ප්‍රධාන සම්මන්ත්‍රණය
අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවයි
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවයි

සභාව යනු ගොඩනැගිලි සහ සභා ව්‍යුහයට වඩා වැඩි දෙයක්; ක්‍රිස්තුස්වහන්සේ එහි මුදුනෙහි සිටින අතර අනාගතවක්තෘවරයා උන්වහන්සේගේ මුවකඩ වීමත් සමඟ, සභාව යනු සාමාජිකයන් වන, අපියි.

“පැමිණ බලන්න”1 යන ආරාධනය ලැබීමෙන් පසු, මම වයස අවුරුදු 26 දී ප්‍රථම වරට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගේ සභාවට ගියා. මම ඒ වෙනකොට මගේ පළමු සැමියාගෙන් වෙන් වී වැඩි කලක් ගතවී තිබුණේ නෑ. මට අවුරුදු තුනක පිරිමි ළමයෙක් හිටියා. ඒ වගේම මට බියකුත් සමඟ බල රහිත බවක් දැනුණා. මම ඒ ගොඩනැගිල්ලට ඇතුළු වූ විට, මා වටා සිටින මිනිසුන්ගේ ඇදහිල්ල සහ ප්‍රීතිය තේරුම්ගත් විට මම සැනසුමෙන් පිරී ගියා. එය ඇත්තෙන්ම “කුණාටුවෙන් රැකවරණයක්” වුණා.2 සති තුනකට පසු, මම ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ බව්තීස්ම ගිවිසුමක් ඇතිකරගෙන, ඒ ගමනේදී මගේ ජීවිතය සර්ව සම්පූර්ණ වුණේ නැතත්, ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු ලෙස මගේ ගමන ආරම්භ කළා.

මට එම සදාකාලික ආශිර්වාද ලබාගැනීමට නම්, බොහෝ භෞතික හා අධ්‍යාත්මික අංග ස්ථානගත විය යුතුව තිබුණා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවා දේශනා කර තිබුණා; එම රැස්වීම් ශාලාව ඉදිකර නඩත්තු කර තිබුණා; අනාගතවක්තෘවරයාගේ සිට ප්‍රාදේශීය නායකයන් දක්වා සභා ව්‍යුහයක් තිබුණා; “දෙවියන්වහන්සේගේ යහපත් වචනයෙන් පෝෂණය වී”3 අපව ගැලවුම්කරුවාණන් වෙතට ගෙන එන්නටත් එමෙන්ම සේවය කිරීමට අවස්ථා ලබාදෙමින්, මාව සහ මගේ පුතාව වැළඳ ගැනීමටත් සූදානම්ව ගිවිසුම්ගත සාමාජිකයන්ගෙන් පිරුණු ශාඛාවක් තිබුණා.4

ආරම්භයේ සිටම, “[අපගේ] අමරණීයභාවය සහ සදාකාල ජීවනය ගෙන ඒම සඳහා”6 දෙවියන්වහන්සේ තම දරුවන්ව5 එක්රැස් කර සංවිධානය කිරීමට උත්සාහ කර තිබෙනවා. එම අරමුණ මනසේ තබාගෙන, අප දැනුම සහ ගැලවීමේ නියෝග සහ උත්කර්ෂය ලැබෙන නමස්කාරයේ ස්ථාන ගොඩනගන්නටත්;7 යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපව බැඳ තබන ගිවිසුම් ඇති කර තබාගන්නටත්;8 “දේවභක්තියේ බලය”9 සමඟ බලයෙන් සැරසෙන්නටත්; එමෙන්ම යේසුස්වහන්සේව සිහිකරන්නට නිතර නිතර රැස්වී උන්වහන්සේ තුළ එකිනෙකාව ශක්තිමත් කරන්නටත්, උන්වහන්සේ අපට උපදෙස් දී තිබෙනවා.10 සභා සංවිධානය සහ එහි ගොඩනැගිලි පවතින්නේ අපගේ අධ්‍යාත්මික ප්‍රයෝජනය සඳහායි. “සභාව යනු … අපි සදාකාලික පවුල් ගොඩනඟන පලංචියයි.”11

දුෂ්කර මොහොතක සිටින මිතුරෙකු සමඟ කතා කරන අතරතුර, ඔහු මූල්‍යමය වශයෙන් ජීවත් වන්නේ කෙසේදැයි මම ඇහුවා. තම සභානායකවරයා උපවාස පිදුම් අරමුදල් භාවිතා කරමින් තමාට උදව් කරන බව ඔහු කඳුළු සලමින් පිළිතුරු දුන්නා. ඔහු තවදුරටත් මෙහෙම කිව්වා, “සභාව නොතිබුනා නම් මගේ පවුල සහ මම කොහේ ඉඳීද කියලා මම දන්නේ නෑ.” මම මෙහෙම පිළිතුරු දුන්නා, “සභාව කියන්නේ එහි ඉන්න සාමාජිකයින්. අවශ්‍යතා ඇති අපගේ අයට උපකාර කිරීමට කැමැත්තෙන් හා ප්‍රීතියෙන් උපවාස පිදුම් ලබාදෙන්නේ ඔවුන්. ඔබට ලැබෙන්නේ ඔවුන්ගේ ඇදහිල්ලේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට ඔවුන්ගේ අධිෂ්ඨානයේ ප්‍රතිඵල.”

ක්‍රිස්තුස්වහන්සේගේ මාගේ සහෝදර ගෝලයනි, අපගේ අඩුපාඩුකම් මධ්‍යයේ වුවද, ස්වාමින්වහන්සේ අප තුළින්, උන්වහන්සේගේ සභාව තුළින් කරන විස්මිත කාර්යය අපි අවතක්සේරු නොකරමු. සමහර වෙලාවට අපි දෙන්නන් වන අතර සමහර වෙලාවට අපි ලබන්නන් වෙනවා, නමුත් අපි සියල්ලෝම ක්‍රිස්තුස්වහන්සේ තුළ එකම පවුලක්. උන්වහන්සේගේ සභාව යනු අප උන්වහන්සේට නමස්කාර කරන විට සහ එකිනෙකාට සේවය කරන විට අපට මගපෙන්වීමට හා ආශිර්වාද කිරීමට උන්වහන්සේ දී තිබෙන ව්‍යුහයයි.

සමහර සහෝදරියන් ප්‍රාථමිකයේ හෝ තරුණ කාන්තා පන්තියේ සේවය කරන නිසා සහන සම්තියේ ක්‍රියාකාරී සාමාජිකයන් නොවේ යැයි සිතමින් මගෙන් සමාව අයැද තිබෙනවා. එම සහෝදරියන් සහන සමිතියේ වඩාත් ක්‍රියාකාරී සාමාජිකයින් අතර සිටිනවා, මොකද අපගේ වටිනා දරුවන්ට සහ තරුණියන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට ඔවුන් උපකාර කරනවා.

සහන සමිතිය ගොඩනැගිල්ලක කාමරයකට, ඉරිදා පාඩමකට, ක්‍රියාකාරකමකට, හෝ ප්‍රාදේශීය හෝ ප්‍රධාන මට්ටමේ සභාපතිත්වයකට සීමා වෙන්නේ නෑ. සහන සමිතිය යනු සභාවේ ගිවිසුම් කාන්තාවන්; ඒ අපියිඅපි එක් එක්කෙනා වගේම අපි සියල්ලන්ම. එය අපගේ “දයානුකම්පාවේ සහ සේවයේ ගෝලීය ප්‍රජාවයි.”12 අප යන ඕනෑම තැනක සහ සෑම තැනකම, අපි සැමවිටම සහන සමිතියේ කොටස්කරුවන් වන අතර එහි දිව්‍යමය අරමුණ ඉටුකිරීමට අපි වෙහෙසෙනවා, ඒ තමයි කාන්තාවන්ට “දුප්පත්කමට සහනය, අසනීප වලට සහනය; සැකයට සහනය, නොදැනුවත්කමට සහනය—ප්‍රීතිය සහ ප්‍රගතියට බාධා කරන සියල්ල සඳහා සහනය”14 ලෙස සහන ලබාදීමෙන් දෙවියන්වහන්සේගේ කාර්යය තනි තනිව මෙන්ම සාමූහික ක්‍රම වලින්13 ඉටුකිරීම.

වැඩිහිටි ගණපූරණය සහ අපගේ දරුවන් සහ යෞවනයින් ඇතුළු, සියලුම වයස් සඳහා සභාවේ සහ සංවිධාන වලත් මේ හා සමානම අයිතිවාසිකම් පවතිනවා. සභාව කියන්නේ ගොඩනැගිලි සහ සභා ව්‍යුහයට වඩා වැඩි දෙයක්; සභාව කියන්නේ සාමාජිකයන් වන අපියි. ක්‍රිස්තුස්වහන්සේගේ මුදුනේ සිටින සහ අනාගතවක්තෘවරයා උන්වහන්සේගේ මුවකඩ වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව යනු අපියි. ස්වාමින්වහන්සේ මෙසේ පවසා තිබෙනවා:

“බලන්න, මාගේ දහම මෙය වන්නේය—කවරෙකු වුවත් පසුතැවිලි වී මා වෙතට පැමිණෙන්නේ නම්, ඔහු මාගේ සභාව වන්නේය. …

“තවද … මාගේ සභාවේ කවරෙකු වුවත්, මාගේ සභාවේ අවසානය දක්වා දරාගන්නේ නම්, ඔහුව මාගේ පර්වතයෙහි මම පිහිටුවන්නෙමි.”15

සහෝදරියනි සහ සහෝදරයිනි, උන්වහන්සේගේ බලවත් ප්‍රාතිහාර්යයන් කිරීමට, උන්වහන්සේ සඳහා අපගේ ඇදහිල්ල, හදවත්, ශක්තීන්, මනස, සහ දෑත් එක්කරන්නට හැකියාව සමඟ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට අයත් වීමට ලැබීම කොතරම් වරප්‍රසාදයක්ද යන්න අපි අවබෝධ කරගමු. “මක්නිසාද ශරීරය [ක්‍රිස්තුස්වහන්සේගේ සභාව] එක අවයවයක් නොව බොහෝ අවයවයෝය.”16

නව යොවුන් වියේ පිරිමි ළමයෙක් තම මවට මෙහෙම පැවසුවා, “මම කුඩා කාලයේ, මම ඩොලර් එකක් දසයෙන් කොටස ලෙස දෙන සෑම අවස්ථාවකම, එම ඩොලර් එකකින් මුළු රැස්වීම් ශාලාවක්ම ගොඩනගනු ඇතැයි මම සිතුවා. ඒක මෝඩ දෙයක්ද?”

එය හිතට දැණුනු ඇය මෙහෙම පිළිතුරු දුන්නා, “ඒක හරි අපූරුයි! ඔබ ඒවා ඔබේ මනසින් මවා ගත්තද?”

“ඔව්!” ඔහු කෑගැසුවා. “ඒවා ලස්සනයි, ඒවා වල මිලියන ගණනක පිරිස් සිටියා!”17

මගේ හිතවත් මිත්‍රවරුනි, අපි දරුවෙකුගේ මෙන් ඇදහිල්ලක් තබාගෙන අපගේ කුඩාම උත්සාහයන් පවා දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සැලකිය යුතු වෙනසක් සිදුකරන බව දැනගෙන ප්‍රීති වෙමු.

උන්වහන්සේගේ රාජ්‍යයේ අපගේ අරමුණ විය යුත්තේ එකිනෙකාව ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන ඒමයි. අපි ශුද්ධලියවිලි වල කියවන පරිදි, ගැලවුම්කරුවාණන් නෙපිවරුන්ට මෙම ආරාධනය කළා:

“නුඹලා අතර යම් රෝගීහු සිටිත්ද? ඔවුන්ව මෙහි ගෙනෙන්න. නුඹලා අතර කිසියම් අයුරකින් පීඩිත වූවන් සිටීද? ඔවුන්ව මෙහි ගෙනෙන්න තවද මම ඔවුන්ව සුවපත් කරන්නෙමි, මන්ද නුඹලා මත මට අනුකම්පාව ඇත්තේය; මගේ හද පත්ල දයාවෙන් පිරී ඇත්තේය.

“… මම නුඹලාව සුවපත් කළ යුතු වීමට තරම් නුඹලාගේ ඇදහිල්ල ප්‍රමාණවත් බව මට පෙනේ.”18

ගැලවුම්කරුවාණන්ගේ පාද පාමුලට ගෙන යා හැකි දුක් වේදනා අප සියල්ලන්ටම නැද්ද? අපගෙන් සමහරෙකුට ශාරීරික අභියෝග තිබෙනවා, තවත් බොහෝ අය චිත්තවේගීය ආරවුල් සමඟ සටන් කරනවා, තවත් සමහරු සමාජ සම්බන්ධතා පෝෂණය කිරීමට අරගල කරනවා, එලෙස අපගේ ආත්මයන් අභියෝගයට ලක් වූ විට අපි සියල්ලෝම සහනයක් සොයනවා. අපි හැමෝම යම් ආකාරයකින් පීඩාවට පත්වී සිටිනවා.

අපි මෙහෙම කියවනවා “මුළු ජන සමූහයම එක් සිතක් සමඟින්, ඔවුන්ගේ රෝගීන් සහ … එනම් යම් ආකාරයකින් පීඩිත වූවන් සියල්ලෝම සමඟ පෙරට ගියහ; තවද ඔවුන්ව උන්වහන්සේගේ ඉදිරියට ගෙන ආ විට, උන්වහන්සේ සෑම අයෙකුවම සුවපත් කළ සේක.

“තවද ඔවුන් සියල්ලෝම … සුවපත් කරනු ලැබූ සහ පූර්ණ වූ දෙගොල්ලන්ම, උන්වහන්සේගේ දෙපා පාමුල නැමී, තවද උන්වහන්සේට නමස්කාර කළෝය.”19

ඇදහිල්ලෙන් දසයෙන් කොටස ගෙවන කුඩා පිරිමි ළමයෙකුගේ සිට ස්වාමින්වහන්සේගේ බලගැන්වීමේ කරුණාව අවශ්‍ය තනි මවක් දක්වාත්, තම පවුල සඳහා සැපයීමට අරගල කරන පියෙකු දක්වාත්, ගැලවීම සහ උත්කර්ෂය අවශ්‍යව සිටින අපගේ මුතුන්මිත්තන් දක්වාත්, දෙවියන්වහන්සේ සමඟ සෑම සතියකම ගිවිසුම් අලුත් කරන අපි සෑම කෙනෙක්ම දක්වාමත්, අපි එකිනෙකාට අපව අවශ්‍යයි, ඒවගේම අපි එකිනෙකාට අපිවම ගැලවුම්කරුවාණන්ගේ මිදීමේ සුවය වෙතට ගෙන එන්න පුළුවන්.

මගේ ආදරණීය සහෝදරියනි සහ සහෝදරයිනි, අපිව සහ අපේ දුක් වේදනා උන්වහන්සේ වෙත ගෙන ඒමේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආරාධනය අපි පිළිපදිමු. අපි උන්වහන්සේ වෙතට පැමිණ අප ආදරය කරන අයව උන්වහන්සේ වෙතට ගෙන එන විට, උන්වහන්සේ අපගේ ඇදහිල්ල දකියි. උන්වහන්සේ ඔවුන්ව සම්පූර්ණ කරයි, උන්වහන්සේ අපිව සම්පූර්ණ කරයි.

“ක්‍රිස්තුස්වහන්සේගේ සාමකාමී අනුගාමිකයන්”20 වශයෙන් අපි උත්සාහ කරන්නේ “එක සිතකින් සහ එක මනසකින්”21 හිඳිමින්, නිහතමානී; යටහත් පහත්; මෘදු; ආයාචනා කිරීමට පහසු; ඉවසීමෙන් සහ බොහෝ දරාගැනීමෙන් පිරී ඇති; සෑම දෙයකම මධ්‍යස්ථ; සෑමවිටම දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමට වඩා උනන්දු වෙන; ඇදහිල්ලෙන්, බලාපොරොත්තුවෙන්, සහ පිවිතුරු ප්‍රේමයෙන් පූර්ණ; යහපත් ක්‍රියා වලින් බහුල අය බවට පත්වීමටයි.22 අපි උත්සාහ කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වගේ වෙන්නයි.

සභාපති රසල් එම්. නෙල්සන් ඉගැන්වූ පරිදි, ක්‍රිස්තුස්වහන්සේගේ සභාව වශයෙන්, “අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, මේ මොහොතේ සහ උන්වහන්සේ නැවත පැමිණෙන විට”23 උන්වහන්සේගේ බලවත්ම ක්‍රියා කිහිපයක් ඉටුකරන මාධ්‍යයන් අපි බව මම සාක්ෂි දරනවා.

ස්වාමින්වහන්සේ මෙසේ පවසා තිබෙනවා:

“බලන්න, මම මාගේ ක්‍රියාව එම කාලයේදී ඉක්මන් කරන්නෙමි.

“තවද මම … නුඹලා හට, නුඹලාව එකට එක්රැස් කරගැනීමට, තවද නුඹලාව සැලසුම් කරගැනීමට, තවද නුඹලාව සූදානම් කරගැනීමට, තවද නුඹලාව පරිශුද්ධ කරගැනීමට ආඥාවක් දෙන්නෙමි; එසේය, නුඹලාගේ හදවත් පිරිසිඳු කරගන්න, තවද නුඹලාගේ අත් සහ පාද මා ඉදිරියේ පවිත්‍ර කරගන්න, එනම් මම නුඹලාව පිරිසිඳු කරන පිණිසය.”24

අපි මෙම දිව්‍යමය ආරාධනයට ප්‍රතිචාර දක්වමු සහ ප්‍රීතියෙන් එක්රැස් වෙමු, සංවිධානය වෙමු, සූදානම් වෙමු, සහ අපිව පාරිශුද්ධ කරගමු, ඒ මාගේ නිහතමානී යාච්ඤාවයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.