ප්‍රධාන සම්මන්ත්‍රණය
ගිවිසුම් මාර්ගය: සදාකාල ජීවනයට මාර්ගය
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ගිවිසුම් මාර්ගය: සදාකාල ජීවනයට මාර්ගය

පරිපූර්ණත්වයට යන මාර්ගය ගිවිසුම් මාර්ගය වන අතර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සියලු නියෝග සහ ගිවිසුම් වල කේන්ද්‍රස්ථානයේ සිටිනවා.

බලවත් රජෙකුට තම පුත්‍රයා විසින් තමාගේ එක් රාජ්‍යයක් පාලනය කිරීම අවශ්‍ය වුණා. කුමාරයාට සිංහාසනයේ හිඳීමට නම්, ප්‍රඥාව ඉගෙනගෙන එහි වර්ධනය වෙන්නට සිදුවුණා. දිනක්, රජු මේ කුමාරයාව හමුවී තම සැලැස්ම බෙදාගත්තා. කුමාරයා වෙනත් නගරයකට ගොස් අත්දැකීම් ලබාගන්නවාට දෙදෙනාම එකඟ වුණා. ඔහු අභියෝග වලට මුහුණදෙන අතරම එහි බොහෝ යහපත් දේ භුක්ති විඳියි. පසුව රජු ඔහුව නගරයට යැවූ අතර, එහිදී මේ කුමාරයා රජුට විශ්වාසවන්ත බව ඔප්පු කිරීමත්, රජු විසින් ඔහු වෙනුවෙන් තබා ඇති වරප්‍රසාද සහ වගකීම් ලබාගැනීමට ඔහු සුදුසු බව පෙන්නුම් කිරීමත් අපේක්ශිත වුණා. මෙම වරප්‍රසාද සහ වගකීම් ලබාගැනීමට හෝ නොගැනීමට ඔහුගේ ආශාවන් සහ ඔහුගේ විශ්වාසවන්තභාවය මත තෝරාගැනීමේ නිදහස කුමරුට ලබා දී තිබුණා. කුමාරයාට වුණේ කුමක්ද කියා දැනගැනීමට ඔබට අවශ්‍යයි කියා මට විශ්වාසයි. ඔහු රාජ්‍යය උරුම කරගැනීමට නැවත පැමිණියාද?

ආදරණීය සහෝදර සහෝදරියනි, අපි සෑම කෙනෙකුම කුමාරයෙක් හෝ කුමාරිකාවක්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම සහ නැවත නැගිටීම තුළින් අමරණීය බවට පත්වන ශරීරයක ආශිර්වාදය භුක්ති විඳීමට ආදරණීය ස්වර්ගික පියෙකු විසින් අපව ලෞකික ජීවිතයක් වෙත එවා තිබෙනවා. අපි “ස්වාමින් වන [අපගේ] දෙවියන්වහන්සේ [අපට] ආඥා කරන සෑම දෙයක්ම කරන බව” ඔප්පු කිරීමෙන් දෙවියන්වහන්සේගේ අභිමුඛයට නැවත පැමිණීමට සූදානම් වීම අපෙන් අපේක්‍ෂා කෙරෙනවා (ආබ්‍රහම් 3:25).

ගැලවුම්කරුවාණන් පැමිණියේ අපව මුදවාගෙන දෙවියන්වහන්සේ වෙතට ආපසු යාමට මාර්ගය පෙන්වමින් අපට උපකාර කිරීමටයි. දෙවියන්වහන්සේගේ දරුවන්ට ගැලවුම්කරුවාණන් වෙතට පැමිණ උන්වහන්සේ තුළ පරිපූර්ණ වීමට ආරාධනා කර තිබෙනවා. ශුද්ධලියවිලි වල, අපට ස්වාමින්වහන්සේ වෙතට පැමිණෙන ලෙස ආරාධනා කිරීම් 90 වතාවකට වැඩි අවස්ථාවන් වල සඳහන් වන අතර මෙයින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ස්වාමින්වහන්සේගෙන්ම පැමිණි පුද්ගලික ආරාධනයන්. ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය පිළිගැනීම යන්නෙන් අදහස් කරන්නේ උන්වහන්සේගේ නියෝග වලට පංගුකාරයන් වීම සහ උන්වහන්සේ සමඟ අපගේ ගිවිසුම් පැවැත්වීමයි. යේසුස් ක්‍රිස්තුස්වහසේ “මාර්ගයයි, සත්‍යයයි, සහ ජීවනයයි” (යොහාන් 14:6), ඒවගේම “උන්වහන්සේ සියලුදෙනාටම උන්වහන්සේගේ යහපත්කමෙහි සහභාගී වීමට උන්වහන්සේ වෙතට කැඳවන[වා], [ඒවගේම] උන්වහන්සේ වෙතට එන කිසිවෙක් උන්වහන්සේ එපා [කරන්නේ නෑ]” (2 නෙපි 26:33).

සියලුම ශුභාරංචි ඉගෙනීමේ සහ ඉගැන්වීමේ අරමුණ වන්නේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත අපගේ හැරීම ගැඹුරු කිරීම සහ උන්වහන්සේලා හා සමාන වීමට අපට උපකාර කිරීමයි. “උත්කර්ෂයේ ආශිර්වාද ලබාදෙන නිශ්චිත කාලය සහ ආකාරය” පිළිබඳව සියලු කරුණු අනාවරණය කර නොතිබුණද, කෙසේවෙතත්, අපට ඒවා ගැන සහතිකයක් ලබාදී තිබෙනවා (එම්. රසල් බැලර්ඩ්, “ක්‍රිස්තුස්වහන්සේ තුළ බලාපොරොත්තුව,” ලියහෝනා, මැයි 2021, 55).

සාරාහෙම්ලා දේශයේ උගන්වමින් සිටි, උත්තම පූජක ඇල්මා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් කරන ලද ගැඹුරු ආරාධනයක් මෙසේ විස්තර කළා:

“බලන්න, උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ට ආරාධනාවක් යවන සේක, මක්නිසාද ඔවුන් දෙසට කරුණාවේ හස්තය දිගුව ඇත්තේය, තවද උන්වහන්සේ කියන සේක: පසුතැවිලි වන්න, තවද මම නුඹව බාරගන්නෙමි.

“එසේය, උන්වහන්සේ කියන සේක: තවද නුඹලා ජීවනයේ ගසෙහි ඵල භුක්ති විඳින්නෙහුය” (ඇල්මා 5:33–34).

උන්වහන්සේ වෙතට පැමිණ මෙම කැලඹිලි සහිත ලෝකය තුළ අපට විවේකයක් ලැබීම සඳහා උන්වහන්සේගේ වියගහ අප මතට ගන්නා ලෙස ගැලවුම්කරුවාණන්ම අපට ආරාධනා කරනවා (බලන්න මතෙව් 11:28–29). අපි ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්නේ “උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමෙන්, දිනපතා පසුතැවිලි වීමෙන්, ගැලවීම හා උත්කර්ෂය පිළිබඳ නියෝග අපට ලැබෙන විට දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකර ගැනීමෙන්, සහ එම ගිවිසුම් පවත්වා ගනිමින් අවසානය දක්වා විඳදරා ගැනීමෙන්” (General Handbook: Serving in The Church of Jesus Christ of Latter-day Saints, 1.2.1, ChurchofJesusChrist.org). පරිපූර්ණත්වයට යන මාර්ගය ගිවිසුම් මාර්ගය වන අතර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සියලු නියෝග සහ ගිවිසුම් වල කේන්ද්‍රස්ථානයේ සිටිනවා.

අප ඇතිකරගන්නා ගිවිසුම් නිසා අපව ආත්මිකව හිමිකරගත්, ක්‍රිස්තුස්වහන්සේගේ පුත්‍රයන් සහ දූවරුන් බවට අප පත්වන බවත්, උන්වහන්සේගේ හිස යටතේ අපව නිදහස් කරනු ලබන බවත්, බෙන්ජමින් රජ ඉගැන්වූවා, මක්නිසාද “එහි නුඹලාට ගැලවීම ලබාගැනීම පිණිස වෙනත් නාමයක් කොතැනක හෝ [නෑ]” (බලන්න මොසායා 5:7–8). “ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ආදර්ශය අනුගමනය කිරීමෙන්” අවසානය දක්වා විඳදරාගන්නා විට අපට ගැලවීම ලැබෙනවා (2 නෙපි 31:16). නෙපි උපදෙස් දුන්නේ, හුදෙක් කෙළින් හා පටු මාර්ගයට ඇතුල් වීමෙන් පමණක් සියල්ල සිදුනොවන බවයි; අපි “ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරව, බලාපොරොත්තුවේ පරිපූර්ණ දීප්තියකින් සහ දෙවියන්වහන්සේට සහ සියලු මනුෂ්‍යයන්ට ප්‍රේමයෙන් යුතුව ඉදිරියට යා යුතුයි” (බලන්න 2 නෙපි 31:19–20).

ක්‍රිස්තුස්වහන්සේගේ දහම අපට ගිවිසුම් මාර්ගය සොයාගැනීමට සහ එහි රැඳී සිටීමට උදව් වන අතර, ශුභාරංචිය කොතරම් පිළිවෙළකට තිබෙනවාද කියනවනම්, ස්වාමින්වහන්සේගේ පොරොන්දු වූ ආශිර්වාද ලැබෙන්නේ ශුද්ධ වූ නියෝග සහ ගිවිසුම් තුළින්. දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ, සභාපති රසල් එම්. නෙල්සන්, ඔහුගේ 2018 ජනවාරි 16 විකාශනය තුළ අපට මෙලෙස අවවාද කළා, “ගිවිසුම් මාවතේ සිටින්න. “ගැලවුම්කරුවාණන් සමඟ ගිවිසුම් ඇතිකර ගැනීමෙන් පසුව එම ගිවිසුම් අනුගමනය කිරීමෙන් ඔබ අනුගමනය කරන ඔබගේ කැපවීම සෑම තැනකම සිටින පුරුෂයින්ට, කාන්තාවන්ට, හා දරුවන්ට ලබාගත හැකි සෑම අධ්‍යාත්මික ආශිර්වාදයක් හා වරප්‍රසාදයක් සඳහාම දොර විවර කරනවා. … අප සෑම කෙනෙකුම උත්සාහ කරන අවසානය නම් ස්වාමින්වහන්සේගේ ගෘහයක බලය මගින් බලයෙන් සැරසීම, පවුල් ලෙස මුද්‍රා වීම, දේවමාළිගාවක් තුළ ඇතිකරගත් ගිවිසුම් වලට විශ්වාසවන්තව සිටීම, සහ දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ටතම ත්‍යාගය වන සදාකාල ජීවනය සඳහා අප සුදුසුකම් ලැබීමයි” (“As We Go Forward Together,” Liahona, Apr. 2018, 7).

දෙවියන්වහන්සේ කිසිඳු ඇදහිලිවන්ත ගිවිසුම් රකින්නෙකු සමඟ, උන්වහන්සේගේ සම්බන්ධතාවය හෝ, සදාකාල ජීවනය පිළිබඳ පොරොන්දු වූ ආශිර්වාද උන්වහන්සේ අත්හරින්නේ නෑ. ඒවගේම අපි පරිශුද්ධ ගිවිසුම් වලට ගරු කරන විට, අපි ගැලවුම්කරුවාණන් වෙතට සමීප වෙනවා. ශුභාරංචි ගිවිසුම් සහ නියෝග අපගේ ජීවිත තුළ ක්‍රියාත්මක වන්නේ මාලිමා යන්ත්‍රයක් මෙන් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ මෙන් වීමට අපට ප්‍රධාන මගපෙන්වීමක් ලබාදෙන්නට බව වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් ඊයේ අපට ඉගැන්වුවා.

ගිවිසුම් දෙවියන්වහන්සේ වෙත ආපසු යන මාර්ගය සලකුණු කරනවා. බව්තීස්මය සහ ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලැබීම, පූජකත්වය නියම කිරීම, සහ සක්‍රමේන්තුව ලබාගැනීම, උන්වහන්සේගේ උත්කර්ෂය සඳහා වූ නියෝග වල පංගුකාරයන් වීමට අපව ස්වාමින්වහන්සේගේ දේවමාළිගාවට යොමුකරවනවා.

ගිවිසුම් ඇදහිලිවන්තව තබාගැනීමට අපට උපකාර කිරීම සඳහා අපගේ ගැලවුම්කරුවාණන් අවධාරණය කළ කරුණු දෙකක් සඳහන් කිරීමට මම කැමතියි:

  1. ශුද්ධාත්මයාණන්වහන්සේට අපට ඉගැන්වීමට, ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් අපට මතක්කරදීමට, සහ සදහටම අප සමඟ සිටීමට පුළුවන් (බලන්න යොහාන් 14:16, 26). ගිවිසුම් මාර්ගයෙහි අපට මගපෙන්වීම සඳහා අපගේ නිරන්තර සහකරුවා වෙන්න උන්වහන්සේට පුළුවන්. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ උගන්වා තිබෙනවා, “මතු පැමිණෙන කාලයේදී, ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම, මෙහෙයවීම, සැනසිල්ල, සහ ශුද්ධාත්මයාණන්ගේ නිරන්තර බලපෑම් නැතිව ආත්මිකව බේරීමට අපට හැකිවන්නේ නෑ” (“සභාව සඳහා එළිදරව්, අපගේ ජීවිත සඳහා එළිදරව්,” ලියහෝනා, මැයි 2018, 96).

  2. ගැලවුම්කරුවාණන් සක්‍රමේන්තු නියෝගය පිහිටෙව්වේ අප සැමවිටම උන්වහන්සේව සිහිකරමින් උන්වහන්සේගේ ආත්මය අප සමඟ තබාගැනීම සඳහායි. බව්තීස්මය සදාකාල ජීවනය සඳහා දොරටුව විවෘත කරනවා මෙන්ම, ගිවිසුම් මාර්ගය ඔස්සේ ස්ථිරව ඉදිරියට යාමට සක්‍රමේන්තුව අපට උපකාර කරනවා. අපි සක්‍රමේන්තුව ගන්නා විට, එය අප සැමවිටම උන්වහන්සේගේ පුත්‍රයාණන්ව සිහිපත් කරන බවට පියාණන්වහන්සේට සාක්ෂියක් වෙනවා. ඒවගේම අප නිතරම උන්වහන්සේව සිහිකර උන්වහන්සේගේ ආඥා පිළිපදින විට උන්වහන්සේගේ ආත්මය අප සමඟ පවතියි. මෙම පොරොන්දුවට තවදුරටත් එකතු කරමින්, අප නිහතමානීව අපගේ පව් ගැන පසුතැවිලි වන විට, පොරොන්දු වූ ලෙස ස්වාමින්වහන්සේ අපගේ පාප වලට සමාව දීමට දුන් පොරොන්දුව අලුත් කරනවා.

අපගේ ගිවිසුම් වලට ඇදහිලිවන්තව සිටීමේදී, සක්‍රමේන්තුවට සුදුසු ලෙස සහභාගි වීමට අපව සූදානම් කිරීම සඳහා ආත්මයාණන්වහන්සේව සැමවිටම ලබාගැනීමට අප උත්සාහ කළ යුතු අතර, ඒ හා සමානව, සැමවිටම ආත්මයාණන් අප සමඟ සිටීම සඳහා අපි සක්‍රමේන්තුවට නිතිපතා සහභාගී විය යුතුයි.

අපේ දුවට වයස අවුරුදු පහේදී, බැටරියෙන් ක්‍රියාත්මක වන මෝටර් රථයක් තිබූ අතර එය නිවස වටා ධාවනය කිරීමට ඇය ප්‍රිය කළා. දවසක් හැන්දෑවක, ඇය මා ළඟට ඇවිත් මෙලෙස කිව්වා, “තාත්තේ, මගේ මෝටර් රථය දැන් ධාවනය වන්නේ නැහැ. එය නැවත ධාවනය කළ හැකි වන පරිදි එය තුළට දැමීමට ඔයාගේ කාර් එකෙන් ගෑස් ටිකක් ගන්න අපිට පුලුවන්ද? සමහරවිට එය ධාවනය කිරීමට ඔබේ මෝටර් රථයට මෙන් ගෑස් අවශ්‍ය ඇති.”

පසුව මම ඒ බැටරිය ක්‍රියා විරහිත වී ඇති බව දුටුවා, ඒනිසා අපිට පැයකින් පමණ නැවත මෝටර් රථය ධාවනය කරන්න පුළුවන් වෙයි කියා මම කිව්වා. බොහෝ උද්යෝගයෙන්, ඇය මෙහෙම කිව්වා, “ඔව්! අපි එය ඉන්ධන පිරවුම්හලට ගෙන යමු.” මම සරලවම ඒ බැටරිය ආරෝපණය කිරීම සඳහා විදුලි ප්‍රභවයකට සම්බන්ධ කළ අතර, පැයකට පසු ඇයට ආරෝපණය කළ බැටරියෙන් බල ගැන්වූ මෝටර් රථය ධාවනය කිරීමට හැකිවුණා. බැටරිය විද්‍යුත් ප්‍රභවයකට සම්බන්ධ කර නැවත ආරෝපණය කිරීම සැමවිටම වැදගත් බව ඇය පසුව දැනගත්තා.

අපේ දුව ඇගේ සෙල්ලම් මෝටර් රථය පැදවීමට බැටරිය සහ බලය අතර සම්බන්ධය ඉගෙනගත් පරිදි, අපිට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, සක්‍රමේන්තුව, සහ ආත්මයණන් ගැන ඉගෙනගන්න පුළුවන්. අපි ඇදහිලිවන්තව ගිවිසුම් තබන විට ලෞකික ජීවිතය හරහා ගමන් කිරීමට අපට උපකාර කිරීමට ආත්මයාණන්වත්, ඒවගේම අපගේ අධ්‍යාත්මික පැවැත්මට ශක්තිය ලබාදීම සඳහා සක්‍රමේන්තුවත් අපට අවශ්‍ය වෙනවා. අපගේ බව්තීස්ම ගිවිසුම අලුත් කිරීම සහ සක්‍රමේන්තුවේ පංගුකාරත්වය අනෙකුත් සියලුම ගිවිසුම් වලට ඇදහිලිවන්තව සිටීමට හේතු වෙනවා. අපි ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය යාච්ඤාවෙන් අධ්‍යයනය කර සහ එයට ගරු කර උන්වහන්සේගේ පොරොන්දු වූ ආශිර්වාද භුක්ති විඳින විට සතුටුදායක අවසානයක් සහතික වෙන්න පුළුවන්. උන්වහන්සේ මෙසේ පැවසුවා, “තවද නුඹලා ලෝකයෙන් කිළුටු නොවන ලෙස සම්පූර්ණයෙන් තමාව ආරක්ෂා කරගත යුතුය, නුඹලා මාගේ ශුද්ධ වූ දවසේ යාච්ඤා ගෘහයට ගොස් නුඹලාගේ සක්‍රමේන්තුව ඔප්පු කළ යුතුය” (දහම සහ ගිවිසුම් 59:9).

ගිවිසුම් රකින්නන්ට “මේ ලෝකයේ සාමය සහ මතු ලෝකයේ සදාකාල ජීවනය” පොරොන්දු වී ඇති බවට මම සාක්ෂි දරනවා (දහම සහ ගිවිසුම් 59:23). ඔබ සක්‍රමේන්තුව තුළින් ගැලවුම්කරුවාණන්ගේ මෙම සංඛේතයට නිතිපතා සහභාගී වන විට, ගිවිසුම් මාවතේ ඔබව මෙහෙයවීමටත්, ඔබගේ ගිවිසුම් වලට ඇදහිලිවන්තව සිටීමටත් උන්වහන්සේගේ ආත්මය ඔබට ලැබෙන බවට මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.