ප්‍රධාන සම්මන්ත්‍රණය
භය නොවන්න: ඇදහිල්ලෙන්ම සිටින්න!
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


භය නොවන්න: ඇදහිල්ලෙන්ම සිටින්න!

සෑම යහපත් ත්‍යාගයක්ම ලබාදෙන්නාගෙන් අපට දැනටමත් ලැබී ඇති ත්‍යාගය වැළඳ ගැනීමෙන් ඔබේ සතුට සෙවීම ආරම්භ කරන්න.

මම අද මගේ කතාව යොමුකරන්නේ සභාවේ තරුණ පුද්ගලයින්ට, ඒ කියන්නේ සභාපති රසල් එම්. නෙල්සන්ගේ වයසේ හෝ ඊට අඩු ඕනෑම කෙනෙක්ට. මම දර්ශන භාවිතා කරන්නේ කලාතුරකින්, නමුත් මට මෙය බෙදා නොගෙන ඉන්න බැහැ.

රූපය
මැරීන් ආර්නොල්ඩ්ගේ ලිපිය

මේ cri de coeur [ක්‍රි ඩ කුවර්] එක එන්නේ මැරීන් ආර්නොල්ඩ් වන මගේ අට හැවිරිදි මිතුරිය ඇය අවුරුදු 7දී ලියපු ලියුමකින්. මම ඔබ වෙනුවෙන් ඇගේ අමුතු ඊජිප්තු භාෂාවේ මෙන් අකුරු පරිවර්තනය කරන්නම්:

ආදරණීය සභානායකතුමනි

ප්‍රදාන සම්තණය

කම්මැලි ඇයි

අපිට ඒක කරන්න

ඕනෙමද? ඒ ඇයි

අවන්ක, මැරීන්

ආර්නොල්ඩ්.1

හොඳයි, මැරීන්, මම දෙන්න යන කතාව ඔබව නැවතත් කලකිරීමට පත්කරන බව නොඅනුමානයි. නමුත් ඔබ ඔබේ සභානායකවරයාට පැමිණිලි කිරීමට ලියන විට, ඔබ ඔහුට මගේ නම “කේරොන්” බව පැවසීම වැදගත්. වැඩිහිටි පැට්‍රික් කේරොන්.”

වසර දෙකකට ආසන්න කාලයක් පුරා බයිබලයේ තිබූ ඒවා මෙන් දරුණු වසංගතයක් අපගේ ග්‍රහලෝකය ආවරණය කරගෙන තිබෙනවා, එම වසංගතය සමාජීය වශයෙන් සෑම දෙයක්ම පාහේ නවතා දැමූ අතර, පැහැදිලිවම, එය දේශීයව හෝ විදේශීයව—දේශපාලනික ම්ලේච්ඡත්වය, ප්‍රචණ්ඩත්වය, සහ කුරිරු ආක්‍රමණ වලට නැවතීමක් ගෙන ආවේ නෑ. එය ප්‍රමාණවත් නොවූවාක් මෙන්, ආර්ථික හිඟකමේ සිට පරිසර දූෂණය දක්වා වාර්ගික අසමානතාවය සහ තවත් බොහෝ දිගුකාලීන සමාජ හා සංස්කෘතික අභියෝග වලට අපි තවමත් මුහුණදෙමින් සිටිනවා.

එවැනි තද සුළං සහ අඳුරු දිනයන්, අපගේ ජීවිතයේ හෙට දවස ගැන සුබවාදීව සහ උද්යෝගිමත්ව අපි අපේක්ෂා කරන අය වන, අප අතර සිටින යෞවනයන්ව අධෛර්යමත් කළ හැකියි. “තාරුණ්‍යයේ බලය මුළු ලොවටම පොදු ධනය” බව කියා තිබෙනවා. තරුණයන් තමයි අපගේ අනාගතය.”2 ඒවගේම, මේ සභාවේ ඉරණම පත්කරනු ලබන භාරකරුවන් වෙන්නේ අපගේ දරුවන්.

අපේ වර්තමානයේ සිදුවෙන දේවල් වලට අනුව, තරුණයින්ගේ විඥානවාදය මඳක් අඩුවෙමින් තිබේ නම් එය තේරුම්ගත හැකි දෙයක්. යේල් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක වන ආචාර්ය ලෝරි සැන්ටොස් මෑතකදී, මනෝවිද්‍යාව සහ යහපත් ජීවිතය යන මාතෘකාව යටතේ පන්තියක් නිර්මාණය කළා. “එම පංතිය පිරිනැමූ පළමු වසරේ, [සම්පූර්ණ] උපාධි අපේක්ෂකයන්ගෙන් [හතරෙන් එකක්] පමණ එයට ඇතුලත් වුණා.”3 මිලියන 64 කට අධික පිරිසක් පසුව ඇයගේ විකාශනයට සම්බන්ධ වුණා. මෙම සංසිද්ධිය ගැන ලියමින් එක් මාධ්‍යවේදියෙකු සඳහන් කළේ දීප්තිමත්, තරුණ සිසුන් සහ වැඩිහිටියන් බොහෝ දෙනෙක් මංමුලා සහගත ලෙස “තමන්ට අහිමි වූ දෙයක් සොයමින්” හෝ, ඊටත් වඩා නරක අතට, කිසිදිනෙක නොතිබූ දෙයක් සඳහා ආශාවෙන් සිටීම දැකීම කෙතරම් වේදනාකාරීද යන්නයි.4

අද අපේ යෞවනයින්ගෙන් සහ ඔවුන්ට උපදෙස් දෙන දෙමාපියන්ගෙන් සහ වැඩිහිටියන් වන ඔබෙන් මම කරන ආයාචනය තමයි, සෑම යහපත් ත්‍යාගයක්ම ලබාදෙන්නාගෙන් අපට දැනටමත් ලැබී ඇති ත්‍යාගය වැළඳ ගනිමින් ඔබේ සතුට සෙවීම ආරම්භ කරන්න.5 ලෝකයේ බොහෝ දෙනෙක් ප්‍රාණය ගැන ගැඹුරු ප්‍රශ්න අසමින් සිටින මොහොතේ, අපි පිළිතුරු දිය යුත්තේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ “සුභ පණිවිඩය”6 සමඟයි. ලෝකයේ ගැලවුම්කරුවාණන්ගේ මෙහෙවර සහ පණිවිඩය ඉහළින්ම උසුලන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව, එවැනි අවශ්‍ය වේලාවක යහපත සොයාගැනීමට සහ යහපත කිරීමට යන දෙකටම සදාකාලිකව වැදගත් වන මාර්ගය ඉදිරිපත් කරනවා.

සභාපති රසල් එම්. නෙල්සන් පවසා ඇත්තේ මෙම තරුණ පරම්පරාවට “පෙර ඕනෑම පරම්පරාවකට වඩා [යහපත සඳහා] ලෝකයට වැඩි බලපෑමක් කිරීමට” හැකියාව ඇති බවයි.7 සියලු මිනිසුන් අතරින්, අපි, “ප්‍රේමනීය මුදවා ගැනීමේ ගීතය ගායනා කළ යුතුයි,”8 නමුත් ඔබට එසේ අවශ්‍ය නම් ඒ සඳහා විනයක්—“අනුගාමිකත්වයක්,” අවශ්‍යයි—එම සදාකාලික ගැලවීමේ ගීතය ගායනා කිරීමට අපි උත්සහ කරන විට අපව ඉවතට ඇද දමන සෘණාත්මක ආකල්ප වලින් සහ විනාශකාරී පුරුදු වලින් ආරක්ෂාව සපයන්නේ එයයි.

අපි “වීදියේ ආලෝකය ඇති පැත්තේ රැඳී සිටියත්,”9 සෑමදෙයක් ගැනම අඳුරු හා අප්‍රසන්න දෙයක් සොයාගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින සහෝදරයා වෙත කාලයෙන් කාලයට අපි දිව යා හැකියි. ඔහුගේ ආදර්ශ පාඨය ඔබ දන්නවා: “එය තද කළු වීමට පෙර සෑමවිටම අඳුරුයි.” මොනතරම් විනාශකාරී දර්ශනයක්ද සහ මොනතරම් දුක්ඛිත පැවැත්මක්ද! ඔව්, අපට සමහරවිට අප සිටින තැනින් පලා යාමට අවශ්‍ය විය හැකියි, නමුත් අපි කිසිවිටෙකත් අප කවුරුන්ද යන්නෙන් පලා නොයා යුතුයි—අපි, අපට ප්‍රේම කරන, අපට සැමවිටම සමාව දීමට සූදානම්ව සිටින, කිසිදා අපව අත් නොහරින ජීවමාන දෙවියන්වහන්සේගේ දරුවන්. ඔබ තමයි උන්වහන්සේගේ වටිනාම වස්තුව. ඔබ තමයි උන්වහන්සේගේ දරුවා, උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් සහ පොරොන්දු, අධ්‍යාත්මික දීමනා සහ එළිදරව් කිරීම්, ප්‍රාතිහාර්යයන් සහ පණිවිඩ සහ තිරය දෙපස දේවදූතයන් ලබාදී තිබෙන්නේ ඔබ වෙනුවෙන්.10

ලෞකිකත්වය සඳහා පවුල් ශක්තිමත් කරන සහ සදාකාලිකත්වය සඳහා ඔවුන්ව බැඳ තබන සභාවක් උන්වහන්සේ ඔබට ලබාදී තිබෙනවා. එය 31,000 කට වඩා වැඩි කොට්ටාශ සහ ශාඛා ලබාදෙනවා, එහිදී මිනිසුන් එක්රැස් වී, ඒවගේම ගායනා කර, ඒවගේම නිරාහාරව සිට, සහ එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන අතර ඔවුන්ගේ මුදල් දුප්පතුන්ට ලබාදෙනවා. සෑම පුද්ගලයෙකුවම නම් කරන, වගකීම් දරන, සහ දේවසේවය කරනු ලබන, සහ ස්වේච්ඡා මිතුරන් සහ අසල්වාසීන් ස්වේච්ඡාවෙන් ලේඛන සේවයේ සිට භාරකාර රාජකාරිය දක්වා විහිදෙන කැඳවීම් වල එකිනෙකාට සේවය කරන ස්ථානය මෙයයි. තරුණ වැඩිහිටියන්—ඒවගේම ජ්‍යෙෂ්ඨ යුවල—දහස් ගණනක් සිය වියදමින් ධර්දූමත සේවය කරන්නේ ඔවුන් කොතැනක සේවය කරනවාද කියා ඔවුන් විසින් තීරණය නොකරමින්, ඒවගේම මිනිස් පවුල එකට බැඳීමට අවශ්‍ය පූජනීය නියෝග ඉටුකිරීම සඳහා තරුණ හා මහලු සාමාජිකයන් දේවමාළිගා කරා ගමන් කරනවා—එය බෙදී ඇති ලෝකයක සිදුවන එඩිතර ක්‍රියාවක්, නමුත් ඒවා තමයි එවැනි බෙදීම් තාවකාලික බව ප්‍රකාශ කරන දේවල් වෙන්නේ. මේ “[අප] තුළ තිබෙන බලාපොරොත්තුව”11 සඳහා අප දෙන හේතු කිහිපයක් පමණයි.

ඇත්තවශයෙන්ම, අපගේ වර්තමානයේදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඕනෑම ගෝලයෙකු අතිශය දුෂ්කර ප්‍රශ්න වලට මුහුණදෙනවා. මෙම අභියෝග නිරාකරණය කිරීමේදී ස්වාමින්වහන්සේගේ මගපෙන්වීම සෙවීමට මෙම සභාවේ නායකයෝ තම ජීවිත කැපකරනවා. සමහර ඒවා සෑම කෙනෙකුගේම තෘප්තියට පත්වන පරිදි විසඳෙන්නේ නැති නම්, සමහරවිට යේසුස්වහන්සේව අනුගමනය කරන්නට උන්වහන්සේගේ කුරුසිය අප මත ගන්න කී ආකාරයට ඒවා එහි කොටසක් බවට පත්වෙනවා.12 අඳුරු දින සහ දුෂ්කර ගැටලු ඇතිවන බව පැහැදිලියි, දෙවියන්වහන්සේ පොරොන්දු වූ පරිදි දවාලේදී වලා ටැඹකින්ද රාත්‍රියේ ගිනි ටැඹකින්ද, මගපෙන්වන අනාගතවක්තෘවරුන්ද, යකඩ අත්වැටක් සමඟද, සෘජු මාවතකට මගපෙන්වන පටු ගේට්ටුවක් විවෘත කිරීමෙන්ද, සියල්ලටම වඩා මේ කාර්යය නිම කිරීමට අපට බලයද ලබාදෙනවා.13

එබැවින් කරුණාකර, කරුණාකර, ඔබ බ්‍රොකලි ආහාරයට ගන්න අකමැති උනත් සම්පූර්ණ භුක්තිවිඳීමේ මංගල්‍යය සඳහා රැඳී සිටින්න. උන්වහන්සේගේ ආලෝකයෙන් ලබා ඔබේම ඉටිපන්දම ඒ කාර්යය සඳහා ලබාදෙන්න.14 ප්‍රාථමිකයේ ඔවුන් එය නිවැරදිව කියනවා: යේසුස්වහන්සේට ඇත්තටම “[ඔබව] හිරු කිරණකට අවශ්‍යයි.”15

නිවසේ මිය යමින් සිටි තම 12 හැවිරිදි දියණියව සුවකරන ලෙස යුදෙව් නායක යායිරස් යේසුස්වහන්සේගෙන් ඉල්ලා සිටි විට, අවට සිටි සමූහයා ගැලවුම්කරුවාණන්ව බොහෝ වේලාවක් තබාගෙන සිටි අතරතුරදී, මෙම කනස්සල්ලෙන් සිටි පියා වෙත ඉක්මනින් පැමිණි සේවකයෙක්, “නුඹේ දුව මැරුණාය; ආචාරීන්වහන්සේට කරදර නොකරන්නැයි කීවේය.

“යේසුස්වහන්සේ ඒ අසා: භය නොවන්න. ඇදහිල්ලෙන්ම සිටපන්න, එවිට ඈට සුවවන්නේයයි උත්තර දුන්සේක.”16

ඇයට එසේම වුණා. ඔබටත් එසේමයි. “භය නොවන්න: ඇදහිල්ලෙන්ම සිටින්න.”

මෙම සභාවේ සිටින ඔබ සෑම කෙනෙකුවම දෙවියන්වහන්සේට සහ මෙම සභාවට වටින බැවින්, මෙම විශේෂ අපෝස්තලික ප්‍රකාශය සමඟ මම අවසන් කරනවා. ඔබ ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය ලැබීමට පෙර, ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය ඔබේ ආත්මය තුළ රෝපණය කර තිබුණා,17 එම “ආලෝකය එම සියලු දේවල ඇත්තාවූ ආලෝකයයි, සියලු දේවලට [එය] ජීවනය දෙනවා”18 එමෙන්ම මෙතෙක් ජීවත් වූ හෝ ජීවත් වන සියලු දෙනාගේ හදවත් තුළ යහපත සඳහා බලපෑම් කරනවා. එම ආලෝකය ලබාදී තිබෙන්නේ ඔබව ආරක්ෂා කිරීමට සහ ඔබට ඉගැන්වීමටයි. එහි එක් ප්‍රධාන පණිවිඩයක් නම් ජීවිතය සියලු ත්‍යාග වලට වඩා වටිනාම ත්‍යාගය බවයි, එමෙන්ම එම ත්‍යාගය සදාකාලිකව ලබාගත හැකිවන්නේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් පමණක් බවයි. ලෝකයේ ආලෝකය සහ ජීවය ලෙස,19 දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් මරණය ජයගෙන අපට ජීවිතය ලබාදීමට පැමිණියා.

ජීවිතය නමැති ත්‍යාගය සඳහා අප සම්පූර්ණයෙන්ම කැපවී මෙම පරිශුද්ධ ත්‍යාගය අත්හැරීමේ අවදානමට ලක්ව සිටින අයගේ පිහිටට දිව යා යුතුයි. නායකයිනි, උපදේශකයිනි, මිතුරනි, පවුල් සාමාජිකයිනි—මානසික අවපීඩනය, බලාපොරොත්තු සුන්වීම, හෝ ස්වයං-හානිකර දේ පිළිබඳ ඉඟි ගැන විමසිල්ලෙන් සිටින්න. ඔබේ උදව් ලබාදෙන්න. සවන්දෙන්න. සුදුසු පරිදි යම් ආකාරයක මැදිහත්වීමක් කරන්න.

ඔබේ ගැටළු හෝ දුෂ්කරතා කුමක් වුවත්, අරගල කරන අපගේ ඕනෑම යෞවනයෙකුට, සියදිවි නසාගැනීමෙන් මරණයට පත්වීම පැහැදිලිවම පිළිතුර නොවේ. එය ඔබට දැනෙන වේදනාව හෝ ඔබ ඇතිකරන බව ඔබට සිතෙන වේදනාව සමනය කරන්නේ නෑ. ලබාගත හැකි සියලු ආලෝකය ඉතා දැඩි ලෙස අවශ්‍ය වන ලෝකයක, කරුණාකර දෙවියන්වහන්සේ මේ ලෝකයට පෙර ඔබේ ප්‍රාණය මත තැබූ සදාකාලික ආලෝකය අඩු කරගන්න එපා. යමෙකුට කතාකරන්න. උදව් ඉල්ලන්න. ආරක්ෂා කිරීම සඳහා ක්‍රිස්තුස්වහන්සේ විසින් තම ජීවිතය දුන් ජීවිතයක් විනාශ කරගන්න එපා. ඔබට මේ ලෞකික ජීවිතයේ අරගල දරාගන්න පුළුවන්, මොකද ඒවා දරාගැනීමට අපි ඔබට උදව් කරන්නම්. ඔබ හිතනවට වඩා ඔබ ශක්තිමත්. අන් අයගෙන් සහ විශේෂයෙන්ම දෙවියන්වහන්සේගෙන් ඔබට උදව් ලබාගන්න පුළුවන්. ඔබට ආදරය ලැබෙනවා, හා අගය කෙරෙනවා, ඒවගේම ඔබව අවශ්‍ය වෙනවා. අපිට ඔබව අවශ්‍යයි! “භය නොවන්න: ඇදහිල්ලෙන්ම සිටින්න.”

ඔබටත් මටත් වඩා මංමුලා සහගත තත්වයන්ට මුහුණදුන් අයෙක් වරක් මෙසේ හැඬුවා: “[මගේ ආදරණීය තරුණ මිතුරනි] ඉදිරියටම යන්න. ධෛර්යය ගන්න, … එමෙන්ම, ජයග්‍රහණය කරා යන්න! නුඹලාගේ හදවත් වලට ප්‍රීති ප්‍රමුදිත වන්නටත් තවද බෙහෙවින් ප්‍රීතිමත් වන්නටත් සලස්වන්න.”20 අපට සතුටු වීමට බොහෝ දේ තිබෙනවා. අපට එකිනෙකා සිටිනවා, ඒවගේම අපට උන්වහන්සේ සිටිනවා. ඔබ සමඟ සිටීමට අපට ඇති අවස්ථාව ප්‍රතික්ෂේප කරන්න එපා කියා මම ආයාචනා කරන්නේ, අපගේ ස්වාමියා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිශුද්ධ හා ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.