ශුද්ධලියවිලි
සාක්ෂිකරුවන් තිදෙනාගේ සාක්ෂිය


සාක්ෂිකරුවන් තිදෙනාගේ සාක්ෂිය

මෙම කාර්යය පැමිණෙන්නේ කවුරුන් වෙතද යන්න සියලු ජාතීන්, ඥාතීන්, භාෂා සහ මිනිසුන් එය දැන ගත යුතු ය: පියාණන් වන දෙවියන්වහන්සේගේ සහ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව කරණකොටගෙන, අප මෙම වාර්තාව, එනම් නීෆායිගේ ජනතාව පිළිබඳවත්, තවද ලේමන්වරුන් පිළිබඳවත්, ඔවුන්ගේ සහෝදරයන් පිළිබඳවත්, තවද කථා කළා වූ කුළුණෙන් පැමිණි ජරෙද්ගේ ජනතාව පිළිබඳ වූ වාර්තාව අඩංගු තහඩු දුටුවෙමු. තවද ඒවා පරිවර්තනය කර ඇත්තේ දෙවියන්වහන්සේගේ දීමනාවෙන් හා බලයෙන් බව අපි දනිමු, මක්නිසාද උන්වහන්සේගේ හඬ එය අපට ප්‍රකාශ කර ඇත්තේය; එම නිසා එම කාර්යය සත්‍ය බවට සහතිකයක් ලෙස අපි දනිමු. තවද එසේම අප තහඩු මත ඇති එම කැටයම් දැක ඇති බවට සාක්ෂි දරන්නෙමු; තවද ඒවා මනුෂ්‍යයාගේ බලයෙන් නොව, දෙවියන්වහන්සේගේ බලයෙන් අපට පෙන්වා දී ඇත්තේය. තවද දෙවියන්වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස, ඔහු ගෙනැවිත් අපගේ ඇස් ඉදිරිපිට තැබූ බවත්, තවද අප බැලූ විට තහඩු, සහ එහි කැටයම් දුටු බවත්, අපි සිහිසුන් වචනයෙන් ප්‍රකාශ කරන්නෙමු; තවද මෙම දේවල් සත්‍ය බව අප දැක සාක්ෂි දරන්නේ පියාණන් වන දෙවියන්වහන්සේගේ ද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ද කරුණාවෙන් බව අපි දනිමු. තවද එය අපගේ ඇස්වලට පුදුමාකාරය. එසේ වුවද, ස්වාමීන්වහන්සේගේ හඬ අප එය පිළිබඳව සාක්ෂි දැරිය යුතු බවට අපට අණ කළේය; එබැවින් දෙවියන්වහන්සේගේ අණපනත් වලට කීකරු වන පිණිස, අප මෙම දේවල් පිළිබඳ සාක්ෂි දරන්නෙමු. තවද අප ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තව සිටින්නේ නම්, අපි අපගේ වස්ත්‍ර සියලු මනුෂ්‍යයන්ගේ ලේ වලින් නිදහස් වෙමින්, ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි නොකැළැල්ව සිටින බවත්, උන්වහන්සේ සමඟ සදාකාලයටම ස්වර්ගයෙහි වාසය කරන බවත් අපි දනිමු. තවද එකම දෙවියන්වහන්සේ වූ, පියාණන්වහන්සේටත්, තවද පුත්‍රයාණන්වහන්සේටත්, තවද ශුද්ධාත්මයාණන්වහන්සේටත්, ගෞරවය වේවා. ආමෙන්.

ඔලිවර් කව්ඩ්‍රි

ඩේවිඩ් විට්මර්

මාටින් හැරිස්