ප්‍රධාන සම්මන්ත්‍රණය
ඇදහිල්ලේ ඉණිමග
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඇදහිල්ලේ ඉණිමග

අවිශ්වාසය ආශ්චර්යයන් දැකීමේ අපගේ හැකියාව අවහිර කරනවා, නමුත් ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇදහිල්ලේ මනස ස්වර්ගයේ බලයන් වල අගුළු හරිනවා.

ජීවිතයේ අභියෝග යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති අපගේ ඇදහිල්ලට බලපාන්නේ කෙසේද? මේ ජීවිතයේ අපි අත්දකින ප්‍රීතිය හා සාමය කෙරෙහි අපගේ ඇදහිල්ල කුමන බලපෑමක් ඇති කරයිද?

ඒ 1977 වෙනි අවුරුද්ද. දුරකථනය නාද වූ අතර එයින් ලැබුණු පණිවිඩය අපගේ හදවත් ඉරා දැමුවා. කැරොලින් සහ ඩග් ටෙබ්ස් උපාධිය අවසන් කිරීමෙන් පසු ඔවුන්ගේ නව නිවසට යාමට සූදානම් වෙමින් සිටියා. වැඩිහිටි ගණපූරණය පැමිණ තිබුණේ වෑන් රථයට බඩු පැටවීමටයි. පසුපසට යාමට පෙර මාර්ගය පැහැදිලි බව සහතික කරගත් ඩග්, අවසන් වරට හැරී බැලුවා. ඔහුගේ කුඩා දියණිය වන ජෙනී, වැරදි මොහොතක ට්‍රක් රථය පිටුපසට යෑම ඔහුට පෙනුණේ නෑ. මොහොතකින් ඔවුන්ගේ ආදරණීය ජෙනී නැති වුණා.

ඊළඟට කුමක් සිදුවෙන්නට ඇත්ද? ඔවුන්ට එතරම් ගැඹුරින් දැනුණු වේදනාව සහ සිතාගත නොහැකි අහිමි වීමේ හැඟීම කැරොලින් සහ ඩග් අතර සමනය කළ නොහැකි පරතරයක් ඇතිකරයිද, නැතහොත් එය කෙසේ හෝ ඔවුන්ගේ හදවත් එකට බැඳ තබා ස්වර්ගික පියාණන්ගේ සැලැස්ම කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරයිද?

ඔවුන්ගේ දුක් වේදනා හරහා යන මාර්ගය දිගු හා වේදනාකාරී වුණා, නමුත් කොහෙන් හෝ ආත්මික සංචිත පැමිණියේ බලාපොරොත්තුව නැතිකර නොගෙන, නමුත් “[ඔවුන්ගේ] මාර්ගය අල්ලා ගැනීමටයි.”1 කෙසේ හෝ මෙම ඇදහිය නොහැකි යුවළ තවත් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වුණා. වඩාත් කැපවුණා. තව අනුකම්පා සහගත වුණා. උන්වහන්සේගේ කාලයේදී දෙවියන්වහන්සේ ඔවුන්ගේ වාසිය සඳහා ඔවුන්ගේ පීඩා කැපකරන බව ඔවුන් විශ්වාස කළා.2

වේදනාව සහ පාඩුව සම්පූර්ණයෙන්ම අත්හැරිය නොහැකි වුවද, කැරොලින් සහ ඩග් ඔවුන්ගේ ගිවිසුම් මාවතේ ස්ථිරව සිටීමෙන් ඔවුන්ගේ ආදරණීය ජෙනී සදහටම ඔවුන්ගේ වනු ඇති බවට සහතික වීමෙන් සැනසීමක් ලැබුවා.3

ඔවුන්ගේ ආදර්ශය ස්වාමින්වහන්සේගේ සැලැස්ම කෙරෙහි මගේ ඇදහිල්ල ශක්තිමත් කර තිබෙනවා. අපි හැමදෙයක්ම දකින්නේ නෑ. නමුත් උන්වහන්සේ දකිනවා. ස්වාමින්වහන්සේ ලිබර්ටි බන්ධනාගාරයේ ජෝසෆ් ස්මිත් හට මෙසේ පැවසුවා “මේ සියලු දේවල් නුඹට අත්දැකීම් දෙන්නේය, තවද නුඹගේ යහපත උදෙසා වන්නේය. මනුෂ්‍යය පුත්‍රයාණන් ඒ සියල්ලටම වඩා දේවල් අත්විඳ ඇත්තේය. නුඹ උන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ වන්නේද?”4

අපි ස්වාමින්වහන්සේගේ කැමැත්ත පිළිගන්නා විට, උන්වහන්සේ සමඟ ගමන් කරන ආකාරය උන්වහන්සේ අපට උගන්වනවා.5 ටහිටි වල සේවය කරන තරුණ ධර්මදූතයෙකු හැටියට අසනීප වූ ළදරුවෙකුට ආශිර්වාද කරන්නට මට ඉල්ලීමක් ලැබුණා. අපි ඔහුගේ හිස මත අත් තබා ඔහුට සනීප වන ලෙස ආශිර්වාද කළා. ඔහුගේ සෞඛ්‍යය යහපත් අතට හැරෙන්නට පටන්ගත් නමුත් පසුව ඔහු නැවතත් අසනීප වුණා. දෙවන වරටත් අපි ඔහුට ආශිර්වාද කළ නමුත් ප්‍රතිඵලය වෙනස් වුණේ නෑ. තුන්වැනි වරටත් ඉල්ලීමක් පැමිණියා. උන්වහන්සේගේ කැමැත්ත ඉටුවන ලෙස අපි ස්වාමින්වහන්සේගෙන් අයැද සිටියා. ටික කාලෙකට පස්සේ, මේ පුංචි ආත්මය ආපහු ඔහුගේ ස්වර්ගීය නිවස කරා ගියා.

නමුත් අපට සැනසීමක් දැනුනා. අපිට අවශ්‍ය වූයේ ඒ ළදරුවා ජීවත් කරවීමටයි, නමුත් ස්වාමින්වහන්සේට වෙනත් සැලසුම් තිබුණා. අපගේ තත්වයන් කුමක් වුවත් ප්‍රීතිය සොයාගැනීමේ යතුර වන්නේ අපගේ කැමැත්ත වෙනුවට උන්වහන්සේගේ කැමැත්ත පිළිගැනීමයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මුලින්ම ඉගෙනගැනීමට පටන් ගන්නා විට අපි තුළ ඇති සරල ඇදහිල්ල ජීවිතයේ අභියෝග වලට මුහුණදෙන විට අපගේ හදවත් තුළ පැවතිය හැකියි. උන්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ලට ජීවිතයේ සංකීර්ණතා තුළින් අපට මගපෙන්වන්න පුළුවන්, ඒවගේම මගපෙන්වනවා. ඇත්තවශයෙන්ම, අපි “ක්‍රිස්තුස්වහන්සේ තුළ [ස්ථිර], බලාපොරොත්තුවේ පරිපූර්ණ දීප්තියකින්” රැඳී සිටින විට,7 ජීවිතයේ සංකීර්ණත්වයේ අනෙක් පැත්තේ සරල බවක් ඇති බව අපිට පෙනී යයි.6

ජීවිතයේ අරමුණෙහි කොටසක් තමයි, මම “ඇදහිල්ලේ ඉණිමග” ලෙස හඳුන්වන දෙයට අපි නැගීමේදී, මෙම බාධා කිරීම් වලට දියුණුවීමේ අත්තිවාරම් බවට පත්වීමට ඉඩදීම—එය ඉණිමඟක් වන්නේ ඇදහිල්ල ස්ථිතික නොවන බව එයින් ඇඟවෙන බැවිනුයි. එය අපි ගන්නා තේරීම් අනුව ඉහළ හෝ පහළ යන්න පුළුවන්.

අපි ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇදහිල්ල ගොඩනගාගැනීමට උත්සාහ කරන විට, දෙවියන්වහන්සේ අපි කෙරෙහි දක්වන ප්‍රේමය සම්පූර්ණයෙන් වටහා නොගෙන වුවත්, වගකීමෙන් උන්වහන්සේගේ නීති වලට කීකරු වෙන්න අපිට පුළුවන්. ආදරයට වඩා වරදකාරිත්වය අපගේ ප්‍රධාන පෙළඹවීම වෙන්න පුළුවන්. උන්වහන්සේ සමඟ සැබෑ සම්බන්ධයක් තවමත් අපි අත්විඳ නොතිබිය හැකියි.

අපගේ ඇදහිල්ල වැඩි කිරීමට අපි උත්සාහ කරන විට, යාකොබ් ඉගැන්වූ දෙයින් අපි ව්‍යාකූල වෙන්න පුළුවන්. “ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵල බව” 8 බව ඔහු අපිට මතක්කර දී තිබෙනවා. සෑමදෙයක්ම අප මත රඳා පවතී යැයි අපි සිතන්නේ නම් අපි පැකිලීමට ඉඩ තිබෙනවා. අපි මත අධික ලෙස රඳාපැවතීම ස්වර්ගයේ බලයට ප්‍රවේශ වීමේ අපගේ හැකියාවට බාධාවක් විය හැකියි.

නමුත් අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සැබෑ ඇදහිල්ල කරා ගමන් කරන විට, අපගේ මානසිකත්වය වෙනස් වීමට පටන් ගනී. ගැලවුම්කරුවාණන් කෙරෙහි කීකරුකම සහ ඇදහිල්ල උන්වහන්සේගේ ආත්මය සැමවිටම අප සමඟ තබාගැනීම සඳහා සුදුසුකම් ලබාදෙන බව අපි හඳුනාගන්නවා.9 කීකරුකම තවදුරටත් කරදරයක් නොවී, ගවේෂණයක් බවට පත්වෙනවා.10 දෙවියන්වහන්සේගේ ආඥා වලට කීකරු වීමෙන් උන්වහන්සේගේ විශ්වාසය දිනාගැනීමට අපිට හැකි බව අපි හඳුනාගන්නවා. උන්වහන්සේගේ විශ්වාසය සමඟ වැඩි ආලෝකයක් පැමිණෙනවා. මෙම ආලෝකය අපගේ ගමනට මගපෙන්වන අතර අපි යා යුතු මාර්ගය වඩාත් පැහැදිලිව දැකීමට අපිට ඉඩ සලසනවා.

නමුත් එහි ඊට වඩා දෙයක් තිබෙනවා. ගැලවුම්කරුවාණන් කෙරෙහි අපගේ ඇදහිල්ල වැඩිවන විට, දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය පිළිබඳ දිව්‍යමය අවබෝධයක් ඇතුළත් සියුම් මාරුවක් අපි නිරීක්ෂණය කරයි—එවිට “මට අවශ්‍ය කුමක්ද?” වෙතින් “දෙවියන්වහන්සේට අවශ්‍ය කුමක්ද?” වෙත ස්ථාවර චලනයක් ඇතිවෙයි. ගැලවුම්කරුවාණන් මෙන්ම, අපිටත් ක්‍රියා කිරීමට අවශ්‍ය වන්නේ “මා කැමති ලෙස නොව, ඔබ කැමති ලෙස”11 යනුවෙන් පවසමිනුයි. අපට අවශ්‍ය වන්නේ දෙවියන්වහන්සේගේ කාර්යය කිරීමට සහ උන්වහන්සේගේ දෑතේ මෙවලමක් වීමටයි.12

අපේ දියුණුව සදාකාලික එකක්. ස්වර්ගික පියාණන්වහන්සේට අපි දැනගන්නවාට කැමති තවත් බොහෝ දේ ඇති බව සභාපති රසල් එම්. නෙල්සන් උගන්වා තිබෙනවා.13 අපි වර්ධනය වන විට, ජෝසෆ් ස්මිත්ට දෙවියන්වහන්සේ ඉගැන්වූ දේ අපි හොඳින් තේරුම්ගත යුතුයි: එනම්, “මක්නිසාද නුඹලා මාගේ ආඥාවන් පවත්වන්නේද නුඹලා උන්වහන්සේගේ පූර්ණත්වය ලබන්නහුය, තවද … මා තුළ මහිමාන්විත වන පිණිසය; එසේහෙයින් මම නුඹලා හට පවසන්නෙමි, නුඹලා කරුණාවෙන් කරුණාවට ලැබිය යුතු වන්නෝය.”14

ඇදහිල්ලේ ඉණිමග මත අපි කෙතරම් ඉහළට නගිනවාද යන්න අපගේ තීරණයයි. වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන් මෙසේ ඉගැන්වුවා, “ඇදහිල්ල අහම්බෙන් නොව තෝරාගැනීමෙන් ඇතිවන දෙයක්.”15 ගැලවුම්කරුවාණන් කෙරෙහි අපගේ ඇදහිල්ල වැඩි කිරීමට අවශ්‍ය තේරීම් කිරීමට අපිට තෝරාගන්න පුළුවන්.

ලාමන් සහ ලමුවෙල් ඇදහිල්ලේ ඉණිමගින් බැස යන විට සහ නෙපි ඉහළට යන විට කළ තෝරාගැනීම් වල බලපෑම සලකා බලන්න. “මම ගොස් කරන්නම්”16 යන නෙපිගේ ප්‍රතිචාරය සහ ලාමන් සහ ලාමුවෙල් දේවදූතයෙකු දුටු පසුවත් “ස්වාමින්වහන්සේ ගලවා ගන්නේ කෙසේද?”17 යන ප්‍රතිචාර දෙක අතර වෙනසට වඩා පැහැදිලි නියෝජනයක් තිබෙනවාද?

අවිශ්වාසය ආශ්චර්යයන් දැකීමේ අපගේ හැකියාව අවහිර කරනවා, නමුත් ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇදහිල්ලේ මනස ස්වර්ගයේ බලයන් වල අගුළු හරිනවා.

අපගේ ඇදහිල්ල දුර්වල වූ විට පවා, ස්වාමින්වහන්සේගේ හස්තය සැමවිටම දිගු වෙනවා.18 වසර ගණනාවකට පෙර නයිජීරියාවේ ස්ටේකයක් ප්‍රතිසංවිධානය කිරීමේ පැවරුම මට ලැබුණා. අවසාන මොහොතේ එම දිනයේ වෙනසක් සිදුවුණා. පළමු සම්මන්ත්‍රණ දිනයේදී නගරයෙන් පිටව යාමට තීරණය කර සිටි පුද්ගලයෙකු ස්ටේකයේ සිටියා. ස්ටේක සභාපති ලෙස කැඳවීමක් ලැබීමේ අවදානමක් ගැනීමට ඔහුට අවශ්‍ය වූයේ නෑ.

ඔහු පිටව සිටියදී දරුණු අනතුරකට ලක් වූ නමුත්, ඔහුට හානියක් වී තිබුනේ නෑ. ඔහුගේ ජීවිතය බේරුණේ මන්දැයි ඔහුට සිතා බැලීමට මෙය හේතු වුණා. ඔහු ගත් තීරණය ඔහු නැවතත් සලකා බැලුවා. ඔහු පසුතැවිලි වී නිහතමානීව නව සම්මන්ත්‍රණ දිනයෙදී සහභාගී වුණා. ඔව්, ඔහුව නව ස්ටේක සභාපති වීමට කැඳවනු ලැබුවා.

වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් මෙලෙස ඉගැන්වූවා: “අපගේ කැමැත්ත දෙවියන්වහන්සේගේ කැමැත්තට සමපාත කිරීමෙන් පමණක් සම්පූර්ණ සතුට සොයාගත හැකිය. එයට වඩා අඩු ඕනෑම දෙයක ප්‍රතිඵලය අඩුය.”19

“අපගේ බලයේ පවතින සියල්ල” කිරීමෙන් පසුව, “දෙවියන්වහන්සේගේ ගැලවීම දැකීමට … නිශ්චලව සිටීමට”20 කාලය එයයි. මම මෙය මැක්කොර්මික් පවුලට දේවසේවයේ නිරත සහෝදරයෙකු ලෙස සේවය කරන විට දුටුවා. විවාහ වී වසර 21ක් ගත වූ අතර, මේරි කේ ඇගේ කැඳවීම් වලදී විශ්වාසවන්තව සේවය කළා. කෙන් සභාවේ සාමාජිකයෙකු නොවූ අතර සාමාජිකයෙකු වීමට උනන්දුවක්ද නොදැක්වූ නමුත් ඔහුගේ බිරිඳට වූ ආදරය නිසා, ඇය සමඟ සභාවට යාමට තීරණය කළා.

එක් ඉරිදාවක මගේ සාක්ෂිය කෙන් සමඟ බෙදාගැනීමට මට සිතුණා. මට එලෙස කළ හැකිද කියා මම ඔහුගෙන් ඇසුවා. “එපා, ස්තූතියි” ලෙස ඔහුගේ ප්‍රතිචාරය සරල සහ පැහැදිලි වුණා.

මම පුදුමයට පත්වුණා. මට පෙළඹවීමක් දැනුණු අතර එය අනුගමනය කිරීමට උත්සාහ කළා. මම මගේ කොටස කළ බව තීරණය කිරීමට පෙළඹවීමක් ඇතිවුණා. නමුත් යාච්ඤාවෙන් හා මෙනෙහි කිරීමෙන් පසු, මගේ අභිප්‍රාය නිවැරදි වුවත්, මම මා කෙරෙහි ඕනෑවට වඩා විශ්වාසය තබා ඇති බවත්, ස්වාමින්වහන්සේ කෙරෙහි තැබූ විශ්වාසය මදි බවත් මට පෙනී ගියා.

ඉන්පසු වෙනස් මනසකින් මම ආපසු පැමිණියා. ආත්මයාණන් අනුගමනය කිරීම හැර වෙනත් කිසිඳු ආශාවක් නොමැතිව හුදෙක් ස්වාමින්වහන්සේගේ දෑත්වල මෙවලමක් ලෙස මම ගියා. මගේ විශ්වාසවන්ත සහකරු ජෙරල්ඩ් කාර්ඩන් සමඟ, අපි මැකෝමික් නිවසට ඇතුළු වුණා.

වැඩි වේලාවක් යන්නට මත්තෙන්, “I know that my redeemer lives”21 ගීතිකාව ගායනා කිරීමට ජෙරල්ඩ්ට ආරාධනා කිරීමට මට පෙළඹවීමක් ඇතිවුණා. ඔහු මා දෙස ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලූ නමුත්, මගේ ඇදහිල්ල කෙරෙහි විශ්වාසය තබා ඔහු එලෙස කළා. ලස්සන ආත්මයකින් කාමරය පිරීගියා. මේරි කේ සහ ඔවුන්ගේ දියණිය වන ක්‍රිස්ටින්ට ඔවුන්ගේ සාක්ෂි බෙදාගැනීමට ආරාධනා කිරීමට පෙලඹීමක් ඇතිවුණා. ඔවුන් එසේ කරන විට, එම හැඟීම තවත් ශක්තිමත් වුණා. ඇත්තවශයෙන්ම, ක්‍රිස්ටින්ගේ සාක්ෂියෙන් පසුව, කෙන්ගේ කම්මුල් දිගේ කඳුළු ගලා ගියා.22

දෙවියන්වහන්සේ මුලසුන ගෙන තිබුණා. හදවත් ස්පර්ශ වූවා පමණක් නොව සදහටම වෙනස්වුණා. වසර විසි-එකක අවිශ්වාසය ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් සෝදා හරිනු ලැබුවා. සතියකට පසු, කෙන් බව්තීස්ම වුණා. වසරකට පසුව, කෙන් සහ මේරි කේ ස්වාමින්වහන්සේගේ මාළිගාවේ මේ කාලයටත් සදාකාලිකවත් මුද්‍රා වුණා.

අපගේ කැමැත්ත ස්වාමින්වහන්සේගේ කැමැත්තෙන් ප්‍රතිස්ථාපනය කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අපි එකට අත්විඳි අතර ස්වාමින්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ලද වැඩිවුණා.

ඔබගේ ඇදහිල්ලේ ඉණිමග දිගේ නැගීමට ඔබ උත්සාහ කරන විට, දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් විසින් අසන ලද ප්‍රශ්න සමහරක් ගැන සලකා බලන්න:

මම උඩඟුකම පහකර ඇත්ද?23

දෙවියන්වහන්සේගේ වචනයට මම මගේ හදවතේ තැනක් දෙනවාද?24

මගේ ලාභය සඳහා මගේ දුක් වේදනා කැපකිරීමට මම ඉඩදෙනවාද?25

මගේ කැමැත්ත පියාණන්ගේ කැමැත්තෙන් ගිල දැමීමට මම කැමතිද?26

මුදවා ගැනීමේ ප්‍රේම ගීතය ගයන්න මට දැනුණා නම්, දැනුත් මට එලෙස දැනෙනවාද?27

මගේ ජීවිතයේ දෙවියන්වහන්සේට ජයගැනීමට මම ඉඩදෙනවාද?28

ඔබගේ වත්මන් මාර්ගය ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇති ඔබගේ ඇදහිල්ලට පටහැනි බව ඔබට පෙනීයන්නේ නම්, කරුණාකර උන්වහන්සේ වෙතට ඔබගේ මාර්ගය සොයාගන්න. ඔබේ උත්කර්ෂය සහ ඔබේ අනාගත පරම්පරාව රඳා පවතින්නේ ඒ මතයි.

ඇදහිල්ලේ බීජ අපගේ හදවත් වල ගැඹුරින් රෝපණය කරමු. අපි ගැලවුම්කරුවාණන් සමඟ ඇතිකරගත් ගිවිසුම් වලට ගරු කරමින් උන්වහන්සේ සමඟ බැඳී සිටිමින් අපි මෙම බීජ පෝෂණය කරමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.