ප්‍රධාන සම්මන්ත්‍රණය
ප්‍රේම කරන්න, බෙදාගන්න, ආරාධනා කරන්න
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ප්‍රේම කරන්න, බෙදාගන්න, ආරාධනා කරන්න

අපි ආදරය කර, බෙදාගනිමින්, සහ ආරාධනා කරන විට, අපි මෙසියස්වහන්සේගේ නැවත පැමිණීම සඳහා පොළොව සූදානම් කරන එම ශ්‍රේෂ්ඨ හා තේජාන්විත කාර්යයට සහභාගී වෙනවා.

ගලීලයේ කන්දක් මත සිටගෙන, මරණයෙන් නැවත නැගිටි ගැලවුම්කරුවාණන් තම ශ්‍රාවකයන් වෙත පැමිණීමේ අසිරිය හා මහිමය දැකීම, මා සමඟ මොහොතකට මවාගන්න. “එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන්ට උගන්වන්න, පියාණන්වහන්සේගේද, පුත්‍රයාණන්වහන්සේගේද, ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ඔවුන් බව්තීස්ම කරන්න”1 යන ඔවුන් සමඟ බෙදාගත් උන්වහන්සේගේ මෙම බැරෑරුම් ආඥාවේ වචන පුද්ගලිකව ඇසීම කෙතරම් විස්මිතද. නිසැකවම, මෙම වචන උන්වහන්සේගේ ප්‍රේරිතවරුන්ට කළාක් මෙන්, අප සෑම කෙනෙකුම සවිබල ගන්වමින්, පෙළඹවීමක් ලබාදෙමින්, වෙනස් කරයි. ඇත්තවශයෙන්ම, ඔවුන් තම ජීවිතයේ ඉතිරි කාලය කැපකළේ ඒ සඳහායි.

සිත්ගන්නා කරුණ නම්, යේසුස්වහන්සේගේ වචන හදවතට ගත්තේ ප්‍රේරිතවරුන් පමණක් නොවේ. සභාවේ මුල් සාමාජිකයන්, අලුත් අයගේ සිට වඩාත්ම පළපුරුදු අය දක්වා, ඔවුන් හමු වූ සහ දන්නා අය සමඟ ශුභාරංචිය පිළිබඳ සුභ පණිවිඩය බෙදාගනිමින්, ගැලවුම්කරුවාණන්ගේ ශ්‍රේෂ්ඨ පැවරුමට සහභාගී වුණා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඔවුන්ගේ සාක්ෂිය බෙදාගැනීමේ අධිෂ්ඨානය උන්වහන්සේ අලුතින් පිහිටුවන ලද සභාවට පුළුල් ලෙස වර්ධනය වීමට උපකාරී වුණා.2

උන්වහන්සේ එය ප්‍රථමයෙන් ප්‍රකාශ කරද්දී අපිත් ඒ ගලීලයේ කන්ද මත සිටියාක් මෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන් අපටද අද උන්වහන්සේගේ පැවරුමට අවනත වීමට ආරාධනා කරනවා. මෙම පැවරුම නැවත ආරම්භ වූයේ 1830 දී, ජෝසෆ් ස්මිත් තම සොහොයුරා වන සැමුවෙල්ව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ මුල් ධර්මදූතවරයෙකු ලෙස වෙන්කළ අවස්ථාවේදීයි.3 එතැන් සිට, මිලියන 1.5 කට වැඩි ධර්මදූතයින් ලොව පුරා සංචාරය කර සියලු ජාතීන්ට උගන්වමින් සහ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ සුභ පණිවිඩය වැළඳගන්නා අයව බව්තීස්ම කර තිබෙනවා.

මේ තමයි අපේ දහම. අපේ ආදරණීය ආශාව.

අපගේ කුඩා දරුවන්ගේ සිට අප අතර සිටින වැඩිමහල්ලා දක්වා, අපට ගැලවුම්කරුවාණන්ගේ කැඳවීමට අවනත වී ලෝකයේ ජාතීන් සමඟ ශුභාරංචිය බෙදාගත හැකි කාලය සඳහා අපි බලා සිටිනවා. ගැලවුම්කරුවාණන් තම ප්‍රේරිතවරුන් සමඟ කළාක් මෙන් පූර්ණ කාලීන ධර්මදූත සේවයක් සඳහා සූදානම් වන ලෙස ඔබට ආරාධනා කිරීමත් සමඟම ඊයේ අපගේ අනාගතවක්තෘවරයාගෙන් ඒ හා සමාන බලගැන්වීමේ අභියෝගයක් තරුණ පිරිමින්ට සහ තරුණ කාන්තාවන්ට දැනුණු බව මට විශ්වාසයි.

ආරම්භක පිතිකරුවන් මෙන්, අපි අනාගතවක්තෘවරයාගේ අත්සනින් සම්පූර්ණ කර, තරඟයේ ආරම්භය සංඥා කරන, නිල ආරාධනය අපේක්ෂාවෙන් බලා සිටිනවා! මෙම ආශාව උතුම් හා ආශ්වාදජනකයි; කෙසේවෙතත්, අපි මෙම ප්‍රශ්නය සලකා බලමු: අපි සියල්ලන්ම දැන් ආරම්භ නොකරන්නේ ඇයි?

“නාම ලාංඡනයක් නොමැතිව මම ධර්මදූතවරයෙක් වෙන්නේ කොහොමද?” කියා ඔබ අසයි. නැත්නම් අපි අපිටම මෙහෙම කියාගනියි, “මේ වැඩේ කරන්න පූර්ණ කාලීන ධර්මදූතයින්ව වෙන් කරලා තියෙන්නේ. මම උදව් කිරීමට කැමතියි නමුත් සමහරවිට පසුව ජීවිතය ටිකක් සන්සුන් වුණාම එහෙම කරනවා.”

සහෝදර සහෝදරියනි, එය ඊට වඩා බෙහෙවින් සරලයි! කෘතඥපූර්වකව, ගැලවුම්කරුවාණන්ගේ ශ්‍රේෂ්ඨ පැවරුම කුඩා කල සිටම අප සෑම කෙනෙකුටම උගන්වන සරල, පහසුවෙන් තේරුම්ගත හැකි මූලධර්ම හරහා ඉටුකළ හැකියි: ඒ ආදරය, බෙදාගැනීම, සහ ආරාධනා කිරීම තුළින්.

ආදරය

අපට කළ හැකි පළමු දෙය තමයි ක්‍රිස්තුස්වහන්සේ කළාක් මෙන් ආදරය කිරීම.

මෙම කැලඹිලි සහිත කාල වලදී ලොව පුරා අප දකින මිනිස් දුක් වේදනා හා ආතතියෙන් අපගේ හදවත් තිබෙන්නේ බර වෙලා. කෙසේවෙතත්, තම නිවෙස් වලින් අවතැන් වූවන්, ඔවුන්ගේ පවුල් වලින් වෙන්ව, හෝ වෙනත් ආකාරයේ දුකක් සහ බලාපොරොත්තු සුන්වීමක් අත්විඳින—පැත්තකට වී සිටින අය වෙත ලඟා වීමට දරන උත්සාහය තුළින් සෑම තැනකම මිනිසුන් විසින් පෙන්නුම් කරන ලද දයානුකම්පාව සහ මානුෂීයත්වයේ පිටාර ගැලීමෙන් අපට ආශ්වාදයක් ලබන්න පුළුවන්.

මංමුලා සහගත පලායන පවුල් ගැන කනස්සල්ලෙන් පෝලන්තයේ මව්වරුන් පිරිසක්, ඔවුන් දුම්රියෙන් බැස යන විට එම සරණාගත මව්වරුන් සහ දරුවන් සඳහා සූදානමින්, දුම්රිය ස්ථාන වේදිකාවක් මත එක පෙළට අංග සම්පූර්ණ ළමුන් තබාගෙන තල්ලුකරන පදවන තබා තිබූ අයුරු මෑතකදී ප්‍රවෘත්ති මූලාශ්‍ර වාර්තා කළා. අප එකිනෙකාගේ බර උසුලන විට අපි “ක්‍රිස්තුස්වහන්සේගේ නීතිය ඉටුකරන [නිසා],”4 නිසැකවම, අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ මෙවැනි පරාර්ථකාමී ත්‍යාගශීලි ක්‍රියා දෙස බලා සිනාසෙනවා.

අපි අපේ අසල්වැසියන්ට ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ප්‍රේමයක් පෙන්වන සෑම විටම—අපි එක වචනයක්වත් කතා නොකළත්—අපි කරන්නේ ශුභාරංචිය දේශනා කිරීමයි.

අන්‍යයන්ට ප්‍රේම කිරීම යනු අපගේ අසල්වැසියන්ට ප්‍රේම කිරීමේ දෙවන ශ්‍රේෂ්ඨ ආඥාවේ ව්‍යක්ත ප්‍රකාශනයයි;5 එය අපගේම ප්‍රාණ තුළ ක්‍රියාත්මක වන ශුද්ධාත්මයාණන්ගේ පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය පෙන්නුම් කරනවා. ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අන් අයට පෙන්වීමෙන්, අපගේ යහපත් ක්‍රියා දකින අයට “ස්වර්ගයෙහි සිටින [අපගේ] පියාණන්ව මහිමවත් කිරීමට”6 සලස්වන්න අපට පුළුවන්.

අපි මේක කරන්නේ කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී.

අපගේ බලාපොරොත්තුව, ඇත්තවශයෙන්ම, ඔවුන් අපගේ ආදරය සහ අපගේ පණිවිඩය පිළිගනු ඇති බවයි, නමුත් ඔවුන් ප්‍රතික්‍රියා කරන ආකාරය අපගේ පාලනයට යටත් නැහැ.

අප කරන දේ සහ අප කවුරුන්ද යන බව තිබෙන්නේ අපේ පාලනයේ.

ක්‍රිස්තුස්වහන්සේ මෙන් අන්‍යයන්ට ප්‍රේම කිරීම තුළින්, අපි ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ තේජාන්විත, ජීවිතය පරිවර්තනය කරන ගුණාංග දේශනා කරන අතර, උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ පැවරුම ඉටුකිරීමට අපි සැලකිය යුතු ලෙස සහභාගි වෙනවා.

බෙදාගන්න

අපට කළ හැකි දෙවන දෙය වන්නේ බෙදාගැනීමයි.

COVID-19 වසංගතයේ මුල් මාස වලදී, තායිලන්තයේ සහෝදර විසාන්ට, ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ ඔහු මොර්මොන්ගේ පොත අධ්‍යයනය කිරීමේදී ඔහු ඉගෙනගන්නා දේ පිළිබඳ ඔහුගේ හැඟීම් සහ අදහස් බෙදාගැනීමට පෙලඹවීමක් දැනුණා. ඔහුගේ විශේෂයෙන් පුද්ගලික පෝස්ටුවක, ඔහු මොර්මොන්ගේ පොතේ ධර්මදූතවරුන් දෙදෙනෙකු වන ඇල්මා සහ අමුලෙක් පිළිබඳ කථාවක් බෙදාගත්තා.

ඔහුගේ සොහොයුරා වන විනායි, ඔහුගේ ආගමික විශ්වාසයන් තුළ පිහිටුවා සිටියත්, එම පෝස්ටුව ගැන හැඟීමක් ඇතිවී ප්‍රතිචාර දක්වමින්, අනපේක්ෂිත ලෙස මෙසේ ඇසුවා, “මට එම පොත තායි භාෂාවෙන් ලබාගන්න පුළුවන්ද?”

ධර්මදූතයින් දෙදෙනෙකු විසින් තම සහෝදරයාට මොර්මොන්ගේ පොතේ පිටපතක් ලබාදීමට විසන් නැණවත් ලෙස කටයුතු කළ පසු, ඔවුන් ඔහුගේ සහෝදරයාට උගන්වන්න පටන්ගත්තා.

විසන් මාර්ගගත පාඩම් සඳහා සම්බන්ධ වී, එහිදී මොර්මොන්ගේ පොත පිළිබඳ ඔහුගේ හැඟීම් බෙදාගත්තා. සත්‍යය සෙවීමේ ආත්මයකින් යුතුව යාච්ඤා කිරීමට සහ අධ්‍යයනය කිරීමටත්, සත්‍යය පිළිගැනීමට සහ වැලඳ ගැනීමටත් විනායි ඉගෙනගත්තා. මාස කිහිපයක් ඇතුළත විනායි බව්තීස්ම වුණා!

විසාන් පසුව මෙසේ පැවසුවා, “දෙවියන්වහන්සේගේ දෑතේ මෙවලමක් වීමට අපට වගකීමක් තිබෙනවා, අප තුළින් උන්වහන්සේගේ කාර්යය කිරීමට අප සැමවිටම සූදානම් විය යුතුයි.” ඔවුන්ගේ පවුලේ එම ප්‍රාතිහාර්යය පැමිණියේ විසාන් සාමාන්‍ය හා ස්වාභාවික ආකාරයෙන් ශුභාරංචිය බෙදාගත් නිසයි.

අපි හැමෝම අනිත් අය එක්ක දේවල් බෙදාගන්නවා. අපි එය නිතර නිතර කරනවා. අපි කැමති චිත්‍රපට සහ ආහාර මොනවාද, අපි දකින හාස්‍යජනක දේවල්, අපි සංචාරය කරන ස්ථාන, අපි අගය කරන කලාව, අපට පෙළඹවීම් ලැබුණු උපුටා දැක්වීම් අපි බෙදාගන්නවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ගැන අප ප්‍රිය කරන දේ අපි දැනටමත් බෙදාගන්නා දේවල් ලැයිස්තුවට සරලව එකතු කරන්න පුළුවන් කොහොමද

වැඩිහිටි ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ් මෙසේ පැහැදිලි කළා: “යමෙක් ඔබගේ සති අන්තය ගැන විමසූ විට, ඔබ සභාවේ අත්විඳි දේ බෙදාගැනීමට පැකිළෙන්න එපා. කුඩා දරුවන් පිරිසක් ඉදිරියේ හිටගෙන ඔවුන් යේසුස්වහන්සේ මෙන් වීමට තැත්කරන අයුරු ගැයූ ආකාරය ගැන කියන්න. තරුණ කණ්ඩායම් වැඩිහිටි නිවාස වලට උදව් කරමින් පෞද්ගලික ඉතිහාසය සකස්කරන්නට කාලය ගත කළ ආකාරයත් ගැන කථා කරන්න.”7

බෙදාගැනීම යනු ශුභාරංචිය “විකිණීම” නොවේ. ඔබට දේශනාවක් ලිවීමට හෝ කෙනෙකුගේ වැරදි අදහස් නිවැරදි කිරීමට අවශ්‍ය වෙන්නේ නෑ.

ධර්මදූත කාර්යය සම්බන්ධයෙන්, දෙවියන්වහන්සේට ඔබ උන්වහන්සේ වෙනුවෙන් කතා කරන්නා වීම අවශ්‍ය නෑ; කෙසේවෙතත්, උන්වහන්සේ ඔබෙන් ඉල්ලනේ උන්වහන්සේගේ බෙදාගන්නා වීමටයි.

ශුභාරංචිය තුළ අපගේ ධනාත්මක අත්දැකීම් අන් අය සමඟ බෙදාගැනීමෙන්, අපි ගැලවුම්කරුවාණන්ගේ ශ්‍රේෂ්ඨ පැවරුම ඉටුකිරීමට සහභාගී වෙනවා.

ආරාධනා කරන්න

ඔබට කළ හැකි තුන්වන දෙය වන්නේ ආරාධනා කිරීමයි.

මයිරා සහෝදරිය ඉක්වදෝරයේ මෑතකදී සභාවට හැරුණු කෙනෙක්. ඇය බව්තීස්ම වූ වහාම ශුභාරංචිය තුළ ඇගේ ප්‍රීතිය අහස උසට නැඟුණේ ඇය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඇය වටා සිටින මිතුරන්ට සහ ආදරණීයයන්ට ආරාධනා කළ නිසයි. ඇයගේ පෝස්ටු දුටු බොහෝ පවුලේ සාමාජිකයන් සහ මිතුරන් ප්‍රශ්න අසමින් ප්‍රතිචාර දැක්වුවා. මයිරා ඔවුන් සමඟ සම්බන්ධ වූ අතර, ධර්මදූතයින් සමඟ හමුවීමට බොහෝ විට ඔවුන්ට ඇගේ නිවසට ආරාධනා කළා.

මයිරාගේ දෙමව්පියන්, ඇගේ සහෝදර සහෝදරියන්, ඇගේ නැන්දා, ඥාති සොහොයුරියන් දෙදෙනෙකු, සහ ඇගේ මිතුරන් කිහිප දෙනෙකු බව්තීස්ම වූයේ “පැමිණ, බලන්න,” “පැමිණ සේවය කරන්න,” සහ “පැමිණ අයිති වන්න” යන ධෛර්ය සම්පන්නව කළ ආරාධනා නිසයි. ඇයගේ සාමාන්‍ය සහ ස්වාභාවික ආරාධනා හරහා, 20 දෙනෙකුට වැඩි පිරිසක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ බව්තීස්ම වූ සාමාජිකයන් වීමට ඇයගේ ආරාධනය පිළිගෙන තිබුණා. මෙය සිදුවූයේ මයිරා සහෝදරිය සභාවේ සාමාජිකයෙකු ලෙස තමාට දැනෙන ප්‍රීතිය අත්විඳීමට අන් අයට ආරාධනා කළ නිසයි.

රූපය
මයිරා සහෝදරිය සහ ශුභාරංචි ප්‍රීතිය අත්විඳීමට ඇය ආරාධනා කළ අනෙකුත් අය

අපිට අනිත් අයට කරන්න පුළුවන් ආරාධනා සිය ගණනක් තියෙනවා. සක්‍රමේන්තු සේවාවක්, කොට්ටාශ ක්‍රියාකාරකමක්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පැහැදිලි කරන මාර්ගගත වීඩියෝවක් “පැමිණ බැලීමට” අපට අන් අයට ආරාධනා කරන්යන පුළුවන්. “පැමිණ බලන්න” යනු මොර්මොන්ගේ පොත කියවීමට හෝ නව දේවමාළිගාවක් කැපකිරීමට පෙර එහි විවෘත නිවසට පැමිණීමට ආරාධනයක් විය හැකියි. සමහරවිට, ආරාධනය යනු—අප අපටම කරන ආරාධනය, අප අවට ඇති අවස්ථාවන් පිළිබඳ දැනුවත්භාවය සහ දැක්මක් ලබාගැනීම, ක්‍රියාකිරීම වගේ—අප අභ්‍යන්තරයට දිගු කරන දෙයක්.

අපගේ ඩිජිටල් යුගයේ, සාමාජිකයින් බොහෝ විට සමාජ මාධ්‍ය හරහා පණිවිඩ බෙදාගන්නවා. ඔබට බෙදාගැනීමට සුදුසු යැයි සිතිය හැකි උසස් දේවල් සිය ගණනක්, නැතිනම් දහස් ගණනක් තිබෙනවා. මෙම අන්තර්ගතය “පැමිණ බලන්න,” “පැමිණ සේවය කරන්න,” සහ “පැමිණ සහ අයිති වෙන්න” සඳහා ආරාධනා පිරිනමනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ගැන වැඩි විස්තර දැනගැනීමට අපි අන්‍යයන්ට ආරාධනා කරන විට, උන්වහන්සේගේ පැවරුමේ කාර්යයේ නිරත වීමට ගැලවුම්කරුවාණන්ගේ කැඳවීමට අපි සහභාගි වෙනවා.

අවසානය

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අපි අද කතා කළේ ඕනෑම කෙනෙකුට කළ හැකි සරල දේවල් තුනක් ගැනයි. ඔබට කළ හැකි දේවල් ගැනයි! ඔබ එසේ කරන බව මුළුමනින්ම නොදැන පවා—සමහරවිට ඔබ දැනටමත් ඒවා කරමින් සිටිනවා විය හැකියි!

ඔබට ආදරය කිරීමට, බෙදාගැනීමට, සහ ආරාධනා කිරීමට හැකි ක්‍රම සලකා බැලීමට මම ඔබට ආරාධනා කරනවා. ඔබ එසේ කරන විට, ඔබ අපගේ ආදරණීය ගැලවුම්කරුවාණන්ගේ වචන වලට අවනත වන බව දැනගැනීමෙන් ඔබට යම් තරමක ප්‍රීතියක් දැනෙයි.

මම ඔබෙන් කරන්න ඉල්ලා සිටින්නේ අලුත් වැඩසටහනක් නොවේ. ඔබ මීට පෙර මෙම මූලධර්ම අසා තිබෙනවා. සභාව ඔබෙන් ඉල්ලා සිටින “ඊළඟ විශාල දෙය” මෙය නොවේ. මෙම කරුණු තුන හුදෙක් අප දැනටමත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් ලෙස සිටින ආකාරයට තවත් එකතු කිරීමක් පමණයි.

නාම ලාංඡනයක් හෝ ලිපියක් අවශ්‍ය වෙන්නේ නෑ.

විධිමත් කැඳවීමක් අවශ්‍ය වෙන්නේ නෑ.

මෙම කරුණු තුන අප කවුරුන්ද යන්න සහ අප ජීවත් වන ආකාරය පිළිබඳ ස්වාභාවික අංගයක් බවට පත්වන විට, ඒවා ස්වයංක්‍රීය, බල නොකෙරුණු, අව්‍යාජ ප්‍රේමයේ ප්‍රකාශනයක් බවට පත්වෙයි.

මීට වසර 2,000කට පෙර ගලීලයේදී උන්වහන්සේගෙන් ඉගෙනගැනීමට එක්රැස් වූ ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් මෙන්, අපටත් ගැලවුම්කරුවාණන්ගේ පැවරුම වැළඳගෙන ශුභාරංචිය දේශනා කරමින් ලොව පුරා යන්න පුළුවන්.

අපි ආදරය කර, බෙදාගනිමින්, සහ ආරාධනා කරන විට, අපි මෙසියස්වහන්සේගේ නැවත පැමිණීම සඳහා පොළොව සූදානම් කරන එම ශ්‍රේෂ්ඨ හා තේජාන්විත කාර්යයට සහභාගී වෙනවා.

අපට ගැලවුම්කරුවාණන්ගේ කැඳවීමට අවනත වී උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ පැවරුමෙහි නිරත වීමට වෙර දැරීමට හැකිවේවා කියා මම යාච්ඤා කරනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. මතෙව් 28:19.

  2. මුල් කාලීන සභාවේ වර්ධනයට හේතුව කුමක්ද? එක් ඉතිහාසඥයෙක් යෝජනා කරන්නේ: “ඇදහිල්ලේ ස්වභාවය ගැන බැරෑරුම් ලෙස විමසීමක් කළ හැකි පළමු දෙය නම් වෙනත් ඇදහිලිවන්තයන් සමඟ පෞද්ගලික සම්බන්ධතා පැවැත්වීමයි. … ඔවුන්ගේ සාමාන්‍ය දෛනික කටයුතු මධ්‍යයේ වෙනස් වූ ජීවිත පිළිබඳ සාක්ෂි වලට මුහුණදීමට සිදුවීම පසෙකලා, යේසුස්වහන්සේව අනුගමනය කළ අය සමඟ ජීවත් වීමට සහ වැඩ කිරීමට, සහ ඔවුන්ගේ හැසිරීම සමීප ස්ථාන වල දැකීමට සහ ඔවුන් ශුභාරංචිය ගැන කතා කරන විට සවන්දීමයි. මේ අර්ථයෙන් ගත් කල, ක්‍රිස්තියානි ඇදහිල්ලේ ඇදගැනීමේ බලය තිබුණේ බොහෝ විට එහි ප්‍රමුඛ නියෝජිතයින්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශ වල නොවේ, නමුත් සාමාන්‍ය ලෙස යේසුස්වහන්සේට නමස්කාර කරන්නන් ඔවුන්ගේ අඛණ්ඩතාවයෙන්, ස්ථාවරත්වයෙන්, ඔවුන්ගේ කැපවීමේ විශ්වසනීයත්වයට සාක්ෂි දරන නිහඬ සාක්ෂිය, සහ අන් අයට විවෘතව සිටීම තුළයි” (Ivor J. Davidson, The Birth of the Church: From Jesus to Constantine, AD 30–312 [2005], 108–9).

  3. බලන්න Lucy Mack Smith, History, 1845, page 169, josephsmithpapers.org.

  4. ගලාති 6:2.

  5. බලන්න මතෙව් 22.39.

  6. මතෙව් 5:16.

  7. ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ්, “ධර්මදූත සේවය: ඔබේ හදවතේ ඇති දේ බෙදාගැනීම, ලියහෝනා, මැයි 2019, 17.