ප්‍රධාන සම්මන්ත්‍රණය
ඔවුන් දකිනු පිණිස
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඔවුන් දකිනු පිණිස

අන් අයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට යන මාර්ගය පෙනෙන ලෙස ඔබගේ ආලෝකය බැබළවීය හැකි අවස්ථාවන් වෙනුවෙන් සොයා බලා යාච්ඤා කරන්න.

සහෝදර සහෝදරියනි, මෙම සම්මන්ත්‍රණයේදී අපට දැනුණු ආත්මයනන්වහන්සේ හේතුවෙන් අපගේ හදවත් අශිර්වාද වී සහ අලුත් වී ඇත.

රූපය
ආලෝක කදම්භයක්

අවුරුදු දෙසීයකට පෙර, ගස් පිරි වනයකදී ආලෝක කදම්භයක් තරුණයෙකු මත පතිත උනා. එම ආලෝකයෙන්, ජෝසෆ් ස්මිත් දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයා වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දුටුවා. ඔවුන්ගේ ආලෝකය පොළව වසාගෙන සිටි ආත්මික අන්ධකාරය පසු පසට ඇද දමා ජෝසෆ් ස්මිත්ට—සහ අප සියලුදෙනාටම ඉදිරි මාවත පෙන්වා දුන්නා. එදින එළිදරව් වූ ආලෝකයත් සමග, අපගේ ගැළවුම්කාරයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුලින් ලැබිය හැකි ආශිර්වාද වල පූර්ණත්වය අපට ලබාගන්න පුළුවන්.

උන්වහන්සේගේ සුභාරංචිය නැවත පිහිටුවීමේ බලයත් සමග, අපට ගැළවුම්කරුවාණන්ගේ ආලෝකයෙන් සම්පූර්ණ වන්නට පුළුවන්. කෙසේවෙතත්, එම ආලෝකය ඔබට සහ මට පමණක්ම නොවේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගෙන් ඉල්ලා සිටියේ “ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දකිනු පිණිස, නුඹලාගේ ස්වර්ගයේ සිටින පියාණන්ගේ නාමය මහිමයට පැමිණවීමට මෙම ජනතාව ඉදිරියේ නුඹලාගේ ආලෝකය බබළවන්න” ලෙසයි.1 “ඔවුන් දකිනු පිණිස” යන වාක්‍ය ඛණ්ඩයට මම ආදරය කිරීමට පටන්ගෙන තිබෙනවා. එය, මාර්ගය පෙන්වා දී ඒ තුළින් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට අන් අයට මහත් ඕනෑකමකින් උපකාර කිරීමට ස්වාමින්වහන්සේගෙන් ලැබුණ අවංක ආරාධනයක්.

රූපය
වැඩිහිටි එල්. ටොම් පෙරී

මට අවුරුදු 10දී, මගේ නගරයේ පැවරුමක නිරතව සිටි ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ ගණපූර්ණයේ වැඩිහිටි එල්. ටොම් පෙරී හට සත්කාරත්වය සැපයීමේ ගෞරවය අපේ පවුලට හිමිවුනා.

දවස අවසානයේදී, අපේ පවුල සහ පෙරී පවුල අපගේ විසිත්ත කාමරයේ වාඩිවුනේ වැඩිහිටි පෙරී ලොවපුරා සාන්තුවරයන් පිළිබඳ කතන්දර විස්තර කරන අතරතුර මගේ අම්මා සෑදූ රසවත් ඇපල් පයි එකක රස බැලීමටයි. මම වශී වී සිටියා.

මගේ අම්මා මට මුළු තැන්ගෙට කතා කොට “බොනී, ඔයා කුකුල් පැටවුන්ට කන්ඩ දැම්මාද?” කියා අසන විට අඳුරු වැටෙමින් තිබුණා.

මම දැම්මෙ නෑ; මගේ හිතට දුකක් දැණුනා. ස්වාමින්වහන්සේගේ ප්‍රේරිතයෙකුගේ අභිමුඛයෙන් ඉවත්වීමට අවශ්‍ය නොවූ නිසා, හෙට උදෑසන වනතෙක් කුකුළන්ට නිරාහාරය රැකිය හැකි බව මම යෝජනා කළා.

මගේ අම්මා ස්ථීරවම “නෑ” කියා පිළිතුරු දුන්නා. එවිටම, වැඩිහිටි පෙරී මුළුතැන්ගෙට ඇතුළු වී, ඔහුගේ ගාම්භීරවත්, උද්යෝගීමත් හඬින් ඇසුවා, “කෙනෙක්ට කුකුළන්ට කෑම දාන්න ඕනේ කියලා මට ඇහුනා? මටත් මගේ පුතාටත් පුළුවන්ද ඔයත් එක්ක එකතුවෙන්න?”

ඕ, දැන් කුකුළන්ට කන්න දාන එක මොනතරම් සතුටක්ද! මම අපේ විශාල කහපාට විදුලි පන්දම ගෙන එන්න දිවුවා. බොහෝ සතුටින්, පුරුදු අඩිපාර දිගේ පනිමින් කුකුළ් කූඩුව වෙත, මම මගපෙන්වූවා. මගේ අතේ පැද්දෙන විදුලි පන්දමත් සමග, අපි ඉරිඟු පාත්තිය පැන, තිරිඟු කෙත පසුකර ගියා.

කෙතට වතුර සැපයීම සඳහා මාර්ගය හරහා යොදා තිබූ කාණුව අසලට ලඟාවන විටම, මීට පෙර කිහිප විටකදීම කර තිබූ නිසා ඉබේම මම කාණුවට උඩින් පැන්නා. අඳුරු, නොදන්නා මාවතක ගමන් කිරීමට වැඩිහිටි පෙරී දැරූ උත්සය ගැන මට කිසිඳු අවබෝධයක් තිබුණේ නැහැ. මගේ නටන විදුලි පන්දම කාණුව දකින්න ඔහුට උපකාර කළේ නැහැ. දැකීමට පැහැදිලි ආලෝකයක් නොමැතිව, ඔහු කෙලින්ම වතුරට අඩිය තබද්දීම, මහත් ශබ්දයකින් කෙඳිරි ගෑවා. භීතියෙන්, මම හැරී බලන විට, මගේ අලුත් මිතුරා ඔහුගේ පෙඟී තෙත්වූ පාදය වතුරෙන් පිටතට ගෙන ඔහුගේ බර ලෙදර් සපත්තුවෙන් වතුර එළියට හලමින් සිටියා.

පෙඟී වතුර බේරෙන හඬ ඇසෙන සපත්තුවත් සමග, වැඩිහිටි පෙරී කුකුළන්ට කෑම දීමට මට උදවු වුනා. අපි කාර්‍යය අවසන් වූ විට, ඔහු මට ආදරයෙන්, “බොනී, මට පාර බලන්න ඕනා” කියා උපදෙස් දුන්නා. මා ඇවිදින තැන බබළවන්න මට ආලෝකය අවශ්‍යයි.”

මම මගේ ආලෝකය බබළවමින් සිටියේ වැඩිහිටි පෙරී හට උපකාර වන ආකාරයකින් නොවේ. දැන්, ඔහුට ආරක්ෂිතව ගමන් කිරීමට මගේ ආලෝකය අවශ්‍ය බව දැන, මම ඔහුගේ පියවරට මඳක් ඉදිරියෙන් විදුලි පන්දම යොමුකළ අතර අපට විශ්වාසයෙන් යුතුව ආපසු ගෙදර යාමට හැකි වුනා.

මගේ ආදර සහෝදර සහෝදරියනි, අවුරුදු ගණනාවක් තිස්සේ මම වැඩිහිටි පෙරීගෙන් ඉගෙනගත් මූලධර්මය මෙනෙහි කළා. අපගේ එළිය බබළවන්න, යන ස්වාමින්වහන්සේගේ ආරධනයෙන් කියවෙන්නේ අහඹු ලෙස අපේ ආලෝක පන්දම සොලවමින් සාමාන්‍යයෙන් ලෝකය ආලෝකමත් කිරීම ගැන පමණක් නොවේ. එයින් කියවෙන්නේ අන් අයට ක්‍රිස්තුස්වහන්සේ වෙතට මාර්ගය පෙනෙන ලෙස ආලෝකය යොමු කිරීමයි. එය තිරයෙන් මෙහා ඊශ්‍රායෙලය එක්‍ රැස් කිරීමට—දෙවියන්වහන්සේ සමග ශුද්ධවූ ගිවිසුම් ඇතිකර ගැනීමේදී සහ රැකීමේදී ඉදිරි පියවර දැකීමට අන් අයට උදව් කිරීමයි.2

ගැළවුම්කරුවාණන් මෙලෙස සාක්ෂි දැරුවා, “බලව මම ආලෝකයය; මම නුඹලා උදෙසා ආදර්ශයක් තබා ඇත්තෙමි.”3 අපි උන්වහන්සේගේ එක් ආදර්ශයක් දෙස බලමු.

ලිඳ ලඟ සිටි කාන්තාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන දැන නොසිටි සමාරිතානු කාන්තාවක් වගේම ඇයගේ සමාජයේ බොහෝදෙනා ඇය දෙස බැලුවේ පහත් කුලයේ කෙනෙකු ලෙසයි. යේසුස්වහන්සේ ඇයව මුණගැසී කතාබහක් ආරම්භ කළා. උන්වහන්සේ ඇය සමග වතුර ගැන කතා කළා. උන්වහන්සේ උන්වහන්සේ ගැනම “ජීවනයේ වතුර” කියා ප්‍රකාශ කර ඇයව වැඩි ආලෝකයකට යොමුකළා. 4

ක්‍රිස්තුස්වහන්සේ ඇය සහ ඇගේ අවශ්‍යතා ගැන දයානුකම්පිතව දැන සිටියා. උන්වහන්සේ කාන්තාව සිටි තැන මුණගැසී හුරුපුරුදු හා පොදු දෙයක් ගැන කතා කිරීමෙන් කතාව ආරම්භ කළා. උන්වහන්සේ එයින් නතර වුණා නම්, එය ධනාත්මක හමුවීමක් වන්නේ නෑ. නමුත්, මෙපමණකින් පමණක් ඇය නගරයට ගොස් “එන්න, බලන්න … : මේ ක්‍රිස්තුස්වහන්සේ නොවේද?” කියා ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලය සිදුවන්නේත් නෑ.5 ක්‍රමයෙන්, කතාබහ තුළින්, ඇය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සොයාගනු ලැබුවා, ඒ වගේම ඇයගේ අතීතය නොතකා, ඇය අන් අයට දැකීම පිණිස මාර්ගය බබළවමින්, ආලෝකයේ මෙවලමක් වුනා.6

දැන් ගැළවුම්කරුවාණන්ගේ දීප්තිමත් ආලෝකය පිළිබද ආදර්ශය අනුගමනය කළ පුද්ගලයන් දෙදෙනෙකු දෙස බලමු. මෑතකදී මගේ මිතුරා කෙවින් රාත්‍රී භෝජන සංග්‍රහයකදී ව්‍යාපාරික විධායකයෙකු අසල වාඩි වී සිටියා. පැය දෙකක් පුරාවට කතා කළ යුත්තේ කුමක් ගැනද කියා ඔහු කනස්සල්ලට පත්වුනා. ලැබුණු පෙළඹවීමක් අනුගමනය කරමින්, කෙවින් ඇසුවා, “මට ඔබේ පවුල ගැන කියන්න. ඔවුන් එන්නේ කොහේ සිටද?”

එම මහත්මයා ඔහුගේ පවුලේ උරුමය ගැන එතරම් දැන සිටියේ නැහැ, ඉතින් කෙවින් ඔහුගේ දුරකථනය ගෙන, පැවසුවා, මිනිසුන්ව ඔවුන්ගේ පවුල් සමග සම්බන්ධ කළ හැකි යෙදුමක් මා ලඟ තිබෙනවා. අපි බලමු අපිට හොයාගන්න පුළුවන් මොනවද කියලා.”

දීර්ඝ සාකච්ඡාවකින් පසුව, කෙවින්ගේ නවතම මිතුරා මෙසේ ඇසුවා, “ඔබේ සභාවට පවුල මෙතරම් වැදගත් ඇයි?”

කෙවින් සරලව මෙසේ පිළිතුරු දුන්නා, “අප විශ්වාස කරනවා අපගේ මරණයෙන් පසුවත් අප දිගටම ජීවත් වන බව. අප අපගේ මුතුන් මිත්තන් හඳුනාගෙන ඔවුන්ගෙ නම් දේවමාළිගාව නමින් හඳුන්වන ශුද්ධවූ ස්ථානයකට ගෙන යන්නේ නම්, මරණයෙන් පසුවත් අපගේ පවුල එකට තබාගත හැකි විවාහයේ වත්පිළිවෙත් අපට ඉටුකිරීමට පුළුවන්.”7

කෙවින් ඔහුටත් ඔහුගේ නව මිතුරාටත් පොදු වූ දෙයක් ගැන කතාබහ ආරම්භ කළා. පසුව ඔහු ගැළවුම්කරුවාණන්ගේ ආලෝකයත් ආදරයත් ගැන සාක්ෂි දැරීමට ක්‍රමයක් සොයාගත්තා.

දෙවන කථාව එලා නම් පාසැල් පැසිපන්දු ක්‍රීඩිකාවක් පිළිබඳවයි. ඇයගේ ආදර්ශය ආරම්භ වන්නේ පාසලේදී ඇගේ ධර්මදූත කැඳවීම ලැබීමත් සමගයි. ඇයගේ කැදවීම ඇයගේ කණ්ඩායම ඉදිරිපිට විවෘත කිරීමට ඇය තීරණය කළා. ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව ගැන කිසිවක් නොදැන සිටි අතර සේවය කිරීමට එලාට තිබූ ආශාව පිළිබඳවද තේරුම් ගත්තේ නැහැ. තම කණ්ඩායමේ සාමාජිකයින්ට ශුද්ධාත්මයාණන්වහන්සේ දැනෙන ආකාරයට තම ධර්මදූත කැඳවීම පැහැදිලි කරන්නේ කෙසේදැයි දැන ගැනීමට ඇය නැවත නැවතත් යාච්ඥා කළා. ඇයගේ පිළිතුර වූයේ?

“මම පවර් පොයින්ට් එකක් හැදුවා, මොකද මම ඒ තරම්ම අපූරු නිසා,” එලා පැවසුවා. 400 කටත් වඩා වැඩි දූත මෙහෙයන් වලින් එකක සේවය කිරීමට හැකිවීමත් බොහෝදුරට භාශාවක් ඉගෙනගැනීමට හැකියාවක් තිබීමත් ගැන ඇය පැවසුවා. මේ වනවිටත් සේවය කරන දහස්ගණනක ධර්මදූතයන් ගැන ඇය මතුකර දැක්වූවා. එලා ගැළවුම්කරුවාණන්ගේ පින්තූරයක් සහ මෙම කෙටි සාක්ශියත් සමග අවසන් කළා: “පැසිපන්දු මගේ ජීවිතයේ බොහෝම වටිනා දේවල් අතරින් එකක්. මම මෙම පුහුණුකරුට සහ මෙම කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා මගේ පවුලේ අය දමා රටපුරා ගමන් කළා. පැසිපන්දු වලට වඩා වැඩියෙන් මට වටිනා දේවල් දෙක නම් මගේ ඇදහිල්ල සහ මගේ පවුලයි.”8

දැන්, නිකමට මෙන් ඔබ සිතනවානම්, “මේවා ඉතා විශිෂ්ඨ වොට්-1000 ක පමණ උදාහරණ, නමුත් මම වොට්-20 ක බල්බයක් පමණයි කියා,” ගැළවුම්කරුවාණන් මෙලෙස සාක්ශි දැරූ බව මතකතබාගන්න, “නුඹලා ඔසවනු ලැබිය යුතු වූ එම ආලෝකය මමය.”9 අපි අන් අයව උන්වහන්සේ වෙතට යොමුකරනවා නම් උන්වහන්සේ ආලෝකය ගෙන එන බව උන්වහන්සේ අපට මතක්කර දෙනවා.

මේ මොහොතේ ඔබට සහ මට බෙදාගැනීමට ප්‍රමාණවත් තරම් ආලෝකයක් තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ළංවීමට යමෙකුට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ ඊළඟ පියවර අපට ආලෝකමත් කරන්න පුළුවන්, පසුව ඊලඟ පියවර, සහ ඊලඟ පියවර.

ඔබගෙන්ම අසන්න, “නොපෙනෙන නමුත් අවශ්‍ය මාර්ගය සොයාගැනීමට ඔබට ඇති ආලෝකය අවශ්‍ය වන්නේ කාටද?”

මගේ ආදරණීය මිතුරනි, අපගේ ආලෝකය බැබළවීම එතරම් වැදගත් වන්නේ ඇයි? “සොයාගත යුත්තේ කොහෙන්ද කියා නොදන්නා නිසා සත්‍යයෙන් ඈත්ව සිටින … බොහෝ දෙනෙක් තවමත් පොළව මත සිටී” යනුවෙන් ස්වාමින්වහන්සේ අපට පවසා තිබෙනවා.10 අපට උපකාර කළ හැකිය. අපට උවමනාවෙන්ම අපගේ ආලෝකය ඔවුන්ට පෙනෙන ලෙස බැබළවිය හැකිය. අපට අරාධනයක් කළ හැකියි.11 කෙතරම් පසුබට වුවත්, ගැළවුම්කරුවාණන් වෙතට එක් පියවරක් ඉදිරියට තබන අය සමග අපට ගමන් කළ හැකිය. අපට ඊශායෙලය එක් රැස් කළ හැකිය.

සෑම කුඩා උත්සහයක්ම ස්වාමින්වහන්සේ විශාල කර දක්වන බවට මම සාක්ශි දරනවා. කුමක් කිව යුතුද කුමක් කළ යුතුද කියා ශුද්ධාත්මයාණන් අපට පෙළඹවීම් ලබාදෙනවා. මෙවැනි උත්සහයන් නිසා අපගේ සුවපහසු කලාපයෙන් ඉවතට පැමිණීම අවශ්‍ය වෙනවා, නමුත් අපගේ ආලෝකය බැබළවීමට ස්වාමින්වහන්සේ අපට උපකාර කරන බවට අපට සහතික වන්නට පුළුවන්.

මෙම සභාව එළිදරව් තුළින් දිගින් දිගටම ඉදිරියට ගෙන යාමට මගපෙන්වන ගැළවුම්කරුවාණන්ගේ ආලෝකයට මම බොහෝ සේ ස්තූතිවන්ත වෙනවා.

රූපය
ගැළවුම්කරුවාණන් පහනක් අතින්ගෙන

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමින් අප අවට සිටින අය ගැන දයානුකම්පාවෙන් කටයුතු කරන ලෙසට මම අප සැමට ආරාධනා කරනවා. අන් අයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට යන මාර්ගය පෙනෙන ලෙස ඔබගේ ආලෝකය බැබළවීය හැකි අවස්ථාවන් වෙනුවෙන් සොයා බලා යාච්ඤා කරන්න. උන්වහන්සේගේ පොරොන්දුව ඉතා ශ්‍රේෂ්ඨයි: “මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේය.”12 අපගේ ගැළවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ මාර්ගය, සත්‍යය, ජීවනය, ආලෝකය, සහ ආදරය බව මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.