ප්‍රධාන සම්මන්ත්‍රණය
නමුත් අපි ඔවුන්ට සවන් නොදුන්නෙමු
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


නමුත් අපි ඔවුන්ට සවන් නොදුන්නෙමු

(1 නෙපි 8:33)

ගිවිසුම් මාවත ඔස්සේ වර්ධනය වන විට ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපේ සම්බන්ධතාවය හැමවිටම මතකතබා ගැනීමට අපට උදව් වෙමින්, ගිවිසුම් සහ නියෝග අපව ඒ වෙතට යොමුකරනවා.

මගේ බිරිඳ, සුසාන්, අපේ පුතුන් තිදෙනා සහ ඔවුන්ගේ භාර්යාවන්, අපේ සියලු මුණුබුරන් සහ අවුරුදු 15කට ආසන්න කාලයක් පුරා දොළොස්දෙනාගේ ගණපූර්ණයේ මගේ ආසන සගයා වූ වැඩිහිටි ක්වෙන්ටින් එල්. කුක් යන හැමෝම මම හොඳින් ගායනා කරන්නේ නෑ කියලා එකවරම එකඟ වෙයි. නමුත් මගේ කටහඬේ අඩුවක් තිබියදීත්, මම නැවත පිහිටවූ සභාවේ ගීතිකා ගායනා කිරීමට කැමතියි. දේවානුභාවයෙන් යුත් පද රචනය සහ තේජාන්විත තනු වල සංකලනය මට අත්‍යවශ්‍ය ශුභාරංචි මූලධර්ම ඉගෙනගැනීමට සහ මගේ ප්‍රාණය කැළඹීමට උපකාරී වෙනවා.

මගේ ජීවිතයට කැපීපෙනෙන ආකාරයෙන් ආශිර්වාද කළ එක් ගීතිකාවක් තමයි “Let Us All Press On” ගීතිකාව. මෑතක සිට මම එම ගීතිකාවේ ඛණ්ඩනයේ නිශ්චිත වැකියක් ගැන කල්පනා කරමින් සහ ඉගෙනගනිමින් ඉන්නවා. “දුෂ්ටයන් පවසන්නට ඇති දේට අපි සවන් නොදෙන්නෙමු, නමුත් අපි ස්වාමින්වහන්සේට පමණක් කීකරු වන්නෙමු.”1

අපි සවන් නොදෙන්නෙමු.

“අපි සියල්ලෝම ඉදිරියට යමු” කියා මා ගායනා කරන විට මට නිතරම සිතෙන්නේ ලෙහිගේ දර්ශනයේ මිනිසුන් හුදෙක් “එල්ලී”2 ආවා පමණක් නොවේ නමුත් “නොකඩවා යකඩ අත්වැට අල්ලා ගනිමින්, පැමිණ බිම පතිත වී එම වෘක්ෂයේ ඵල අනුභව කරන තෙක් ඉදිරියට පැමිණියා.”3 “ඇඟිල්ල දිගුකරමින් [ඔහුට] සහ එම ඵලය අනුභව කරන සියල්ලන්ට ගරහන්නට වූ”4 බලවත් සහ විශාල ගොඩනැගිල්ලේ සිටින විශාල ජනකායක් ලෙහි විස්තර කළා. උපහාසයට හා අපහාස වලට ඔහු දැක්වූ ප්‍රතිචාරය අතිවිශිෂ්ට හා අමතක නොවන එකක්: “එහෙත් ඔවුන්ට සවන් නොදෙන්න.”5

අප ජීවත් වන සමකාලීන ලෝකයේ නපුරු බලපෑම් සහ සමච්චල් කරන හඬවල් වලට “සවන් නොදීමට” අපව ශක්තිමත් කළ හැක්කේ කෙසේදැයි අපි එකට එකතු වී සලකා බලන විට ශුද්ධාත්මයාණන්වහන්සේ අප සෑම කෙනෙකුටම ආශිර්වාද කර අවබෝධය ලබාදෙන ලෙස මම යාච්ඤා කරනවා.

සවන්දෙන්න එපා

සවන්දීම යන වචනයෙන් ඇඟවෙන්නේ යමෙකු හෝ යමක් ගැන සැලකිල්ලට ගැනීම හෝ අවධානය යොමුකිරීමයි. මේ අනුව, “Let Us All Press On” යන ගීතිකාවේ පද රචනය අපට අවවාද කරන්නේ “දුෂ්ටයන් පවසන දේ” කෙරෙහි අවධානය යොමු නොකිරීමට ස්ථිර තීරණයක් ගන්නා ලෙසයි. ලෙහි සහ ඔහු සමඟ ගසේ ගෙඩි අනුභව කළ මිනිසුන් එම බලවත් සහ විශාල ගොඩනැගිල්ලෙන් නිතර එන සමච්චල් කිරීම සහ නින්දා කිරීම කෙරෙහි අවධානය යොමු නොකිරීමට ප්‍රබල උදාහරණයක් සපයනවා.

“ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයෙන් … මාංසවූ සිත් නැමති ලෑලිවල”6 ලියා ඇති ක්‍රිස්තුස්වහන්සේගේ දහම, අපගේ වැටුණු ලෝකයේ බොහෝ අවධානය වෙනතකට යොමුකිරීම්, නින්දා කිරීම්, සහ වෙනතකට හැරවීම් වලට “සවන්නොදීමට” අපගේ හැකියාව වැඩි කරනවා. නිදසුනක් වශයෙන්, ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සහ උන්වහන්සේ කෙරෙහි අවධානය යොමුකර ඇති ඇදහිල්ල ආත්මික ශක්තියෙන් අපව බලවත් කරනවා. මිදුම්කරුවාණන් කෙරෙහි ඇදහිල්ල යනු ක්‍රියාවේ සහ බලයේ මූලධර්මයක්. අපි උන්වහන්සේගේ ශුභාරංචියේ සත්‍යයන්ට අනුකූලව ක්‍රියා කරන විට, ගැලවුම්කරුවාණන් අපට පිරිනමන ප්‍රීතිය කෙරෙහි අවධානය යොමුකරන අතරම ලෞකිකත්වයේ අභියෝග හරහා ඉදිරියට යාමට අධ්‍යාත්මික හැකියාවෙන් අපට ආශිර්වාද ලැබෙනවා. ඇත්තවශයෙන්ම, “අපි හරි දේ කරනවා නම්, අපි බිය විය යුතු නෑ, මන්ද අපගේ උපකාරකයා වන ස්වාමින්වහන්සේ සැමවිටම සමීපව සිටියි.”7

ගිවිසුම් හරහා පුද්ගලික සම්බන්ධතාවයක්

ශුද්ධ වූ ගිවිසුම් වලට ඇතුල්වීම සහ සුදුසු ලෙස පූජකවර නියෝග ලබාගැනීම, අපව ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සහ ස්වර්ගීය පියාණන්වහන්සේට වියගහකින් සම්බන්ධ කරමින් අපව බැඳ තබනවා.8 අපි ගැලවුම්කරුවාණන්ව අපගේ උපදේශකයාණන්9 සහ මැදිහත්කරුවාණන්10 ලෙස විශ්වාස කරන අතර, ජීවන ගමන අතරතුර උන්වහන්සේගේ ගුණය, දයාව, සහ කරුණාව11 මත විශ්වාසය තබන බව මෙයින් සරලව අදහස් කරනවා. අපි ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමේදී සහ උන්වහන්සේ සමඟ බැඳී සිටින විට, උන්වහන්සේගේ අනන්ත සහ සදාකාලික වන්දිගෙවීමේ පවිත්‍ර කිරීම, සුවකිරීම, සහ ශක්තිමත් කිරීමේ ආශිර්වාද අපට ලැබෙනවා.12

ගිවිසුම් බැඳීම් අනුව ජීවත් වීමෙන් සහ ඒවාට ප්‍රේම කිරීමෙන්, ස්වාමින්වහන්සේ සමඟ ගැඹුරු පුද්ගලික සහ අධ්‍යාත්මික වශයෙන් බලවත් සම්බන්ධතාවයක් ඇති කරනවා. අපි පරිශුද්ධ ගිවිසුම් සහ නියෝග වල කොන්දේසි වලට ගරු කරන විට, අපි ක්‍රමයෙන් හා වැඩි වැඩියෙන් උන්වහන්සේ වෙත සමීප වන අතර13 අපගේ ජීවිත තුළ උන්වහන්සේගේ දේවත්වයේ සහ ජීවන යථාර්ථයේ බලපෑම අත්විඳිනවා. එවිට යේසුස්වහන්සේ අපට ශුද්ධලියවිලි කථා වල කේන්ද්‍රීය චරිතයට වඩා බොහෝ සෙයින් වැඩි කෙනෙක් වෙනවා; උන්වහන්සේගේ ආදර්ශය සහ ඉගැන්වීම් අපගේ සෑම ආශාවකටම, සිතුවිල්ලකටම, සහ ක්‍රියාවකටම බලපානවා.

නැවත නැඟිටුවනු ලැබූ සහ ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් සමඟ අපගේ ගිවිසුමේ සම්බන්ධතාවයේ නිශ්චිත ස්වභාවය සහ බලය ප්‍රමාණවත් ලෙස විස්තර කිරීමට මට අවංකවම හැකියාවක් නෑ. නමුත් උන්වහන්සේ සහ ස්වර්ගීය පියාණන්වහන්සේ සමඟ ඇති සම්බන්ධතා සැබෑ බවත්, “සතුරන් සමච්චලයට ලක් කළත්, බිය නොවීමට”14 අපට හැකි වන සහතිකයේ, සාමයේ, ප්‍රීතියේ සහ අධ්‍යාත්මික ශක්තියේ අවසාන මූලාශ්‍ර බවත් මම සාක්ෂි දරනවා. ගිවිසුම් ඇතිකරගන්නා සහ ගිවිසුම් රකින යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන්, අපට “ස්වාමින්වහන්සේ අපේ පැත්තේ නිසා, ධෛර්යවත්ව සිටිමින්”15 නපුරු බලපෑම් සහ ලෞකික සමච්චල් කිරීම් කෙරෙහි අවධානය යොමු නොකර සිටීමට ආශිර්වාද ලබන්නට පුළුවන්.

මම ලොව පුරා සිටින සභා සාමාජිකයන් හමුවීමට සංචාරය කරන විට, මම ඔවුන්ගෙන් බොහෝ විට මේ ප්‍රශ්නය අහනවා: ලෞකික බලපෑම්, සමච්චල් කිරීම්, සහ නින්දා කිරීම් වලට “සවන් නොදීමට” ඔබට උදව් වන්නේ මොනවාද? ඔවුන්ගේ පිළිතුරු වඩාත් උපදේශාත්මකයි.

නිර්භීත සාමාජිකයින් බොහෝ විට අර්ථවත් ශුද්ධලියවිලි අධ්‍යයනය, දැඩි යාච්ඤාව, සහ සක්‍රමේන්තු නියෝගයට සහභාගී වීමට නිසි ලෙස සූදානම් වීම තුළින් ශුද්ධාත්මයාණන්ගේ බලය තම ජීවිතයට ආරාධනා කිරීමේ වැදගත්කම ඉස්මතු කරනවා. ඇදහිලිවන්ත පවුල් සාමාජිකයින්ගේ සහ විශ්වාසවන්ත මිතුරන්ගේ අධ්‍යාත්මික සහයෝගය, ස්වාමින්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාව තුළ දේවසේවයේ යෙදීමෙන් සහ සේවය කිරීමෙන් උගත් අත්‍යවශ්‍ය පාඩම්, සහ බලවත් හා විශාල ගොඩනැගිල්ලේ ඇති හෝ එයින් එන ඕනෑම දෙයක නිරපේක්ෂ හිස්බව හඳුනාගැනීමේ හැකියාවද ඔවුන් නිතර සඳහන් කරනවා.

මෙම සාමාජික ප්‍රතිචාර වල විශේෂයෙන් සැලකිය යුතු සුවිශේෂී රටාවක් මම නිරීක්ෂණය කළා. ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, මේ ගෝලයන්ට ස්වර්ගීය පියාණන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම සහ අපගේ ගැලවුම්කරුවාණන් සහ ගැලවුම්කරුවාණන් ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ භූමිකාව පිළිබඳ ස්ථිර සාක්ෂි තිබෙනවා. ඒවගේම දෙවනුව, ඔවුන්ගේ අධ්‍යාත්මික දැනුම සහ ඒත්තු ගැන්වීම එක් එක් කෙනාට ආවේණිකයි, පුද්ගලිකයි, සහ නිශ්චිතයි; ඒවා පොදු හෝ උපුටාගත් ඒවා නෙවේ. මෙම කැප වූ ප්‍රාණයන් විරුද්ධත්වය ජයගැනීමට ශක්තිය ලබාදෙන ගිවිසුම් පිළිබඳව සහ හොඳ සහ නරක යන කාල වලදී ඔවුන්ට සහාය වෙන ජීවමාන ස්වාමින්වහන්සේ සමඟ ඔවුන්ගේ සම්බන්ධතාවය ගැන කතා කරන ආකාරයට මම සවන්දෙනවා. මේ පුද්ගලයන්ට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියන්නේ සැබවින්ම පුද්ගලික ගැලවුම්කරුවෙක්.

රූපය
මාලිමාවක්

ශුභාරංචි ගිවිසුම් සහ නියෝග අපගේ ජීවිත තුළ ක්‍රියාත්මක වන්නේ මාලිමා යන්ත්‍රයක් වගෙයි. මාලිමා යන්ත්‍රයක් යනු සංචලනය සහ භූගෝලීය දිශානතිය සඳහා උතුර, දකුණ, නැගෙනහිර, සහ බටහිර යන ප්‍රධාන දිශාවන් දැක්වීමට භාවිතා කරන උපකරණයක්. ඒ හා සමානව, අපි ගිවිසුම් මාවත ඔස්සේ වර්ධනය වන විට ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපේ සම්බන්ධතාවය හැමවිටම මතකතබා ගැනීමට අපට උදව් වෙමින්, අපේ ගිවිසුම් සහ නියෝග අපව ඒ වෙතට යොමුකරනවා.

රූපය
ද ක්‍රිස්තුස්

ලෞකිකත්වයේදී අප සැමගේ ප්‍රධාන මගපෙන්වීම තමයි ක්‍රිස්තුස්වහන්සේ තුළට පැමිණ පරිපූර්ණ වීම.16 ශුද්ධ වූ ගිවිසුම් සහ නියෝග ගැලවුම්කරුවාණන් කෙරෙහි අපගේ අවධානය යොමුකිරීමටත්, උන්වහන්සේගේ කරුණාවෙන්,17 උන්වහන්සේ හා සමාන වීමට උත්සාහ කිරීමටත් අපට උදව් කරනවා. වඩාත්ම නිසැකවම, “නොපෙනෙන [බලයක්] සත්‍යයේ තේජාන්විත කාරණයේදී මට සහ ඔබට උපකාර කරයි.”18

යකඩ අත්වැට තදින් අල්ලාගෙන සිටීම

“සවන් නොදීමට” අපට හැකියාව සහ ශක්තිය ලබාගත හැකි මාර්ගය, දෙවියන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඇති අපගේ ගිවිසුම් සම්බන්ධතාවයයි. ඒ වගේම අපි දිගින් දිගටම යකඩ අත්වැට තදින් අල්ලාගෙන සිටීම නිසා මෙම බැඳීම ශක්තිමත් වෙනවා. නමුත් නෙපිගේ සහෝදරයන් ඇසූ පරිදි, “අපගේ පියා දුටු යකඩ අත්වැටෙහි තේරුම කුමක්ද?

“තවද [නෙපි] එය දෙවියන්වහන්සේගේ වචනය බව ඔවුන්ට කීවේය; තවද දෙවියන්වහන්සේගේ වචනයට ඇහුම්කන්දෙන්නෝ කවුරුන්ද, තවද එය තදින් අල්ලාගන්නේද, ඔවුන් කිසිකලෙක නොනැසෙන්නෝය; ඔවුන්ව විනාශයට ගෙන යාමට ඔවුන්ව අන්ධභාවයට යටපත් කිරීමට විරුද්ධකාරයාගේ පරීක්ෂාවන්ට සහ ගිනිමය හෙලි වලට නොහැකිවනු ඇත.”19

දෙවියන්වහන්සේගේ වචනයට “එල්ලී” සිටිනවාට වඩා “එය තදින් අල්ලාගන්නා” පුද්ගලයින්ට පරීක්ෂාවන්ට සහ විරුද්ධවාදියාගේ ගිනිමය ඊතල වලට එරෙහි වීමේ හැකියාව පොරොන්දු වී ඇති බව කරුණාවෙන් සලකන්න.

සිත්ගන්නා කරුණ නම්, ප්‍රේරිත යොහාන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව වාක්‍යයාණෝ ලෙස විස්තර කළා.20

“පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටි සේක, තවද වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටි සේක, තවද වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටි සේක. …

“උන්වහන්සේ කරණකොටගෙන සියල්ල සාදන ලද්දේය; සාදන ලද කිසිවක් උන්වහන්සේ නැතුව සාදනු නොලද්දේය. …

“තවද වාක්‍යයාණෝ මාංසවත් වී, කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසය කළ සේක, (උන්වහන්සේගේ මහිමය, පියාණන්වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන්ගේ මහිමය ලෙස උන්වහන්සේගේ මහිමය අපි දුටිමුව).”

එමනිසා, “වාක්‍යාණෝ” යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් නමක්.22

මීට අමතරව, අටවන ඇදහිල්ලේ කැරුණේ මෙසේ සඳහන් වෙනවා, “බයිබලය නිවැරදිව පරිවර්තනය කර ඇති තාක් දුරට එය දෙවියන්වහන්සේගේ වචනය බව අපි විශ්වාස කරමු; මොර්මොන්ගේ පොත දෙවියන්වහන්සේගේ වචනය යැයිද අපි විශ්වාස කරමු.”23

මේ අනුව, ශුද්ධලියවිලි වල වාර්තා කර ඇති පරිදි ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම්ද “වචනය” ලෙස හැඳින්වෙනවා.

දෙවියන්වහන්සේගේ වචනය තදින් අල්ලාගෙන සිටීමට අවශ්‍ය මොනවාද කියා මම යෝජනා කරන්නම් (1) නැවත පිහිටුවන ලද ශුභාරංචියේ ගිවිසුම් සහ නියෝග තුළින් ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ පියාණන් සමඟ අපට ඇති පුද්ගලික සම්බන්ධය මතක තබාගැනීම, එයට ගෞරවය දැක්වීම, සහ ශක්තිමත් කිරීම, සහ (2) යාච්ඤාපූර්වකව, උනන්දුවෙන්, සහ ශුද්ධලියවිලි සහ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ සහ ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීම් එළිදරව් කළ සත්‍යයේ ස්ථිර මූලාශ්‍ර ලෙස අඛණ්ඩව භාවිතා කිරීම. අප ස්වාමින්වහන්සේට බැඳී සිටින විට සහ උන්වහන්සේව “තදින් අල්ලාගෙන” සිටින විට, සහ උන්වහන්සේගේ දහමේ ජීවත් වීමෙන් පරිවර්තනය වන විට,24 තනි තනිව සහ සාමූහිකව “ශුද්ධ ස්ථාන වල නැගීසිටීමටත්, නොසැලී සිටීමටත්” අපට ආශීර්වාද ලැබෙන බවට මම පොරොන්දු වෙනවා.25 අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ රැඳී සිටින්නේ නම්, එවිට උන්වහන්සේ අප තුළ රැඳී සිට අප සමඟ ගමන් කරයි.26 නිසැකවම, “පරීක්ෂාකාරී දවස් වලදී උන්වහන්සේ තම ශුද්ධවන්තයන්ව සතුටු කර, සත්‍යයේ කාරණය සමෘද්ධිමත් කරයි.”27

සාක්ශිය

ඉදිරියටම යන්න. තදින් අල්ලාගෙන සිටින්න. සවන් නොදෙන්න.

ගැලවුම්කරුවාණන්ගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ ගිවිසුම් සහ නියෝග වලට විශ්වාසවන්තකම මගින්, අපට ස්වාමින්වහන්සේගේ කාර්යයෙහි ඉදිරියට යාමටත්, දෙවියන්වහන්සේගේ වචනය ලෙස උන්වහන්සේව තදින් අල්ලාගෙන සිටීමටත්, එමෙන්ම විරුද්ධවාදියාගේ ආකර්ශනයට සවන් නොදී සිටීමටත් හැකිවන බව මම සාක්ෂි දරනවා. සත්‍ය සඳහා වන සටනේදී, අප සෑම කෙනෙකුම “සත්‍යයේ බලවත් කඩුව”28 වන කඩුව අතට ගනිමු, ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.