ශුද්ධලියවිලි
මොර්මන් 6


6 වන පරිච්ඡේදය

අවසාන සටන් සඳහා නීෆායිවරුන් කුමෝරා දේශයට එක්රැස් වෙති – මොර්මන් කුමෝරා කන්දේ පූජනීය වාර්තා සඟවයි – ලේමන්වරුන් ජයග්‍රාහී වෙති, තවද නීෆායිවර ජාතිය විනාශ වෙයි – සිය දහස් ගණනක් කඩුවෙන් මරා දමනු ලබයි. ක්‍රි.ව. 385 පමණ.

1 තවද දැන් මම මගේ ජනතාව වන නීෆායිවරුන්ගේ විනාශය පිළිබඳ මාගේ වාර්තාව අවසන් කරමි. තවද එය මෙසේ සිදු විය, එනම් අප ලේමන්වරුන්ට ඉදිරියෙන් ගමන් කළෙමු.

2 තවද මොර්මන් වන මම, ලේමන්වරුන්ගේ රජු වෙත ලිපියක් ලියා, තවද අපගේ ජනතාව කුමෝරා දේශයට, කුමෝරා ලෙස හැඳින්වෙන කන්දක් අසල, එක් රැස් කර ගැනීමටත්, තවද එහිදී අපට ඔවුන්ට සටන් කිරීමටත් අවසර දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියෙමි.

3 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන්ගේ රජු මා කැමති වූ එම දෙය මා හට ලබා දුන්නේය.

4 තවද එය මෙසේ සිදු විය, එනම් අප කුමෝරා දේශය දෙසට ඉදිරියට ගමන් කළෙමු, තවද අප කුමෝරා කන්ද වටා අපගේ කූඩාරම් ගසා ගත්තෙමු; තවද එය බොහෝ ජලය, ගංගා සහ උල්පත් ඇති දේශයක විය; තවද මෙහිදී ලේමන්වරුන් අභිබවා වාසි ලබා ගැනීමට අපට බලාපොරොත්තුවක් තිබුණි.

5 තවද වසර තුන්සිය අසූ හතරක් ගත වූ පසු, තවද අප අපගේ ජනතාවගේ ඉතිරිවූවන් සියල්ලන්වම කුමොරා දේශයට රැස් කළෙමු.

6 තවද එය මෙසේ සිදු විය, එනම් අප අපගේ සියලු ජනතාව කුමෝරා දේශයට එකට එක් රැස් කළ විට, බලව, මම, මොර්මන් මහලු වීමට පටන් ගත්තෙමි; තවද එය මාගේ ජනතාවගේ අවසාන අරගලය බව දැන සිටි අතර, තවද අපගේ පියවරුන් විසින් භාර දී ඇති, පූජනීය වූ වාර්තා ලේමන්වරුන්ගේ අතට පත්වීමට මට ඉඩ නොදෙන ලෙස ස්වාමීන්වහන්සේගෙන් අණ කරන ලදී, (මක්නිසාද ලේමන්වරුන් ඒවා විනාශ කරනු ඇත්තේය), එසේහෙයින් මම නීෆායිගේ තහඩු වලින් මෙම වාර්තාව සාදා, තවද එය මාගේ පුත් මොරෝනායිට දුන් මෙම තහඩු ස්වල්පය හැර, ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් මට භාර දී ඇති සියලුම වාර්තා කුමෝරා කන්දේ සඟවා තැබුවෙමි.

7 තවද එය මෙසේ සිදු විය, එනම් මාගේ ජනතාව, ඔවුන්ගේ භාර්යාවන් සහ ඔවුන්ගේ දරුවන් සමඟ, දැන් ලේමන්වරුන්ගේ හමුදාවන් ඔවුන් දෙසට ගමන් කරනු දුටුවෝය; තවද සියලු දුෂ්ටයන්ගේ ළය පුරවන එම මරණ බියත් සමඟ, ඔවුන් පිළිගැනීමට ඔවුන් බලා සිටියහ.

8 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් අපට විරුද්ධව සටන් කිරීමට පැමිණියේය, තවද ඔවුන්ගේ සංඛ්‍යාවේ විශාලත්වය නිසා සෑම ප්‍රාණයක්ම භීතියෙන් පිරී ගියේය.

9 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුහු කඩුවෙන් ද, තවද දුන්නෙන් ද, තවද ඊතලයෙන් ද, තවද පොරවෙන් සහ සියලු ආකාරයේ යුද්ධායුධවලින් ද මාගේ ජනතාවට පහර දුන්නෝය.

10 තවද එය මෙසේ සිදු විය, එනම් මාගේ මනුෂ්‍යයන්, එසේය, මා සමඟ සිටියාවූ මාගේ දසදහස පවා, කපා දමන ලදී, තවද මම තුවාල ලබා මධ්‍යයේ වැටුණෙමි; තවද ඔවුන් මා පසුකර ගිය අතර, එනම් ඔවුන් මාගේ ජීවිතය අවසන් නොකළහ.

11 තවද ඔවුන් ඒ හරහා ගොස්, අපෙන් විසි හතර දෙනෙක් හැර (ඔවුන් අතර මගේ පුත් මොරෝනායි ද විය), අපගේ සියලු ජනතාව කපා දැමූ විට, තවද අපගේ ජනතාවගේ මළවුන්ගෙන් බේරුණු අප, පසුදා කුමෝරා කන්ද මුදුනේ සිට, ලේමන්වරුන් ඔවුන්ගේ කඳවුරු වෙත ආපසු පැමිණි විට, මා විසින් පෙරමුණට ගෙන යනු ලැබූ, මාගේ ජනතාවගෙන් දසදහසක් කපා දමා තිබෙන අයුරු දුටුවෙමු.

12 තවද එසේම මාගේ පුත්‍රයා වන මොරෝනායි විසින් මෙහෙය වනු ලැබු මාගේ ජනතාව දස දහසක් අප දුටුවෙමු.

13 තවද බලව, ගිඩ්ගිඩෝනාගේ දස දහසක් වැටී සිටියෝය, තවද එසේම ඔහුත් ඔවුන් මාධ්‍යයෙහි සිටියේය.

14 තවද ලේමාහ් ඔහුගේ දස දහස සමඟ වැටුණේය; තවද ගිල්ගාල් ඔහුගේ දස දහස සමඟ වැටුණේය; තවද ලිම්හා ඔහුගේ දස දහස සමඟ වැටුණේය; තවද ජෙනියුම් ඔහුගේ දස දහස සමඟ වැටුණේය; තවද කුමේනිහා, තවද මොරොනිහා, තවද ඇන්ටිඕනම්, තවද ෂිබ්ලොම්, තවද ෂෙම්, තවද ජොශ්, ඔවුන්ගේ දස දහස සමඟ වැටුණෝය.

15 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ දස දහසක් සමඟින්, එහි කඩුවෙන් වැටුණාවූ තවත් දස දෙනෙක් සිටියෝය; එසේය, තවද එසේම දකුණු රටවල් වෙතට පලා ගියාවු කිහිප දෙනෙකුද, සහ ලේමන්වරුන් වෙත පලා ගියාවු ස්වල්ප දෙනෙකුද, මා සමඟ සිටියාවූ විසිහතර දෙනා හැරුනු කොට, මාගේ සියලු ජනතාවම පවා වැටී සිටියෝය; තවද ඔවුන්ගේ මාංශයද, තවද ඇටකටු සහ ලේ පොළොවේ තලය මතුපිට වැතිරී, ඔවුන්ව මරණයට පත් කළාවු අයගේ අත්වලින් පොළොව මත කුණුවීමටද, තවද දිරා පත්වීමටද, තවද ඔවුන්ගේ මාතෘභූමියට ආපසු යෑමට, අත්හරිනු ලැබූහ.

16 තවද මරණයට පත් වූ මාගේ ජනතාව නිසා මාගේ ප්‍රාණය වේදනාවෙන් පැළි ගොස්, තවද මම මෙසේ මොරගැසුවෙමි.

17 අහෝ පැහැපත් වූ නුඹලා, ස්වාමීන්වහන්සේගේ මාර්ගවලින් නුඹලාට ඉවත් වීමට හැකි වූයේ කෙසේද! අහෝ පැහැපත් වූ නුඹලා, නුඹලා පිළිගැනීමට විවෘත හස්තය සමඟින් සිටියාවු ජේසුස්වහන්සේව නුඹලාට ප්‍රතික්ෂේප කිරීමට හැකි වූයේ කෙසේද!

18 බලව, නුඹලා මෙය සිදු නොකළේ නම්, නුඹලා නොවැටෙන්නේය. එහෙත් බලව, නුඹලා වැටී ඇත්තේය, තවද මම නුඹලාගේ නැසීම ගැන ශෝක වෙන්නෙමි.

19 අහෝ, පැහැපත් පුත්‍රයන් සහ දියණියන් වූ නුඹලා, පියවරුන් සහ මව්වරුන් වූ නුඹලා, ස්වාමිපුරුෂයන් සහ භාර්යාවන් වූ නුඹලා, පැහැපත් තැනැත්තන් වූ නුඹලා, එනම් නුඹලාට කෙසේ වැටෙන්නට හැකිව තිබුණිද!

20 එහෙත් බලව, නුඹලා පිටව ගොස් ඇත්තේය, තවද මාගේ ශෝකයට නුඹලාව නැවත ගෙන ඒමට නොහැකිය.

21 තවද එනම් නුඹලාගේ මරණිය ශරීරය අමරණීයභාවය පැළඳ ගත යුතු දවස ඉක්මණින් පැමිණෙන්නේය, තවද දැන් කුණුවෙමින් දූෂ්‍යවන්නාවු මෙම ශරීර ඉක්මණින් නොදිරන්නාවු ශරීර බවට පත් විය යුතුය; තවද ඉන්පසු නුඹලා නුඹලාගේ ක්‍රියාවන් අනුව විනිශ්චය කරනු ලැබීමට ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චයාසනය අභිමුඛයෙහි සිටිය යුතුවන්නේය; තවද නුඹලා ධර්මිෂ්ඨ වන්නේහු නම්, එවිට නුඹලාට පෙර ගියාවු නුඹලාගේ පියවරුන් සමඟ නුඹලා ආශීර්වාද ලද්දවුන් වන්නෝය.

22 අහෝ, එනම් මෙම මහත් විනාශය නුඹලා මතට පැමිණීමට පෙර නුඹලා පසුතැවිලි වූයේ නම් කොපමණ යහපත් වන්නේද. එහෙත් බලව, නුඹලා පිටව ගොස් ඇත්තේය, තවද පියාණන්වහන්සේ, එසේය, ස්වර්ගයේ සදාකාලික පියාණන්වහන්සේ, නුඹලාගේ ස්වභාවය දන්නා සේක; තවද උන්වහන්සේ, උන්වහන්සේගේ යුක්තිය සහ දයාව අනුව නුඹලා සමඟ ක්‍රියා කරන සේක.