ශුද්ධලියවිලි
මොරෝනායි 8


8 වන පරිච්ඡේදය

කුඩා දරුවන්ගේ බෞතීස්මය නපුරු පිළිකුල්සහගත දෙයකි – කුඩා දරුවන් ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවමාන වන්නේ වන්දිගෙවීම නිසාවෙනි – ඇදහිල්ල, පසුතැවිල්ල, නිහතමානීකම සහ හදවතේ යටහත්කම, ශුද්ධාත්මයාණන් ලැබීම, අවසානය දක්වා විඳ දරාගැනීම ගැලවීම සඳහා හේතු වේ. ක්‍රි.ව. 401–421 පමණ.

1 මාගේ පියා වන මොර්මන්ගේ ලිපියක්, මොරෝනායි වන මා හට ලියන ලද; තවද එය මා හට ලියන ලද්දේ මා මෙහෙය කිරීමට කැඳවා කෙටි කලකින්ය. තවද මෙම කාරණාව ගැන ඔහු මා හට මෙසේ පවසමින්, ලියුවේය:

2 මාගේ ප්‍රියාදර පුත්‍රය, මොරෝනායි, මම බොහෝසෙයින් සතුටු වන්නෙමි එනම් නුඹගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹ ගැන සැලකිලිමත් වී, තවද උන්වහන්සේගේ මෙහෙයට, තවද උන්වහන්සේගේ ශුද්ධ වූ කාර්යයට නුඹව කැඳවීම පිළිබඳවය.

3 මම සෑමවිටම මාගේ යාච්ඤාවල නුඹ ගැන සැලකිලිමත් වන්නෙමි, නොනවත්වා පියාණන් වන දෙවියන්වහන්සේ හට යාච්ඤා කරමින් උන්වහන්සේගේ ශුද්ධ වූ දරුවාගේ, එනම් ජේසුස්වහන්සේගේ නාමයෙන්, එනම් උන්වහන්සේ, උන්වහන්සේගේ අපිරිමිත යහපත්කම සහ කරුණාව තුළින්, අවසානය දක්වා උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ලෙන් විඳ දරාගැනීම තුළින් නුඹව පවත්වා ගන්නා පිණිසය.

4 තවද දැන්, මාගේ පුත්‍රය, මා බොහෝසෙයින් ශෝකයට පත් කරන යමක් ගැන මම නුඹට පවසමි; මක්නිසාද නුඹලා අතර මතභේද නැඟීම මට ශෝකයකි.

5 මක්නිසාද, මම සත්‍යය දැනගෙන ඇත්නම්, නුඹලාගේ කුඩා දරුවන්ගේ බෞතීස්මය ගැන නුඹලා අතර විවාද ඇති වී තිබේ.

6 තවද දැන්, මාගේ පුත්‍රය, නුඹලා උද්‍යෝගයෙන් වැඩ කරන ලෙස මම ආශා කරමි, එනම් මෙම බරපතල වරද නුඹලා අතරින් ඉවත් කරන ලෙසටය; මක්නිසාද, මෙම අරමුණ සඳහා මක්නිසාද මම නුඹට මේ හසුන ලිව්වෙමි.

7 මක්නිසාද මම නුඹගෙන් මේ දේවල් ගැන දැනගත් වහාම මේ කාරණය ගැන ස්වාමීන්වහන්සේගෙන් විමසුවෙමි. තවද ස්වාමීන්වහන්සේගේ වචනය ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් මා වෙත පැමිණ, පැවසූ සේක:

8 නුඹගේ මිදුම්කරුවාණන්, නුඹගේ ස්වාමීන්වහන්සේ සහ නුඹගේ දෙවියන් වන, ක්‍රිස්තුස්වහන්සේගේ වචනවලට සවන් දෙන්න. බලව, මම ලෝකයා වෙතට පැමිණියේ ධර්මිෂ්ඨයන් පසුතැවිල්ලට කැඳවීමට නොව එහෙත් පව්කාරයන් කැඳවීමටය; නිරෝගීන්ට වෙදාගෙන් අවශ්‍යතාවයක් නැත, එහෙත් රෝගීන්ට ඇත; එබැවින්, කුඩා දරුවන් පවිත්‍රය, මක්නිසාද ඔවුන්ට පව් කිරීමට හැකියාවක් නැත; එබැවින් මා විසින් ආදම්ගේ ශාපය ඔවුන්ගෙන් ඉවතට ගෙනෙන ලදී, එනම් එයට ඔවුන් කෙරෙහි බලයක් නැත; තවද චර්මච්ඡේදනය කිරීමේ නීතිය මා විසින් ඉවත් කර ඇත.

9 තවද මේ ආකාරයට අනුව ශුද්ධාත්මයාණන් මා හට දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශිත කළ සේක; එබැවින්, මාගේ ප්‍රේමණීය පුත්‍රය, එනම් ඔබ කුඩා දරුවන් බෞතීස්ම කළ යුතු බව, දෙවියන්වහන්සේ අභිමුඛයෙහි බරපතල අවමන් කිරීමක් බව මම දනිමි.

10 බලව මම නුඹට කියමි එනම් නුඹ මේ දෙය උගන්වන පිණිස – පසුතැවීම සහ බෞතීස්මය ඇත්තේ වගකිව හැකි සහ පව් කිරීමට හැකි අයවලුන් පිණිසයි; එසේය, දෙමාපියන්ට උගන්වන්න ඔවුන් පසුතැවිලි වී බෞතීස්ම විය යුතු බව, තවද ඔවුන් ඔවුන්ගේ කුඩා දරුවන් සේ තමන්ව නිහතමානී කළ යුතු බව, තවද ඔවුන් සියල්ලන්ම ඔවුන්ගේ කුඩා දරුවන් සමඟ ගලවාගනු ඇත.

11 තවද ඔවුන්ගේ කුඩා දරුවන්ට පසුතැවීම අවශ්‍ය නැත, බෞතීස්මය ද නැත. බලව, බෞතීස්මය පසුතැවීම හේතුවෙන් අණ පනත් ඉෂ්ට කිරීමට පව් කමාව ලබා ගැනීම සඳහා අණ පනත් ඉටු කිරීමටය.

12 එහෙත් කුඩා දරුවන් ලෝකයේ පටන්ගැන්මේ සිට පවා, ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවමාන වේ; එය එසේ නොවේ නම්, දෙවියන්වහන්සේ පක්ෂපාතී දෙවි කෙනෙකි, තවද එසේම වෙනස්වන දෙවි කෙනෙකි, තවද පුද්ගලයන්ගේ තරාතිරම් බලන කෙනෙක් වන සේක; මක්නිසාද බෞතීස්මය නොමැතිව කුඩා දරුවන් කොපමණ මිය ගොස් ඇත්ද!

13 එබැවින්, බෞතීස්මය නොමැතිව කුඩා දරුවන්ව ගලවා ගත නොහැකි නම්, ඔවුන් අනන්තවූ නිරයකට යන්නට ඇත්තේය.

14 බලව මම නුඹට කියමි, එනම් කුඩා දරුවන්ට බෞතීස්මය අවශ්‍ය වන්නේ යැයි සිතන තැනැත්තා තිත්තකමේ පිතෙහි සහ අයුතුකමේ බැඳීම්වල සිටින බවය; මක්නිසාද ඔහුට ඇදහිල්ල ද, බලාපොරොත්තුව ද, දයාව ද නැත; එබැවින්, ඔහු ඒ සිතිවිල්ල තුළ කපා හරින්නේ නම්, ඔහු නිරයට බැස යා යුත්තේය.

15 මක්නිසාද එනම් දෙවියන්වහන්සේ බෞතීස්මය නිසා එක් දරුවෙකු ගලවාගන්නා බවත්, තවද අනෙකා බෞතීස්මය නොමැති නිසා විනාශ වී යන්නේ යැයි සිතීම භයානක දුෂ්ටකමක් වේ.

16 ස්වාමීන්වහන්සේගේ මාර්ගයන් මේ ආකාරයෙන් මුළා කරන අයවලුන්ට දුක් වේ, මක්නිසාද ඔවුන් පසුතැවිලිවනවා මිස ඔවුන් විනාශ වී යන්නේය. බලව, දෙවියන්වහන්සේගෙන් අධිකාරී බලය ඇතිව, මම නිර්භීතව කතා කරමි; තවද මම මනුෂ්‍යයාට කළ හැකි දේට මම බිය නොවෙමි; මක්නිසාද පරිපූර්ණ ප්‍රේමය සියලු බිය පලවා හරින්නේය.

17 තවද සදාකාලික ප්‍රේමය වන, දයාවෙන් මම පිරී සිටිමි, එය සදාකාලික ප්‍රේමයයි; එබැවින්, සියලු දරුවන් මා හට එක සේ වන්නේය; එබැවින්, මම කුඩා දරුවන්ට පරිපූර්ණ ප්‍රේමයකින් ප්‍රේම කරමි; ඔවුන් සියලුදෙනා එක සමාන වේ තවද ගැලවීමේ කොටස්කරුවෝ ය.

18 මක්නිසාද දෙවියන්වහන්සේ පක්ෂපාතී දෙවි කෙනෙක් නොවන බව මම දනිමි, වෙනස්වන පැවැත්මක් ද නොවන සේක; එහෙත් උන්වහන්සේ සියලු සදාකාලයේ සිට සියලු සදාකාලයටම වෙනස් නොවන සේක.

19 කුඩා දරුවන්ට පසුතැවිලි විය නොහැක; එබැවින්, ඔවුන් හට දෙවියන්වහන්සේගේ පවිත්‍ර කරුණාවන් ප්‍රතික්ෂේප කිරීම භයානක දුෂ්ටකමකි, මක්නිසාද උන්වහන්සේගේ කරුණාව නිසා ඔවුන් සියල්ලෝම උන්වහන්සේ තුළ ජීවමාන වේ.

20 තවද කුඩා දරුවන්ට බෞතීස්මය අවශ්‍ය බව පවසන තැනැත්තා ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවන් ප්‍රතික්ෂේප කරන්නේය, තවද උන්වහන්සේගේ වන්දිගෙවීම සහ උන්වහන්සේගේ මිදීමේ බලය නොසලකා හරින්නේය.

21 එවැන්නන්ට දුක් වේ, මක්නිසාද ඔවුන් මරණයේ, නිරයේ, සහ නිමක් නැති වද වේදනාවේ තර්ජනයට ලක් වේ. මම එය නිර්භීතව කතා කරමි; දෙවියන්වහන්සේ මා හට අණ කළ සේක. ඒවාට සවන් දී අවධානය දෙන්න, නැතහොත් ඒවා ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චය – ආසනයේ දී නුඹට එරෙහිව සිටිනු ඇත්තේය.

22 මක්නිසාද බලව එනම් සියලු කුඩා දරුවන් ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවමාන වේ, තවද එසේම නීතියෙන් තොර සියල්ලෝම. මක්නිසාද මිදීමේ බලය නීතියක් නැති සියල්ලන් හට පැමිණෙන්නේය; එබැවින්, හෙළා දැක නැති තැනැත්තා, නැතහොත් හෙළා දැකීමට ලක් නොවූ තැනැත්තාට, පසුතැවිලි විය නොහැක; තවද එවැන්නන්ට බෞතීස්මය කිසිඳු ප්‍රයෝජනයක් නොවේ –

23 එහෙත් එය දෙවියන්වහන්සේ අභිමුඛයෙහි අවමන් කිරීමකි, ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව, සහ උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගේ බලය ප්‍රතික්ෂේප කිරීම, තවද මළ ක්‍රියාවන්හි විශ්වාසය තැබීමය.

24 බලව, මාගේ පුත්‍රය, මේ දේ සිදු නොවිය යුතුය; මක්නිසාද පසුතැවිලිවීම එනම් හෙළා දැකීමට ලක්ව ඇති සහ කැඩුණු නීතියක ශාපයට ලක් වූ තැනැත්තන් වෙනුවෙන් වේ.

25 තවද පසුතැවිලිවීමේ පළමු ඵලය බෞතීස්මයයි; තවද බෞතීස්මය පැමිණෙන්නේ ඇදහිල්ල මත අණ පනත් ඉටු කිරීමෙන්ය; තවද අණ පනත් ඉටු කිරීමෙන් පව් කමාව ගෙනෙන ලදි;

26 තවද පව් කමාව නිහතමානීකම ද, තවද හදවතේ යටහත්පහත්කම ද ගෙන එයි; තවද නිහතමානීකම සහ හදවතේ යටහත්පහත්කම නිසා ශුද්ධාත්මයාණන්වහන්සේගේ බැහැදැකීම පැමිණෙයි, එම සැනසිලිදායකයාණන් බලාපොරොත්තුවෙන් හා පරිපූර්ණ ප්‍රේමයෙන් පුරවන සේක, අවසානය පැමිණෙනතෙක්, සියලු ශුද්ධවන්තයින් දෙවියන්වහන්සේ සමඟ වාසය කරන තුරු, එම ප්‍රේමය යාච්ඤාව කරා උද්‍යෝගයෙන් විඳදරා ගන්නේය.

27 බලව, මාගේ පුත්‍රය, මම ලේමන්වරුන්ට එරෙහිව පිටතට ළඟදීම නොයන්නේ නම් මම නැවත නුඹට ලියන්නෙමි. බලව, මෙම ජාතියේ අභිමානය, නැතහොත් නීෆායිවරුන්ගේ ජනතාව, ඔවුන් පසුතැවිලි නොවන්නේ නම් ඔවුන්ගේ විනාශය ඔප්පු කර ඇත.

28 මාගේ පුත්‍රය, පසුතැවීම ඔවුන් වෙත පැමිණෙන පිණිස, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරව. එහෙත් බලව, ආත්මයාණන් ඔවුන් සමඟ උත්සාහ කිරීම නවත්වනු ඇතැයි මම බිය වෙමි; තවද මෙම භූමි කොටස තුළ ද ඔවුන් දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නාවූ සියලු බලය හා අධිකාරී බලය සියල්ල පහතට හෙළීමට උත්සාහ කරන්නෝය; තවද ඔවුන් ශුද්ධාත්මයාණන් ප්‍රතික්ෂේප කරන්නෝය.

29 තවද මාගේ පුත්‍රය, මෙතරම් විශාල දැනුමක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, අනාගතවක්තෘවරුන් විසින් පවසන ලද අනාවැකි මෙන්ම, අපගේ ගැලවුම්කරුවාණන්ගේම වචන ඉටු කිරීම දක්වා ඔවුන් ඉක්මණින් විනාශ විය යුතුය.

30 සමුගනිමි, මාගේ පුත්‍රය, මා නුඹට නැවත ලියන තුරු, නැතහොත් නැවත නුඹව හමුවන තුරු. ආමෙන්.