ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේ බිඳුණු දේ සුවකරයි
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේ බිඳුණු දේ සුවකරයි

දෙවියන්වහන්සේ සමඟ බිඳුණු සබඳතා, අන් අය සමඟ බිඳී ගිය සබඳතා, සහ අපගේ බිඳුණු කොටස් සුවකිරීමට උන්වහන්සේට පුළුවන්.

මීට වසර කිහිපයකට පෙර, පවුලේ එකතුවීමකදී, එවකට අට හැවිරිදි මගේ බෑණනුවන් වූ විලියම් අපගේ වැඩිමහල් පුත් බ්‍රිටන්ගෙන් ඔහු සමඟ බෝල ක්‍රීඩා කිරීමට කැමති දැයි ඇසුවා. බ්‍රිටන් ඉතා උද්යෝගයෙන් මෙසේ ප්‍රතිචාර දැක්වූවා, “ඔව්! මම ගොඩක් කැමතියි!” ඔවුන් ටික වේලාවක් ක්‍රීඩා කිරීමෙන් පසු, බ්‍රිටන් වෙතින් බෝලයක් ඉවතට ගිය අතර බලාපොරොත්තු නොවූ ලෙස ඔහුගේ ආච්චි සහ සීයාගේ පෞරාණික බඳුනක් කැඩුනා.

බ්‍රිටන්ට මහත් බියක් දැනුණා. ඔහු කැඩී බිඳී ගිය කෑලි අහුලා ගැනීමට පටන්ගත් විට, විලියම් තම ඥාති සොහොයුරා වෙත ගොස් ආදරයෙන් ඔහුගේ පිටට තට්ටු කළා. ඔහු මෙසේ සැනසුවා, “බ්‍රිටන්, බය වෙන්න එපා. මම එකපාරක් ආච්චිගේ සහ සීයාගේ ගෙදර දෙයක් කැඩුවා, ආච්චි මගේ වටේට අත දාගෙන ‘කමක් නැහැ, විලියම්. ඔබට අවුරුදු පහයිනෙ’ කිව්වා.”

එයට බ්‍රිටන්ගේ ප්‍රතිචාරය වුණේ, “නමුත්, විලියම්, මට වයස 23ක්!” යනුවෙනුයි.

අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ වයස කුමක් වුවත් අපගේ ජීවිතයේ බිඳ වැටුණු දේවල් සාර්ථකව සකසාගන්නට උපකාර කරන ආකාරය ගැන අපට බොහෝ දේ ශුද්ධලියවිලි වලින් ඉගෙනගන්න පුළුවන්. දෙවියන්වහන්සේ සමඟ බිඳුණු සබඳතා, අන් අය සමඟ බිඳී ගිය සබඳතා, සහ අපගේ බිඳුණු කොටස් සුවකිරීමට උන්වහන්සේට පුළුවන්.

දෙවියන්වහන්සේ සමඟ බිඳුණු සබඳතා

ගැලවුම්කරුවාණන් දේවමාළිගාවේ උගන්වමින් සිටියදී, විනයධරයන් සහ පරිසිවරුන් විසින් ස්ත්‍රියක්ව උන්වහන්සේ වෙත ගෙන ආවා. ඇයව “කාමමිථ්‍යාචාරය කරද්දීම අලාගත්තා”1 ලෙස මිස, අපි ඇගේ සම්පූර්ණ කතාව දන්නේ නැහැ. බොහෝවිට ශුද්ධලියවිලි ලබාදෙන්නේ යමෙකුගේ ජීවිතයේ කුඩා කොටසක් පමණයි, එම කොටස මත පදනම්ව, අපි සමහරවිට උසස් කිරීමට හෝ හෙළාදැකීමට නැඹුරු වෙනවා. එක් අතිවිශිෂ්ට මොහොතකින් හෝ කණගාටුදායක පොදු බලාපොරොත්තු සුන්වීමකින් කිසිවෙකුගේ ජීවිතය තේරුම්ගන්න බැහැ. මෙම ශුද්ධලියවිලිමය වාර්තා වල අරමුණ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එදා පිළිතුර වූ බවත් අදත් පිළිතුර උන්වහන්සේ බවත් අපට දැකීමට උපකාර කිරීමයි. උන්වහන්සේ අපගේ සම්පූර්ණ කතාව සහ අප දුක් විඳින නිශ්චිත දේ මෙන්ම, අපගේ හැකියාවන් සහ දුර්වලතාද දන්නවා.

දෙවියන්වහන්සේගේ මෙම අගනා දියණියට ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රතිචාරය වූයේ මෙයයි “මමත් නුඹ වරදට පත්නොකරමි: යන්න, මෙතැන් පටන් තවත් පව් නොකරන්න.”2 “යන්න, තවත් පව් නොකරන්න” යැයි පැවසීමට තවත් ක්‍රමයක් විය හැක්කේ “ඉදිරියට ගොස් වෙනස් වන්න” යන්නයි. පසුතැවිලි වීමට: ඇගේ හැසිරීම වෙනස් කිරීමට, ඇගේ ආශ්‍රය, තමා ගැන ඇයට හැඟෙන ආකාරය, ඇගේ හදවත වෙනස් කිරීමට ගැලවුම්කරුවාණන් ඇයට ආරාධනා කළා.

ක්‍රිස්තුස්වහන්සේ නිසා, “ඉදිරියට ගොස් වෙනස් වීමට” අපගේ තීරණය අපට “ඉදිරියට ගොස් සුවකිරීමට” ඉඩදිය හැකියි, මොකද අපගේ ජීවිතයේ බිඳී ඇති සියල්ල සුව කිරීමේ මූලාශ්‍රය උන්වහන්සේයි. පියාණන්වහන්සේ සමඟ ශ්‍රේෂ්ඨ මැදිහත්කරු සහ උපදේශකයා ලෙස, ක්‍රිස්තුස්වහන්සේ බිඳුණු සබඳතා—වඩාත්ම වැදගත් දෙය තමයි දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය, පාරිශුද්ධ කර නැවත පිහිටුවනවා.

ජෝසෆ් ස්මිත් පරිවර්තනය පැහැදිලි කරන්නේ එම ස්ත්‍රිය ගැලවුම්කරුවාණන්ගේ උපදෙස් අනුගමනය කර ඇගේ ජීවිතය වෙනස් කළ බවයි: “ස්ත්‍රිය ඒ පැයේ සිට දෙවියන්වහන්සේව මහිමයට පත්කළ අතර උන්වහන්සේගේ නාමය විශ්වාස කළාය.”3 මේ මොහොතෙන් පසු ඇයගේ නම හෝ ඇගේ ජීවිතය පිළිබඳ වෙනත් තොරතුරු අප නොදැන සිටීම කණගාටුවට කරුණක්, මන්ද ඇය පසුතැවිලි වී වෙනස් වීමට නම් ඒ සඳහා ඇයට මහත් අධිෂ්ඨානයක්, නිහතමානීකමක්, සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් අවශ්‍ය වන්නට ඇති. අප දන්නා දෙය තමයි ඇය උන්වහන්සේගේ අනන්ත සහ සදාකාලික පරිත්‍යාගයට දුර නොවන බව වටහාගෙන “උන්වහන්සේගේ නාමය විශ්වාස කළ” කාන්තාවක් බව.

අන් අය සමඟ බිඳුණු සබඳතා

ලූක් 15 වන පරිච්ඡේදයේ පුතුන් දෙදෙනෙකු සිටි මිනිසෙකුගේ උපමාවක් අපි කියවනවා. බාල පුතා තම පියාගෙන් උරුමය ඉල්ලා දුර රටකට ගොස්, කලහකාරී ලෙස ජීවත් වෙමින් තම වස්තුව නාස්ති කළා.4

“ඔහු සියල්ල වියදම් කළ පසු, ඒ රටේ මහත් සාගතයක් හටගැණින, ඔහුට හිඟවෙන්ට පටන්ගත්තේය.

“එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුණේය; හෙතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යැවීය.

“ඔහු ඌරන් කෑ කරල්වලින් තමාගේ බඩ පුරවාගන්ට කැමතිවූයේය: කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත.

“එහෙත් ඔහු සිහිඋපදවා කථාකොට: මාගේ පියාණන්ගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනෑවාට වඩා කෑම තිබෙද්දී මම මෙහි බඩගින්නේ නසිමි!

“මම නැගිට මාගේ පියාණන් ළඟට ගොස්: පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව්කෙළෙමියි,

“තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්ට නොවටිමි: ඔබගේ කුලීකාරයන්ගෙන් එක්කෙනෙකු මෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නෙමි.

“තවද ඔහු නැගිට තමාගේ පියා ළඟට ගියේය. ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක, අනුකම්පාවී, දුවගෙන ගොස්, ඔහුගේ බෙල්ල වැළඳගෙන, ඔහු සිඹගත්තේය.”5

පියා තම පුතා වෙත දිව ගිය බව, අර්ථාන්විත බව මම විශ්වාස කරනවා. එම පුතා තම පියාට කළ පෞද්ගලික වේදනාව නිසැකවම ගැඹුරු සහ අධික වුණා. ඒ හා සමානව, එම පියා තම පුතාගේ ක්‍රියාවන් නිසා අවංකවම ලැජ්ජාවට පත්වී ඉන්නට ඇති.

ඉතින්, ඒ පියා තම පුතා සමාව ඉල්ලා සිටින තෙක් බලා නොසිටියේ ඇයි? සමාව දීම සහ ආදරය ලබාදීමට පෙර ඔහු නැවත එකතුවීම සහ සමාදානය ඉල්ලා සිටින තුරු බලාසිටියේ නැත්තේ ඇයි? මේක මම නිතර කල්පනා කරපු දෙයක්.

අන් අයට සමාව දීම විශ්වීය ආඥාවක් බව ස්වාමින්වහන්සේ අපට උගන්වනවා: “ස්වාමින්වහන්සේ වන, මම, කමාව දෙන්නාට මම කමාවන්නෙමි, එහෙත් සියලු මනුෂ්‍යයන්ට කමාව දීම නුඹලාගෙන් අවශ්‍ය වන්නේය.”6 සමාව දීමට ඉමහත් ධෛර්යයක් සහ නිහතමානීකමක් අවශ්‍ය වෙනවා. ඒකටත් කාලයක් ගතවෙන්න පුළුවන්. අපගේ හදවතේ තත්වය සඳහා වගකීම අපි භාරගන්නා විට, අපගේ ඇදහිල්ල හා විශ්වාසය ස්වාමින්වහන්සේ කෙරෙහි තැබීමට එය අවශ්‍ය වෙනවා. අපගේ තෝරාගැනීමේ නිදහසේ වැදගත්කම සහ බලය ඇත්තේ එතනයි.

නාස්තිකාර පුත්‍රයාගේ උපමාවේ මෙම පියාගේ නිරූපණයේ මෙන්, සමාව දීම යනු අපට එකිනෙකාට සහ විශේෂයෙන් අපටම දිය හැකි උතුම්ම ත්‍යාගයක් බව ගැලවුම්කරුවාණන් අවධාරණය කළා. සමාව දීම තුළින් අපගේ හදවත් වල බර ඉවත්කිරීම සැමවිටම පහසු නෑ, නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සක්‍රීය කිරීමේ බලය තුළින් එය කළ හැකියි.

අපේම බිඳුණු කොටස්

උපතින් කොර වූ සහ “ඔහු මාළිගාවට ඇතුල් වෙන්නන්ගෙන් සිඟමන් ඉල්ලන පිණිස සුදර්ශන දොරටුව යයි කියන මාළිගාවේ දොරටුව ළඟ දවස්පතා සිටින ලද”7 මිනිසෙක් ගැන ක්‍රියා 3 වන පරිච්ඡේදයේ අපි ඉගෙනගන්නවා.

මෙම කොර යාචකයා වයස අවුරුදු 408 ඉක්මවූ අතර අන් අයගේ ත්‍යාගශීලීභාවය මත යැපෙන නිසා ඔහුගේ මුළු ජීවිතයම ගතකළේ කිසිදා නිමක් නැති ආශාවකින් සහ බලාසිටීමේ තත්වයකයි.

දවසක් “ඔහු පේත්‍රැස්ද යොහාන්ද දේවමාළිගාවට ඇතුල්වෙන්ට යනවා දැක, සිඟමන් ඉල්ලුවේය.

“පේත්‍රැස්, යොහාන් සමඟ ඔහු දෙස ඇස් හෙළා: අප දෙස බලාපන්නැයි කීවේය.

“ඔහු ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස බලා සිටියේය.

“පේත්‍රැස්ද: රන් රිදී මට නැත; නුමුත් මට ඇති දේ නුඹට දෙමි: නාසරිය යේසුස්වහන්සේගේ නාමයෙන්, ඇවිදපන්නැයි කීවේය.

“තවද ඔහු ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගිටෙවුවේය. එකෙණෙහිම ඔහුගේ පාද සහ ඇස්වට සවිවිය.

“තවද ඔහු පැනනැගී කෙලින් සිට, ඇවිදින්ට පටන්ගත්තේය; ඇවිදිමින්ද පැනනගිමින්ද දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්ද ඔහු ඔවුන් සමග දේවමාළිගාවට ඇතුල්වුණේය.”9

බොහෝවිට දේවමාළිගාවේ ගේට්ටුව අසල සිටින කොර හිඟන්නා මෙන්, ඉවසීමෙන්—හෝ සමහරවිට නොඉවසිලිමත්ව—“ස්වාමින්වහන්සේ කෙරෙහි බලා සිටීම” අපට අප තුළින්ම සොයාගන්න පුළුවන්.10 ශාරීරිකව හෝ චිත්තවේගීයව සුවය ලැබීමට බලාසිටින්නට පුළුවන්. අපගේ හදවතේ ගැඹුරට විනිවිද යන පිළිතුරු සඳහා බලාසිටින්නට පුළුවන්. ප්‍රාතිහාර්යයක් බලාපොරොත්තුවෙන් සිටින්නට පුළුවන්.

ස්වාමින්වහන්සේ කෙරෙහි බලාසිටීම පූජනීය ස්ථානයක් වෙන්න පුළුවන්—එය ගැලවුම්කරුවාණන්ව ගැඹුරින් පුද්ගලිකව දැනහඳුනා ගත හැකි ඔපදැමීමේ සහ පිරිපහදු කිරීමේ ස්ථානයක් වෙන්නත් පුළුවන්. ස්වාමින්වහන්සේ කෙරෙහි බලා සිටීම, “අනේ දෙවියනි, ඔබ කොහිද?”11 ලෙස අසමින්—චේතනාන්විතව නැවත නැවතත් ක්‍රිස්තුස්වහන්සේව තෝරාගැනීමෙන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමට අධ්‍යාත්මික විඳදරාගැනීම අවශ්‍ය කරන ස්ථානයක් වෙන්නත් පුළුවන්. මම මේ ස්ථානය දන්නවා, මේ ආකාරයේ බලාසිටීම මට තේරෙනවා.

මම සුවය ලැබීමේ ආශාවෙන් සිටි බොහෝ දෙනෙක් සමඟ මගේ දුක් වේදනා සමඟ එක්සත් වෙමින්, පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයක පැය ගණන් ගතකළා. සමහරු ජීවත් වුණා; තවත් අය එහෙම වුණේ නෑ. අපගේ පරීක්ෂාවන්ගෙන් මිදීම අප එක් එක්කෙනාට වෙනස් බවත්, එබැවින් අපව ගැලවෙන ආකාරය ගැන අඩු අවධානයකුත් සහ ගලවන්නා පිළිබඳ වැඩි අවධානයකුත් යොමුකළ යුතු බවත් මම ගැඹුරු ආකාරයකින් ඉගෙනගත්තා. අපගේ අවධාරණය සැමවිටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විය යුතුයි!

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කිරීම යන්නෙන් අදහස් කරන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත පමණක් නොව උන්වහන්සේගේ කාලය කෙරෙහිද විශ්වාසය තැබීමයි. අපට අවශ්‍ය කුමක්ද සහ අපට එය සැබවින්ම අවශ්‍ය කවදාද කියා උන්වහන්සේ දන්නවා. අපි ස්වාමින්වහන්සේගේ කැමැත්තට යටත් වූ විට, අවසානයේ අපට අප බලාපොරොත්තු වූ දෙයට වඩා සැලකිය යුතු ලෙස ලැබෙයි.

මගේ හිතවත් මිත්‍රවරුනි, අපි හැමෝගෙම ජීවිත වල නිවැරදි කළ යුතු, සකස් කළ යුතු හෝ සුවකළ යුතු, කැඩී බිඳී ගිය දෙයක් තිබෙනවා. අපි ගැලවුම්කරුවාණන් වෙත හැරෙන විට, අප අපගේ හදවත් සහ මනස උන්වහන්සේ සමඟ පෙළගස්වන විට, අප පසුතැවිලි වන විට, “උන්වහන්සේගේ පියාපත්වල සුවය ඇතිව”12 උන්වහන්සේ අප වෙතට පැමිණ, උන්වහන්සේගේ දෑත් ආදරයෙන් අප වටා තබා, මෙහෙම කියනවා “කමක් නැහැ. ඔබට තාම වයස 5—හෝ 16, 23, 48, 64, 91 පමණයි. අපිට එකතුවෙලා මේක හදන්න පුළුවන්!”

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුව කිරීමේ, මිදීමේ, සහ සක්‍රීය කිරීමේ බලයෙන් ඔබ්බට බිඳී ගිය කිසිවක් ඔබේ ජීවිතයේ නැති බව මම සාක්ෂි දරනවා. සුව කිරීමට බලවත් වූ උන්වහන්සේගේ පරිශුද්ධ හා ශුද්ධ වූ නාමය වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.