අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ සාක්ෂිය
මොර්මන්ගේ පොතේ පැමිණීම පිලිබඳ වූ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ වචන නම්:
“[1823] … සැප්තැම්බර් විසි එක්වන දින සවස් වරුවේ … මම සර්වබලධාරී දෙවියන්වහන්සේ හට යාච්ඤා කිරීමට සහ කන්නලව් කිරීමට යොමු වුණෙමි. …
“මෙලෙස මා දෙවියන්වහන්සේට හඬගසමින් සිටින විට, මාගේ කාමරයේ ආලෝකයක් පහළ වෙනු මට පෙනිණ, එය මධ්‍යහනයටත් වඩා කාමරය දීප්තිමත් වනතුරු වර්ධනය විය, එකෙනෙහිම පුද්ගලයෙක් මාගේ ඇඳ අසල ප්‍රකාශ වී, ගුවනෙහි සිටගෙන සිටි අතර, ඔහුගේ දෙපා බිම නොගැටිණ.
“ඔහු ඉතා උත්කර්ෂවත් ස්වේත වර්ණ සැහැල්ලු ලෝගුවක් පැළඳ සිටියේය. එය මා දැක ඇති ලෞකික ඕනෑම දෙයක් ඉක්මවූ ස්වේත වර්ණයක් විය; ලෞකික වූ කිසියම් දෙයක් එතරම් අධික ස්වේත වර්ණයකින් හෝ දීප්තිමත් ලෙස දර්ශනය වියහැකි යැයි මම විශ්වාස නොකරමි. ඔහුගේ අත්ද, මැණික් කටුවෙන් මඳක් ඉහළ බාහුවද නග්නව තිබිණ; එසේම ඔහුගේ දෙපාද, එසේම වළලුකරට මඳක් ඉහළින් වූ ඔහුගේ පාදද, නග්නව තිබිණ. ඔහුගේ හිස සහ ගෙලද ආවරණය වී නොතිබිණ. ඔහුගේ පපුව පෙනෙන සේ පැළඳ සිටි ලෝගුව විවර වී තිබූ හෙයින්, ඔහු මෙම ලෝගුව හැරුණු කොට වෙනත් වස්ත්‍රයක් පැළඳ නොසිටි බව මට දැකගත හැකිවිය.
“ඔහුගේ ලෝගුව ඉතා දීප්තිමත් සුදු පැහැයෙන් දිස්වූවා පමණක් නොව, එහෙත් ඔහුගේ මුළු ශරීරයම වර්ණනා විෂය ඉක්මවූ මහිමයකින් යුක්ත විය, තවද ඔහුගේ මුහුණුවරෙහි ස්වභාවය සත්‍ය ලෙසම විදුලිය මෙන් විය. කාමරය අතිශයින්ම ආලෝකමත් විය, එහෙත් ඔහුගේ ශරීරය වටා තිබූ දීප්තිය තරම්ම නොවීය. මම පළමුවෙන්ම ඔහු දෙස බැලූ විට, මම බිය වීමි; එහෙත් බිය ඉක්මණින් මාගෙන් පහව ගියේය.
“ඔහු මාගේ නමින් මා අමතා, තමා දෙවියන්වහන්සේ ඉදිරියෙන් මා වෙත එවූ පණිවිඩකරුවෙකු බවත්, ඔහුගේ නම මොරෝනි බවත් කීවේය; එමෙන්ම දෙවියන්වහන්සේට මා ලවා කරවාගැනීමට කාර්යයක් ඇති බවත්; තවද සියලු ජාතීන්, ගෝත්‍ර සහ භාෂාවන් අතර මාගේ නම හොඳට හෝ නරකට තිබිය හැකි බවත්, එසේ නැතහොත් සියලුම ජනතාව අතර, එය හොඳට සහ නරක දෙකටම කියනු ලැබෙන බවත් කීවේය.
“මෙම මහාද්වීපයෙහි ආදිවාසීන් ගැන සහ ඔවුන්ගේ ආරම්භය පිළිබඳ විස්තර ඇතුළත්, රන් තහඩු මත ලියන ලද, පොතක් තැන්පත් කර ඇති බවත් ඔහු කීවේය. ගැලවුම්කරුවාණන් විසින් පුරාණ ආදිවාසීන්ට දේශනා කළ, සදාකාලික ශුභාරංචියේ පූර්ණත්වය එහි ඇතුළත්ව ඇති බවත් ඔහු කීවේය.
“එසේම, රිදී දුනු වල සවිකළ ගල් දෙකක් ඇති බවත් – පපු කවචයක සවිකළ ඌරීම් සහ තුම්මීම් ලෙස හැඳින්වෙන මෙම ගල් – තහඩු සමඟ තැන්පත්කර ඇති බවත්; මෙම ගල් වල සන්තකය සහ භාවිතය, පුරාණ හෝ ආදි කාලයෙහි ‘දිවැසිවරුන්’ සතුව තිබූ බවත්; එසේම දෙවියන්වහන්සේ ඒවා සූදානම් කර තිබෙන්නේ මෙම පොත පරිවර්තනය කිරීමේ අරමුණ සඳහා බවත් කීවේය. …
“නැවතත්, ඔහු මා අමතා, ඔහු පෙර කතා කළ එම තහඩු මා ලබාගත් විට – මක්නිසාද ඒවා ලබාගැනීමේ කාලය තවම සම්පූර්ණව තිබුනේ නැත – මා ඒවා හෝ ඌරීම් සහ තුම්මීම් සහිත පපු කවච කිසිවෙකුට නොපෙන්විය යුතු බවත්; පෙන්විය යුත්තේ ඔහු ආඥා කරන පුද්ගලයන්ට පමණක් බවත්; මා එසේ කළහොත් මා විනාශ විය යුතු බවත් කීවේය. ඔහු මා සමඟ තහඩු පිළිබඳව කතා කරමින් සිටියදී, තහඩු තැන්පත් කර තිබෙන ස්ථානය මට දැකගත හැකිවීම පිණිස, දර්ශනයක් මගේ මනසට විවෘත විය, තවද පසුව මා එහි ගියවිට, ඒ ස්ථානය දැනගත හැකි තරම් එය ඉතා පැහැදිලි සහ ප්‍රත්‍යක්ෂ විය.
“මේ සාකච්ඡාවෙන් පසුව, කාමරයෙහි තිබූ ආලෝකය මා සමඟ කතා කරමින් සිටි එම පුද්ගලයාගේ ශරීරය වටා එකතු වීමට පටන්ගත් බව මම දුටුවෙමි, තවද ඔහු වටා හැර, කාමරය අඳුරු වනතුරු එය පැවතිණි; එකෙණෙහිම එම ආලෝකය ස්වර්ගය දක්වා විහිදී ගිය නලයක් මෙන් මම දුටුවෙමි, තවද ඔහුව සම්පූර්ණයෙන්ම නොපෙනී යන තුරු ඔහු ඉහළට නැගී ගිය අතර, තවද කාමරය මෙම ස්වර්ගීය ආලෝකය පහළ වීමට පෙර තිබුනාක් මෙන් විය.
“එම දර්ශනයෙහි අසාමාන්‍යතාව සහ මෙම අපූර්ව පණිවිඩකරු විසින් මට කියන ලද දේවල් පිළිබඳවද මහත් සේ මවිත වෙමින් මම වැතිර සිටියෙමි; එවිට, මෙම ගැඹුරු කල්පනාව මැදදී, මාගේ කාමරය නැවතත් ආලෝකමත් වීමට පටන්ගත් බව හදිසියේම මට පෙණින, තවද එකෙනෙහිම, කලින් මෙන්, පෙර කී ස්වර්ගීය පණිවිඩකරුම මාගේ ඇඳ අසල විය.
“ඔහු පළමු බැහැදැකීමේදී විස්තර කළ සියල්ල ඉතා සුළු වෙනස්කිරීමකින් පවා තොරව, නැවතත් විස්තර කරමින් සාකච්ඡාව ආරම්භ කළේය; එසේ කොට, සාගතයෙන්ද, කඩුවෙන්ද, වසංගතයන් මගින්ද මහත් පාළුවීම් සහ පොළොව මත පැමිණෙන මහත් විනිශ්චයන් පිළිබඳවද ඔහු මට කීවේය; තවද එසේම මෙම භයානක විනිශ්චයන් මේ පරම්පරාව තුළදීම පොළොව මත පැමිණිය හැකි බවත් කීවේය. මේ දේවල් විස්තර කිරීමෙන් පසුව, ඔහු නැවත වරක් පෙර සේම ඉහළට නැගුනේය.
“මේ අවස්ථාව වන විට, මාගේ මනසෙහි ඇතිව තිබූ හැඟීම් ඉතා ගැඹුරු වූ හෙයින්, නින්ද මාගේ දෑසින් පලා ගොස්, තවද මා දුටු සහ ඇසූ දෙයින් විස්මිතව මම වැතිර සිටියෙමි. එහෙත් නැවතත් එම පණිවිඩකරුම මාගේ ඇඳ අසල සිට පෙර මෙන්ම එකී දේවල් විස්තර කිරීම හෝ නැවත කීම ඇසුන විට, මාගේ මවිතය කෙසේ විය හැකිද; තවද ඔහු මට අනතුරු ඇඟවීමක් කරමින්, (මාගේ පියාගේ පවුලේ දිළිඳු තත්වයේ ප්‍රතිඑලයක් ලෙස) මෙම තහඩු ධනවත් වීම සඳහා ලබාගන්නා ලෙස සාතන් මා පෙළඹවීමට උත්සාහ දරනු ඇතැයිද කීවේය. මෙය ඔහු මට තහනම් කරමින්, දෙවියන්වහන්සේව මහිමවත් කිරීම හැර, තහඩු ලබාගැනීමට වෙනත් අරමුණක් මට තිබිය යුතු නැති බවද, තවද උන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීම හැර, වෙනත් අභිප්‍රායකින් පෙළඹවීම් වලට යටත් නොවිය යුතු බවද; නැතහොත් මට ඒවා ලබාගැනීමට නොහැකි බවද කීවේය.
“මෙම තුන්වන බැහැදැකීමෙන් පසුව, පෙර මෙන්ම ඔහු ස්වර්ගයට නැගී ගියේය, තවද මා දැන් අත්දුටු දේවල අපූර්වතාව ගැන මම නැවතත් කල්පනා කරන්නට වීමි; මෙම ස්වර්ගීය පණිවිඩකරු තුන්වෙනි වරටත් මාගෙන් වෙන්ව ඉහළට නැගීමත් සමඟම, කුකුළා හැඬලීය, තවද උදෑසන කාලය ලඟාවෙමින් පවතින බවද, අපේ සම්මුඛ සාකච්ඡා එම රාත‍්‍රිය මුළුල්ලේම පැවති බවද මම එයින් දැනගතිමි.
“ඉන් සුළු වේලාවකට පසු මම ඇඳෙන් නැගිට, තවද, සාමාන්‍ය ලෙස දවසේ අවශ්‍ය කටයුතු සඳහා ගියෙමි; එහෙත්, වෙනත් අවස්ථා වලදී මෙන් වැඩකිරීමට තැත්කිරීමේදී, මා සම්පූර්ණයෙන්ම දුර්වල වී මගේ ශක්තිය සිඳී ඇති බව මම දැනගතිමි. මා සමඟ වැඩකරමින් සිටි මගේ පියා, මා කිසියම් දෝෂයකින් පෙළෙන බව දැන, මට නිවසට යන ලෙස කීවේය. මම නිවසට යාමේ අදහස ඇතිව පිටත්වීමි; එහෙත්, අප සිටි ගොවිබිමේ වැට පනින්නට යාමේදී, මා සම්පූර්ණයෙන්ම ශක්තියෙන් හීන වී ගොස්, තවද අසරණව මම බිම ඇදවැටී, තවද මඳ වේලාවක් කිසිවක් නොදැන, මම සිහි විසඥව සිටියෙමි.
“මට මතක් කළ හැකි පළමු දෙය නම් මාගේ නමින් මා අමතන කටහඬකි. මා ඉහළ බැලූවිට, එම පණිවිඩකරුම පෙර මෙන් ආලෝකයකින් වටවී, මාගේ හිසට උඩින් සිටගෙන සිටිනු දුටුවෙමි. ඔහු නැවතත් පෙරදින රාත‍්‍රියේ මට විස්තර කළ සියල්ල විස්තර කර, තවද මගේ පියා ළඟට ගොස් මට ලැබුණු දර්ශනය සහ ආඥා ගැන ඔහුට කියන ලෙස මට ආඥා කළේය.
“මම කීකරු වීමි; මම ආපසු ගොවිබිමේ සිටි මගේ පියා වෙත ගොස්, තවද සම්පූර්ණ කාරණය ඔහුට විස්තර කළෙමි. ඒ දෙවියන්වහන්සේගෙන් බව ඔහු මට පිළිතුරු දුන්නේය, තවද පණිවිඩකරු ආඥා කළ ලෙස ගොස් කරන ලෙසද මට කීවේය. මම ගොවිබිමෙන් නික්ම, තවද තහඩු තැන්පත් කර ඇතැයි පණිවිඩකරු විසින් කියන ලද ස්ථානයට ගියෙමි; ඒ පිළිබඳව මා දුටු දර්ශනයේ විශිෂ්ටත්වය නිසා, මා එහි ගිය විගසම මම එම ස්ථානය හඳුනාගතිමි.
“නිව්යෝර්ක් හි, ඔන්ටාරියෝ ප්‍රාන්තයේ, මැන්චෙස්ටර් නම් ග‍්‍රාමයට සමීපව, සැලකිය යුතු ප්‍රමාණයක කන්දක් තිබෙන අතර, එය එම ප්‍රදේශයේ අවට ඇති උස්ම ස්ථානයයි. මෙම කන්දේ බස්නාහිර පැත්තේ, මුදුනට නුදුරින්, සැලකිය යුතු ප්‍රමාණයක ගලක් යට, ගලින් තනන ලද පෙට්ටියක් තුළ, එම තහඩු තැන්පත් කර තිබුණි. මෙම ගල ඝණකම් සහ උඩු පැත්තේ මැද කොටස ගෝලාකාර වූ අතර, එහි අද්දර තුනීව තිබූ එකකි, එසේහෙයින් එහි මැද කොටස පොළොවෙන් මතුපිටට පෙනෙන්නට තිබුනත්, එහි අද්දර වටේට පස් වලින් වැසී ගොස් තිබුණි.
“පස් ඉවත්කර, මම ලීවරයක් ලබාගතිමි, මම එය ගලේ අද්දර යටට සවිකර, තවද මඳ වෑයමකින් එය උස්සා ගතිමි. මා එහි තුළ බැලූ කළ, තවද පණිවිඩකරු සඳහන් කළ පරිදි, ඇත්තවශයෙන්ම, එහි තහඩුද, ඌරීම් සහ තුම්මීම්ද, තවද පපු කවචයද මම දුටුවෙමි. ඒවා බහා තිබූ පෙට්ටිය, ගල් සහ යම්කිසි සිමෙන්ති වර්ගයක් එකතුකර තනන ලද්දකි. තවද එම පෙට්ටිය පතුලෙහි හරහට තැබූ ගල් දෙකක් මත, තහඩු සහ අනෙක් දේවල්ද තැන්පත් කර තිබුණි.
“මම ඒවා පිටතට ගැනීමට තැත් කළෙමි, එහෙත් එසේ කිරීමට පණිවිඩකරු විසින් මට තහනම් කර, තවද ඒවා ගැනීමට වෙලාව තවම පැමිණ නැති බවත්, එතැන් සිට තව අවුරුදු හතරක් යනතුරු, එසේ නොවන බවත් නැවතත් මට දන්වා සිටියේය; එහෙත් හරියටම තවත් අවුරුද්දකින් මා එම ස්ථානයට පැමිණිය යුතු බවත්, තවද මා මුණගැසීමට ඔහු එහි සිටින බවත් ඔහු මට කීවේය, තවද එසේම එම තහඩු ලබාගන්නා දිනය එනතුරු, මා එලෙසම නොනවත්වා කළ යුතු බවත් ඔහු මට කීවේය.
“ඒ අනුව, මට ආඥා කළ පරිදි, සෑම අවුරුද්දකම අවසානයේ මම ගිය අතර, ඒ හැම අවස්ථාවකදීම එම පණිවිඩකරුවාම මට හමුවුන අතර, තවද අපගේ සෑම සාකච්ඡාවකදීම, ස්වාමින්වහන්සේ ඉදිරියේදී කිරීමට යන දේවල් ගැන, සහ කෙසේ සහ කුමන ආකාරයකින් උන්වහන්සේගේ රාජ්‍ය මෙම අන්තිම දවස් වලදී මෙහෙයවිය යුතුද කියා, ඔහුගෙන් උපදෙස් සහ අනුදැනුමද ලැබුවෙමි. …
“කල්යාමේදී තහඩුත්, ඌරීම් සහ තුම්මීම් සමඟ පපු කවචයත් ලබාගත යුතු කාලය පැමිණියේය. වර්ෂ එක්දහස් අටසිය විසිහතේ සැප්තැම්බර් මස විසිදෙවෙනි දින, සුපුරුදු පරිදි තවත් වසරක් අවසානයේදී ඒවා තැන්පත් කළ ස්ථානයට ගිය විට, පෙර කී ස්වර්ගික පණිවිඩකරු මෙම නියෝගය පිට මට ඒවා බාරදුන්නේය: එනම්, ඒ සියල්ලටම මා වගකිව යුතු බවත්; මගේ නොසැලකිල්ලෙන් හෝ යම් අතපසුවීමකින් පිටතට ඒවා ගියහොත්, මා දෙවියන්වහන්සේ ඉදිරියෙන් කපාහරින බවත්; එහෙත් එම පණිවිඩකරු ඇවිත් ඒවා ඉල්ලන තුරු, මාගේ සියලු උත්සාහයන් දරා ඒවා ආරක්ෂා කළහොත්, ඒවා ආරක්ෂිතව තිබෙන බවත් ඔහු කීවේය.
“ඒවා සුරක්ෂිතව තබාගැනීම සඳහා මට එතරම් දැඩි නියෝග පැනවූයේ මක්නිසාද යන හේතුවද, තවද මගේ අතින් ඉටුවිය යුතු කාරණා නිමවූ පසු, ඔහු ඒවා නැවත ගන්නට පැමිණෙන බව එම පණිවිඩකරු පැවසුවේ මක්නිසාද යන හේතුවද, වැඩිකල් යන්නට මත්තෙන් මම සොයාගත්තෙමි. මක්නිසාදයත් ඒ දේවල් මා සතුව තිබෙන බව දැනගත් වහාම ඒවා මාගෙන් පැහැරගැනීමට ඉතා දරුණු ප්‍රයත්න ඇතිවිය. එම සෑම උපායක්ම යොදවා තිබුණේ එම අරමුණ සඳහාය. හිරිහැර එන්න එන්නම කලින් තිබුනාටත් වඩා දරුණු විය, හැකිනම් ඒවා මාගෙන් පැහැරගැනීමට ජනසමූහයා නිතරම මාන බැලූහ. එහෙත් දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙන්, මාගේ අතින් ඉටුවිය යුතු සියල්ල නිමවෙන තුරු, ඒවා මා සමඟ ආරක්ෂිතව තිබුණේය. පෙර පිළියෙල කරගත් ආකාරයට එම පණිවිඩකරු ඇවිත් ඒවා ඉල්ලූ විට, මම ඒවා ඔහුට බාරදුනිමි; තවද මෙම දවස දක්වා අද එනම් වර්ෂ එක්දහස් අටසිය තිස් – අටේ, මැයි මස දෙවෙනිදා දක්වා ඒවා ඔහුගේ බාරයට පත්ව ඔහු සමඟ ඇත.”
වඩාත් සම්පූර්ණ වූ වාර්තාවක් සඳහා, අනගි මුතු ඇටයෙහි ජෝසෆ් ස්මිත් – ඉතිහාසය බලන්න.
මෙම පුරාණ වාර්තාව පොළොවෙන් ඉදිරියට ගෙන එන ලද්දේ දූවිල්ලෙහි සිට කථාකරන්නා වූ ජනතාවගේ හඬක් ලෙසය, තවද දිව්‍ය ප්‍රකාශය මගින් සනාථ කර දෙවියන්වහන්සේගේ දීමනාව සහ බලය මගින් නූතන භාෂාවට පරිවර්තනය කරන ලද අතර, 1830 වර්ෂයේදී The Book of Mormon (මොර්මන්ගේ පොත) ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ලෝකයට ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද්දේය.