ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය කෙරෙහි ගරුබියෙන්
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය කෙරෙහි ගරුබියෙන්

අපගේ ඇස් දුටු දේ සහ අපගේ හදවත් වලට දැනුණු දේ සිහිපත් කිරීම ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය කෙරෙහි අපගේ විස්මය වැඩි කරනවා.

මට ආදරණීය මිතුරෙක් ඉන්නවා—ඔහු දක්ෂ, විශ්‍රාමික විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක්, දක්ෂ කතුවරයෙක් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කැපවූ ගෝලයෙක්. සම්මන්ත්‍රණ වලට සහභාගී වීමට, ශාස්ත්‍රීය පර්යේෂණ පැවැත්වීමට, සහ චාරිකා මෙහෙයවීමට ඔහු දුසිම් වාරයක් ශුද්ධ භූමියට ගොස් තිබෙනවා. ඔහුට අනුව, ඔහු යේසුස්වහන්සේ ගමන් කළ දේශයට පැමිණෙන සෑම අවස්ථාවකම, ඔහු ගැලවුම්කරුවාණන් ගැන, උන්වහන්සේගේ ලෞකික දේවසේවය, සහ උන්වහන්සේගේ ආදරණීය මව්බිම ගැන අලුත්, විස්මිත, හා ආකර්ෂණීය දෙයක් නිසැකවම ඉගෙනගන්නා නිසා, ඔහු පුදුමයට පත්වෙලා ඉන්නවා. මගේ මිතුරා ශුද්ධ භූමියේදී ඔහු ඉගෙනගන්නා සෑමදෙයක් ගැනම කතා කරන විට ඔහු දක්වන ගරුබිය බෝ වෙන සුළුයි; ඒවගේම ඔහුගේ ජීවිතයේ විශිෂ්ට ජයග්‍රහණ සහ ඉගෙනීම් කටයුතු වලදී මෙම විශ්මය මූලික වී තිබෙනවා.

මම ඔහුගේ අත්දැකීම් වලට ඇහුම්කන් දෙමින් සිටිද්දී ඔහුගේ උද්යෝගය මට දැනෙන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සඳහා අපට දැනිය හැකි සහ දැනිය යුතු අධ්‍යාත්මික ආශ්චර්යය කොතරම්ද සහ එයට අපගේ අනුගාමිකත්වයේ සහ අවසානයේ සදාකාල ජීවනය කරා අපගේ ගමනේදී ඇතිකළ හැකි වෙනස ගැන මම ආවර්ජනය කළා. ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ඉගැන්වීම් කෙරෙහි මුළු හදවතින්ම තම ජීවිතය කේන්ද්‍ර කරගත් සහ නිහතමානීව තම ජීවිත තුළ උන්වහන්සේගේ වැඩසිටීම හඳුනාගන්නා සියල්ලන්ටම පොදුවේ දැනෙන හැඟීම්, ගරුබිය, හෝ විස්මිත සංවේදනය තමයි මම මේ සඳහන් කරන ආශ්චර්ය. ශුද්ධාත්මයාණන්ගේ බලපෑමෙන් ආනුභාව ලත්, එවැනි ආශ්චර්යමත් හැඟීමක්, ක්‍රිස්තුස්වහන්සේගේ දහම තුළ ප්‍රීතියෙන් ජීවත් වීමට උද්‍යෝගය උත්තේජනය කරනවා.1

මේ සංවේදනය ප්‍රකාශ වන ආකාරය පිළිබඳ උදාහරණ කිහිපයක් ශුද්ධලියවිලි වල තිබෙනවා. නිදසුනක් වශයෙන්, අනාගතවක්තෘ යෙසායා, ස්වාමින්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම තුළින් ඔහුගේ කෘතඥතාවයේ ගැඹුර ප්‍රකාශ කළා.2 යේසුස්වහන්සේ කපර්ණවුමේ සිනගෝගයේ දේශනා කරනු ඇසූ අය උන්වහන්සේගේ දහම සහ උන්වහන්සේ කොපමණ ශක්තියක් සමඟ ඉගැන්නුවාද යන්න ගැන විස්මයට පත්වුණා.3 බයිබලයෙන් යාකොබ්ගේ පළමු පරිච්ඡේදය කියවන විට තරුණ ජෝසෆ් ස්මිත්ගේ හදවතේ සෑම තන්තුවක්ම විනිවිද ගියේ එම හැඟීමම වන අතර, එය දෙවියන්වහන්සේගේ ප්‍රඥාව සෙවීමට ඔහුව මෙහෙයවූවා.4

මගේ සහෝදර සහෝදරියනි, අපි සැබවින්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය කෙරෙහි ගරුබියෙන් සිටින විට, අපි වඩාත් සන්තෝෂයෙන් සිටිනවා, දෙවියන්වහන්සේගේ කාර්යය සඳහා අපට වැඩි උද්‍යෝගයක් ඇතිවෙනවා, ඒවගේම අපි සියල්ලෙහිම ස්වාමින්වහන්සේගේ හස්තය හඳුනාගන්නවා. ඊට අමතරව, දෙවියන්වහන්සේගේ වචන පිළිබඳ අපේ අධ්‍යයනය වඩාත් අර්ථවත් වෙනවා; අපේ යාච්ඤා, වඩා චේතාන්විත වෙනවා; අපේ නමස්කාරය, වඩාත් ගෞරවනීය වෙනවා; දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ අපගේ සේවය, වඩා උද්යෝගිමත් වෙනවා. මෙම සියලු ක්‍රියා ශුද්ධාත්මයාණන්ගේ බලපෑම අපගේ ජීවිත තුළ නිතර නිතර ඇතිවීමට දායක වෙනවා.5 මේ ආකාරයට, ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ අපගේ සාක්ෂිය ශක්තිමත් වෙයි, අපි ක්‍රිස්තුස්වහන්සේ අප තුළ ජීවමානව තබාගනියි,6 සහ අපි “උන්වහන්සේ තුළ මුල් ඇද ගොඩනගන ලදුව, ඇදහිල්ලේ පිහිටා, බොහෝසෙයින් ස්තූති දෙමින්” ජීවත් වෙයි.7 අපි මේ ආකාරයෙන් ජීවත්වන විට, අපි වඩාත් ආධ්‍යාත්මිකව ඔරොත්තු දෙන අතර අධ්‍යාත්මික උදාසීනත්වයේ උගුලට වැටීමෙන් ආරක්ෂා වෙනවා.

එවැනි උදාසීනත්වයක් සංලක්ෂිත වෙන්නේ, ස්වාමින්වහන්සේගේ ශුභාරංචියෙහි සම්පූර්ණයෙන්ම සම්බන්ධ වීමට අපගේ උද්යෝගය ක්‍රමයෙන් නැතිවීම මගින්. එය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ මේ ජීවිතයේ අපගේ සතුට සඳහා අවශ්‍ය සියලු දැනුම සහ ආශිර්වාද අප දැනටමත් ලබාගෙන ඇති බව අපට හැඟෙන විටයි. මෙම සෑහීමට පත්වීමක්, අපව ශුභාරංචි දීමනා සුළු කොට තැකීමට පොළඹවන අතර, එතැන් සිට, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ අත්‍යවශ්‍ය දේවල්8 සහ ඇතිකරගත් ගිවිසුම් යන දෙකෙහිම නිතිපතා ගිල්වීම නොසලකා හැරීමේ අවදානමක් ගන්නවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අපි ක්‍රම-ක්‍රමයෙන් ස්වාමින්වහන්සේගෙන් ඈත් වෙනවා; “උන්වහන්සේට සවන්දීමට”9 අපගේ හැකියාව දුර්වල වෙන අතර, උන්වහන්සේගේ කාර්යයේ ශ්‍රේෂ්ඨත්වය කෙරෙහි උදාසීන හා අසංවේදී වෙනවා. දැනටමත් ලැබී ඇති සත්‍යයන් පිළිබඳ සැකය අපගේ මනස හා හදවත විනිවිද යන අතර, සතුරාගේ පරීක්ෂාවන්ට අපව ගොදුරු කරවනවා.10

කීර්තිමත් ලේඛකයෙකු සහ නිර්භීත කිතුනුවකු වන ඒඩන් විල්සන් ටෝසර් දේවගැතිවරයා මෙසේ ලිව්වා, “තෘප්තිය සියලු අධ්‍යාත්මික වර්ධනයේ මාරාන්තික සතුරෙකි.”11 ක්‍රිස්තුස්වහන්සේගේ උපතින් ටික කලකට පසු නෙපි වැසියන්ට සිදුවූයේ මෙය නොවේද? “ඔවුන් ඇසූ දුටු සියල්ල ගැන [අවිශ්වාසයෙන්]” ඔවුන් “ස්වර්ගයෙන් එන සලකුණු ගැන පුදුමයට පත්වීම ටිකෙන් ටික අඩුවිය.” මෙසේ සාතන් “ඔවුන්ගේ ඇස් අන්ධ කරමින්, ක්‍රිස්තුස්වහන්සේගේ දහම අනුවණ හා නිෂ්ඵල දෙයක් බව විශ්වාස කිරීමට ඔවුන්ව ඉවතට ගෙන ගියේය.”12

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, උන්වහන්සේගේ පරිපූර්ණ සහ අසීමිත ප්‍රේමයෙන් සහ අපගේ මනුෂ්‍ය ස්වභාවය දැනගෙන,13 ආත්මික උදාසීනත්වයේ උගුලට හසුනොවී සිටීමට ගැලවුම්කරුවාණන් අපට මාර්ගය පිහිටුවා තිබෙනවා. විශේෂයෙන් අපි ජීවත් වන සංකීර්ණ ලෝකය සලකා බලමින්, ගැලවුම්කරුවාණන්ගේ මේ ආරාධනය අපිට පුළුල් ඉදිරිදර්ශනයක් ලබාදෙනවා: “මාගෙන් ඉගෙනගන්න, තවද මාගේ වචනයට සවන්දෙන්න; මාගේ ආත්මයේ යටහත්කමින් ගමන්කරන්න, තවද මා තුළ නුඹට සමාදානය වන්නේය.”14 අපි ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය පිළිගන්නා විට, අපි අපේ නිහතමානීකම, ඉගැන්වීමට හැකිවීමට අපගේ ආශාව, සහ උන්වහන්සේ මෙන් වීමට අපගේ බලාපොරොත්තුව පෙන්නුම් කරනවා.15 මෙම ආරාධනයට “මුළු හදවතින්, බලයෙන්, මනසින් සහ ශක්තියෙන්”16 උන්වහන්සේට සේවය කිරීම සහ දෙවියන්වහන්සේගේ දරුවන්ට දේවසේවය කිරීමද ඇතුළත් වෙනවා. මේ ගමනේ අපගේ ප්‍රයත්නයේ හරය වන්නේ, ඇත්තවශයෙන්ම, ඒ ශ්‍රේෂ්ඨ ආඥා දෙක: අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කිරීම සහ අපට මෙන් අපගේ අසල්වැසියාට ප්‍රේම කිරීම.17

මේ ආකාරයේ හැසිරීම් යේසුස්වහන්සේගේ දිව්‍යමය චරිතයේ කොටසක් වන අතර උන්වහන්සේගේ ලෞකික දේවසේවයේදී උන්වහන්සේ කළ සෑම දෙයකින්ම එය පැහැදිලි වුණා.18 ඒනිසා, උන්වහන්සේ දෙස බැලීමටත් උන්වහන්සේගේ පරිපූර්ණ ආදර්ශයෙන් ඉගෙනගැනීමටත් අපි චේතනාන්විතව සහ සැබෑ ලෙස කැපවූ විට,19 අපි උන්වහන්සේව වඩා හොඳින් දැන හඳුනාගන්නවා. අප ජීවත් විය යුතු ආකාරය, අප තැබිය යුතු ආදර්ශය, සහ අප අනුගමනය කළ යුතු ආඥාවන් පිළිබඳ අවසාන ප්‍රමිතිය අපගේ ජීවිතයට ඇතුළත් කරගැනීමට අපි උද්යෝගයෙන් සහ ආශාවෙන් වර්ධනය වෙනවා. අපි දෙවියන්වහන්සේ සහ අපගේ අසල්වැසියන් කෙරෙහි අමතර අවබෝධය, ප්‍රඥාව, දිව්‍යමය ස්වභාවය, සහ කරුණාවද ලබාගන්නවා.20 අපේ ඇදහිල්ල, ධර්මිෂ්ඨව ක්‍රියා කිරීමට ඇති ආශාව, සහ උන්වහන්සේට සහ අන් අයට සේවය කිරීමට ඇති පෙළඹවීම උත්කර්ෂයට නංවමින්, ගැලවුම්කරුවාණන්ගේ බලපෑම සහ ප්‍රේමය දැනීමේ අපේ හැකියාව අපේ ජීවිත තුළ තීව්‍ර වන බව මට ඔබට සහතික වෙන්න පුළුවන්.21 ඊට අමතරව, ලෞකික ජීවිතයේදී අපි අත්විඳින ආශිර්වාද සහ අභියෝග සඳහා අපේ කෘතඥතාව ශක්තිමත් වී එය අපේ සැබෑ නමස්කාරයේ කොටසක් බවට පත්වෙයි.22

මගේ හිතවත් මිත්‍රවරුනි, මේ සියල්ල ශුභාරංචිය පිළිබඳ අපගේ අධ්‍යාත්මික ආශ්චර්යය ශක්තිමත් කරන අතර, අපි අත්විඳින පීඩා සහ අභියෝග මධ්‍යයේ වුවත්—ස්වාමින්වහන්සේ සමඟ අපි කරන ගිවිසුම් ප්‍රීතියෙන් පැවැත්වීමට අපිව පොළඹවනවා. ඇත්තවශයෙන්ම, මෙම ප්‍රතිඵල සිදුවීමට නම්, ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් තුළ සැබෑ චේතනාවෙන් අපි අපිව ගිල්විය යුතු අතර,23 උන්වහන්සේගේ ගුණාංග අපගේ පැවැත්මේ මාර්ගයට ඇතුළත් කිරීමට නොකඩවා උත්සාහ කළ යුතුයි.24 ඊට අමතරව, අපි අපගේ පසුතැවිල්ල තුළින් උන්වහන්සේ වෙතට ලංවී,25 අපේ ජීවිත තුළ උන්වහන්සේගේ සමාවදීම සහ උන්වහන්සේගේ මිදීමේ බලය සොයමින්, උන්වහන්සේගේ ආඥා පිළිපැදිය යුතුයි. අපගේම අවබෝධය මත රඳා නොසිට, අපේ සියලු මාර්ග වලදී උන්වහන්සේව පිළිගනිමින්, අපේ මුළු හදවතින්ම උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ නම්, උන්වහන්සේ අපගේ මාවත් මෙහෙයවන බවට ස්වාමින්වහන්සේම පොරොන්දු වුණා.26

රූපය
වෙස් සමඟ වැඩිහිටි ජෝන්ස්

මෑතකදී මට මුණගැසුණු මිනිසෙක් වූ, ඔහුගේ නම වෙස්, ඒවගේම අද සම්මන්ත්‍රණයට සහභාගී වී සිටින ඔහු, ක්‍රිස්තුස්වහන්සේ ගැනත් උන්වහන්සේගේ ශුභාරංචිය ගැනත් ඉගෙනගැනීමට කළ ආරාධනය පිළිගෙන, ගිවිසුම් මාර්ගයෙන් ඈත් වී වසර 27 කට පසු ඔහුගේ ප්‍රේමයේ ගරුබිය අත්විඳීමට පටන්ගත්තා. පැනමාවේ ඔහුට මුලින් පැවරූ ධර්මදූත සේවයට යාමට පෙර වෙස්ගේ ප්‍රදේශයට තාවකාලිකව අනුයුක්ත කරන ලද වැඩිහිටි ජෝන්ස් නම් ධර්මදූතවරයෙකු විසින් දිනක් ඔහුව ෆේස්බුක් හරහා සම්බන්ධ කරගත් බව ඔහු මට පැවසුවා. ඔහු දැනටමත් සභාවේ සාමාජිකයෙකු බව කලින් නොදැන, වැඩිහිටි ජෝන්ස් වෙස්ගේ ෆේස්බුක් ගිණුම දුටු විට, ඔහුට ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම දැනුණු අතර ඔහු වහාම වෙස් හා සම්බන්ධ විය යුතු බව ඔහුට දැනී තිබුණා. ඔහු ඉක්මනින්ම මේ හැඟීම මත ක්‍රියා කළා. මෙම අනපේක්ෂිත සම්බන්ධතාවයෙන් වෙස් මවිතයට පත්වූ අතර ගිවිසුම් මාර්ගයෙන් දුරස් වුවද ස්වාමින්වහන්සේ ඔහු ගැන දන්නා බව තේරුම්ගන්න පටන්ගත්තා.

එතැන් සිට, වෙස් සහ ධර්මදූතවරුන් නිතර සන්නිවේදනය කිරීමට පටන්ගත්තා. වැඩිහිටි ජෝන්ස් සහ ඔහුගේ සහයකයා සතිපතා සේවා ක්‍රියා සහ අධ්‍යාත්මික පණිවිඩ සැපයූ අතර එය ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ ඔහුගේ ගරුබිය නැවත ලබාගැනීමට වෙස්ට උපකාර කළා. එය සත්‍යය පිළිබඳ ඔහුගේ සාක්ෂියේද ගැලවුම්කරුවාණන් ඔහු කෙරෙහි දක්වන ප්‍රේමයේද ගිනිදැල් යලිත් දැල්වූවා. සැනසිලිදායකයාණන්ගෙන් ලැබෙන සැනසීම වෙස්ට දැණුනු අතර, නැවත මේ රැලට එකතු වීමට අවශ්‍ය ශක්තිය ලබාගත්තා. මෙම අත්දැකීම ඔහුට අධ්‍යාත්මිකව හා චිත්තවේගීයව නැවත ජීවය ගෙන දුන් බවත් වසර ගණනාවක් පුරා ඔහු මුහුණදුන් දුෂ්කර අත්දැකීම් නිසා එකතු වූ කටුක හැඟීම් ඉවත් කිරීමට ඔහුට උපකාර කළ බවත් ඔහු මට පැවසුවා.

මගේ ඉහත සඳහන් කළ කල්පනාකාරී මහාචාර්ය මිත්‍රයා නිරීක්ෂණය කර ඇති පරිදි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය ගැන ඉගෙනගැනීමට සෑම විටම පුදුම සහ ආකර්ෂණීය දෙයක් තිබෙනවා.27 උන්වහන්සේ ගැන ඉගෙනගැනීමටත් උන්වහන්සේගේ වචන ඔවුන්ගේ ජීවිත වලට ඇතුළත් කිරීමටත් උත්සාහ කරන අප ඇතුළු සියල්ලන්ටම ස්වාමින්වහන්සේ පුදුමාකාර පොරොන්දු දී තිබෙනවා. ස්වාමින්වහන්සේ ඊනොක්ට පැවසුවේ උන්වහන්සේගේ ආත්මය ඔහු කෙරෙහි ඇති බවත්, එබැවින් උන්වහන්සේ ඔහුගේ සියලු වචන සාධාරණීකරණය කරන බවත්; එමෙන්ම කඳු ඊනොක් ඉදිරියෙන් පලායනු ඇති බවත්, ගංගා ඒවායේ ආකාරයෙන් ඉවතට ගලා බසිනු බවත්; එමෙන්ම ඊනොක් උන්වහන්සේ තුළත්, උන්වහන්සේ ඊනොක් තුළත් පවතිනු ඇති බවයි.28 උන්වහන්සේගේ සේවකයා වූ බෙන්යමින් රජු මගින් උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළා, “නුඹලාව ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන්, උන්වහන්සේගේ පුත්‍රයන්, තවද උන්වහන්සේගේ දූවරුන් යයි නම්කරනු ලබන්නෝය; මක්නිසාද බලන්න, මේ දවසේ උන්වහන්සේ නුඹලාව ආත්මිකව ඉපිදවූ සේක; මක්නිසාද නුඹලාගේ හදවත් වෙනස් වූයේ උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ලෙන් බව නුඹලා කියන්නෝය; එසේහෙයින්, නුඹලා උන්වහන්සේගෙන් ඉපිද තවද උන්වහන්සේගේ පුත්‍රයන් සහ උන්වහන්සේගේ දූවරුන් වී සිටින්නෝය.”29

එබැවින්, අපි ගැලවුම්කරුවාණන් ගැන ඉගෙනගැනීමටත්, උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමටත් අව්‍යාජව සහ නොකඩවා උත්සාහ කරන විට, උන්වහන්සේගේ දිව්‍යමය ගුණාංග අපේ සිත්වල සහ හදවත්වල ලියැවෙන බවත්,30 අපි උන්වහන්සේ හා සමාන වන බවත්, අපි උන්වහන්සේ සමඟ ගමන් කරනු ඇති බවත්, මම උන්වහන්සේගේ නාමයෙන් ඔබට පොරොන්දු වෙනවා.31

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහිත් එමෙන්ම උන්වහන්සේගේ සම්පූර්ණ, අසීමිත, සහ පරිපූර්ණ ප්‍රේමය කෙරෙහිත් අපි සදහටම ගරුබියෙන් සිටිනු ඇතැයි මම යාච්ඤා කරනවා. අපේ ඇස් දැක ඇති දේ සහ අපගේ හදවත් වලට දැනුණු දේ සිහිපත් කිරීම මගින් අපගේ ආත්මික හා චිත්තවේගීය තුවාල වලින් අපිව සුවකළ හැකි සහ උන්වහන්සේ වෙතට ලංවීමට අපිට උපකාර කළ හැකි ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය පිළිබඳ අපගේ විස්මය වැඩිවේවා. පියාණන්වහන්සේගේ හස්තයේ ඇති සහ ඇදහිලිවන්තයන් සඳහා උන්වහන්සේ සූදානම් කර ඇති උතුම් පොරොන්දු ගැන අපි පුදුමයට පත්වේවා:

“රාජ්‍ය නුඹලාගේය තවද එහිවූ ආශිර්වාදයන්ද නුඹලාගේය, තවද සදාකාලික පොහොසත්කමද නුඹලාගේය.

“තවද සියලු දේවල් ස්තූතිවන්තව ලබාගන්නා ඔහුව මහිමවත් කරනු ලබන්නේය.”32

යේසුස්වහන්සේ ලෝකයේ මිදුම්කරුවාණන් වන අතර මේ උන්වහන්සේගේ සභාවයි. මම මේ සත්‍යයන් ගැන සාක්ෂි දරන්නේ, අපේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගරුබිය දනවන, ශුද්ධ වූ, සහ උතුම් නාමයෙන්, ආමෙන්.