකයේ රඳවා තබාගන්නා අතර ඒවා බෙදාගන්නේ නෑ.20

දේවදූතයන් කථාකරන්නේ ශුද්ධාත්මයාණන්ගේ බලයෙනි; එමනිසා ඔවුහු ක්‍රිස්තුස්වහ්න්සේගේ වචන කථාකරන්නෝය.”21

“මනුෂ්‍ය දරුවන් හට දේවදූතයන් මෙහෙකිරීම නවත්වා නැත.

“මක්නිසාද බලන්න, ශක්තිමත් ඇදහිල්ලක් සහ ස්ථීර මනසක් සෑම දේව භක්තිමත් ස්වභාවයක් ඇත්තාවූ ඔවුන්ට ඔවුන්ව පෙන්වීමට, උන්වහන්සේගේ ආඥාවේ වචනයට අනුව මෙහෙ කිරීමට ඔවුන් [ක්‍රිස්තුස්වහන්සේට] යටත්ය.”22

එමෙන්ම “… සැනසිලිදායකයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහිකරවනසේක.”23

ඔබේ පූජනීය මතකයන් වැලඳගන්න. ඒවා විශ්වාස කරන්න. ඒවා ලියා තබන්න. ඒවා ඔබගේ පවුලේ අය සමග බෙදාගන්න. ඒවා ඔබ වෙතට එන්නේ ඔබේ ස්වර්ගික පියාණන්වහන්සේගෙන් සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන්ගෙන් බව විශ්වාස කරන්න.24 ඔබේ සැකයන්ට ඉවසීම සහ ඔබේ දුෂ්කරතා තේරුම්ගැනීමට ඔවුන්ට ඉඩදෙන්න.25 ඔබගේ ජීවිතයේ අධ්‍යාත්මිකව නිර්වචනය වන සිදුවීම් ඔබ කැමැත්තෙන් පිළිගෙන හා පරිස්සමින් නිධන් කරගන්නා විට, වැඩි වැඩියෙන් ඔබ වෙත ඒවා පැමිණෙනු ඇතැයි මම ඔබට පොරොන්දු වෙනවා. ස්වර්ගික පියාණන්වහන්සේ ඔබව හඳුනන අතර ඔබට ප්‍රේම කරනවා!

යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයි, උන්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවා ඇත, අප විශ්වාසවන්තව සිටින විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අපි සදහටම උන්වහන්සේගේ වන බව මම සාක්ෂි දරනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. බලන්න: Saints: The Story of the Church of Jesus Christ in the Latter Days, vol. 1, The Standard of Truth, 1815–1846 (2018), 150–53; see also Joseph Smith, “History, 1838–1856, volume A-1 [23 December 1805–30 August 1834],” 205–9, josephsmithpapers.org; Saints, 1:365–66.

  2. Joseph Smith—History 1:25.

  3. Teachings of Presidents of the Church: Joseph Smith (2007), 525.

  4. දහම සහ ගිවිසුම 135:4.

  5. ජෝසෆ් ස්මිත්—ඉතිහාසයෙහි ඇති වචන ගැන මම නිතරම පුදුමයට පත්වී සිටිමි: “මම දර්ශනයක් දුටුවෙමි; මම එය දැන සිටියෙමි, දෙවියන්වහන්සේ එය දන්නා බව මම දැන සිටියෙමි” (Joseph Smith—History 1:25). පූජනීය වනයේ මෙම සිදුවීම් සැබවින්ම ඔහුගේ ජීවිතයේ සිදුවූ බවත්, ඒ නිසා ඔහුගේ ජීවිතය කිසිවිටෙකත් එක හා සමාන විය නොහැකි බවත් ඔහුට දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිට පිළිගැනීමට සිදුවන්නට ඇත. මීට වසර 25 කට පමණ පෙර, වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් කෙරෙන් මෙම වාක්‍ය ඛණ්ඩයේ විචල්‍යතාවයක් මට මුලින්ම ඇසුණි. ඔහු මෙම උදාහරණය ලබාදුන්නේය: “බොහෝ කලකට පෙර 1945 මැයි මාසයේදී මට ඔකිනාවා දූපතේ වයස අවුරුදු දහඅටේදී එවැනි අවස්ථාවක් උදා විය. නිසැකවම මගේ පැත්තෙන් වීරත්වයක් නොතිබුණි නමුත් ජපන් කාලතුවක්කු මගින් අපගේ ස්ථානයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීමේදී මටත් අනෙක් අයටත් එය ආශිර්වාදයක් විය. නැවත නැවතත් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් පසු සතුරා කාලතුවක්කු බිංදුවට වැටුණි. ඔවුන් පසුව වෙඩි තැබිය යුතුව තිබුණත්, අවම වශයෙන් එක් බියට පත්, ආත්මාර්ථකාමී යාච්ඥාවකට දිව්‍ය ප්‍රතිචාරයක් ලැබුණි. ෂෙල් වෙඩි ප්‍රහාර නතර විය. … මට ආශිර්වාද ලැබී ඇති අතර මම ආශිර්වාද ලත් බව දෙවියන්වහන්සේ දන්නා බව මම දැනසිටියෙමි” (“Becoming a Disciple,” Ensign, June 1996, 19).

    වැඩිහිටි මැක්ස්වෙල් තමා දන්නා බව පමණක් නොව, දෙවියන්වහන්සේ දන්නා බව පමණක් නොව, තමා ආශිර්වාද ලත් බව ඔහු දන්නා බව දෙවියන්වහන්සේ දන්නා බව දන්වා සිටියේය. සංකේතාත්මකව මා හට මෙය වගවීමේ පියවරක් ඉහළට ඔසවයි. සමහර අවස්ථා වලදී, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ අපට දී ඇති ආශිර්වාදයක් සමගම ස්වර්ගය අප වෙනුවෙන් මැදිහත් වූ බවට දැඩි අධ්‍යාත්මික තහවුරු කිරීමක් ලබාදෙයි. එය ප්‍රතික්ෂේප කිරීමට නොහැකිය. එය අප සමග රැඳී සිටින අතර, අප අවංක හා විශ්වාසවන්ත නම්, එය ඉදිරි වසර වලදී අපගේ ජීවිතය හැඩගස්වනු ඇත. “මට ආශිර්වාද ලැබී ඇත, මම ආශිර්වාද ලත් බව මම දන්නා බව දෙවියන්වහන්සේ දන්නා බව මම දැනසිටියෙමි.”

  6. Russell M. Nelson, “Sweet Power of Prayer,” Liahona, May 2003, 8.

  7. බියට්‍රිස් මැග්‍රේගේ පෞද්ගලික කතාව 2019 ඔක්තෝම්බර් 29 වන දින වැඩිහිටි ඇන්ඩර්සන් සමග බෙදාගන්නා ලදි; පසු විපරම් විද්‍යුත් තැපැල් පණිවිඩය 2020 ජනවාරි 24.

  8. ක්‍රියා 2:37.

  9. ඇල්මා 19:16.

  10. ඊනොස් 1:5 බලන්න.

  11. Clayton M. Christensen, “The Most Useful Piece of Knowledge,” Liahona, Jan. 2009, 23.

  12. බලන්න Teachings: Joseph Smith, 132.

  13. Dallin H. Oaks, Life’s Lessons Learned: Personal Reflections (2011), 116.

  14. 3 නෙපි 9:20.

  15. Russell M. Nelson, “‘How Do You #HearHim?’ A Special Invitation,” Feb. 26, 2020, blog.ChurchofJesusChrist.org.

  16. 3 නෙපි 26:14.

  17. දහම සහ ගිවිසුම 18:35–36. හැඟීම් සෑමවිටම අධ්‍යාත්මික දැනුම සමග පැමිණේ. “ඔබ අයුතුකම් කිරීමට ඉක්මන් නමුත් ඔබේ ස්වාමින්වහන්සේ වන ඔබගේ දෙවියන්වහන්සේ සිහිකිරීමට ප්‍රමාදය. නුඹලා දේවදූතයෙකු දැක ඇත්තෙහුය, තවද ඔහු නුඹලාට කථා කළේය; එසේය විටින් විට නුඹලා ඔහුගේ හඬ අසා ඇත්තෙහුය, තවද උන්වහන්සේ නුඹලා හට නිශ්චලතාවයේ සියුම් කුඩා හඬින් කථා කර ඇති සේක, නමුත් නුඹලා හැඟීම් ඉක්මවා සිටි නිසා නුඹට උන්වහන්සේගේ වචන හැඟුනේ නැත” (1 නෙපි 17:45).

  18. Henry B. Eyring, “O Remember, Remember,” Liahona, Nov. 2007, 69.

  19. බලන්න 2 නෙපි 31:13; මොරෝනි 10:4. සභාපති ඩාලින් එච්. ඕක්ස් 1991 දී ප්‍රංශයේ බෝඩෝහි අපගේ ධර්මදූතයට පැමිණියේය. ඔහු අපේ ධර්මදූතයින්ට පැහැදිලි කළේ සැබෑ අභිප්‍රාය යන්නෙන් අදහස් කරන්නේ යාච්ඤා කරන පුද්ගලයා ස්වාමින්වහන්සේට මේ වගේ දෙයක් පවසන බවයි: “මම ඉල්ලන්නේ කුතුහලයෙන් නොව, මාගේ යාච්ඤාවට ලැබෙන පිළිතුර ක්‍රියාත්මක කිරීමේ අවංකකමින්ය. ඔබ මට මෙම පිළිතුර ලබාදුන්නොත්, මම මගේ ජීවිතය වෙනස් කිරීමට ක්‍රියා කරමි. මම ප්‍රතිචාර දක්වන්නම්.

  20. “බොහෝදෙනෙකුට දෙවියන්වහන්සේගේ අභිරහස් දැනගැනීමට දෙනු ලබන්නේය; එසේවූවත් ඒවා දැඩි ආඥාවන් යටතේ තබන ලද එනම් ඔවුන්ට ඒවා දෙනුලබන්නේ උන්වහන්සේ මනුෂ්‍ය දරුවන් හට දෙනු ලබන්නාවූ උන්වහන්සේගේ වචනයේ කොටස් වලට අනුව නොව ඔවුන් දෙනු ලබන්නාවූ සැලකිල්ල සහ උද්යෝගය අනුවය” (ඇල්මා 12:9)

    වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් මෙසේ කීවේය: “[අධ්‍යාත්මික අත්දැකීම්] බෙදාගත යුත්තේ කවදාදැයි දැනගැනීමට පෙළඹවීමක් අවශ්‍ය වේ. බුද්ධිය හා ප්‍රඥාව ඒකාබද්ධ කළ සභාධිපති මැරියන් ජී. රොම්නි, ‘අපි ඒවා ගැන එතරම් කතා නොකළේ නම්, අපට තවත් අධ්‍යාත්මික අත්දැකීම් ලැබෙනු ඇත’ යනුවෙන් පැවසීම මට මතකයි” (“Called to Serve” [Brigham Young University devotional, Mar. 27, 1994], 9, speeches.byu.edu).

  21. 2 නෙපි 32:3.

  22. මොරෝනි 7:29–30.

  23. යොහාන් 14:26.

  24. ශුභාරංචියේ සත්‍යතාවන් සියල්ලන්ටම ලබාගත හැකිය. සම්මන්ත්‍රණයට පෙර සතියේ, මගේ කතාව අවසන් වූ පසු, පොතක් වෙත මා අධ්‍යාත්මිකව ඇදී ගියේය: 2002 සිට 2008 දක්වා ප්‍රධාන අධිකාරියේ හැත්තෑවරයෙකු ලෙස සේවය කළ ජෙරල්ඩ් එන්. ලුන්ඩ් විසින් රචිත Divine Signatures: The Confirming Hand of God (2010). මගේ සතුටට කරුණක් නම්, සහෝදර ලුන්ඩ්ගේ වචන මෙම සම්මන්ත්‍රණ කතාවේ බෙදාගත් මූලධර්ම පිළිබඳ සුන්දර දෙවන සාක්ෂිකරුවෙකු වූ අතර, අධ්‍යාත්මිකව අර්ථ දැක්වීම් පිළිබඳ වැඩිදුර හැදෑරීමට කැමති ඕනෑම කෙනෙකුට එය භුක්තිවිඳිය හැකිය.

  25. සභාපති තෝමස් එස්. මොන්සන්ගේ ප්‍රියතම උපුටා දැක්වීම් වලින් එකක් ස්කොට්ලන්ත කවියෙකු වන ජේම්ස් එම්. බැරීගේ කොටසකි: “අපේ ජීවිතයේ දෙසැම්බරයේ ජුනි රෝස මල් ලබාගැනීමට, දෙවියන්වහන්සේ අපට මතකයන් ලබාදුන්නේය” (බලන්න in Thomas S. Monson, “Think to Thank,” Liahona, Jan. 1999, 22). අධ්‍යාත්මික මතකයන් සම්බන්ධයෙන්ද එය එසේම වේ. එම “ජුනි” අධ්‍යාත්මික මතකයන් අපට අවශ්‍ය වූ විට ඒවා අපගේ ජීවිතයේ සීතල කාල වලදී වඩාත් ප්‍රයෝජනවත් විය හැකිය.